සියම් නිකාය හා කුල ක්‍රමය

ශාස්‌ත්‍රවේදී එස්‌. සීලරතන හිමි

මානව සමානාත්මතාව ඉතා ඉහළින් අගය කරමින් බ්‍රාහ්මණ සමාජය විසින් ව්‍යවස්‌ථාපිතව භාරතීය සමාජයේ මුල් බැසගෙන තිබුණු වර්ණ භේදවාදයට එරෙහිව අභීත හඬක්‌ නැංවූ බුදුරජාණන් වහන්සේ මානව සමාජ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතර සමාජ සංස්‌කාරකයකු බව අවිවාදිතය. එබඳු ශාස්‌තෘවරයකුගේ ශාසනයක කුලවාදයක්‌ තිබිය යුතු නැතැයි තර්ක කරන ඇතැම්හු මෑත යුගයේ පැරැණිතම වූත්, රාජපූජිත වූත් සියම් නිකාය වෙත ඇඟිලි දිගු කිරීමට සාහසික වෙති. එහෙත් එවැනි චෝදනා ඉදිරිපත් කරන්නේ නිකාය ඉතිහාසය පිළිබඳවත් ප්‍රස්‌තුත ගැටලුව හා නිකාය කතිකාවත් පිළිබඳවත් අදාළ ගැටලුව විසඳීමේ බුද්ධිමය ප්‍රවේශ මාර්ග පිළිබඳවත් අවබෝධයක්‌ නොමැති අවිදග්ධයක්‌ විසිනි.

මෙහිදී පළමුවෙන් විමසා බැලිය යුත්තේ සියම් නිකාය කුලීන යෑයි සම්මත ප්‍රජාවට පමණක්‌ පැවිදි උපසම්පදාවන් සීමාකොට ඇත්තේ මක්‌ නිසාද යන්නයි. කුල භේදය බෞද්ධ භික්‌ෂු සමාජය විසින් නිර්මාණය කරනු ලැබූවක්‌ නොවන බව පළමුවෙන් වටහාගත යුත්තකි. කුලභේදය වූ කලී මහාසමාජයේ නිර්මාණයකි. එදා රජවරුන් යටතේ පාලනය පැවැති සමයේ යම් යම් ජනකොටස්‌ ඉටු කළ වෘත්තීන් අනුවත් වරද කළවුන්ට දඬුවමක්‌ වශයෙනුත් කුල ක්‍රමය ස්‌ථාපිත වුණු බව පෙනේ. එලෙස ස්‌ථාපිත වුණු කුල ක්‍රමය කුලීන කුලහීන වශයෙන් බෙදී ගියේ සමාජ සම්මුතීන්ට අනුවය. සමාජය තුළ ඇතිවුණු මේ විපරිණාමයන් පාලනය කිරීමට හෝ හසුරුවාලීමට මහා සමාජයේ උප සංස්‌කෘතියක්‌ වූ භික්‌ෂු සමාජයට හැකියාවක්‌ නොතිබීම පුදුමයක්‌ නොවේ. එහෙත් මේ කුලීන කුලහීන දෙපක්‌ෂයේම ආගමික අවශ්‍යතාවන් භික්‌ෂුන් වහන්සේලාගෙන් පිරිමැසුණු බව රහසක්‌ නොවේ.

