මංමුළා වූ සිතකට

ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

''තස්‌මාතිහ තෙ භික්‌ඛු එවං සික්‌තබ්බං ඉන්ද්‍රියේසු ගුත්තද්වාරො භවස්‌සාමි, භෝජනෙ මත්තඤ්ª, ජාගරියං අනුයුත්තො, විපස්‌සකො කුසලානං ධම්මානං, පුබ්බරත්තා පරරත්තං

බෝධිපක්‌යානං ධඡම්මානං භාවනානුයෝගං අනුයුත්තො විහරිස්‌සාමීති. ඒවං හි තේ භික්‌ඛු සික්‌ තබ්බන්ති''

''භික්‌ෂුව මෙසේ හික්‌මිය යුතුවෙයි. ඉන්ද්‍රියන්හි රකින ලද දොරටු ඇතිවන්නෙමි. භෝජනයෙහි මාත්‍ර, හෙවත් පමණ දැන ගන්නේ වෙමි. නිදි වැරීමෙහි හෙවත් වීර්යයෙන් යුක්‌ත වූයේ වෙමි. කුසල ධර්මයෙහි විදර්ශන වන්නෙමි. පෙර පසු රාත්‍රීයෙහි බෝධි පාක්‌ෂික ධර්ම භාවනානුයෝගයෙහි යෙදුණේ වාසය කරන්නෙමියි භික්‌ෂුව මෙසේ හික්‌මිය යුතුයි.''

ඉහත සඳහන් කරනු ලැබුවේ අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ දුතිය පණ්‌ණාසකයේ නීවරණ වර්ගයට අයත් උපඡ්Cධාය සූත්‍රයේ අඩංගු ධර්ම කොට්‌ඨාසයකුයි. එක්‌තරා භික්‌ෂුවක්‌ තම උපාධ්‍යායන් වහන්සේ වෙත වැඩම කළේය. පැමිණ මෙසේ පැවැසීය. 'වහන්ස මාගේ කය හටගත් තද බව ඇතියේද වෙයි. දිශාවෝද නොවැටහෙත්. ශමද විදර්ශනා දහම්ද නොවැටහෙත්. ථීනමිද්ධය හෙවත් සිතෙහි මළානික බව, අලසකම මා සිත මැඬගෙන පිහිටියේය. කැමැත්තකින් තොරව උකටලීව බඹසර හැසිරෙමි. දහම්හි ද මට සැක ඇත්තේය'' යනුවෙනි. මෙවිට උපාධ්‍යායන් වහන්සේ විසින් ඒ භික්‌ෂුව භාග්‍යවතුන් වහන්සේ වෙතට කැඳවාගෙන ගොස්‌ වන්දනාකොට ඉහත සඳහන් කළ සිතුවිලි පැවැසීය. භාග්‍යවතුන් වහන්සේ මහත් වූ කරුණාවෙන් මෙසේ වදාළහ.

''භික්‌ෂුව, ඉන්ද්‍රියයන්හි නොරක්‌නා ලද දොරටු ඇති අයකුට, භෝජනයෙහි පමණ නොදන්නාට, නිදිවැරීමෙහි හෙවත් වීර්යයෙහි නොයෙදෙන්නහුට කුසල් දහම් නොදක්‌නා හට රාත්‍රී පෙර යම පසුයම බෝධිපාක්‌ෂික ධර්ම පිළිබඳ භාවනානුයෝගයෙහි නොයෙදී වාසය කරන්නහුට, යම් හෙයකින් කයේ උපන් තද බව ඇතිවේද, දිසාවොත් ඔහුට නොවැටහේද, සමථ විදර්ශනා දහම්ද නොවැටහේ. ථීන මිද්ධය සිත මැඬගෙන සිටින්නේද, කැමැත්තකින් තොරව බඹසරත් හැසිරේද ධර්මයෙහි සැකයක්‌ වේද, එය එසේම වන්නේය. මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ ඉහත සඳහන් කළ නුඹ මෙසේ හික්‌මිය යුතුය ආදී ලෙසින් අවවාද කළහ. එම අවවාදය පිළිගත් ඒ භික්‌ෂුව, භාග්‍යවතුන් වහන්සේ වැඳ ප්‍රදක්‌ෂිණා කොට බැහැරව වැඩියේය.

