ශුද්ධ ධර්මතාව දකිමු

(තර්කයට හසුනොවේමය ඔබ ක්‍රියාවට නංවනු මැනේ (29))
කම්මට්‌ඨානාචාරිනී පද්මාවෝ රාජපක්‌ෂ

ලෝකයේ පවතින ශුද්ධ ධර්මතාව දකින්න. යනුවෙන් ඔබ ඉතින් හැමදාම මට බණ කියනවා. ඔබගේ ඔය බෙරිහං දෙවිල්ල මට නම් දැන් ඇති වෙලා. තරහ වෙන්න නම් එපා සුළං යහළුවේ. යහළුකමටනේ මමත් ඉතින් බය නැතිව ඇත්තම කතා කරන්නේ. යහළුවෝ එහෙම තමයි.

ඔබෙන් ඔය ශුද්ධ ධර්මතාව කුමක්‌ද? කියා ඇහුවාම ඔබ ඉතින් හැමදාම අනිත්‍යයි. අනිත්‍යයි සියල්ලම අනිත්‍යයි කියනවා. ඔය වචන මාත්‍රයක්‌ පමණයිනේ.

එහෙම වචන මාත්‍රයකට සීමා වෙලා බැහැ. සත්‍ය ලෝක කතාන්දරේ ප්‍රදර්ශනය වන මායාමය ලෝක සැලැස්‌ම හෙළි කරගන්න එපායෑ මුලිsන්ම.

ඒ මායා ලෝකයනේ නිත්‍ය නොවන්නේ. සක්‌ඛාය දිට්‌ඨීයේ විනාශය පූරණය කරගන්නේ ගැඹුරු සමාහිත සිතකින් කෙරෙන ඔය අනිත්‍ය දර්ශනය තුළින්ම තමයි.

ලෝකය පිළිබඳව යථාභූත ඥාන දර්ශනය ඇති කරගන්න. එයයි ලෝකෝත්තර සම්මා දිට්‌ඨීය කියලා එදා බුදු පියාණෝ ආලෝකය, විද්‍යාව පහළ කරගන්නා හැටි පෙන්වලා දුන්නා නේ. එතෙක්‌ පැවති පඤ්චාභිඥා අභිබවා සන්තානගත සකල කෙළෙස්‌ නසාලන හයවැනි අභිඥාව පහළ කරගන්නා හැටි පෙන්වලා දුන්නා නේ..

සියල්ල අනිත්‍යයි. කුමක්‌ද සියල්ල? ඇසයි - වර්ණයයි, කනයි - ශබ්දයයි, නාසයයි - ගන්ධයයි, දිවයි-රසයයි, කයයි - පහසයි මනසයි - ධම්මයයි නේ සියල්ල. වෙන කිසිවක්‌ තියනවාවත්ද තවත් මේ ලෝකයේ ඔය කියන සියල්ලට අන්තර්ගත නොවන? නැහැ... නැහැ... ඔය සියල්ලම තමයි.

අභිධර්මයේ එන සිත මවිතයට පත් කරවන මහා පුදුමාකාර ස්‌වාභාවික ලෝක විෂමතාව ගැන පැල් බැඳගෙන කෑ ගැසුවත් මඟ ඵල ලබන්න පුළුවනැයි.

නිවෙන්න නම් පරමාර්ථය, සමාධිය තුළින් මුණගැසෙන්න ඕනැනේ. එලෙස ඇත්ත පූර්ණය කරගත් පසු ඕනෑම කෙනෙකුට තමන් කැමති නම් පමණක්‌ ඔය අභිධර්මය අර්ථාන්විතව කියවා බලා සතුටු වුණෑකි. ගැටලු නැහැ. ඇයි? තමා වටහා ගත් දහමනේ.