පැවිදි කිරීමේ කුලය සලකා බැලීම දඹදෙණි කතිකාවතෙහිද දැක්‌වෙන්නකි. රජයේත්, ඉඩම් හිමි වංශවතුන්ගේත් කැමැත්තට එරෙහිවීමේ ශක්‌තියක්‌ භික්‌ෂුන් වහන්සේලාට නොතිබිණි. එදා කුලහීනත්වය හා බද්ධවුණු දුසිරිත් හා ගති ලක්‌ෂණ නිසා ශාසනික ගෞරවය ආරක්‌ෂා කර ගැනීමේ පියවරක්‌ වශයෙන් එසේ කළ විය හැක. මේ බව සනාථ කෙරෙන එක්‌තරා සිදුවීමක්‌ ජනශ්‍රැතියට එක්‌ව තිබේ. රටේ රජුද ළඟින් ඇසුරු කළ හා ආගිය විහාරස්‌ථානයක 'අප්පුපා' නමැති කුලහීන ඇබිත්තෙක්‌ විහාරස්‌ථ සංඝයාට උපස්‌ථාන කරමින් කටයුතු කළේය. විහාරස්‌ථානයට හා සංඝයාට ඇති ළැදිකම සලකා

ආරාමාධිපතීන් වහන්සේ ඔහුට සමාණේර පැවිද්ද ලබාදුන් සේක. දිනක්‌ ඔහු

සංඝාවාසයේ අසුනක වාඩිවී සිටියදී අනපේක්‌ෂිතව මෙන්ම රජතුමා ආරාමයට පිවිසියේය. අභිනව සාමණේරයා රජු දැකීමෙන් වික්‍ෂිප්තභාවයටත්, භය පක්‌ෂපාතීත්වයටත් පත්වූයේ හීනමානය ඉස්‌මතු වීම නිසා අසුනින් වහා නැගිට රජුට වැඳ ආචාර දැක්‌වීය. පැවිදිභාවයේ ගෞරවනීයත්වයට නොගැළපෙන මේ ක්‍රියාවෙන් කලකිරීමට පත් රජු 'තොට මොන මහණකම්ද අප්පුවෝ' යි කීවේලු. එසේ පවසා කුලහීනයන් පැවිදි කිරීමෙන් වළකින ලෙස සංඝයාට ආඥවක්‌ නිකුත් කළේය. මෙසේ කුලහීනය යෑයි සම්මත වූවන්, පැවිදි කිරීම වංශවතුන්ගේ නොමනාපයට හේතුවන කරුණක්‌ වූයේ පැවිදි වුවද කුලහීනයන්ට ගරුසරු දැක්‌වීම තමන්ට මදි පුංචිකමක්‌ සේ කුලීනයන් සැලකීම නිසාය.

කුලහීන යෑයි සම්මත පවුල්වල සාමාජිකයන් පැවිදි කිරීමට රාමඤ්ඤ හා අමරපුර නිකායන් ඉදිරිපත් වීම පැසසිය යුතු වුවත් මහා සමාජයේ කුලභේදය තුරන්වීමට එය හේතුවක්‌ වී ඇති බවක්‌ නම් නොපෙනේ. එයින් පෙනෙන්නේ ගැටලුව වැරැදි කෙළවරකින් අල්ලා ගැනීම ඊට විසඳුමක්‌ වී නැති බවයි.

සියම් නිකායේ මහණ මහලු පැවිදිකම ගොවි කුලයට සීමා වීම නිකායේ ආරම්භක අවධියේ සිට පැවත එන සම්ප්‍රදායක්‌ බව පෙනී යන්නකි. සියම් නිකාය මගින් පවත්වාගෙන එනු ලබන මෙම සම්මුතිය මූලික බෞද්ධ මතයට පටහැනි බව සැබෑ නමුත් එම සම්ප්‍රදායෙන් මිදීමේ පිsළිවෙතකට අවතීර්ණ වීමට නිකායේ මහානායක හිමිවරුන්ටවත් කාරක සංඝ සභාවටවත් හැකියාවක්‌ නැත. ලොව පුරා විසිරී සිටින සියම් නිකායට අයත් දහස්‌ ගණනක්‌ විහාරස්‌ථානවල භික්‌ෂුන් වහන්සේලාගේ පමණක්‌ නොව ගිහි පින්වතුන්ගේද එකඟත්වය එබඳු සැහැසි තීරණයකට නොලැබීම නිසැකය. එබැවින් නිකාය මූලස්‌ථානයන්ට එක ප්‍රකාශයක්‌ නිකුත් කිරීම තුළින් මේ ගැටලුව විසඳිය හැකි යෑයි සිතීම මුළාවකි.

