අතහැරෙන තැනක්‌ අතහැරෙන්නට නම්
අල්ලාගන්නා තැන නැති වී තිබිය යුතුයි


(අප දුක ඇති කරගත්තේ රූපය අනුව නො ව අපේ ම හිත අනුව බවත්, අම්මා තාත්තා නැති වන විට අප 'බාහිර' කියා දුක්‌ වුව ද, අප දුක ඇති කරගෙන තිබෙන්නේ අම්මා තාත්තා කියන බව නැති වන ධර්මතාව මත නො වන බවත් පසුගිය ලිපියෙන් අපි සාකච්ඡා කළෙමු. අද එතැන් සිට..)

ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති, රාජකීය පණ්‌ඩිත, ශාස්‌ත්‍රපති
පූජ්‍ය කොත්මලේ කුමාරකස්‌සප හිමි

අපිට 'අම්මා' බාහිර ව හම්බ වෙන්නෙ නැතිකම වෙලා තියෙන්න වෙනව 'අම්මා' ගෙන් විඳින දුක නැති වෙන්න නම්. 'අම්මා' හම්බ වෙනකොටත් අම්මා ලෙඩ වන දුක, අම්ම මැරෙන දුක, අම්ම ගෙන් බැනුම් අහන ආදි දුක්‌ නො විඳ ඉන්නව කියන මට්‌ටම කරන්න පුළුවන් දෙයක්‌ නෙමෙයි. එහෙම කියල මේ කියන්නේ අම්මව අයින් කරන්න කියල නෙවේ. වරදවා වටහගන්න එපා. ඔබට අම්මව භෞතිකව ඉවත් කරන්න පුළුවන් උනත් අම්ම ගෙන් මිදෙන්න ඔබට බැහැ. මොකද ලෝකය තුළ අද ඒ අම්ම තාත්ත අත්හැරිය කියල දුක්‌ නැති වෙන්නෙ නැහැ. අප තුළ අත හරින්නත් අත හැරියා වූත් අම්මා කෙනෙක්‌ එතකොට අප ළ`ග ඉන්න නිසා අපට වෙන අම්ම තාත්ත කෙනෙක්‌ හදාගැනීමේ දුක එන්න පුළුවන්කම අප ළ`ග ම තියෙනවා.

ඒක නිසා අපට අතහැරීම තුළ නෙමෙයි දුක නැති වෙන්න ඕන, අතහැරෙන ප්‍රතිපදාවක්‌ තුළ. අතහැරීම තුළ අපට වස්‌තුව අත හැරේ වි. නමුත් අත හැරපු වස්‌තුව බාහිරින් පේනකම් ම ඔබට ඒ වස්‌තුවෙන් මිදෙන්න බැරි ෙ ව්වි. අතහරින්න ඔබට බාහිරින් වස්‌තුවක්‌ ලැබෙනකම් ම ඒ අතහැරීම ඔබට අකුසල් වෙයි. විටක කුසල් වෙයි. ඒ කුසල අකුසල දෙක ම සසර පැවැත්ම පිණිස හේතුවක්‌ වෙයි. ඒ නිසා අතහැරල මිදෙන්න අපිට පුළුවන්කමක්‌ නැහැ. අතහැරෙන ප්‍රතිපදාවක්‌ තුළයි දුක කියන දේ පිරිසිඳ දැකල මේ කාරණය අවබෝධ කරගන්න වෙන්න වෙන්නෙ. අතහැරෙන ප්‍රතිපදාවක්‌ කියල කිව්වෙ සම්මා දිට්‌ඨිය.

අතහැරෙන්න නම් අල්ලගන්න දෙයක්‌ නැති වෙන්න වෙනව. අල්ලගන්න දෙයක්‌ තිබුණොත් ඒ දේ අල්ලගන්නව ම තමයි. ඒක නිසා අතහැරෙන ප්‍රතිපදාවක්‌ තුළ ඉන්න වෙනව අපිට මේ කාරණාව පිරිසිඳ දකින්න. අතහැරෙන තැනක්‌ අතහැරෙන්න නම් අල්ලගන්න තැන නැති වෙල තියෙන්නට ඕන. අල්ලගන්න තැන නැති වෙන්න නම් අපට වෙනව භාවනා ප්‍රතිපදාවක්‌ තුළ භාවනා කිරීම තුළ ඇත්ත ඇති හැටියට දකින්න, අපි මේ කතා කරපු දර්ශනය කියන එක තුළ.