ඔබ සරලව දකින්නකෝ අර්ථය. ලෝකයේ අන්ත දෙකක්‌ම තියෙනවා නේද? ප්‍රති විරුද්ධ පැත්තකුත් තියනවා හැම දේකම. තිබේ - නොතිබේ, ඇත - නොමැත කියලා තියනවා වගේම ආත්ම කියන ස්‌වභාවයේ විරුද්ධ පැත්ත තමයි අනාත්ම. ආත්ම - අනාත්ම. ඒ අනාත්ම දැක්‌ම පරිපූර්ණය වීම තමයි රහත් බව කියන්නේ. ඒ අන්ත ද්වය නොවැටහෙන නිසානේ මේ කරදර සියල්ලම. පුදුමාකාර ස්‌වභාදහමක්‌නේ මේ. තියන බව නොහොත් ආත්මය දකිනවා නම් යළි උපදිනවා - නොතිබෙන බව නොහොත් අනාත්මය දකිනවා නම් නවතිනවා.

හැබැයි අහලා දැනගත්තාට නම් මදි. ප්‍රක්‌ත්‍යක්‌ෂ වෙන්නම ඕනෑ. ඉතින් අපි ඒ ලස්‌සන දහම අද කිය කියා හිඳීමට පමණක්‌ සීමා වෙලා. ඇයි මේ? කිය කියා ඉඳල නම් හරි යන්නේ නෑ. නුවණැසින් පිරිසිඳ දැකගන්න ඕනෑ. එතකොටනේ අවබෝධ වුණා, දැක්‌කා. වටහා ගත්තා, දර්ශනය වුණා කියන්නේ. මම සමාධියෙන් මෙහෙම දෙයක්‌ දැක්‌කා කියා ඇසෙන බයිස්‌කෝප් ශෛලිය නම් නෙමෙයි මේක ඔන්න. හොඳින් හිතට ගන්න.

ත්‍රිපිටකය කියවලා දැනගත්තාට නෙමෙයි ලෝකයේ සත්‍ය දැක්‌කා කියන්නේ තේරුණාද? ඕකනේ අද වෙලා තියෙන ප්‍රශ්නේ. ඇයි එදා - අද වෙනස්‌ වන්නේ. අපේම වැරැද්ද. අර්ථ, ධම්ම, නිරුක්‌ති. පටිභාන කියන සිව් පිළිසිඹියාවත තිබුණේ එදා පමණද? එහෙම හරි යනවායෑ.

මේක අකාලික දහමක්‌නේ. අන්තවාදී වෙන්න නම් එපා. මධ්‍යස්‌ථව සිතන්න. දහමේ හැසිරිලා දකින්න. අද දහම නැහෑ කියනවා නම් ඒ හිතුවක්‌කාර වදනක්‌. එදා වගේම තමයි අදත්.

මෙය තියෙන්නේ මෙය තිබුණොත්නේ. මෙය නොතිබුණොත් මෙයත් නොමැති වෙනවා මිස කරන කෙනෙක්‌ නම් නැහැ. මේකයි සත්‍යයේ කථාව. ඔය සත්‍ය දර්ශනය මැදිහත් සිතින් විමර්ශනය කරලා වඩලා පූර්ණය කරගන්නම ඕනැනේ නිවෙන්න නම්.

ඕකනේ දැක බලා ගන්න කියන්නේ. ශුද්ධ ධම්මා පවත්තන්තී - අවේතං සච්ච දස්‌සනං. ඔය සියලු ක්‍රියාවන් අනිත්‍ය බව පියවි ඇසට හසුවන්නේ නැහැනේ. ඇයි දන්නවාද ඒ? අධික වේගය නිසා. දකින්නේ නැතිව කොහොමද පිළිගන්නේ. දකින්න ඕනෑ ප්‍රඥාක්‌ෂියෙන්නේ. මේ ඇත්ත දැකීමට ක්‍රම වේදයක්‌ තියෙනවා. තේරුණා නේද?

ලෝකයේ පවතින ශුද්ධ ධර්මතාව සැඟවිලා තියෙන රහසක්‌. ඒ රහස හෙළිකරගත්තොත් දුකින් අතමිදෙනවා. ඒ ශුද්ධ ධර්මතාව කුමක්‌ද? කියා ඇහුවාම ඔබ ඉතින් සියල්ලම අනිත්‍යයි සියල්ලම අනිත්‍යයි කියලා ඉවත බලා ගන්නවා.

