දෙව් සැපත් හරි වෙනස්‌...

ගුණපාල කාරියවසම්

දිව්‍ය ලෝක හයක්‌ තිබෙන බව අපි දනිමු. පහළ සිට ඉහළට එම දිව්‍ය ලෝකවල ආයුෂ ප්‍රමාණය මෙන්ම අනෙකුත් සැප පහසුකම් හා බලයද වැඩිය. ඉන් එක්‌ දිව්‍ය ලොකයක්‌ ගත්තද එහි වාසයකරන සියලු දෙවියන් එක්‌ ආකාර ජීවිත ගත නොකරයි. ආයුෂ, බලයෙන් හා තේජසින් එකිනෙක දෙවියන්ගේ ස්‌වභාවය හා ගති ලක්‌ෂණ වෙනස්‌ය. ආයු, වර්ණ, සැප,බල, ප්‍රඥ යන පංච ගතිද එකිනෙකට වෙනස්‌ය.මිනිස්‌ ලොවගත කළ කාලය තුළදී සිල්වත්ව වාසය කිරීමේ පින තුළින් දෙව්ලොව උපත ලැබුවද, දන්දීම, පරිත්‍යාග කිරීම, ප්‍රගුණ කර නොතිබුණේ නම් ආයුෂ, වර්ණ, සැපය, බලය, ප්‍රඥව කාරණා නොලැබෙනු ඇත. ඒවා ලැබෙනුයේ දන්දීමේ ආනිශංස මතයි. මේ නිසා එකම දෙව් ලොවක උපත ලබන දෙවියන් අල්පේශාක්‍ය හා මහේශාක්‍ය දෙවියන් ලෙස කොටස්‌ දෙකකට බෙදීමට ලක්‌ වේ.

දිව්‍ය ලෝකයේදී මහේශාක්‍ය බව ලැබීමට නම් මනුෂ්‍ය ලෝකයේදී අවබෝධයෙන් යුතුව වඩ වඩාත් දානමානාදී පිංකම් කළ යුතුය. මේ හා සම්බන්ධව හොඳම විස්‌තරයක්‌ අංගුත්තර නිකායේ කාරණා නවය බැගින් ඇතුළත්ව ඇති නවක නිපාතයේ දේවතා සූත්‍රයේ දැක්‌වේ. අපි ඒ ගැන විමසා බලමු. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ඡේතවනාරාමයේ වැඩසිටියදී දිනක්‌ දෙවියන් පිරිසක්‌ පැමිණ ඔවුන් මිනිස්‌ ලොවදී ජීවිත ගත කළ ආකාරයත්, දිව්‍ය ලෝකයේ උපත ලැබීමට හේතුවත් දැන් දිව්‍ය ලෝකයේදී ලබන සැප සම්පත් පිළිබඳවත්, බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළහ. ඒ දෙවියන්ගෙන් වැඩි පිරිස අඩු දිව්‍ය සම්පත් හා වරප්‍රසාද භුක්‌ති විඳින අල්පේශාක්‍ය දෙවියෝ වූහ. මේ පිරිස කොටස්‌ වශයෙන් නවයකට බෙදාගෙන ඔවුන් බුදුන් වහන්සේ සමඟ කරන ලද සාකච්ඡාව ගැන සොයා බලමු.

පළමු කොටසට අයත් දෙවියන් බුදුන් වහන්සේට වැඳ නමස්‌කාර කර 'පින්වත් බුදුරජාණන් වහන්ස, අපි දිව්‍ය ලෝකයේ ඉපදීමට පෙර ජීවිත ගතකළේ මනුෂ්‍ය ලෝකයේ. එහිදී කරන ලද පින්කම් නිසයි දෙව්ලොවක උපත ලැබුවේ. ඒ කාලයේ භික්‌ෂුන් වහන්සේලා අපේ නිවෙස්‌වලටත් වැඩම කළා. එහිදී අපිඋන්වහන්සේ කෙරෙහි සිත පහදවා ගත්තා. නමුත් අපිට උන්වහන්සේලාට වන්දනා කරන්න බැරිවුණා. උන්වහන්සේලා කෙරෙහි ඉමහත් ශ්‍රද්ධාවෙන් සිත පහදවා ගැනීමේ කුසලය මත දිව්‍ය ලෝකයේ උපත ලැබුවත් හීනකායික දෙවියන් ලෙසයි අපි ඉපදිලා සිටින්නේ. අනෙක්‌ දෙවිවරුන් අපිට වඩා තේජස්‌ ඇතිව නොයෙක්‌ සැපසම්පත් ලබනවා. අපට ඒවා ලැබෙන්නේ නැතැයි පැවැසූහ.

