ස්‌තූප වටා සිවුරු හා බෞද්ධ කොඩි පැළඳවීම
කප්රුක්‌ පූජාවද? කඤ්චුක පූජාවද?


දයාපාල ජයනෙත්ති

බුදුරජාණන් වහන්සේ උදෙසා කරන අති ගෞරවනීය පූජාවක්‌ වශයෙන් සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත්කොට ඉදිකරන ලද චෛත්‍යන් වන්දනා කිරීම අතීත යුගයෙහි සිටම ලක්‌වැසි ජනතාවගේ පුද සිරිතක්‌ව පවතී.ලක්‌දිව ඉදිකොට ඇති සියලුම චෛත්‍යයන්හි බුදුරජාණන් වහන්සේගේ හෝ රහතන් වහන්සේ නමකගේ හෝ ශාරීරික ධාතූන් වහන්සේ නමක්‌ නිදන්කොටතැන්පත්ව ඇති බව බෞද්ධ ජනතාවගේ විශ්වාසයයි. මේ බව තහවුරු කරමින් පුරාවිද්‍යා මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා දැක්‌වූ නිගමනයක්‌ පහත දැක්‌වෙයි.

''අවුරුදු දෙදහස්‌ පන්සියයකට පමණ පූර්වයෙහි මෙලොව විසූ ශාස්‌තෘවරයකුගේ ශාරීරික ධාතු මෙකල ලබාගත හැක්‌කේ කෙසේදැයි බුදු සමය ගැන සිතන්නකුට විමසිය හැකිය. එහෙත් අලුතින් ස්‌තූපයක්‌ ඉදිකරනු ලබන සෑම අවස්‌ථාවකදීම නියම සර්වඥ ධාතුවක්‌ ලෙස විශ්වාස කළහැකි ධාතුවක්‌ ලබාගැනීම සැදැහැවතෙකුට එතරම් අසීරු කාරණයක්‌ නොවේ.''

(ලංකාවේ ස්‌තූපය - පුරාවිද්‍යා ගවේෂණයේ ශාස්‌ත්‍රීය නිබන්ධන ඪ වැනි කාණ්‌ඩය 1981 1 පිටුව)

එපරිද්දෙන් සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත්කොට ඉදිකර ඇති චෛත්‍යයන් වන්දනා කිරීමේදී සැදැහැවත් බෞද්ධ ජනකාය අතීත යුගයේ සිටම නොයෙක්‌ පුද පූජා පිළිවෙත් අනුගමනය කරමින් බුදුරජාණන් වහන්සේට තම අපමණ සැදැහැ බැති පෙම පළ කළ අයුරු පුරාවිද්‍යා සාධක හා ඓතිහාසික තොරතුරු ඇතුළත් පොත පතින්ද වර්තමානයේ සිදුකරනු ලබන පුද පූජාවලින්ද වටහාගත හැකිය. සෑ මළුවේ සිවු කොනේ පිහිටුවා ඇති වාහල්කඩ හා බුදුකුටිවලද පුදසුන් මතද මල්පහන් හා සුවඳ දුමින් පුද පූජා පවත්වන අයුරු දිනපතා දැකිය හැකිය. සෑම මළුවේ සිදුකරනු ලබන මෙම පුද පූජාවලට අමතරව ස්‌තූපයේ පේසාවළලු වටා මෙන්ම ස්‌තූප ගර්භය වටාද විවිධ පුෂ්පමාලා දාම, විදුලි බුබුළු සැරසිලි මෙන්ම කාසාය වස්‌ත්‍ර හා ෂඩ් වර්ණ රෙදි පිළි (බොද්ධ කොඩි) පළඳවා වන්දනාමාන කිරීම වර්තමානයේ බෙහෙවින්ම දක්‌නට ලැබේ.