ස්‌කන්ධ ධර්මතා ටික පිරිසිඳ දකිනව කියන එක පිළිබඳව අපට අවබෝධ කරගන්න වෙනව. ස්‌කන්ධ ටිකක්‌ මත හිතේ තියන කෙළෙස්‌ ටික පතිත කරල පුද්ගල රූපයක්‌ බාහිරින් ඇති බවට මනසින් ම හදාගත්ත ආකාරය අපට දකින්න වෙනවා.

රූපය කියන එක ගැනයි අපි කතා කරමින් හිටිය. රූපය රූපය අන්තයෙන් දැකගන්න ඕන කියන එක. ඒ කියන්නෙ රූපය කියන එක කවදා වත් හිතේ යෙදෙන ධර්මතාවක්‌ නෙමෙයි. චිත්තවිප්පයුත්තං. රූපය හිතේ කවදා වත් යෙදෙන්නෙ ම නැහැ. ඒ වගේ ම රූපය අනාරම්මණයි. අරමුණු කරන්න පුළුවන්කමක්‌ ඇත්තෙත් නැහැ.

එතකොට රූපාරම්මණංවා, සද්දාරම්මණංවා, ගන්ධාරම්මණංවා, රසාරම්මණංවා, පොට්‌ඨබ්භාරම්මණංවා කියල පෙන්නනකොට ඊළ`ගට ඇති වන ප්‍රශ්නය තමයි කොහොම ද රූපාරම්මණයක්‌ කියල එහෙම නම් පනවන්නෙ කියන එක.

හැම වෙලාවක ම රූපාරම්මණයක්‌ කියල පනවන්නෙ රූපය ඇසුරු කරන, රූපය ආරම්මණයක්‌ බවට පත් කරගත්ත අපේ මනසට. නැතිනම් කාමාවචර, කාම භූමියේ සිතට තමයි රූපාරම්මණංවා, රූපය ආරම්මණයක්‌ වෙලා තියෙන්නෙ අපේ භූමියෙ අපේ මානසික මට්‌ටමට.

අද අපට රූපය අරමුණු කරන්න පුළුවන් 'අපේ' බවින්. කෙනෙක්‌ පුද්ගලයෙක්‌ ගැන හිතන්න පුළුවන්කම තියෙනව. නමුත් ඇත්තට ම වෙලා තියෙන දර්ශනයත් එක්‌ක බලනකොට අපිට කවදා වත් කෙනෙක්‌ පුද්ගලයෙක්‌ ගැන හිතන්න පුළුවන්කමක්‌ ලැබිල නැහැ.

අපි බලල තියෙන්නෙ, මෙනෙහි කරල තියෙන්නෙ අපේ ම හිත ගැන මිසක කවදා වත් කෙනෙක්‌ පුද්ගලයෙක්‌ කියන මට්‌ටමක්‌ හිතල නැහැ. අපි ඇසුරු කරන්නෙ ම අපේ ම හිත කියන මට්‌ටම තුළ.

ඒකයි මම කිව්වෙ අපි ශාලාව තුළ ඉන්නව කියල අපේ ම හිතේ හදාගත්ත ශාලාව ඇසුරු කරනව මිසක කවදා වත් ශාලාව ඇසුරු කරල නැහැ.

