අම්බට්‌ඨ මානවකයාට බුදුන් දෙසූ ශ්‍රමණ ගූණ

බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති,
නාලන්දේ විමලවංශ නාහිමි

භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ පන්සියයක්‌ භික්‌ෂූන් පිරිවරා කෝසල ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙමින් ' ඉච්ඡානංගල ' නම් බමුණු ගමට වැඩි සේක. එහි එක්‌තරා වන ලැහැබක්‌ අසල වැඩ සිටි සේක. එම බමුණු ගමෙහි 'පොක්‌ඛරසාති' නම් බමුණෙක්‌ සිටියේ ය. ඔහුට ' අම්බට්‌ඨ ' නම් බොහෝ දැන උගත් ශිෂ්‍යයකු සිටියේ ය. දිනක්‌ අම්බට්‌ඨ ඇමතූ පොක්‌ඛරසාති බමුණා ඔහුට බුදුන් හමුවට ගොස්‌ තමන්ට බුදුන් හමුවීම සුදුසුදැ'යි දැනගෙන එන ලෙස නියෝග කළේ ය. එම නියෝගය පිළිගත් අම්බට්‌ඨ මානවකයා පොක්‌ඛරසාති බමුණාට වැඳ පැදකුණු කොට අසුන් යෙදූ රථයකට නැඟී , බොහෝ තරුණ පිරිසක්‌ ද සමඟ ඉච්ඡානංගල වන ලැහැබ කරා ගියේ ය. එසේ ගොස්‌ එළිමහනෙහි සක්‌මන් කරමින් සිටි භික්‌ෂූන් අමතා බුදු රජාණන් වහන්සේ කොහි වැඩ සිටින්නේදැ'යි ප්‍රශ්න කළේ ය. එවිට එම භික්‌ෂුන් ' අම්බට්‌ඨය, අර පෙනෙන ගන්ධ කුටියෙහි වසන ලද දොර ඇත්තේ ය. සෙමෙන් එහි ගොස්‌ නිය පිටින් දොරට තට්‌ටු කරන්න, එවිට ඔබට බුදු හිමියන් දැකිය හැක ' යනුවෙන් පැවසූහ. ඒ අනුව අම්බට්‌ඨ තෙමේ බුදු හිමියන් අබියස පෙනී සිටියේ ය.

බොහෝ පිළිසඳර කතාවෙහි නිරත වූ මානවක තෙමේ තමන්ගේ උගත්කම පාණ්‌ඩිත්‍යය ප්‍රදර්ශනය කරනු වස්‌ බුදු හිමියන් සමඟ වාදයෙහි පැටලුණි. මෙහි දී මානවකයා බුදු හිමියන් අයත් ශාක්‍ය වංශිකයන් පිළිබඳ දැඩි විවේචනයට ලක්‌ කළේ ය. එවිට බුදු හිමියන් වදාළේ ' බ්‍රාහ්මණය, ජාති වාදය කියා හෝ ගෝත්‍රවාදය කියා හෝ මානව වාදය කියා හෝ දෙයක්‌ නැත. අම්බට්‌ඨය , යම් කෙනෙක්‌ වනාහි ජාති වාදයෙහි සහ ගෝත්‍ර වාදයෙහි මෙන්ම මානව වාදයෙහි බැඳුණෝ වෙත් ද ආවාහ විවාහාදියෙහි බැදුණෝ වෙත් ද ඔවුහු අනුත්තර වූ

විඡ්ජාචරණ සම්පන්නයෙහි දුරු වූවාහු වෙති. අම්බට්‌ඨය , තථාගතයන් වහන්සේ මුල, මැද , අග යහපත් වූ අර්ථ සහිත වූ ව්‍යඤ්ජන සහිතවූ , සියලු ලෙසින් සම්පූර්ණ වූ බ්‍රහ්ම චරියාව ගෙනහැර දක්‌වති. ඒ ධර්මය යම් කිසිවෙක්‌ අසා තථාගතයන් වහන්සේ කෙරෙහි මහත් ශ්‍රද්ධා උපදවාගෙන බ්‍රහ්ම චරියාවෙහි

හැසිරෙනු පිණිස ගිහි ගෙය අත හැර ශාසනයෙහි පැවිදි බව ලබයි.