අනිත් අතට සමාජයේ උපසංස්‌කෘතියක්‌ වන භික්‌ෂු සමාජය කුල ක්‍රමය 'තම නිකායයන් තුළ ප්‍රතික්‌ෂේප වන්නක්‌ය' යන තීන්දුව ගැනීමෙන් සමාජය තුළ සමානාත්මතාව ගොඩනැඟෙන්නේද නැත. ලංකාවේ ඕනෑම කුලයක සාමාජිකයකුට සසුන්ගත වීමේ ඉඩකඩ වර්තමානයේ විවෘතව පවතිනවා සේම සසුන්ගත වූවන් අතර කුලමල සෙවීමක්‌ දකින්නට නොලැබෙන බව සත්‍යයකි. එහෙත් එය මහා සමාජය තුළ කඩිනම් වෙනසක්‌ ඇතිවීමට හේතුව නැති බව පිළිගන්නට සිදුවේ. එසේ නම් මෙම අර්බුදය විස¹ලීමේ මගවන්නේ සියම් නිකාය සියලු කුලවලට විවෘත වීම නොවන බව ඉතා පැහැදිලිය.

ජාති, කුලග්‍රෝත වශයෙන් නොබෙදුණු සමාජයක්‌ ගොඩනැගීම තම අරමුණු විය යුතු වුවත් කුල භේදය රටේ ක්‍රියාත්මකව පවත්වාගෙන යැමට වගකිව යුතු පිරිසක්‌ නම් දේශපාලනඥයෝය. පක්‌ෂ, ආගම්, කුල වශයෙන් සමාජය තුළ භේද උත්සන්නකොට බලය ගොඩනඟා ගැනීමේ නීච උත්සාහයේ යෙදෙන ඇතැම් දේශපාලනඥයන්ට රට තුළ සාමය හෝ සමානාත්මතාව ගොඩනඟාලීමේ වුවමනාවක්‌ නැත.

කෙසේ නමුත් කුලහීන භාවයෙන් මිදී කුලීන වීමේ වුවමනාවක්‌ ජනතාව තුළ දකින්නට ලැබීම හොඳ ප්‍රවණතාවකි. ජාතික පුත්පත්වල පළවෙන වාසගම් වෙනස්‌ කිරීමේ දැන්වීම් මගින් ප්‍රකාශ වන්නේ ජනතාව කුලවාදයෙන් බැහැරවීමට දක්‌වන උනන්දුවයි. අවාසනාවන්ත කාරණය නම් මේ ප්‍රවණතාව සමානාත්මතාව ගැන මුරගාලන දේශපාලන පක්‌ෂ කිසිවකට හෝ ජනතාවට සේවය කිරීමට කැපවී සිටිතැයි කියන රාජ්‍ය නොවන සංවිධානයකට හෝ තේරුම් නොයැමයි. නම් හා වාසගම් වෙනස්‌ කර ගැනීමට ඉඩකඩ ලැබෙන සේ පරිපාලන නීතිරීති සකස්‌වී තිබෙන බව සැබෑ නමුත් ඉන් ඵල ලබාගැනීමට නෛතික කඩඉම් රැසක්‌ පසුකරයැමට සිදුවන නිසා සාමාන්‍ය ජනතාව ඒ සඳහා දක්‌වන උනන්දුව මඳ බව පෙනේ. ඒ සම්බන්ධ පරිපාලන නීති ලිහිල් කෙරෙන අතරම කිසියම් සංවිධානයක්‌ කුලහීනත්වයේ වර්තමාන ප්‍රමුඛ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන්නේ නම් සමස්‌ත ජාතියම නොබෝ කලකින් කුලභේදයෙන් තොර වූවක්‌ වනු නිසැකය.