අපට හිතෙන්නෙ අපි ගෙදර යනව කියල. අපි මේ වෙනකල් කව දා වත් 'ගේ' විඳල නැහැ. මොකද එළියෙන් දකින යම් වර්ණ සටහනක්‌ තියෙනව නම් ඔබ ඒ වර්ණ සටහන ඇතුළට ගියහමත් විඳිනව ද? ඉතිරි නැති ව ම නැති වුණු ඒ වර්ණ සටහන ඇතුළට ගියහම විඳින්න පුළුවන්කමක්‌ ඇත්තෙ නැහැ. ඇතුළට අඩියක්‌ තියනව නම් තියන තියන අඩියෙ ම ස්‌පර්ශය විඳිනව මිසක. ඇහැට යම් අරමුණක්‌ ගැනෙකොට ඒ ඒ අරමුණ ම විඳිනව මිසක. අපි කවදා වත් තියෙන ගෙදරක්‌ විඳල නැහැ.

වර්තමානයක්‌ තුළ ම අපි ජීවත් වෙලා තියෙනව මිසක යථාර්ථය තුළ කවදා වත් තියෙන ගෙදරක්‌ මෙනෙහි කරල නැහැ. අපි හැම වෙලාවෙ ම අතීත අන්තය තුළ ඉඳල අතීතයෙන් වර්තමානය ඇසුqරු කරන නිසයි තියෙන ගෙදරක්‌ අපිට හම්බ වෙලා තියෙන්නෙ. නැතිනම් අපට ගේ කියන එක හැම දාම වර්තමානය තුළ හම්බ වෙන ගෙදර මයි. ඒක බාහිර තියෙන ගෙදරක්‌ කියල දකින්න එපා. වර්ණ සටහන අනුව මෙහේ හදාගත්ත ගෙදරක්‌ තමයි අපිට පෙනෙන්නෙ.

තියෙන ගෙදරක්‌ වින්ද කියන එක හැම වෙලාවෙ ම තියෙන්නෙ අතීත අන්තය ඇසුරු කරන අපට. ඊයෙ දවස තුළ දැකපු මේ මහත්තයයි අද දකින්නෙ කියන එක තුළ තියෙන්නෙ, ඊයෙ මේ මහත්තය දැකල ඇහැ, රූප, චක්‌ඛු විඤ්ඤාණ පිරිසිඳ නො දන්නාකම නිසා පුද්ගලයෙක්‌ බාහිරව හම්බ වුණු අපේ මනසට.

එතකොට සම්පූර්ණයෙන් අපි එකතු කරල තියෙන්නෙ ඊයෙ හම්බ වුණු බව ද? මගේ හිතේ ම උපදවාගත් ධර්මතාවක්‌ නිසා ද? හිතේ ම උපදවාගත් හිතේ ම හටගත් ධර්මතාවක්‌ නිසා. මට ඊයෙ දැකපු මහත්තයා අද දකින් පුළුවන්කම තියෙන්නෙ මේ හිතේ ම හටගත්ත ධර්මතාව පිරිසිඳ නො දන්නාකම නිසා.

එතකොට හිතේ ම පවතින ධර්මතාව පිරිසිඳ නො දන්නාකම තියන එක තුළ දකින්න, ඊයෙ මේ මහත්තය දැකපු වෙලාවෙ ම ඒ වර්ණ සටහන එතන ම ඉතිරි නැති ව නිරුද්ධ මයි. ඊයෙ නෙමෙයි දැනුදු මේ රූපායතනය දැකල අනෙක්‌ රූපායතනයක්‌ අපේ ඇහැට ගෝචර වෙනව නම්, නැතිනම් සෝත විඤ්ඤාණයක්‌ කියන තැන ගෝචර වෙනව නම් මේ රූපායතනය ඉතිරි නැති ව නිරුද්ධ මයි.