අම්බට්‌ඨය , එසේ පැවිදි වූ මහණ තෙමේ ප්‍රාතිමෝක්‌ෂයෙන් සංවර වූයේ , ආචාර ගෝචර දෙකෙන් සංවර වූයේ ශික්‌ෂා පද සමාදන්ව එහි මොනවට

හික්‌මෙයි. පිරිසිදු දිවි පැවතුම් ඇත්තේ වෙයි. ත්‍රිවිධ සීලයෙන් යුක්‌ත වෙයි. ඉන්ද්‍රිය විෂයෙහි වැසූ දොරටු ඇත්තේ වෙයි. භෝජනයෙහි පමණ දන්නේ වෙයි. මනා සිහියෙහි සහ සම්‍යක්‌ ප්‍රඥාවෙන් යුක්‌ත වෙයි. සිව්පසය පිළිබඳ යථා ලාභ සන්තෝෂයෙන් යුක්‌ත වෙයි.

අම්බට්‌ඨය , ඒ මහණ තෙමේ කෙසේ නම් සීල සම්පන්න වෙයිද හෙතෙම ප්‍රාණ වධය අත් හරියි. පව් කිරීමෙහි ලඡ්ජා ඇත්තේ වෙයි. කරුණාවෙන් යුතුව සියලු ප්‍රාණීන් කෙරෙහි හිත ඇතිව වෙසෙයි. හෙතෙම නොදුන් දෙය නොගනියි. ස්‌ත්‍රී පුරුෂ සංසර්ගයෙන් වැළකී බ්‍රහ්මචාරී වෙයි. සත්‍ය වචන කතා කරයි. ලෝකයා අතර විරුද්ධ කතා ඇති නොකරයි. පිසුණු බස්‌ හෙවත් කේලාම් නොකියයි. සමගිය ඇති කිරීමට අනුබල දෙයි. පරුෂ වචනයෙන් වළකියි. කාලයට සුදුසු කතාවන් කරයි. නව ලොව්තුරු දහම ඇසුරින් කතා කරයි. අර්ථ වෙත් අභිවෘද්ධියෙන් යුතු, නිධානයක්‌ මෙන් සිතෙහි තැබිය යුතු වචන කතා කරයි. තවද මානවකය, සිල්වත් මහණ තෙමේ ගස්‌ වැල් සිඳීම් බිඳීම් ආදී විකෝපනයෙන් වැළකෙයි. රාත්‍රි භෝජනයෙන් සහ විකල් බොජුනෙන් වළකියි. නැටීම, ගී කීම, බෙර ආදිය වැයීම, විසුළු දැකීම යන මෙයින් වළකියි. මල්, ගඳ විලවුන් දැරීම, ඉන් සැරසීම, මුහුණෙහි අඩු තැන් පිරවීSමෙන් අලංකාර කිරීම යන මෙයින් වැළකෙයි. උස්‌ ආසන, මහාසන වලින් වැළකෙයි. රන් රිදී මසු කහවණු පිළිගැනීමෙන් වළකියි. ස්‌ත්‍රීන් සහ කුමරියන් පිළිගැනීමෙන් තොර වූයේ වෙයි. දැසි දසුන්, එළුවන්, කුකුළන්, ඌරන්, ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන්, කෙත් වතු යන මේවා පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ගිහියන්ගේ දූත මෙහෙවර, ගනුදෙනු කිරීම, තුළා ආදියෙන් වංචා කිරීම , රන් සහ රන් නොවන දෑ මිශ්‍ර කොට වංචා කිරීම, වී ආදිය මැනීමෙන් වංචා කිරීම, උපායෙන් අනුන් රැවටීම, යකඩ ආදී ලෝහ රන් රිදී කියමින් වංචා කිරීම වැනි දෙයින් වැළකී කටයුතු කරති. එසේම ඇතැම් මහණුන් වහන්සේලා සැදැහැති ජනයා දෙන භෝජන වළඳා රජුන් පිළිබඳ කතාය, සොරුන් පිළිබඳ, මහ ඇමැතියන් පිළිබඳ කතා, සේනා පිළිබඳ, භය පිළිබඳ, යුද්ධ පිළිබඳ, ආහාර පාන වස්‌ත්‍ර පිළිබඳ මාලා ගන්ධ පිළිබඳ, නෑයන් පිළිබඳ, ගම් දනව් පිළිබඳ, කුමර කුමරියන් පිළිබඳ, වැනි කතාවන්ගෙන් වැළකී සිටියි නම් එය ද මහණුන්ගේ එක්‌ ශීලයකි.

