ප්‍රායෝගික දහම සහ දන්නා දහම

බටුවංගල සමිද්ධි හිමි
ජර්මනියේ සමාධි බෞද්ධ මධ්‍යස්‌ථානය

ධර්මය ගැන වාද කරන පැවිදි, ගිහි අය මට හමු වී ඇත. ඇතැම්හු බර වචන සහිත අර සංකල්පය මේ සංකල්පය දනීදැයි අසති. ඔවුන් දන්නා බව හඟවති. තමන් හොඳ යහපත් කෙනෙක්‌, බෞද්ධයෙක්‌ යෑයි පෙන්වීමට ආශාකරන අය හමු වී ඇත. අර පොත මේ පොත කියවූ බවට පුරාඡේරු කියවන අය හමු වී ඇත. ඇතැම්හු අභිධර්මය අර ධර්මය දන්නා බවද, තවත් අය අර හාමුදුරුවන්ගෙන්, මේ හාමුදුරුවන්ගෙන් බණ අසන බව ද කියති. නමුත් දුකින් නිදහස්‌ වීමට උත්සාහ කරන, යහපත් ගතිගුණයන් ඇති, සරල පැවැත්මෙන් හෙබි අය හමු වී ඇත්තේ අතළොස්‌සකි.

ධර්මය යනු හුදු දැනුමක්‌ නොවේ. එය අත්දැකීම් මත පදනම් වන්නකි. ධර්මයේ අරමුණ මිනිස්‌ සන්තානගත දුක නැති කිරීමයි. දුක නැතිකර ගැනීම තමන්ගේ කටයුත්තකි. එය වෙනත් කෙනෙකුට කළ නොහැක. තමන්ට ඇති වී තිබෙන නොසන්සුන් තත්ත්වය, ප්‍රසන්න නොවන තත්ත්වය හොඳින් තේරුම් ගැනීමට උත්සාහ කිරීම පළමු පියවරයි.

අප්‍රසන්න තත්ත්වයන් ඇති වීමට හේතුව හෝ හේතු හඳුනා ගැනීම සහ එම හේතු වෙනස්‌ කිරීමට සිහියෙන් කටයුතු කළ යුතුය. මෙම ක්‍රියාවලිය තුළ ධර්මය අවශ්‍යයි. එමෙන්ම එම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්‌ ලෙස ධර්මය තමන් තුළ වැඩේ. නැතිනම් තමන්ම ධර්මය තමන් තුළින් සොයාගැනේ. මෙම ක්‍රමවේදය අනුගමනය කරන්නා ධර්මයේ හැසිරෙන්නා ලෙස නම් කෙරේ. මුල් බෞද්ධ ඉගැන්වීම වන්නේ ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ආරක්‌ෂා කරන බවයි (ධම්මො හවේ රක්‌ඛති ධම්මචාරී).

ධර්මය දන්නා වූ පමණින්ම ධර්මය තමන් තුළින් සොයාගැනීමට නොහැක. බෞද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්යවරු සිටිති. ධර්මය හොඳින් දන්නා නමුත් ඔවුන් සැම කෙනෙක්‌ම ධර්මය දකින, අවබෝධ කරගත් අය නොවේ. ධර්මය උගන්වන හාමුදුරුවරු, ගුරුවරු සිටිති. ඔවුන් සෑම කෙනෙක්‌ම ධර්මය දකින අය නොවිය හැක.

ඇතැම්හු ධර්ම කාරණා විශාල වශයෙන් දනිති. ඇතැම් සූත්‍ර, ගාථා පවා කටපාඩම්ය. අභිධර්මය දන්නා බව, විපස්‌සනා භාවනා පුහුණු කරන බව අනෙක්‌ අයට හඟවති. තෙරුවන් වන්දනා, සිල් ගැනීම් ආදියෙහි නොපිරිහෙළා යෙදෙති. නමුත් සුළු දේට ද කේන්ති යති. අනෙක්‌ අය වැරැදි බවත්, තමන් නිතර නිවැරැදි බවත් කියති. වාද විවාදවලට එන්නැයි අභියෝග කරති. කපටි තර්ක මගින් තමන් නිතරම නිවැරැදි යෑයි ආවේගශීලී ලෙස ප්‍රකාශ කරති. මානය, තරහව, කෙන්තිය ධර්මයට විරුද්ධ චිත්ත චෛතසිකයන්ය. ඒවා හඳුනාගෙන දුරු කිරීමට නොහැකි නම්, ඔහු හෝ ඇය දන්නා ගාථා, සූත්‍ර දස දහසෙන් ප්‍රයෝජනයක්‌ නැත. පුහුණු කරනවා යෑයි කියන භාවනාවෙන් ඇති ප්‍රතිඵලය කුමක්‌ද?

ධර්මය පිළිබඳ දැනුම, තමන් තුළින් ධර්මය සොයාගැනීමට ඉවහල් වේ. නමුත් ඒ සඳහා ශ්‍රද්ධාව හෙවත් ඕනෑකම තිබිය යුතුය. ධර්මය දැනීම සහ ශ්‍රද්ධාව එකට හමු වෙතොත් ධර්මය තමන් තුළින් සොයාගැනීමට එළඹෙනු ඇත. ධර්ම දැනුqමින් තම සිතේ ඇතිවන සිතුවිලි ගැන අපූරු නිරීක්‌ෂණයෙන් පසුවන ඔහු ළාමක, නපුරු සහ වෙනත් දුක්‌බර අවස්‌ථා මැනවින් තේරුම්ගෙන තම සිතේ සතුට ඇති කරගනියි.

ධර්ම දැනුම නැති කෙනාට ද ධර්මය සොයාගත හැකිය. නැතිනම් ධර්මය අවබෝධ කරගැනීම හෙවත් ධර්මයේ හැසිරිය හැකිය. අවශ්‍ය කරන්නේ තම දුක හඳුනා ගැනීමත්, එම දුකින් මිදීමට උත්සාහ කිරීමත්ය. මෙය ප්‍රායෝගික කටයුත්තකි. මෙම කටයුත්ත තුළ ධර්මය දන්නා කෙනාට වඩා ඔහු ධර්මය දකියි. ධර්මය දන්නා කෙනාට වඩා ඔහු දුක නැති කරයි.

ධර්මය පුහුණු කිරීමේ අරමුණ දුකින් මිදීමත්, සදාචාර සම්පන්න ජීවන රටාවක්‌ මගින් ආධ්‍යාත්මික සතුට ඇති කරගැනීමත්ය. එහිදී ලොකු ලොකු සංකල්ප, ධර්ම කරුණු දැනගැනීමට වඩා වැදගත් වන්නේ තමන්ගේ ක්‍රියාව වෙනසකට පත්කරගැනීමයි. අභිධර්මය වේවා, වෙනත් මහා වචන ඇති ධර්ම කරුණු වේවා ළඟා විය නොහැකි දේවල් නොව, යහපත් ක්‍රියාව සහ මනස අතර සම්බන්ධය විග්‍රහ කිරීමට භාවිත කරන ලද සංකල්පයෝය. එවා දැන හෝ නොදැන දහම් සුවය, උපාසක අම්මාගේ සිට නිර් ආගමිකයා තෙක්‌, අකුරු ශාස්‌ත්‍රය නොදත් තැනැත්තාගේ සිට මහාචාර්ය තෙක්‌ විඳිය හැකිය.
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.