ඉන් අනතුරුව එම භික්‌ෂුව හුදකලාවී, අන් පිරිසගෙ කෙළෙසුන්ගෙන් වෙන්ව අපමාදීව, කෙළෙස්‌ තවන වීර්යය ඇතිව, නිවනට යොමු කළ සිත් ඇතිව වාසය කරමින්, යම් රහත් ඵලයක්‌ පිණිස කුල පුත්‍රයෝ ගිහි ගෙදරින් නික්‌ම පැවිදි බවට පත්වන්නාහුද, අනුන්තර වූ බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ රහත් ඵලය තමා විසින් මේ ජීවිතයේම විශිෂ්ට ඥනයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට නොබෝ කලකින්ම එය ලබා වාසය කළේය. ඒ රහත් උදානය මෙසේය. ''‚ණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං, නාපරං ඉFථත්තාති'ත අබ්භඤ්ඤාසි'. 'ඉපදීම අවසන් විය. බ්‍රහ්මචර්යාවෙහි වාසය අවසන් කරන ලද්දේය. චතුරාර්ය සත්‍ය අවබෝධ පිණිස කළ යුතු සියල්ල නිමවන ලද්දේය. මෙම රහත් බව පිණිස මතු මත්තෙහි කළ යුතු කිසිවක්‌ නැත්තේය යෑයි මොනවට දැනගත්තේය. උන්වහන්සේ තවත් එක්‌ රහතන්වහන්සේ නමක්‌ බවට පත්වූහ.

ඉන් අනතුරුව ඒ භික්‌ෂුන් වහන්සේ තම උපාධ්‍යායන් වහන්සේ වෙත වැඩම කොට මෙසේ සඳහන් කළේය. වහන්ස, දැන් මගේ කය කෙළෙස්‌වලින් තදව ගුරුව නොපවතියි. මට දිශාවන් ප්‍රකට වෙයි. ධර්මයෝ මැනවින් වැටහෙත්. ථීන මිද්ධය මාගේ සිතට පීඩා නොකරන්නේය. බොහෝ කැමැත්තෙන් බඹසර

හැසිරෙමි. මට දැන් දහම්හි සැක නැත්තේය යනුවෙනි.

උපාධ්‍යාය තෙරුන් වහන්සේ, එම සද්ධිවිහාරික භික්‌ෂුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙතට කැඳවාගෙන වැඩියහ. එකත්පසෙක වැඩ සිටි එම භික්‌ෂුන් වහන්සේ තමන් ලද රහත් ඵලය පිළිබඳව තම උපාධ්‍යායන් වහන්සේට විස්‌තර කළ ආකාරයෙන්ම ප්‍රකාශ කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ භික්‌ෂුන් වහන්සේට ප්‍රශංසාකොට පෙර පරිදිම මෙසේ වදාළහ. ''මහණෙනි, නුඹලා විසින්ද මෙසේ හික්‌මිය යුතු වන්නේය. ඉන්ද්‍රියන්හි රක්‌නා ලද දොරටු ඇත්තෝ වෙමු. භෝජනයෙහි පමණ දැන වළඳන්නෝ වෙමු. නිsදි වැරීමෙහි හෙවත් කෙළෙස්‌ තවන වීර්යයෙන් යුතු වන්නෝ වෙමු. කුසල ධර්මයන්හි විදර්ශක වන්නෝ වෙමු. පෙරයම් පසුයම් රාත්‍රියෙහි බෝධි පාක්‌ෂික ධර්මයන්හි භාවනානුයෝගී වන්නෝ වෙමු යි මහණෙනි නුඹලා විසින්ද එසේම හික්‌මිය යුතු වන්නේය.''