ඇතැම් මහණුන් සැදැහැතියන් දෙන දෙය වළඳා සාමුද්‍රිකා ශාස්‌ත්‍රය, නිමිකි ශාස්‌ත්‍රය, ස්‌වප්න ශාස්‌ත්‍රය, ලක්‌ෂණ ශාස්‌ත්‍රය, මූසික ශාස්‌ත්‍රය, අංග විද්‍යා, වාස්‌තු විද්‍යා, නීති ශාස්‌ත්‍රය, භූත විද්‍යා, විෂ විද්‍යා, ජීවන කාලය කීම ආදී තිරශ්චීන විද්‍යාවන්හි නියෑළෙති. මෙයින් වැළකුණු යම් මහණෙක්‌ වෙත් නම් එය ද සිල්වත් කමකි. ඇතැම් මහණුන් 'අසවල් දින රජුන්ගේ බැහැර යැම සිදුවන්නේ ය. අසවල් දින ඇතුළු නුවරට එන්නේ ය. අසවල් රජු ජය ලබන්නේ ය. අසවල් රජු පරාජය වන්නේ ය. මෙවැනි දෑ පවසමින් කරනු ලබන මිථ්‍යා ජීවයෙන්

වැළකෙන්නේ නම් එය මහණුන්ගේ සිල්වත් කමකි. එසේම ඇතැම් මහණුන් අසවල් දින චන්ද්‍ර ග්‍රහණය වන්නේ ය. අසවල් දින සූර්ය ග්‍රහණය වන්නේ ය. තාරකාවන්ගේ ගමනෙන්, චන්ද්‍ර ග්‍රහණයෙන් මෙබදු විපාක වන්නේ ය. සූර්ය ග්‍රහණයෙන් මෙබඳු විපාක වන්නේය. භූමි චලනය, අහස්‌ ගිගුරුම

තාරකාවන්ගේ නැගීම බැසීම, උච්ච වීම නිසා මෙබඳු විපාක වන්නේ ය. යනාදිය කියමින් මිථ්‍යා ජීවයෙන් ජීවිකාව ගෙන යති. මෙවැනි ළාමක ක්‍රියාවෙන් වැළකී කටයුතු කරයි නම් හෙතෙම සිල්වතෙකු වන්නේ ය.

එසේම ඇතැම් මහණුන් ආවාහ කරවීම, විවාහ කරවීම, විවාහ පොරොන්දම් බැලීම, ධනය රැස්‌ කිරීම, වියදම් කිරීම, විවිධ හේතූන් අනුව මන්ත්‍ර ජප කිරීම, කාන්තාවන්ගේ සිරුරට දේවතාරෝපණය කිරීම. ශ්‍රියා කාන්තාව, ලක්‌ෂ්මී දෙවඟන කැඳවීම, මෙවැනි තිරශ්චීන විද්‍යාවන් කරති. එබඳු මිථ්‍යා ජීවයෙන් වැළකේ නම් එය ද සිල්වත් කමකි . ඇතැම් මහණුන් ශාන්ති කර්ම කිරීම, නිවාස ඉදි කරන ස්‌ථානවල බහිරව පූජාවන් කිරීම, වමනය කරවීම, නැහැවීම, විරේක කරවීම, ඌර්ධව විරේකය, අධෝ විරේකය, සිරෝ විරේකය, නශ්‍ය කිරීම, සැත් කටුවලින් කරන වෙදකම්, ශල්‍යකර්ම කිරීම, ළදරුවන් පිළිබඳ වෙදකම් සිසිල් බෙහෙත් අඳුන් සෑදීම වැනි ක්‍රියාවන් මගින් ජීවිකාව ගෙන යති. එබඳු දෙයින් වළකියි නම් එම මහණුන් සිල්වත්හු වෙති.

අම්බට්‌ඨය, මෙසේ සීල සම්පන්න වූ යම් මහණෙක්‌ ඇත්නම් ඔහුට කිසිදු බයක්‌ හට නොගනියි. අසංවරය හේතු කොටගෙන හටගන්නා වූ කිසිදු බියක්‌ ඔහුට ඇති නොවේ. ආර්ය වූ සීල යෙන් යුක්‌ත වූ මහණ තෙමේ ස්‌ව සන්තානයෙහි පිරිසිදු සැපය විඳියි. හෙතෙම කාය පරිහරණයට ප්‍රමාණවත් වූ සිව්රෙන් ද, කුස පරිහරණයට ප්‍රමාණවත් වූ පිණ්‌ඩපාත භෝජනයෙන් ද සතුටු වෙයි. ඒ මහණ තෙමේ යම් තැනකට යයි නම් කය පිළිබඳ දෙය පමණක්‌ රැගෙන යයි. අම්බට්‌ඨය, යම්සේ පියාපත් ඇති පක්‌ෂියෙක්‌ යම් යම් තැනක පියඹා යයි නම් ඒ සියලු තැනකම පියාපත් බර පමණක්‌ ඇතිව පියඹා යයි, අම්බට්‌ඨය, පරිද්දෙන් මහණ තෙමේ ද කාය පරිහරණයට ප්‍රමාණවත් වූ සිව්රෙන් ද, කුච්ජි පරිහරණයට ප්‍රමාණවත් වූ පිණ්‌ඩපාත භෝජනයෙන් ද, සතුටු වන්නේ වෙයි. මෙසේ මහණ තෙමේ ඉතරීතර සතුටකින් කටයුතු කරයි.

