ජාතක පොතෙන් - විමංස ජාතකය
දිසාපාමොක්‌ ඇදුරිදුගේ දියණිය
දිනාගන්නට සොරකම් කිරීමේ තරගයක්‌!


සුගත් වීරසූරිය

බරණැස්‌ නුවරට සැඳෑ අඳුර ගලා ආවේය. පිරුණු සඳමඬල හිමි හිමින් නැඟී ඇවිත් කඳු අතරින් සිනාසෙන්නට පටන් ගත්තේය.එදින පැවැති සෞම්‍ය හිරුගේ කිරණ සවස්‌ කාලය වනවිට අතුරුදන්ව ගියෙන් පරිසරය සිහිල්වී තිබිණි.ගස්‌වල මල් පිරී තිබුණි. ගිරි ශිකර තුළින් ඇදී ආ පුංචි දිය කඳුරුවලින් සිහින් හඬක්‌ නැඟිණි. මුළු ලොව මහා ගැඹුරු නිහඬතාවක ගිලුණේය. මේ අසිරිමත් සොඳුරු පරිසර සිරියාවන්ගෙන් පිරී පැවති රාත්‍රිය හෝරා ගණනාවකින් ඉක්‌බිති ගෙවී ගියේය. එදින උදැසනට ළා හිරු පායන්නට පටන් ගත්තේය.

මහ බෝසතාණන් වහන්සේ බමුණු කුලයක සොඳුරු මානවකයකු ලෙස උපත ලබා සිටියේය. සැබැවින්ම මේ බමුණු මානවකයා මහත් සේ අසිරිමත් තරුණයෙක්‌ වී. ඔහු දෙස බැලූ කිසිවකුට යළිත් වරක්‌ හැරී ඔහු දෙස බලන්නට සිත් වූයේ ඔහුගේ රුවෙහි වූ මේ අසිරිමත් ස්‌වරූපය නිසාම නොවේ. ඔහු ඒ රුවට ගැළපෙන ලෙසින් වූ සිත් පැහැරගන්නා ගුණ රුවකින්ද සමන්විතව සිටියේය. කරුණාව, මෛත්‍රිය හා අනෙක්‌ යහ ගුණයන්ගෙන්ද හැම අතින් පොහොසත් බව ලබා සිටි මේ බෝසත් මානවකයාට දෙවියන්, බඹුන්, යකුන් හා තිරිසන් සත්වයන්ද අවනත නොවූයේ නම් ඒ පුදුමයක්‌ නොවේ. මොහු බරණැස තක්‌සලාවෙහි මහ ඇදුරු දිසාපාමොක්‌ ආචාර්යවරයාගෙන් ශිල්ප හදාරමින් සිටියේය. ඒ ඔහුගේ ප්‍රධාන ශිෂ්‍යයා ද හැටියටය.

දිසාපාමොක්‌ ඇදුරුවරයාගේ දියණියද ශිල්ප ලබමින් සිටියේ මේ තක්‌සලාවේමය. ඈ බෙහෙවින් රූසිරින් යුතු වූවාය. ගුණයෙන් මෙන්ම නුවණින්ද අගපත් ශිෂ්‍යයාට මේ ඇදුරිදු දියණිය විවාහ කරදීම එකල තක්‌සලාවේ නොකඩවා පැවත ආ සිරිත විය. ඇදුරුවරයාගේ සිතෙහි තිබුණේද මේ තුරුණු මානවකයාට මේ බමුණු තරුණයා කෙනෙක්‌ සුදුසු දැයි තවත් පරීක්‌ෂා කරන්නට ඇදුරුවරයාට වුවමනා වූයේ නැත. එහෙත් දවසක්‌ මේ තරුණයාගේ සීලය පරීක්‌ෂා කරන්නට ඇදුරු සැලසුමක්‌ සකස්‌ කළේය. එයට අනුව මුළු තක්‌සලාවේම සිසු පිරිස එකතැනකට කැඳවනු ලැබීය. එසේ කැඳවූ ඇදුරු තෙම ඔවුන්ට කතා කළේය.