භික්‌ෂු භික්‌ෂුණී, උපාසක - උපාසිකා සිව් පිරිස කෙරේම මහත්වූ කරුණාවෙන් දෙසූ මේ දහම් අවවාදය ඔබ අප සියලු දෙනාටම එකසේ ගැළපෙන්නේය. උකටලී වූ භික්‌ෂුන් වහන්සේගේ කතාව විමසා බලමු. ''එතරහි මධුරක ජාතො ඛෙව කායො'' - ''තද බවට පත් කයක්‌ මට ඇත්තේ වෙයි'' යනුවෙනි. භාවිත බහුලීකත නොකරන ලද එනම් මනාව පුරුදු නොකරන ලද සතිය නසා ඇස ආදී ඉන්ද්‍රියයන්ගෙන් රූපාදී ආරම්මණ කෙරේ නිමිති අනුනිමිති ව්‍යඤ්ජන ලෙසින් කෙළෙස්‌ උපදියි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ නම් වූ සතර මහා භූත ධර්මයන්ගෙන් සමන්නාගත මේ

සිරුරෙහි කාමයෙන් බැඳේ. රතියෙන් ඇලෙයි. නන්දියෙන් සතුටු වෙයි. නෙක්‌ඛම්ම හෙවත් හික්‌මීමට වඩා රාගයට, ඡන්දයට හසුවෙයි. නිරෝධයට වඩා

සමුදයට සකස්‌ වෙයි. අරමුණ මධුර ලෙස මිහිරි ලෙස දැනෙන්නට පටන් ගනී. අසුබය සුබ ලෙස මතුවෙයි. අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයෙක්‌ ලෙස ආර්ය ධර්ම මාර්ගය අරමුණු කරන ගිහි හෝ පැවිදි හෝ වේවා ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට මෙම පීඩාවන්ට මුහුණ දිය හැකිය. සප්පුරිස සංසේවනය, සද්ධම්ම සවණ, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපත්තිය මෙම මඟ ආරම්භයේදී අවශ්‍ය බව වදාළේ එහෙයිනි. එම කරුණු හතර සෝවාන් මගට උපකාරක ධර්ම සතරයි.

කුඩා අණු කුඩා වරදෙහි පවා බිය දක්‌නා සුළුව කායික, වාචසික සංවරය නම් වූ සීලයෙහි

පිහිටීමෙන් ධර්ම මාර්ගයට බැසගත යුතු වන්නේය. එය චූල, මඡ්Cධිම සීල, මහා සීල ලෙස අනු ක්‍රමයෙන් දියුණු කරගත යුතු වන්නේය. 'සීලේ පතිට්‌ඨාය නරො සපඤ්ෙඤාa, චිත්තං පඤ්ඤංච භාවයං' ප්‍රඥවෙන් යුතු මනුෂ්‍යයා විසින් සීලයෙහි පිහිටාම සිතත් නුවණත්, එනම් සමථ විදර්ශනා වඩන්නේය නම්වූ උතුම් බුදුරජාණන් වහන්සේගේ වදන්

මනසිකාරය කළ යුතු වෙයි. මින් අනතුරුව, භාග්‍යවතුන් වහන්සේ වදාළ ලෙස ඇස, කණ,නාසය, දිව,කය, මන නම්වූ ෂඩ් ඉන්ද්‍රියයන්හි ආරක්‌ෂාවක්‌ සලසා ගැනීම කළ යුතු වේ. එනම් පෙර සඳහන් කළ අයුරින්ම සිහිය පුරුදු කිරීමය. මහා සතිපට්‌ඨාන සූත්‍ර දේශනාවේ සඳහන් කළ ආකාරයට,