ඉන්පසු දෙවැනි කණ්‌ඩායමට අයත් දෙවියන් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළේ මෙහෙමයි. බුදුරජාණන් වහන්ස, අපි දැන් දිව්‍ය ලෝකයේ ඉපිද සිටියත් පෙර ආත්මයේ අපි හිටියේ මනුෂ්‍ය ලෝකයේ. එහිදී කළ පින්කම් නිසයි දිව්‍යාත්මභාව ලැබුවේ. මිනිස්‌ ලොව සිටියදී අපේ ගෙදරටත්, භික්‌ෂුන් වහන්සේ වැඩියා. අපි උන්වහන්සේලා කෙරෙහි සිත

පහදවාගෙන බොහොම ගරුසරු දක්‌වා පසඟ පිහිටුවා වැඳ නමස්‌කාර කළා. නමුත් අපිට උන්වහන්සේලාට ආසනයක්‌ පනවා පහසුකම් සලස්‌වන්න බැරිවුණා. ඒ නිසා අපි දෙව්ලොව උපත ලැබූවත් අල්පේශාක්‍ය දෙවියන් ලෙසයි සම්පත් භුක්‌ති විඳින්නේ. අනෙක්‌ දෙවියන් අපිට වඩා ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥ යන සම්පත්වලින් වැඩියි. අපි ලබන්නේ අඩු සම්පත් යෑයි පැවැසූහ.

තුන්වැනි කණ්‌ඩායම - සම්මා සම්බුදුරජාණන් වහන්ස, මේ දිව්‍ය ලෝකයේ උපත ලැබීමට පෙර අපිත් ජීවත්වුණේ මනුෂ්‍ය ලෝකයේ. අපි ඒ කාලයේ දිව්‍ය ලෝක කෙරෙහි සිත් අලවාගෙන නොයෙකුත් පිංකම් සිදු කළා. නිවසට භික්‌ෂුන් වහන්සේ වැඩම කළ විට ගෞරව දක්‌වා, වැඳ සුදුසු පරිදි ආසන පනවා වත් පිළිවෙත් නොඅඩුව සිදුකළා. නමුත් අනේ අපට උන්වහන්සේලාට දානයක්‌ පූජා කිරීමට බැරි වුණා. කළ පින්කම් බලයෙන් දෙව්ලොව උපත ලැබූවත් අනෙක්‌ දෙවියන්ට තරම් සම්පත් භුක්‌ති විඳීමේ වාසනාව අපිට අහිමිවෙලා. අප අයත් වන්නේ අල්පේශාක්‍ය දේව ගණයටයි.

හතරවැනි කණ්‌ඩායම - භාග්‍යවත් බුදුරජාණන් වහ්ස, මීට පෙර භවයේ මනුෂ්‍ය ලෝකයේ ඉපදී සිටි අපි නොයෙකුත් පිංකම් සිදුකළා. අපේ ප්‍රාර්ථනාව වුණේ දිව්‍ය ලෝකවල උපත ලැබීම. දැන් ඒ දේ ඉටුවෙලා. නමුත් අනෙක්‌ දෙවියන් අපිට වඩා දිව්‍ය සම්පත් භුක්‌ති විඳිනවා. ඔවුන්ගේ ශරීර ලස්‌සනයි. දිව්‍ය විමාන ලස්‌සනයි. ලස්‌සන දිවසළු පහළ වෙනවා. නමුත් අපිට ඒ තරම් වාසනාව නැහැ. අපි එදා භික්‌ෂුන් වහන්සේ කෙරෙහි ආදර ගෞරව දක්‌වා ඇප උපස්‌ථාන කර දානය පූජා කළත් අපිට බණ අහන්න බැරිවුණා.ඒ කෙරෙහි උනන්දු වුණේ නැහැ. ඒ හේතුව නිසා අපි අල්පේශාක්‍ය දේව ගණයටයි අයත් වන්නේ.