''මාගේ යහපත් සිසුවනි. මාගේ රූපත් දියණිය දැන් විවාහ විය යුතු වසයට පැමිණ සිටිනවා. ඇය නුඹලාගෙන් එක්‌ අයකුට සරණපාවා දෙන්නට මා කල්පනා කළා. ඉතින් අසිරිමත් සළුපිළි හා ස්‌වර්ණාභරණවලින් ඇය සරසන්නට මා හට අවශ්‍යව තිබෙනවා. දැන් ඉතින් නුඹලා තම තමන්ගේ ගෙවල්වලට යන්න. එසේ ගොස්‌ කිසිවකුටත් නොදැනෙන නොපෙනෙන සේ ඉතා රහසිගතව මෙයට අවශ්‍ය වස්‌ත්‍ර හා අභරණ සොරකම් කර ගෙන එන්න. කිසිවකුට නොදැනෙන නොහැඟෙන ආකාරයෙන් සුක්‍ෂම ලෙස මේවා සොරකම් කරගෙන ආ කෙනාට මගේ දියණි මා විවාහ කර දෙනවා'' දිසාපාමොක්‌ ආචාර්යවරයා කීවේය.

සියලු ශිෂ්‍යයෝ මේ දෙස බලා සිටියේ ඉතා තුෂ්ණිම්භූතවය. මේ ඇදුරුවරයාගේ මේ කතාව ගැන ඔවුන් එක දිගට කිසිවක්‌ හිතුවේ නැත. ඒ තරමටම ඔහුගේ මෙම කතාව විශ්වසනීය බවකින් පිරී තිබුණේය. එහි වචන පවා දැඩි ආකර්ෂිත බවකින් යුතු විය. නමුත් බෝසත් මානවකයා මේ කතාව ගැන ගැඹුරට හිතන්නට පටන් ගත්තේය. ඔවුහු විසිර ගියහ. කාලයේ ගඟ හෙමි හෙමින් ගලාබැස්‌සේය. හිරු නැඟෙන හෝරා ගණනාවක්‌ ගෙවී ගිය පසු ඒ හිරු බැස ගියේය. කුරුල්ලෝ මිහිරි කූජන නැඟූහ. බරණැස්‌ නුවරට ඈත එපිටින් පෙනුණු කඳු වැටිවලට රාස්‌සියේ අව්වවැටී රන්වන් පැහැ ගෙන තිබුණේය. ඊට ඉහළින් අහස වසා පැවැති සැඳෑ වළා පෙළ සුරත් පැහැ ගෙන තිබුණේය.

සිසු පිරිස විසින් සොරකම් කරගෙන ආ යුතු සළුපිළි හා අබරණ රැගෙන ආ යුතු දිනය උදාවිය. ඇදුරුවරයාගේ අතිශය රූප සෝබාවයෙන් යුතු කුමරිය කෙරෙහි මහත් සේ ඇලුම් කළ ශිෂ්‍යයෝ අනේක විධ වූ ඇඳුනුත්, අබරණත් සොරකම් කරගෙන පැමිණියෝය. ඒ සියල්ලක්‌ම ඔවුහු ඇදුරුවරයාට භාර දුන්හ. ඇදුරුවරයා ඒ සියල්ලක්‌ම භාරගත්තේ ඒ ඒ ශිෂ්‍යයාගේ නම හා ස්‌වරූපයද හොඳ හැටි මතකයේ තබාගෙනය. අන්තිමට ආවේ බෝසත් ශිෂ්‍යයාය. ඔහු දුටු සියල්ලෝම පුදුමයකින් බලා සිටියෝය. ඒ අනෙක්‌ කාරණයක්‌ නිසා නොව ඔහු අත කිසිම බඩු මුට්‌ටුවක්‌ තිබුණේ නැත. ඉතාමත් පිළිවෙළට ඇඟ මත තිබුණු ඇඳි වතින් පමණක්‌ යුතුවූ ඔහු ආවේ හිස්‌ අතිනි. අනෙක්‌ හැම ශිෂ්‍යයෙකම් ඔහු දෙස බලාගෙන සිටියේ විවරවූ මුවවලින් යුක්‌තවය. ඒ හැම මුහුණකම විශ්මය හා කුතුහලය පිරී පැවැතිණි. ඒ අතර ඇදුරුවරයා ඔහුට කතා කළේය.

''හා මානවකය, ඇයි මේ නුඹ කිසිම දෙයක්‌ නොගෙනාවේ. ඇත්තටම නුඹට මගේ දුව ගැන කිසිම ආදරයක්‌ හෝ හැඟීමක්‌ නැද්ද? නුඹ නම් මහා අවාසනාවන්ත තරුණයෙක්‌'' ඇදුරුවරයා කීවේය. බෝසත් මානවකයා පිළිවදන් දුන්නේය.