කුලහීන භාවයේ අක්‌මුල් ගලවා දමා එන අයකුට සියම් නිකාය තුළ වුවද තහංචි නොපැනවෙනු ඇත. සියම් නිකායික උපසම්පදාව ලබාගැනීමේදී උපසම්පදාපේක්‌ෂකයාගෙන් විමසනු ලබන්නේ දෙමවුපියන්ගේ නම්ගම් වාසගම් සහිතව පවසන ලෙසයි. ඉදින් කුලීනයන්ට හිමි වාසගම් සහිත උපසම්පදාපේක්‌ෂකයකු ප්‍රතික්‌ෂේප වන්නේ ඔහුට එරෙහිව යම් විරෝධතාවක්‌ ලිතව හෝ වාචිකව ඉදිරිපත් වුවහොත් පමණි. එසේ විරෝධතාවන්ට භාජන නොවූ කුලහීනත්වයේ සලකුණු අත්හළ අයවලුන් කොතෙකුත් සියම් නිකායේ උපසම්පදාව ලබා සිටිය හැකිය. ඔවුන් නිසා නිකායට හානියක්‌ නොවෙනවා සේම නිකායෙන්ද ඔවුන් කොන් කිරීමක්‌ සිදු නොවේ.

පසුගිය වකවානුවක මුග්ධ පිරිසක්‌ එකතුවී කිසියම් කුලයක සංවිධානයක්‌ බිහිකරගත් බව අසන්නට ලැබිණි. මෙවැනි අමනෝඥ ක්‍රියාමාර්ගවලින් සිදුවනුයේ සිංහල බෞද්ධයා භේදභින්න වීම බව තේරුම් නොගැනීම කනගාටුවට කරුණකි. ඇත්තම කරුණ නම් කුලහීනත්වය ලඡ්ජාවට හේතුවන්නකිá කුලීනත්වය අභිමානයට හේතුවකි. ලඡ්ජාවට හේතුවන යමක්‌ ආරක්‌ෂා කර ගැනීමට වෙර දැරීම කවර තරමේ මෝඩකම්දැයි තේරුම් යා යුතුය. කුලීනභාවය කරා යැමට ඇති සියලු මාර්ග ප්‍රයෝජනයට ගෙන අභිමානවත් වීමෙන් සමස්‌ත ජාතියටම එකමුතු විය හැකිය.

සියලු සිංහල බෞද්ධයන්ගේත් ගිහි පැවිදි නායකවරුන්ගේත් අභිලාෂය විය යුත්තේ භේදභින්නතාවන්ට හේතුවන විෂමතා ඉවත්කොට සමානාත්මතා සමාජයක්‌ ගොඩනැඟීම බව අවධාරණය කළ යුත්තකි. සියම් නිකායට හෝ වෙනත් නිකායකට ශාසනික වශයෙන් ප්‍රවේශවීමේ ජාති, කුල විෂමතා නැතිව ගිය දිනක ලංකාවේ නිකාය භේදය භික්‌ෂු සමාජයෙන් ඉබේම අභාවයට යනු නිසැකය. අත්තුක්‌කංසන පරවම්හන සංකල්පයන්ට ඉඩකඩ තිබෙනතාක්‌ කල් සමාජ සමානාත්මතාව ගොඩනැඟීම පහසු වන්නේ නැත. මේ නිසා ඒ මහා සමාජ සංස්‌කාරකයාණන් වහන්සේගේ සැබෑ අනුගාමිකයන් ලෙස කළ යුතු වන්නේ ඊනියා කුල අනන්‍යතාව සුරක්‌ෂිත කිරීමට වෙර දැරීම නොවේ. කුලීනත්වයට පත්වීමට සමාජය යොමු කිරීම හා ඒ සඳහා ඇති සමාජ ප්‍රවණතාව දිරිමත් කිරීමය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.