එතකොට මේ රූපායතනය ගැටෙන වෙලාවෙ දි යම් ඇහැක්‌ පැනෙව්ව නම්, යම් රූපයක්‌ පැනෙව්ව නම් ඇහැ රූප දෙක ම ඉතිරි නැති ව නිරුද්ධ මයි. අහුත්වා සම්භූතං උත්වාන භවිස්‌සති. පෙර නො තිබීම හටගෙන ඉතිරි නැති ව ම නිරද්ධ වුණා. මේ කියන දර්ශනය නැතිනම් රූපය කියන මට්‌ටම පෙර නො තිබීමයි හටගත්තෙ. ඉතිරි නැති ව ම නිරුද්ධ වුණා. දැන් අපට මේ පැත්ත බලනකොට මේ රූපායතනය පෙර නො තිබී ම හටගෙන ඉතිරි නැති ව ම නිරුද්ධ වෙනව. ආපහු මේ පැත්ත බලනකොට මේ දැකපු මහත්තය ම ආපහු දකින්න පුළුවන් බව අපිට හම්බ වෙනව. හැබැයි ඒ හම්බ වෙන්නෙ කලින් දෙය උපචය කරගත්ත නැතිනම් කලින් අර රූපායතනය රැස්‌ කරගෙන හිතේ හදාගත්ත මහත්තය රූපෙට තියල බඳින නිසයි.

හිතේ තියන මේ මහත්තය කියන බව මේ රූපෙට තියල බඳින නිසයි අපට හැම වෙලාවක දි ම කලින් හිටපු මහත්තය ඉන්නව කියන බව ඇති කරල තියෙන්නෙ. එතකොට ඒ කලින් හිටපු බව ගෙනල්ල දීල තියෙන්නෙ හැම වෙලාවක දි ම හිතේ මට්‌ටමකින් මයි. පවතින ධර්මතාවක්‌ විදියට වර්තමානයක්‌ විදියට යථාර්ථය පැවතිල තියෙන්නෙ හේතු පටිච්ච සම්භූතං හේතු භංගා නිරුඡ්Cධති කියන මට්‌ටම තුළ.

ඇහැ, රූප, චක්‌ඛු විඤ්ඤාණ තුන් දෙනා ගෙ එකතුව නිසා ම රූපය කියන දේ හටගෙන රූපායතනය ඉතිරි නැති ව ම නැති වෙනව. 17 පිටුවට...

ඒකෙ කෘත්‍යය තමයි හැම වෙලාවක ම මෙතන මහත්තයෙක්‌ ඉන්න බව ගෙනල්ල දෙන්නෙ නැහැ. වර්ණ සටහන් මාත්‍රයක්‌ මයි ගෙනල්ල දෙන්නෙ. යම් සංස්‌කාර මට්‌ටමකින් ධම්මායතනයෙ පරියාපන්න වුණ කෙනෙක්‌ කියන බව, මනුස්‌සයෙක්‌ කියන බව, නැතිනම් මහත්තයෙක්‌, මේ අහවල් කෙනයි කියන බව පිළිබඳව අපේ හිතේ යම් සංස්‌කාරයක්‌ තියෙනව නම් නැතිනම් ධම්මායතනයේ පරියාපන්න වුණු රූපයක්‌ තියෙනව නම් හිතේ තියෙන රූපය එළියෙ තියෙන එකට ගැටගහල බලනව. බලනකොට මේ ඊයෙ හිටපු මහත්තය අදත් ඉන්නව කියල හිතෙනව.

නමුත් ඇත්තට ම වෙලා තියෙන්නෙ අපට පනවන්න බැහැ, ඊයෙ හිටපු කෙනා අදත් ඉන්නව කියන තැනකින් පනවන්න පුළුවන්කමක්‌ ඇත්තෙ නැහැ. මොකද ඇහැ කියන ධර්මතාව පැනෙව්වෙ ඉපදිල නැති වෙන තැනකින් නම් රූපය පැනෙව්වෙත් දැන් ඉපදිල දැන් නැති වෙන තැනකින් නම් අපිට ඊයෙ හිටපු කෙනා අද දකින්න පුළුවන් කියල පනවන්නෙ අවිද්‍යා සහගත මානසික මට්‌ටමකට ම හිතයි රූපයයි කියන තැන පිරිසිඳ නො දකින මේ දෙක ම අතීතය සහ වර්තමානය කියන දෙක එකට ගැටගැහීම තුළ.