පින්වත් ගුරුතුමනි, ඇත්තටම මට ඔබේ දියණිය ගැන මහා ආදරයක්‌ සිත තුළ තිබෙනවා. ඇය කොතරම් රූසිරියකින් යුතු වෙනවාද? ඇය සතු ගුණ රුවෙහි සුවඳ ඒ හැමටම වඩා බොහෝ ඉහළයි. ඉතින් මට ඇය නැති ලෝකයක්‌ ගැන සිතාගන්නටවත් නොහැකියි. මා මොහොතක්‌ මොහොතක්‌ පාසා ඇය ගැන කල්පනා කරනවා. ඒත් මා ඔබ පැවසූ කිසිවක්‌ සොරකම් කරගෙන ආවේ නම් නැහැ. බෝසත් ශිෂ්‍යයා සිහින් හඬින් මිමුණුවේය. සමවතකට සම වැදුණාක්‌ මෙන් ඔහුගේ මුහුණ දෙස බලා සිටි දිසාපාමොක්‌ ඇදුරුවරයාගේ දෙනෙතට කඳුළක්‌ නැඟිණ. එහෙත් ඔහු කතා කළේය. දැඩිව කතා කළේය. ප්‍රිය ශිෂ්‍යය ඇත්තටම ඒ ඇයි සිසුවා යළිත් කතා කළේය.

''ගුරුතුමනි, ඒ නුඹ වහන්සේ සොරකම් නොකළ දේ භාර නොගන්නා නිසයි. සොරකම් කරගෙන ආ දේ භාරගන්නා නිසයි.''

ඇදුරුවරයාගේ නළල රැළි ගැන්විණි.

''අහෝ දරු නුඹ කදිම අවාසිදායක සිතුමක නොවේද පිහිටා සිටින්නේ'' ඇදුරුවරයා කීවේය.

ඇදුරුවරයා මේ ඉසියුම් ලෙස සිදුකරන්නේ ප්‍රයෝගයකැයි බෝසත් මානවකයාට නොසිතුණේය. ඒ අනුව ඔහු නැවතත් කතාකරන්නට පටන් ගත්තේ මුළු හදවතින්ම උපන් මහා අවංක බවකිනි.

''පින්වත් ගුරුදේවයිනි, සොරකම් කිරීම පාපයක්‌ ලෙස මා දැඩිකොට සිතනවා. මා එලෙසින් නොසිතුවත් සොරකම් කිරීම පාපයක්‌මයි. එය රහසේ කළා කියා පවින් හෝ කම්පල නොදීමෙන් තොර වන්නේ ද නැහැ. ඒත් මේ ලෝකය තුළ රහසේ සොරකම් කරන අය අපමණ ජීවත්වෙනවා. පාපකර්ම රහසේ සිදුකරන ඔවුන් ඒවා සදාකාලික රහස්‌ ලෙස සුරකින්නට හැකි යෑයි කියාද සිතනවා. නමුදු එය මුළාවක්‌මයි. ඇදුරුතුමනි, එලෙසින්ම මේ ලෝකයේ කොතැනකත් රහසේ නම් කරන්නට පිළිවන් ස්‌ථානයක්‌ද නැහැ.''

''ඉදින් මාගේ ගුරුතුමනි, පින්වත් ගුරුතුමනි, සිතන්න. සිතන්න. කෙනකුට හැකිතාක්‌ මිනිසුන්ගෙන් වසන්වී පවක්‌ සිදු කරන්නට පිළිවන්. එහෙම වුණත් එය හාත්පස සිටින නොපෙනෙන දෙවිවරුන් දකිනවා. සැකෙවින්ම කියනවා නම් ඇවුරුදු කෝටි ගණනක්‌ ගෙවී ගියත් කවදාක හෝ කෙනකු කළ පාපය හෝ අපරාධය හෙළි වෙනවා. ඒ වාගේම ඊට සමාන කර්ම විපාක ඔවුනොවුන් කරා පැමිණෙනවා. ඒ හරියටම ගොනු බැඳි රිය අතහැර ගොනු පසු පසම හඹා යන රථ රෝදය සේමය. එහෙයින් ඇදුරුතුමනි, මා ජීවිතය නැති වුණත් කවරදාකවත් සොරකමක්‌ නම් කරන්නේ නැහැ'' යි ඉතාමත් හැඟුම්බර ස්‌වරයකින් බෝසත් ශිෂ්‍ය මානවකයා පැවසුවේය.

