ප්‍රඥාවෙන් මිදුණුවිට මුළාවක්‌ නැත

පූජ්‍ය පණ්‌ඩිත ගම්පහ සිරිසීවලී හිමි,
සුදර්ශන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්‌ථානය,
ප්‍රධාන අනුශාසක. යටියන, මිනුවන්ගොඩ

අවේදයිත සැපය - ගැඹුරු විවේකය - සුන්දර නිවීම - පරම නිවන සත්ව සන්තානයෙන් 'මම' ඉවත්ව යාමයි. එනම් විඤ්ඤාණ - නාම - රූප පිහිටා සිටීමක්‌ පනවා ගැනීමක්‌ නොයෙදෙන තැනයි.

'නිවන' ස්‌වභාවයෙන්ම ස්‌වභාව ධර්මයකි. එය අසංකතයකි. සකස්‌ නොවූවකි. අප්‍රකට බවේ ප්‍රකට බවයි. එම තත්ත්වය උපකල්පනය කරන්න චින්තාවක්‌ මනසිකාරයක්‌ නොම යෙදේ. 'බුද්ධ මනස්‌ හෙවත් 'සම්මා සම්බුද්ධ ඥනය' අසමසම වන්නේ ඒ නිසාය. යථාර්ථයේදී සියලුම සංඥ ශුන්‍යත්වයට පත්වන බැවිනි.

ප්‍රඥවෙන් අවදි වීම යනු ප්‍රත්‍යක්‍ෂ ඥනය යනු ෙච්තනය නොවීමයි. මෙනෙහි නොකිරීමේ ස්‌වභාවයයි. විඤ්ඤාණය මත යමක්‌ පනවන්නේ නම් 'මම' පාදක කරගෙන දෘෂ්ටිගතවීමකි. අචින්තනයේදී අමනසිකාර ස්‌වභාවයේදී ඵස්‌ස නිරෝධයේදී උත්පාද හෙවත් හට ගැනීම් හෝ නිරෝධය හෙවත් නැතිවීම හෝ පැනවීමට නොහැකි ස්‌වභාවයකි. ලෝක ධර්මයන්ගේ ප්‍රකටවීමක්‌ නැත.ඒ නිසා අනිමිත්ත ආනන්තර්ය කුසල සමාධි මනසට මහා ප්‍රඥවයි කියනු ලැබේ.

නිමිත්තෙන් තොරව, අපේක්‌ෂාවෙන් තොර, හැඟුම්බරබවෙන් තොර, දොඩමළු බවෙන් තොර, ශූන්‍යතා දර්ශනයට 'බුද්ධ' නම් යෙදේ. ඒ ධර්මතාව තුළ රූපයාගේ ශුන්‍යත්වය තුළ නිරපේක්‌ෂ නාම ධර්ම තුළ, උපත විපත නොපැනවෙන බැවින් ජාති, ජරා, මරණ, ශෝක පරිදේව ධර්මතා නිරුද්ධ කළ බව ප්‍රකටය.

රූපයන්ගෙන් ඵස්‌සය ඉවත්වීම සඳහා රූපයන්ගේ සම්බන්ධීකරණයෙන් මුක්‌තවීම සඳහා හෙවත් මිදීම සඳහා රූපයේ සාපේක්‌ෂතාවය හෙවත් පටිච්චය මත මනස ශුන්‍යත්වය කරා යැමට ඉඩ ප්‍රස්‌තාව උදාකර දීමට ඉඩදිය යුතුය. ධාතූන්ගේ ස්‌වභාවය පටිච්චසමුප්පනයි. ධාතූන්ගේ ශක්‌තීන්ගේ, සුද්ධ ධර්මයන්ගේ පුංජය, ගොනුව, සාමූහික එකමුතු බව රූපයයි. රූපයේ යථාර්ථය ප්‍රඥවෙන්ම යථාර්ථය දිගහැරෙන විට ඇත්ත ඇති සැටියෙන් දකින විට එහි භෞතික ප්‍රකටවීමේ ස්‌වභාවය නොව අප්‍රකට බවේ යථාර්ථය යෝගාවචරයා ප්‍රඥවෙන් දකී. එනම් රූපයේ ශූන්‍යත්වය යි. 'රූප සංඥා' නොමැති තැන භාවමය ප්‍රකාශ පිළිගැනීම් ප්‍රකට කිරීම් කිසිසේත් සිදුනොවේමය. ඒ ධර්මාවබෝධයයි. පරම සත්‍යය වූ බුද්ධ මන නිසලය. අජීවී දැ සසල බවෙන් තොරයි. අජීවිකත්වය අසංකත වේ.