චෛත්‍යයේ ගර්භය වටා කාෂාය සිවුරක්‌ හෝ ෂඩ් වර්ණ කොඩි ඇතුළත් පළඳනාවක්‌ හෝ යොදා වන්දනාමාන කිරීම නූතන යුගයේ ඇතැම් දෙනා හඳුන්වන්නේ 'කප්රුක්‌ පූජාව' වශයෙනි. මෙම සදොස්‌ ව්‍යවහාරය නිසා අතීතයේ සිට පැවත ගෙන ආ එම මහාර්ඝ ස්‌තූප වන්දනා පුද පිළිවෙත නිගරුවට ලක්‌ කිරීමක්‌ වේ දොaයි එහි අරුත් වදන්වලට ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය අරුත් දෙන්නේ'කල්ප වෘක්‌ෂය' ලෙසිනි. කප්රුක යන්න සිතු පැතූ සම්පත් ලබාදෙන වස්‌තුවක ලෙස සැලකීමට පැරැන්නෝ පෙළඹුණහ. විහාරස්‌ථානයන්හි කඨින පිංකම් අවසානයේ පවත්වනු ලබන පරිත්‍රාණ ධර්ම දේශනා පුණ්‍ය කර්මය සඳහා ශාකා සහිත ගසක කොටසක්‌ පසෙක හිඳුවා තැබීම මෑත අතීතයේ සිට පවත්නා චාරිත්‍රයකි. එම ගසේ අතු රිකිලිවල සැදැහැවත් ජනයා විවිධ උපභෝග පරිභෝග වස්‌තූන් එල්ලා තැබීම මහත් ඵල ගෙන දෙන පින් කිරියවතක්‌ ලෙස සැලකිණි. මෙම ගස හඳුන්වන්නේ කප් රුක වශයෙනි. ඒ අනුව කප් රුකක්‌ චෛත්‍ය පළඳනාවක්‌ ලෙස පූජා කරන්නේ කෙසේද යන විමතිය ඇතිවේ.

චෛත්‍යයක්‌ වටා හෝ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වෙනත් බෝධි වෘක්‌ෂයක්‌ වටා හෝ පළඳනාවක්‌ යෙදීම හැඳින්විය යුත්තේ කඤ්චුක පූජාවක්‌ වශයෙනි. කඤ්චුක යන වදන සඳහා ශබ්දකෝෂ අරුත් ඇත්තේ සැට්‌ටය, සන්නාහය හෝ පළඳනාව යන පර්යාය පදවලිනි. මේ උතුම් පූජාව පිළිබඳ අතීත සම්ප්‍රදාය විමසා බැලීමෙන් එම යෙදුමේ නිරවද්‍යතාව වටහාගත හැකිය.

අනුරාධපුරයේ මහාථූපය කරවූ දුටුගැමුණු රජතුමාට තම ජීවිතයේ අවසාන කාලය ළංවන විට එය නිම කළ හැකිවූයේ සතරැස්‌ කොටුව දක්‌වා පමණි. මියයැමට පළමු මහාසෑය නිමවා සම්පූර්ණ වූ විට පෙනෙන ආකාරය දැක ගැනීමේ බලවත් ආශාවක්‌ රජතුමා තුළ ඇතිවිය. රජුගේ මල් සද්ධාතිස්‌ස කුමරු රජුගේ අභිලාෂය මුදුන්පත් කරනු සඳහා කටයුතු යෙදූ අයුරු මහාවංශය සඳහන් කරන්නේ මෙසේය.

'මෙකුමරු සන්නාලින් ලවා සුදු පිළියෙන් සැට්‌ටයක්‌ (කඤ්චුකයක්‌) කරවා එයින් සෑය වැස්‌වීය. සිත්තරුන් ලවා ඊමත වේදිකාවක්‌ (ගරාදිවැට) ද පුන්කළස්‌ පන්තීන් හා පංචාංගුලික පන්තීන්ද සිත්තම් කරවීය. වඩුවන් ලවා හුණු දඬුමුවා ඡත්‍රය ද මුද්ධ වේදිකාවෙහි කරපත්මුවා හිර සඳද කරවීය. මෙසේ කළ සෑය ලාකඩින් හා කුංකුට්‌ඨක නම් දැයින් සිත්තම් කරවා සෑයෙන් කටයුතු කිස නිමියේය යි රජුට දැන්වීය.'

ශ්‍රී ලංකාවේ ස්‌තූපය, පරණවිතාන - 26 පිටුව)

එය වූ කලී චෛත්‍යයක්‌ වටා කඤ්චුකයක්‌ යෙදූ පළමුවැනි අවස්‌ථාව වෙයි. පසු කලෙක භාතිය රජු විසින්ද මහා ථූපය වටා කඤ්චුකයක්‌ පළඳවා පුද පූජා පෙරහැර පැවැත්වූ බවට වංශකතා ඇතුළු බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ සාක්‌ෂි දරයි. කණ්‌ඨක සෑයේ පේසා වළලු වටා ගඩොලින් කඤ්චුකයක්‌ ඉදිකොට ස්‌තූපය ශක්‌තිමත් කළ බවද අනතුරුව තවත් රජකු විසින් ශෛලමය කඤ්චුකයක්‌ යොදා එය විශාල කොට තහවුරු කළ ආකාරයද පුරාවිද්‍යා ගවේෂණයන්ගෙන් හෙළි කරගෙන ඇත. මහා දාඨික මහානාග රජතුමා මහා ථූපයේ වෘත්තාකර මාලකය වටා ශෛලමය පුෂ්පදානයක්‌ කළ බව වංසත්තප්පකාසිනියෙහි දැක්‌වෙයි. එය පද්මයක්‌ විකසිත වන්නාක්‌ මෙන් නිර්මිත වූ බව 'පදුම විකසිත කිඤ්චික්‌ඛ පාසාණෙ' යන යෙදුමෙන් හෙළි වෙයි.