පස්‌වැනි කණ්‌ඩායම - මිනිස්‌ ලොව ජීවත්වූ කාලයේ අපි භික්‌ෂුන් වහන්සේ කෙරෙහි දානමාන පිරිනමා කොතෙකුත් බණ ඇසුවත්, ඒ කෙරෙහි කන් යොමු කළේ නැහැ. වෙනත් දේ කෙරෙහි අවධානයෙනුයි හිටියේ. එහි විපාක දැන් අපි භුක්‌ති විඳිනවා.

හයවැනි දිව්‍ය පිරිස - බුදු පියාණෙනි, දිව්‍ය ලෝකම ප්‍රාර්ථනා කරමින් මනුෂ්‍ය ලෝකයේදී අපි කොතෙකුත් පින්කම් කළා. දන් දුන්නා. දන්දී බණත් ඇහුවා. හොඳින් බණට සවන්දීගෙන හිටියා. නමුත් ඒ බණ මතකයේ රඳවා ගත්තේ නැහැ. ඒ කියන්නෙ මතක තියාගත්තෙ නැහැ. එදා ඒ ඇසූ බණ මතක තියාගත්තා නම් අපිට මීට වඩා දිව්‍ය සම්පත් ලබන්න වාසනාව තිබුණා. නමුත් ඒ වාසනාව අපට දැන් නැහැ.

හත්වැනි දිව්‍ය කණ්‌ඩායම - භාග්‍යවතුන් වහන්ස, පෙර ආත්මයේ මනුෂ්‍ය ලෝකයේ සිටියදී අපි භික්‌ෂුන් කෙරෙහි සිව්පසය පිරිනමා පිංකම් කළා. එහිදී උන්වහන්සේ අපිට ධර්මය දේශනා කළත් ඒවායේ අර්ථ හොඳින් දැනගන්න බැරිවුණා. විමසා බැලුවේ නැහැ. ඒ අඩුපාඩුව නිසා අප විඳින්නේ අවම දිව්‍ය සම්පත්.

අටවැනි කණ්‌ඩායම - ශාක්‍ය මුනීන්ද්‍රයාණන් වහන්ස, අපි මනුෂ්‍ය ලෝකයේදී සිදුකළ පිංකම් බලයෙන් අපට දිව්‍යාත්මභාව ලැබීමට හැකිවුණා. අපි පින් කළේ දෙව්ලොව ඉපදීමටමයි. ඒ කාලයේ ඉඩ ලැබෙන අයුරින් අපි බණ ඇහුවා. හොඳින් බණ අහලා, අර්ථ දැනගෙන මතකයේ රඳවා ගත්තත් අපි ඒ ධර්මය අනුව ජීවිත ගත කළේ නැහැ. ඒ නිසා සම්පත්වලින් අඩුqවයි අපිදිව්‍ය ලෝකයේ ගත කරන්නේ. එහෙම ධර්මයේ හැසිරුණු අය අපේ දිව්‍ය ලෝකයේ ආයු. වර්ණ, සැප, බල, ප්‍රඥ යන සම්පත් නොඅඩුව භුක්‌ති විඳිනවා. ඔවුන් මහේශාක්‍ය දෙවිවරු. අපි අයත්වන්නේ අල්පේශාක්‍ය දේව ගණයට.