අධර්මයෙන් ධර්මය වැසී ඇත. අවිද්‍යාවෙන් විද්‍යාව වැසී ඇත. රූපමය මනසින් බුද්ධ මනස වැසී ඇත. ධර්මය දකින විට බුදුන් දකී. පටිච්චසමුප්පාදය ප්‍රඥවෙන් දැකීම බුදුන් දැකීම වේ. අවිද්‍යාවෙන් ඈත්වන විට විද්‍යාව වෙත ළංවේ. ප්‍රකෘතිය ප්‍රඥවෙන් දකින්න. විකෘතිය යනු නැත්තයි. හෙවත් රූපමය මනසයි. එසේ නම් රූපමය මනසින් යථාර්ථය දැකිය නොහැක. රූපමය මනසින් නික්‌මීම බුද්ධමය මනස වෙත යැම වේ. මනසින් අවදිවීම යනු අමනසිකාරයයි. ඒ ශක්‌තිය ඔබ හා මා වෙත ඇත.'තමා තුළ බුදුන් වැඩ සිටිති' යි යනු එයයි.

'හොල්මන' යනු සෙලවෙන මනයි. සසල බවයි. චංචලකමයි. විඤ්ඤාණ මායාවෙන් මාවාපා පෙන්වන, ලෝකය, ජීවත්වන සම්මුති ලෝකය, භෞතිකත්වය නිසාම සත්‍යවූ කිසිවක්‌ කිසිම තැනක දැකිය නොහැක. විනිවිද දැකිය යුතුය. නුවණැසටම ගෝචර වේ. අවබෝධය යනු නිහඬ බව මිසක්‌ සටන් පාඨ නොවේ. තර්ක කිරීම නොවේ.පුහුදුන් අය මාංශමය මනසින් ජීවත්වන නිසා සැබෑව නොදකී, දකින්නේ හොල්මන්ය.

මොනයම් හෝ ක්‍රමයකින් සංකත ලෝක ධර්මයන් සත්‍යයි කියා ග්‍රහණය කර ගන්නේ නම් ඒ ඔබගේ අනවබෝධයයි. විඤ්ඤාණයට වහල් වීම සත්‍ය වසන් කර ගැනීමකි. එකම ප්‍රතිපදාව සත්‍ය කරා යැමට නිසොල්මන් වීම සඳහා කටයුතු කිරීමයි. එවිට අධර්මයෙන් ධර්මය කරා ගමන් කරනු ඇත. අසත්‍යයෙන් සත්‍ය කරා යනු ඇත. දොඩමළු වුණොත් ඔබේ මනස සත්‍යයෙන් වසාලනු ඇත. (දොඩමළු බව යනු අතීත - අනාගත ධර්මරූපවලින් මන කැලතී යැමයි). එනිසා සත්‍ය කියා දකින්නේ අසත්‍යයි. ධර්මය කියා දකින්නේ අධර්මයයි. මනස විද්‍යාවෙන් සන්නද්ධ වීම යනු ප්‍රඥ භාවනාව දියුණු වීමයි. මහාමුනි යනු මෞනත්වයයි. නොසෙලෙවෙන මනසයි. මනා නිහඬ බවයි.