දිසාපාමොක්‌ ආචාර්යවරයා ඔහු දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේය. ශිෂ්‍යයාගේ අප්‍රමාණ ගුණ ප්‍රවාහය හමුවේ ඔහුගේ හදවත වෙඬරු පිඬක්‌ මෙන් උණු වී ගියේය. ඔහුගේ දැසින් කඳුළු කැට කඩා හැළිණි. ඒ දුක්‌ කඳුළු නොවේ. පමණ කළ නොහැකිවූ සොම්නසක සතුටු කඳුළුය. හෙතෙම බෝසත් ශිෂ්‍ය මානවකයා ආදරයෙන් වැළඳ ගත්තේය.

''පුතණුවනි, පින්වත් පුතණුවනි, මාගේ රූ සිරින් යුත් දියණිය විවාහ කරදෙන්න මේ ලෝකයේම සිsටින සුදුසුම පුත්‍රයා නුඹය. මම නුඹට ඇය සරණකර දෙමි. එය ඇයගේ මෙන්ම මගේත් වාසනාවයි. ඇදුරුවරයා කීවේය. ඊට දින කිහිපයකට පසුව ඇදුරිදු දියණියගේත්, බෝසත් ශිෂ්‍ය මානවකයාගේත් විවාහ මංගලෝත්සවය මහත් උත්කර්ෂවත් අන්දමින් සිදුකෙරිණි. බෝසත් ශිෂ්‍ය මානවකයාගේ සිතෙහි ඇතිවූ සතුටෙහි නිමක්‌ නැතිවිය. ඒ තමා මෙතෙක්‌ ප්‍රාර්ථනා කළ සිතූ දෙය ඔහුට ලැබුණු බැවිනි. ඒ ලැබීම ඔහුට දැනුණේ මුළු ලෝකයම ලැබුණාටත් වඩාය.

විවාහ මංගලෝත්සවය අවසන් වුණු පසුව ආචාර්යවරයා අනෙක්‌ ශිෂ්‍යයන් කැඳවීය.

''මා ප්‍රිය ශිෂ්‍යයිනි, නුඹලා දුටුවාද? අර තුරුණු දක්‌ෂ සිසුවාගේ ජීවන චරිතය. ඔහු ජීවිතය නැති වූවත් කිසිම පාපයක්‌ සිදුකරන්නට පෙළඹෙන්නේ නැති හැටි නුඹලා දුටුවාද? නුඹලාට මා සොරකම් කරන්නට කී බව සැබැයි. ඒත් ඒ ඇත්තට නම් නොවෙයි. මා එසේ කීවේ නුඹලාගේ සීලය හා ප්‍රඥව පරීක්‌ෂා කර බලන්නටයි. නුඹලාට එය සිතාගන්නටවත් නොහැකි වුණා. කමක්‌ නැහැ. මෙයින් මත්තටවත් කිසිම පාපයක්‌ සිදුකරන්නේ නැතිව ජීවත්වෙන්නට සිතාගන්න. යන්න. දැන් අර සොරකම් කරගෙන ආ සොර බඩු නුඹලාගේ නමින්ම පිළිවෙලට තබා තිබනෙවා. ඒවා අරගෙන නුඹලාගේ ගෙවල්වලට භාරදෙන්න. ඇදුරුවරයා තෙපළේය.

ලෝකය දෙස මඳක්‌ නැවතී බලන්න. සොරකමද ඇතුළු සහස්‌ සුවහස්‌ ගණනකටත් වැඩිවූ පාපකර්මයන්ගෙන් එය කොතෙක්‌ නම් පිරී ඉතිරී පවතිනවාද? එහෙත් ඒ හැම පවක්‌ම කවදාවත් ඔබට සදාතනික රහසක්‌ සේ රකින්නට බැරිය. කවදා හෝ හෙළිවන්නේය. ඒ නැතද එය ඔබගේ හෘදය සාක්‌ෂියෙන් වසන් කරන්නට නොහැක්‌කේමය. අනෙක්‌ පසින් එය ඔබ සංසාරයේ වපුරන බීජයද වන අතර ආපසු ඔබට ලැබෙන්නේද එයි අස්‌වැන්නමය. එය ඔබ හොඳට මතක තබාගත යුතු දෙය වන අතර, මේ සීලවිමංස ජාතකයෙන්ද පෙන්වාදී ඇති සුමධුර සදහම් පනිවුයඩද එයයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.