එසේම අම්බට්‌ඨය, මහණ තෙමේ උතුම් වූ සීල සමූහයෙන් යුක්‌තව, උතුම් වූ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්‌තව ද, උතුම් වූ සතිසම්පජඤ්ඤයෙන් යුක්‌තව ද, උතුම් වූ උත්තරීතර සංතුෂ්aටියෙන් යුක්‌තව (ලද දෙයින් සතුටු වීම) කටයුතු කරයි. ඔහු මනුෂ්‍ය වාසයෙන් බැහැර ආරණ්‍යයෙහි ද, වෘක්‌ෂ මූල වල ද, පර්වත ප්‍රදේශ වලද, කඳුරැලි ගිරි ගුහාවල හෝ මහ මඟ ද,

සොහොන් ද, ඉතා දුර බැහැර වූ වන සෙනසුන් ද, පිදුරු ගුහා ද, යන මෙම සෙනසුන් ඇසුරෙහි වාසය කරයි. ඒ මහණ තෙමේ පසු බත් කාලයෙහි පිණ්‌ඩපාතයෙන් වැළකෙයි. සිත සමාධි ගත කරගෙන බවුන් වඩයි. අම්බට්‌ඨය, මෙසේ බවුන් වඩමින් සිත එකඟ කරගත් විට සිත පිරිසිදු වෙයි. ප්‍රභාශ්වර වෙයි. කෙළෙස්‌ නැති වෙයි. මෘදු බවට පත් වෙයි. හෙතෙම දුකෙහි තතු එලෙසින්ම දකියි. දුක්‌ ඉපදීමට හේතුව දැන ගනියි. දුක නැති කිරීමේ තතු එලෙසින්ම දකියි. මේ දුක්‌ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාවය'යි දැන ගනියි. මෙසේ දක්‌නා ඔහුගේ සිත කාමාශ්‍රවයන්ගෙන් මිදෙයි. භවාශ්‍රයන්ගෙන් මිදෙයි. අවිද්‍යා ආශ්‍රවයන්ගෙන් මිදෙයි. එසේ මිදුණු කල්හි මිදුනේයෑ'යි සිතෙයි. ජාතිය ක්‌ෂය විය. බ්‍රහ්මචර්යය වසන ලදී. කටයුතු සියල්ල කරන ලදී. මේ ආත්ම භාවයෙන් පසු අනෙක්‌ ආත්මයක්‌ නැතැ'යි දැනගනියි. මෙසේ දීර්ඝ වශයෙන් කරන ලද දේශනාව අසා අම්බට්‌ඨ මානවකයා නැවතත් පොක්‌ඛරසාති බමුණා වෙත ගොස්‌ තමන් දැන උගත් කරුණු සියල්ල ඔහුට පැවසීය. එය ඇසූ පොක්‌ඛරසාති බමුණා පසු දින බුදුහිමියන්ට දානය සඳහා ඇරයුම් කළේය. එම ඇරයුම පිළිගත් බුදු හිමියෝ පසු දින බමුණාගේ නිවසට වැඩම කළ සේක.

බුqදුරජාණන් වහන්සේ දානය වළඳා අවසානයේ දේශනා කරන ලද ධර්මය ඇසූ පොක්‌ඛරසාති බමුණු තෙමේ සෝවාන් ඵලයට පත් විය. හෙතෙම තෙරුවන් සරණ ගිය උපාසකයකු බවට පත් විය. යහපත් පැවිද්දෙකු වීමට තිබිය යුතු ගුණාංග ඇතුළත් මෙම අම්බට්‌ඨ සූත්‍රය මගින් එදා භික්‌ෂු සමාජයට මෙන්ම වත්මන් භික්‌ෂු සමාජයට ද වැදගත් කරුණු රැසක්‌ දේශනා කර ඇති බව පෙනෙයි. මැදහත් සිතින් බලන විට අද ගමන් කරන්නේ කොතනකට ද යන්න සිතා ගත හැකිය.

(දීඝනිකායේ සීලක්‌ඛන්ධ වග්ගයේ අම්බට්‌ඨ සූත්‍රය ඇසුරෙන් ය.)
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.