රූප සංඥ මනසිකාරය වන්නේ

මෙසේය. සතර මහාභූත රූපනාමයෙන් පෙනීසිටින විට වර්ණ, රූප, ශබ්ද, රූප, ගන්ධ, රස රූප, පොට්‌ඨබ්බ රූප, ධම්ම රූප පස්‌සවීමේදී සංඥ, වේදනා, ෙච්තනා, මනසිකාරය වේ. එහිදී ඒ බාහිර රූප සම්බන්ධයෙන් වෙන් වෙන්ව මනසිකාරය සිදුවන අතර සංඥාව බලවත් වේ. ඉන්ද්‍රියානු බද්ධ අරමුණුවලද අනුශය වශයෙන් අතීතසිදුවීම් මාලා ඝට්‌ඨන, ලක්‌ඛණ, ආලම්බන, ගති සම්බන්ධයෙන් විවිධ හැඩතල ඉස්‌මතු වී මවාගත්වූ රූප මත ඇලීම් ගැටීම් (තණ්‌හාව) මත සංඥව බලවත් වේ. සම්බුදුවරුන් ගේ අවවාදය වන්නේ 'රූප සංඥා' චිත්ත සංඛාර බවට පත්වීමට ඉඩ නොදීමයි. සතිමත් වීමයි. එළඹ සිටි සිහියෙන් විසීමයි. අප්‍රමාදිවී සිටීමයි. ඒ රූප සංඥ අක්‍රීය කිරීමයි. එනම් මන නිහඬ කිරීමයි. රූප සංඥ නිමිති වශයෙන් නොගැනීම, අනිමිත්ත සංඥ වේ. රූපායාගේ ශුන්‍යත්වයෙන් අනිමිත්ත සමාධිය වේ.

අප බොහෝ විට අරමුණක්‌ මත ධ්‍යානගත වීම සිත සමාධිගත කර පැය කීපයක්‌ සමාධි සුවයෙන් සිටින අවස්‌ථා ඇත. ඒ ධර්මානුකූලව 'මන' ශක්‌තිමත් කර ගැනීම සඳහාය. ධ්‍යානයෙන් අවදි වී ප්‍රකෘති සිහියට පැමිණි විට ම පැය කීපයක්‌ම සමාධිය තුළ සිටියා. කාලය ගත වුණාදැයි දැනුනේ නැහැ' යනුවෙන් පවසන අවස්‌ථා ඇත. මෙහිදී සිදුවන්නේ විඤ්ඤාණයෙන් පැවැත්ම සඳහා බාහිර ලෝකය හා සම්බන්ධ නොවීමෙන් කාලය හා ගනුදෙනු නොකිරීමත්ය. මෙයින් පැහැදිලි වන්නේ ලක්‌ෂ සංඛ්‍යාත අරමුණු මන මත පතිත නොවීමයි. මනට ග්‍රහණය නොවීමයි. එනිසාම කාලය ගතවීම සනිටුහන් නොවීමයි.

අර්හත් ඵල සමාපත්තිය - නිරෝධ සමාපත්තිය වන අවස්‌ථාවේදී ඵස්‌සය නිරුද්ධ වන නිසා කාලය පැනවීමක්‌ සටහන් කිරීමක්‌ සිදු නොවේ. සුද්ධාවාස නම්වූ අනාගාමි උතුමන්ගේ ආර්ය නිකේතනයන්හි අනාගාමී උතුමෝ කල්ප ගණන් නිරෝධ සමාපත්තියට සමවැදී සමාධි සුවයෙන් වෙසෙති. හේතුව ඒ බ්‍රහ්ම තලයන්හි උපත ලබන සත්වයන්ගේ කය සියුම්ය. ඕපපාතිකය. ආහාර අනවශ්‍යය. නමුත් මිනිස්‌ කය කරජ කයකි. කරජ කය පවත්වාගෙන යැම සඳහා කබලිංකාර ආහාර දිය යුතුය. මිනිස්‌ ලොවදී නිරෝධ සමාපත්තිය. අර්හත් ඵල සමාපත්තිය දින හතකට සීමා වේ. දින හතකදී සමාධියෙන් අවදිවී කරජ කයට කබලිංකාර ආහාර දිය යුතු වේ.