තව මොහොතකින් කෑගානවා, 'අද මඟඵල නැහැ' කියලා. මොකද මේ වෙලා තියෙන්නේ. මේක අබුද්ධෝත්පාද කාලයක්‌යෑ. ඔබද ලෝකයේ ලොකුම විහිළුකාරයා? බුදු දහම අකාලිකයි. එක තත්පරයක්‌වත් ගත නොකර අකාලිකවම නුවණ පිරුණු මොහොතේම චතුරාර්ය සත්‍ය පූර්ණත්වය කරා ගෙන යන, පුදුමාකාර දර්ශනයක්‌. බුදුපියාණෝ ඔබට විහිළු කළා නොවෙයි.

හොඳින් හිතට ගන්න. ඔහේ හිතට නැඟෙන දේවල් කියන්න යන්න එපා. ඒක අපරාධයක්‌. මට මඟ ඵල ලබලා නැති නිසා අද මඟ ඵල තියනවාද නැද්ද කියලා කියන්න මම නම් දන්නේ නැහැ කියලා කියන්නකෝ. කාටද බය?

ක්‍රියාවකුත් තියනවා, විඳීමකුත් තියනවා. ඒවා කරන්නෝත් නැහැ. විඳින්නෝත් නැහැ. ඒ තමයි පිරිසිදු ලෝක ධර්මතාව. මේ සත්‍යය හෙළි නොවන ලෙසට වැසී තිබෙන ආකාරයනේ පුදුමේ. මේ සත්‍යය. දර්ශනය කර ගැනීම තමයි බුදු දහම කියන්නේ. සත්‍යය සැඟවිලා. කොහොමද සැඟවුණේ?

හොඳින් වටහාගන්නකෝ. ලෝකයේ විඳින්නෙක්‌ නැහැ. ඒ වුණාට විඳින්නෙක්‌ මැවෙනවා. ඉතින් මේ මනෝමය විඳින්නා සලායතනවලින් ගෙනැල්ලා දෙන සියලු දේ විඳින්න පටන් අරගෙන. ගන්නවා - විඳිනවා - ඇලෙනවා - ලෝකයේ හිඳිනවා. සත්‍ය සැඟවුණේ ඔහොමයි. විඳින්න ගිහිල්ලා. ඔය මවාගත් විඳින්නා ඉන්න තාක්‌ කල් ඔබ සසරේ. විඳින්න ඉඩදෙන එකනේ වැරැද්ද. ලැබෙන ලැබෙන දේ අනිත්‍ය නම් මොනවාද විඳින්න ඉතිරි වෙන්නේ? ඔය රහස හෙළි කරගත්තොත් ඔබ දුකෙන් සමුගන්නවා. මොන තරම් වාසනාවක්‌ද? අසිරිමත් ස්‌වභාව දහමක හැටි නේද?

මම තව රහසක්‌ හෙළි කරන්නද? විඳිනවා කියන අදහසට අපි තණ්‌හාව කියන්න පමණක්‌ පුරුදු වෙලා නිසා තේරුම දැනුණාට රඳන්නෙ නෑ. ඒ නිසා තමා වෙලාගෙන ඉන්න තණ්‌හාව නොහොත් වින්දනය තමන්ට බොහෝ ඈතින් ඇති දෙයක්‌ ලෙසට දැනෙනවා. ඒ නිසා දුකට හේතුව හදවතෙන් ගිලිsහිලා යනවා. අපි වගේ නෙමෙයි ඒ ගොල්ලෝ හරි තණ්‌හාකාරයෝ. කියනවා. නමුත් ඔබ දන්නවාද මුළු දවස පුරා තත්පරයක්‌ නෑර අපේ හිත වින්දනයට හෙවත් තණ්‌හාවට යට වෙන බව. තණ්‌හාව හැම මොහොතේම අපිව වෙලාගෙන ඉන්නා බව.

දැනගන්න. මුළු දවස මුළුල්ලේම ලෝකයේ ඇත්ත වැහෙනවා. තණ්‌හාව ඈත නෙමෙයි තියෙන්නේ. මම ළඟමයි. මුළු දවස පුරා කියන කරන සිතන සියල්ලම තණ්‌හාවට යටයි. කොපමණ වටිනා බණ වුණත් කියන විට ඇහෙන විට බුද්ධ ශාසනය බැබළෙනවා තමයි. ඒ වුණාට මඟ ඵල නම් නොලැබෙනවා.