අතීත යුගයේ සිටම රාජකීය ප්‍රභූන් ඇතුළු සැදැහැවත් ජනතාව විසින් මහ පෙරහැර පවත්වා චෛත්‍යයන් පැදකුණු කොට දාගැබ වටා පළඳවන ලද කඤ්චුකයන්, දේවතා රූප, පද්ම, හංස, හස්‌ති හා මල්කම් මෝස්‌තරවලින් යුතුව පැවැති බව ඒ පිළිබඳව දැක්‌වෙන වර්ණනාවලින් හෙළිවෙයි. ස්‌තූපයේ පේසා වළලු දිගේද ගර්භය වටාද පුණ්‍ය සංකේත ඇතුළත් කඤ්චුකයක්‌ පැළඳවීමේ සිරිත නූතන යුගය දක්‌වාම විකාශනය වෙමින් පවතී.

චෛත්‍ය වන්දනාව සඳහා යොදාගනු ලැබූ එකී පළඳනාව විවිධ නම්වලින් කලින් කල හඳුන්වා තිබිණි. 'ආයාග පට' නම් කඤ්චුක පළඳනාවක්‌ කළ චෛත්‍ය පූජාවක්‌ ගැන අපදාන පාලි ධර්ම ග්‍රන්ථ පාඨයකින් අනාවරණය වෙයි.

'භට්‌ඨො භට්‌ඨෙන චිත්තෙන

අමන්දිං ථූපමුත්තමං

වඩ්ඪකෙහි කථා පෙත්වා මූලං

දත්වාන හං තදා

භට්‌ඨො භට්‌ඨෙන චිත්තෙන

ආයානං කාරපෙය්යහං

දුග්ගතිං නාභි ජානාමි

ආයාගස්‌සං ඉදං ඵලං'

'තුටු පහටු සිතින් යුතුව බුදුරජාණන් වහන්සේගේ උත්තම ස්‌තූපය වන්දනා කළෙමි. නිර්මාණ ශීල්පීන්ගෙන් (වඩ්ඪකෙන) උපදෙස්‌ ගෙන වියදම් පිරිමසා ආයාගයක්‌ කරවා ලීමි. එම ආයාගය හේතුකොට මම අගතියක ඉපදීමක්‌ ගැන නොදනිමි. මේ වූ කලී එම ආයාගය පැළඳවීමේ ප්‍රතිඵලයයි.'

එකී උදානය පහළ කරන ලද්දේ මේ මහා භද්‍ර කල්පයෙහි ආයාගයක්‌ (කඤ්චුකයක්‌) දානය කිරීමෙන් රහත් ඵල ලැබීමට හේතු වාසනා ලද එක්‌තරා තෙරනමක විසිනි.

ලංකාවේ පැරැණි සෙල් ලිපිවලට 'අයක' නමින් හැඳින්වුණු මෙම චෛත්‍ය සැරසිල්ල පැරැණි ඉන්දියාවේ ඇතැම් ස්‌තූපයන්හිද යොදා තිබුණේ යෑයි පුරාවිද්‍යා සාක්‌ෂි පරීක්‌ෂා කිරීමෙන් පසුව මහාචාර්ය පරණවිතානයෝ පෙන්වා දුන්හ.

(ලංකාවේ ස්‌තූප 30 පිටුව)

ලක්‌දිව චෛත්‍ය වන්දනාව උදෙසා කරන ලද කප්රුක්‌ පූජාවක්‌ ගැන කිසිදු පොතපතක හෝ ජනවහරේ හෝ සඳහන් නොවෙයි. කප්රුකක්‌ සිටුවීම සිදුවූයේ ගම්මඩු දෙවොල් මඩු, ශාන්ති කර්ම උදෙසා සහ ඇතැම් ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමට පෙරාතුවය. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දේවාල පෙරහැර ආරම්භ කිරීමට පෙර කප් සිටුවීමේ මංගල්‍යයක පැවැත්වෙයි. ඒ වූ කලී දේව ඇදහිල්ලක ක්‍රම විකාශයෙන් පහළ වූවක්‌ විය හැකිය. එහෙයින් කප්රුක්‌ පූජාව යන්න චෛත්‍ය වන්දනාව උදෙසා භාවිත කිරීමට කිසිසේත් නොසුදුසු වදනකි. එය හැඳින්විය යුත්තේ 'කඤ්චුක පූජාව' ලෙසින්මය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.