බෝධිසත්ව ගුණෝපේත ආර්ය ශ්‍රාවක වූ ඔබ වෙතද මාවෙත ද උපතින්ම නිවීමේ මගවිවර වී ඇත.ඒ බව නොදත් අප යායුතු මඟ අතහැර වෙනත් මග යැමෙන් අතහැරීමෙන් ලබන සැනසිල්ල කරා යැමට නොහැකිව ඇත. ප්‍රකෘති මනස හෙවත් විසිතුරු මනස හරිමඟ හෙවත් 'බුදුමඟ ගොස්‌ ලබාගත යුතුය. ඒ සඳහා නිසොල්මන්වීමේ හෙවත් නොසිතුවිල්ලේ තැනට යොමුවීමේ ප්‍රතිපදාව අනුගමනය කළ යුතුය. ලෝක ධර්මයන්ගෙන් නිදහස්‌ වීමයි. අතීත - අනාගත - වර්තමාන සිතුවිලිවල නොවෙලී පැටලී සිටීමයි. සියලු දේ දකින නමුදු ඇසෙන නමුදු විඳින නමුදු ඒ මොහොතේම ඒ ස්‌වභාවධර්මයේ ස්‌වභාවය බව ප්‍රඥවෙන් දැකීමම නිවීම වේ. මේ ක්‍රියාදාමය තුළ ඔබට කිසිවක්‌ කරන්න දෙයක්‌ නැත. ඒ ස්‌වභාවධර්මයේ වගකීම බව පවරා ගන්න එපා. වගකීම්වලින් නිදහස්‌ වීම බැමිවලින් නිදහස්‌ වීමයි. ශාන්තිනායක මාර්ග උපදේශකත්වය මත ජීවිතය ගොඩනගාගන්න.

ධ්‍යාන සමාපත්ති යනුවෙන් නම් කර ඇත්තේ ලෞකික අරමුණක්‌ විතක්‌ක, විචාර කිරීමයි. එහිදී චිත්ත සමාධිය ඇතිවී අෂ්ඨ සමාපත්ති වශයෙන් සිතක ඒකාග්‍රතාව විවිධ මට්‌ටම් විද්‍යමාන වේ. එහිදී අරමුණු වන්නේ ලෝක ධර්මයන්ය. ලෝක ධර්මයන් අරමුණු කරගෙන සිටීම ධ්‍යානයයි. නිමිති නොගෙන නිසල මනෝ ස්‌වභාවය භාවනාවයි. ධ්‍යානලාභීහු ධ්‍යානයට සම්බන්ධ ලෝකයට හේත්තු වී සිටිති. අනිමිත්ත - සුඤ්ඤත භාවනාවේ ආනන්තර්ය ලෝකෝත්තර සමාධියේ විදර්ශනා භාවනාවේ අල්ලාගන්න,බැසගන්න, නිමිත්තක්‌ නැත. අනිමිත්තයයි. හේතුව විඤ්ඤාණයාගේ ක්‍රියාකාරිත්වය නොමැති බැවින් සියලු සංකත ධර්මයන්ගේ යථාර්ථය විනිවිද දකින අරූපීභාවයේ සියුම් ඥනය වෙත සම්ප්‍රාප්ත වීමයි. කෝටි ප්‍රකෝටි ගණනින් විශ්වශක්‌ති සමූහයක ඝනීභූත භාවයෙන් ප්‍රකට වන්නාවූ ස්‌වභාවධර්මය ගණනින් ප්‍රමාණාත්මකව ප්‍රකාශ කළ නොහැකි වෙනස්‌ වීමකි. මෙම යථාර්ථය විදර්ශනා ප්‍රඥවටම ගෝචර වන්නේය. ලෝකයේ ඇත හෝ නැත යනුවෙන් දෘෂ්ටිගත වීමට නොහැකි නිමිත්තානුසාරීවීමට නොහැකි නිර්වින්දනාත්මක මනෝභාවයකට සමවැදීමේ ස්‌වභාවයක්‌ නිරෝධ සමාපත්තිය තුළ විද්‍යමාන වනු ඇත.