නවවෙනි කණ්‌ඩායම - ඒ පිරිස්‌ ඉවත්ව යනවාත් සමගම මුළුÊඡේතවනාරාමයම ඒකාලෝක කරමින් දෙවියන් පිරිසක්‌ පැමිණියා. ඔවුන්ගේ ශරීර හරිම ලස්‌සනයි. වර්ණවත්. ඉතා වටිනා දුහුල් සළුපිළි ඇඳ රන් ආභරණ පැළැඳ හිසේ ඔටුනු දරාගෙනයි හිටියේ. ඒ පිරිස බොහොම ගෞරවයෙන් බුදුන් වහන්සේට වැඳ නමස්‌කාර කළා. අනතුරුව මෙහෙම ප්‍රකාශ කළා. 'තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, අපගේ නමස්‌කාරය වේවා. මීට පෙර ආත්මයේ අපි මනුෂ්‍ය ලෝකයේ ඉපිද සිටියදී කරන ලද පින්කම්වල ආනිශංස ලෙස දිව්‍ය ලෝකයේ උපත ලැබ අපි බොහෝ යස ඉසුරු ලබමින් සතුටින් හා ප්‍රීතියෙන් කාලය ගත කරනවා. එදා මනුෂ්‍ය ලෝකයේදී අපි තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙනුයි පිංකම් සිදුකළේ. භික්‌ෂුන් වහන්සේට

බොහොම ගෞරවයෙන් පුද සත්කාර කළා. සුදුසු ආසන පනවා දන්පැන් පූජාකර හොඳින් බණ අසමින්, ඒ අනුවම ජීවිත සකස්‌කර ගත්තා. කිසිම අයුරකින් පව් වැඩ කළේ නැහැ. ඒ නිසා අපි දැන් මහේශාක්‍ය දෙවියන් ලෙස ආයුසින්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, තේජසින් හා ප්‍රඥවෙන් යුක්‌තව ඉතා සුවසේ කාලය ගත කරනවා. අපේ ආයුෂ ඉතා දීර්ඝයි. සිතූ පමණින් ඉතා අගනා දිව්‍ය වස්‌ත්‍ර ලැබෙනවා. අපේ දිව්‍ය විමානත් හරිම විශාලයි. අලංකාරයි. ඉතා සුව පහසු යාන වාහන තිබෙනවා. ප්‍රණීත රසවත් දිව

බොජුන් භුක්‌ති විඳිනවා. ඒ නිසා අපි මහේශාක්‍ය දිව්‍ය කොට්‌ඨාසයට අයත් වෙනවා. අපිට මේ පින ලැබුණේ ඔබ වහන්සේ නිසයි. ඔබවහන්සේගේ ධර්මය නිසයි. ගරුතර සංඝරත්නය නිසයි. තෙරුවන් කෙරෙහි දැක්‌වූ ගෞරවය අපිට පිහිට වුණා. දිව්‍ය ලෝකවල ඉපිද නියම අයුරින් ඒ සම්පත් භුක්‌ති විඳීමට නම් තුන්සිත පහදවාගෙන නිසි පරිදි දානමාන පිංකම්කළ යුතුයි. අපි ආවේ අපේ සතුට ප්‍රකාශ කිරීමටයි' කියා එම දිව්‍ය පිරිස අතුරුදන් වූහ. මේ කතා පුවත සඳහන් වනුයේ අංගුත්තර නිකායේ කාරණ නවය බැගින් අයත්වන නවක නිපාතයේ දේවතා සූත්‍රයේ. පිංකම් සිදුකර දිව්‍යාත්මභාවයන් ලැබුවත්, ඔවුන් අතර පවත්නා වෙනස්‌ ස්‌වභාවය හෙවත් දෙවියන් අතර පවත්නා අල්පේශාක්‍යභාවය හා මහේශාක්‍යභාවය මෙම කතා පුවතින් පැහැදිලි වේ.

මෙලොවදී අප පිංකම් සිදුකරනුයේ සදෙව් ලොවෙන් එකක උත්පත්තිය ලැබ දිව්‍ය සම්පත් භුක්‌ති විඳීමටයි. නිවන බලාපොරොත්තු වනුයේ ඉන් පසුවය. එසේ නම් මෙලොවදී කරනු ලබන පිංකම්වල සාර්ථකභාවය හා අසාර්ථකභාවය මත දිව්‍ය සම්පත් අඩුවැඩි වන බව සිහියට ගන්න. නිවැරැදිව පිං කරමු.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.