සමාධිමය මධ්‍යස්‌ථ සිතකින් සතරක්‌ අනුව විමසන විට පමණයි තණ්‌හාවට, වින්දනයට නොවැටෙන්නේ. යථාර්ථය හෙළිවෙන්නේ. මඟඵල ලැබෙන්නේ. ඇයි මුළාව නැතිව යනවානේ. ම්... ඒ ක්‍රියා කලාපය අද අතුරුදන් වෙලා. ඕකයි එහෙනම් අද මඟ ඵලවලට මෙහෙම වුණේ.

ඉතින් යහළුවේ. අපි රහස හෙළි කරගනිමු. දැක බලාගනිමු. අවබෝධ කරගනිමු. ලබන්නකෝ සත්පුරුෂ සංසේවනය. හෙළිවේය ලොව රහස. ලෞකික ස්‌වභාවයේ රැඳී හිඳිමින් ත්‍රිපිටකාරූඩ සත්‍ය ධර්මය දේශනා මගිsන් පෙන්වාදීම ඉතාමත් වටිනා උතුම් කාර්යයක්‌. නමුත් ලෝකෝත්තර සත්පුරුෂ ඇසුරින් ගොඩයමු.

''ද්වෙ මේ භික්‌ඛවේ පච්චයා සම්මා දිට්‌ඨීයා උපාදාය - කත මේ ද්වෙ - පරතෝ ඝෝසෝ - යෝනිසෝ මනසිකාරෝ

මහණෙනි කරුණු දෙකක්‌ ප්‍රත්‍ය කරගෙනයි සම්මා දිට්‌ඨීය උපදින්නේ. ලෝකෝත්තර සත්පුරුෂයෙකුගේ හඬ සහ එළඹ සිටි සිහිය.''

කරන්නෝ විඳින්නෝ ලෝකෙ නැහැ. හැබැයි ක්‍රියා සහ විඳීම් නම් තියනවා. ඒ තමයි ලෝකයේ පවතින ශුද්ධ ධර්මතාව. සත්‍ය දසුන. අවේතං සච්ච දස්‌සනං. ඒ සැඟවී තියෙන සත්‍ය දසුන මතුකර දැකබලා ගත්තොත් මේ දුකින් අත මිදෙනවා. ඒ ඇත්ත දැක බලාගෙන අපි තණ්‌හා වඩුවාගෙන් සමු ගනිමු.

ඒ වඩුවාගේ තරම දැක ගන්න නම් සබ්බ ලෝකයම විමර්ශනය කරන්න වෙනවාමයි. සමස්‌ත ලෝකයම නිරාවරණය කරගන්නේ නැතිව, ටික ටික අතරින් පතර මොන මොනවා හරි කිය කියා ඉන්නනේ අපි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් අපිට කවදාවත් සත්‍ය හෙළිවෙන්නේ නෑ. අපි පවතින ස්‌වභාවය දිහා බලාගෙන ඉන්නේ නැතිව වෙන දේවල් කියව කියවා ඉන්නවා.

අහිධර්මය හරි ලස්‌සනයි තමයි. නමුත් ඒ පරමාර්ථය කරා යන්න සරල මඟක්‌ පෙන්වලා තියනවානේ. අසරණ සත්ත්වයා වෙත කරුණාවෙන් දයාවෙන් බැල්ම හෙළමු. බුදු දහම සරලයි. අපිමනේ අවුල් කරගෙන තියෙන්නේ. හරිම කණගාටුවක්‌ දැනෙනවා යහළුවේ.

කෙලෙස්‌ ජලයෙන් ප්‍රාණවත් වුණු විඤ්ඤාණය එයාගෙ රාජකාරිය හොඳින් කරගෙන යනවා. ඒ වැඩ අස්‌සෙන් මම ඉන්නවා කියලා මායාවකුත් ඇතිවෙනවා. ඉතින් බොදුනුවනි, මේ විඤ්ඤාණ මායාකාරයාගේ මායා බන්ධනයෙන් අපි ඇත්ත දැක වහා ගැලවෙමු.

තියනකොට අගයක්‌ නෑ. නැති වුණාම ඉතින් කෙඳිරිගානවා. අපි දැන්වත් පිය උරුමයෙන් ලැබුණු දායාදය පණ මෙන් රැකගනිමු.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.