මේ තත්ත්වය සංඥ විරහිත වේ. රූපමය විඤ්ඤාණය නිරුද්ධ වේ. රූපමය සිතුවිලි මනසිකාරය නොවන්නේ නම් ඒ ශූන්‍යත්වයයි. විඤ්ඤාණ නාම රූපයාගේ විරහිත බවයි. යෝගාවචර ජීවිතයේ ළදරු අවස්‌ථාවේ ඕලාරික අවස්‌ථාවේ ආරම්භයේදී සතර සෘද්ධිපාද, ක්‍රමානුකූලව වැඩෙනවා. ඡන්ද, චිත්ත, විරිය, විමංසා, හතරයි. සමථ හෙවත් ලෞකික සමාධියෙන් කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථිනමිද්දය, උද්ධච්ච කුක්‌කුච්චය, විචිකිච්චා නීවරණ ධර්ම යටපත්කර ගෙන මන ශක්‌තිමත් වීමෙන් විදර්ශනා සමාධිය වඩවා ගැනීමට මග පාදාගනී. විදර්ශනා සමාධියේ ඉහළම අවස්‌ථාව වනුයේ

න නිමිත්තග්ගාහි හෝති අනුබ්බඤ්ඤජනග්ගාහි නිමිති'
නිමිති නොගැනීමයි.

ළදරු මානසික තත්ත්වය, ඕලාරික බව, නොමේරු බව නිසා ලෝක ධර්මයන්ගේ යථාර්ථය නොදැනීම නිසා, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්‌ඨබ්බ, ධම්ම උලාකෑමේ කෑදරකමේ යෙදේ. ධර්මයේ පරිණත බවට පත්වන විට රූපය දැකීමේ මාත්‍රයක්‌ පමණි. ශබ්දය ඇසීමේ මාත්‍රයක්‌ පමණි. ගන්ධ ආඝ්‍රාණය කිරීමේ මාත්‍රයක්‌ පමණි. එපමණකින් ප්‍රඥවන්ත ආර්ය ප්‍රතිපදාවට සේන්දුවීමේ මූලාරම්භය පටන්ගැනීමේ අවස්‌ථාව උදාවේ. අරුණාලෝකයයි.

අරමුණෙහි එල්ලුනොත් විතක්‌ක - විචාර බවට පත් වුණොත් වේදනාවේ කැමැත්තට ඇලී අකැමැත්තට ගැටී තණ්‌හාවට යන බව බුද්ධිමත් යෝගාවචරයා ඉතා පැහැදිලිව සතිමත්ව නුවණින් දකී. ඔහු සසරෙහි භය දැක ඇත.මිනිස්‌කමේ වටිනාකම අවබෝධ කරගෙන ඇත. බුද්ධෝත්පාද කාලයක වටිනාකම දැක ඇත. ප්‍රඥවන්ත ජීවිතය නිසාම රූප, සංඥ, ශබ්ද සංඥ, ගන්ධ සංඥා, රස සංඥ, පොට්‌ඨබ්බ සංඥ, ධම්ම සංඥ මිරිඟුවක්‌ය යන්න නුවණින් දකී.

අල්ලාගත් දෙයක්‌ අල්ලාගත්තෙක්‌ පනවන තැන ග්‍රහ්‍ය - ග්‍රාහක දෙකක්‌ විද්‍යමාන වේ. අල්ලා ගන්නෙක්‌ පණවන්න නැත්නම් අල්ලා ගැනීමට දෙයක්‌ නොමැති බව විද්‍යමාන වේ. සියලුම සංඥ මිරිඟුවක්‌ බව දකින යෝගාවචරයා මමෙක්‌ පුද්ගලයෙක්‌ නොමැති තැනට මන ශක්‌තිමත් වේ.

සඤ්ඤාවේ නොඇලුණු තැනැත්තාට ගැටලු නැත. ප්‍රඥවෙන් මිදුණු තැනැත්තාට මුළාවක්‌ නැත. මෝහයද නැත. යමෙක්‌ සඤ්ඤා වශයෙන් ගෙන මිසදිටු බවෙන් යුක්‌ත නම් ඔහු ලෝකය හා ගැටෙමින් වෙසේ.

(ඛුද්දක නි. සුත්ත නිපාතය, මාගන්දි සූත්‍රය)

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.