''අත්ථි කායෝති වා පනස්‌ස සති පච්චුපට්‌ඨිතා හෝති...' ආදී ලෙසින් සතර මහා ධාතූන් යුතු කය සම්මුතියෙහි පැවැත්වුවද මේ කය සේ හටගත් සියල්ලම නිරෝධයට පත් වන්නේය. පරමාර්ථයෙහි පිහිටා මගේ නොවන බව, මම නොවෙමි බව මගේ ආත්මය නොවන බව හෙවත් මාගේ වසඟයෙහි නොපවත්නා බව විදර්ශනා නුවණින් වැඩිය යුතු වන්නේය. මේ මගම සංවෘත නොවූ, ඉන්ද්‍රියයන්ගේ දමනය පිණිසත් කෙළෙස්‌ දමනය පිණිස මහත් සේ උපකාරී වන්නේය. රස තෘෂ්ණාව නොඋපදවා ආහාරය බ්‍රහ්මචර්යාවට උපකාරකයක්‌ ලෙස පමණක්‌ සිතාගෙනම පරිහරණය කළ යුත්තේය. රසෙහි ඇතිකර ගන්නාවූ රස තෘෂ්ණාව දෙලොව ජීවිතම වනසයි. සතර ඉරියව්වෙහිම සිහිය පැවැත්වීමෙන් වීර්යයෙන් කටයුතු කිරීම සංකේතවත් කළේ ජාගරියානුයෝගය හෙවත් නිදිවැරීමෙහි සමත් බවය. අලස පුද්ගලයා බුදුදහමෙහි ගර්හිතය. කුසල ධර්ම උත්පාදනයත්, එයම ධාතු ස්‌කන්ධය ආයතනයන් අනිච්ච, දුක්‌ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්‌ෂණ ධර්මයන්ට යටත්කොට දැකීමට උපකාර කර ගැනීම මින් අදහස්‌ කෙරේ.

සියලු කෙළෙසුන් හෙවත් ආශ්‍රවයන්හි ක්‌ෂය කිරීම පිණිස එයට උපකාරක ධර්ම වූ වැඩිය යුතු වන්නේය. එනම් සතර සතිපට්‌ඨානය, සතර සම්‍යක්‌ ප්‍රධානය, සතර සෘද්ධිපාදය, පඤ්ච ඉන්ද්‍රිය, පඤ්ච බල, සප්ත බොඡ්Cධංගය සහ ආර්ය අෂ්ඨාංගික මාර්ග නම් වූ සත්තිස්‌ බෝධිපාක්‌ෂික ධර්මයෝය. මෙසේ සංක්‌ෂේපයෙන් දැක්‌වූයේ මෙම දහම් කතාවට මූලික වූ භික්‌ෂුන් වහන්සේගේ පළමු ගැටලුවලට භාග්‍යවතුන් වහන්සෙගේ උතුම් දහම් අවවාදය තේරුම් ගැනීමයි. ඔබගේ ධර්ම ඥනයට අනුව මෙය තවදුරටත් විස්‌තර කරගත හැකි විය යුත්තේය. දිසාවෝ මනා ලෙස නොවැටහේ යන අදහසින් ඉදිරිපත් වූයේ ''කුමක්‌ අනුගමනය කළ යුතු දැයි නොවැටහේ'' යන්නය. කළ යුතු සහ අනුගමනය කළ යුතු මාර්ගය භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයෙන් පැහැදිලි විණි. 'ජාගරියං අනුයුත්තා' නම් අදහසේදී නිදිවැරීම, ප්‍රධන් වීර්යය, ථීන මිද්ධයේ බැහැරවීමටත්, ආර්ය මාර්ගය සවිමත් කිරීමටත් හේතු වෙයි. එමෙන්ම බෝධි පාක්‌ෂික ධර්ම වැඩීම නිසා පිරිසිදු වූ බ්‍රහ්මචරියාව (පරිසුද්ධං බ්‍රහ්මචරියං) සම්පූර්ණ කරන්නා වූ මඟ සකස්‌ වෙයි. භාග්‍යවතුන් වහන්සේ ධර්ම අවවාදය අනුව මෙයම ශික්‌ෂා මාර්ගය වන්නේය. චරණ ධර්ම මාර්ගය වන්නේය. ශේඛ ධර්ම මාර්ගය වන්නේය. ආර්ය මාර්ගයම වන්නේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.