අපි වර්තමානය තුළ විතරක්‌ ජීවත් වෙනව නම් අපිට කවදා වත් මේ මහත්තය ඊයෙ දැකපු කෙනා වෙන්න පුළුවන්කමක්‌ ඇත්තෙ නැහැ. Ñඅතීතං නාන්වාගමෙයH නප්පටිකංකේ අනාගතං යදතීතං පහීනන් තං අප්පත්තංච අනාගතං

අතීතං නාන්වාගමෙයH - අතීත අන්තයට යන්නෙ නැති ව අපිට අනාගතයත් ප්‍රාර්ථනා කරන්නෙත් නැති වයි ඉන්න වෙන්නෙ. යමක්‌ අතීත නම් ඒක ප්‍රහීන මයි. ඒක නිරුද්ධ වෙලා ගිහිල්ල මයි. අප්පත්තංච අනාගතං - අනාගතේ තාම පැමිණිල නැහැ. පච්චුප්පන්නංච යේ ධම්මෙ තත්ථ තත්ථ විපස්‌සති - වර්තමානයෙ යම් ධර්මතාවක්‌ තියෙනව නම් අපිට ඒක ඒ ඒ තැනයි ඇති හැටියට දකින්න වෙන්නෙ.

එතකොට වර්තමානය තුළ තත්ථ තත්ථ විපස්‌සති කියන ඒ ඒ තැන පිරිසිඳ දකිනව කියන මට්‌ටම තුළ අපට මේ රූපායතනයට ඊයෙ දැකපු මහත්තය කියන එක ගැටගහන්න පුළුවන්කමක්‌ ඇත්තෙ නැහැ.

අතීත අන්තය නිරුද්ධ වෙලා නම්, අතීතය කියන එක ඉතිරි නැති ව ම ඉවර වෙනව නම් අපිට අතීතය කියන එක හැම වෙලාවෙ ම පනවන්න වෙන්නෙ මනෝමය මට්‌ටමෙන්. නාම ධර්මතා ටික පිරිසිඳ නො දකින අපිට. කවදා වත් ඊයෙ දැකපු මහත්තය අපිට අද දකින්න පුළුවන්කමක්‌ ඇත්තෙ නැහැ මයි. ඒක ඒ අවස්‌ථාවෙ හේතු ප්‍රත්‍යයෙන් ඒ අවස්‌ථාවෙ හටගත්ත දේ. ඒ අවස්‌ථාවෙ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ අපිට අද දවසෙ දි දකින්න බැහැ. අද වෙන ම (පෙර) නො තිබී ම හටගන්න හේතු ප්‍රත්‍ය ධර්මතා ටිකකුයි අද හටගන්නෙ.

එතකොට හැම වෙලාවක ද ම අපට ඊයෙ හිටපු පුද්ගලය, ඊයෙ හිටපු කෙනා අද හම්බ වෙන්න, අද ඇසුරු කරන්න පුළුවන්කමක්‌ ඇත්තෙ නැහැ. ඔන්න ඔය දර්ශනයට පැමිණුණොත් තමයි ආපු ගෙදරට යන්න බැරි මනස ගොඩනැෙ`ගන්නෙ. ඔය පින්වතුන් ගෙදර ඉඳන් මෙතෙන්ට ආව කියල එකක්‌ තියෙනව නම්, මෙතන ඉන්නකොට ගේ එහේ තියෙනව කියල එකක්‌ තියෙනව නම් දැන් යන හේතුව නතර කරන්න බෑ තියෙන ගෙදරකට. තියෙන ගෙදරට ඔබ යනව ම තමයි. මේ කය අරගෙන යන්න බැරි නම් මේ කය මෙතන දාලා විඤ්ඤාණයක්‌ වශයෙන් ගේ විඳින්න පුළුවන් මට්‌ටමක ප්‍රතිසන්ධියක්‌ හරි ගන්නව. ඒක නිසා හැම වෙලාවක දි ම ආයතන ටික කියන එක අපි ම සකස්‌ කරගෙන අපි ම විඳින මට්‌ටමකුයි තියෙන්නෙ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.