ඔබ දියුණු කළ යුතු පහ

පූජ්‍ය පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි

අපිට ඉතාමත් දුර්ලභව ලැබුණු අවස්‌ථා දෙකක්‌ තියෙනවා. ඉන් ප්‍රධානම එක තමයි, සම්බුද්ධ ශාසනය. දෙවැනි එක තමයි මිනිස්‌ ආත්මභාවය. මේ දෙකම හිමි වෙච්ච ඉතාමත් දුර්ලභ වාසනාවන්ත මොහොතක තමයි, අපි මේ ජීවත්වෙන්නෙ. සාමාන්‍ය පෘථග්ජන මානසිකත්වයෙන් යුක්‌ත පුද්ගලයාට සිතාගන්න බැරි ඉතා සියුම් ක්‍රියාවලියක්‌ තමයි, ලෝකයේ ක්‍රියාත්මක වෙන්නෙ. ඒක දැනගත්තු අවබෝධ කරගත්තු එකම උත්තමයා තමයි, ලොව්තුරා බුදුරජාණන් වහන්සෙ. උන්වහන්සේගෙ සර්වඥතා ඥනයට ඒ සියල්ලම අවබෝධ වුණා.

සුපින්වතුනි, අපගේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ දේශනාකොට වදාළා මේ සසරේ තියෙන භයානකකම පිළිබඳව. උන්වහන්සේ ඒ විදියට දේශනා කළේ නැත්නම් අපි කවුරුත් ඒ ගැන දන්නෙ නෑ. දැනටත් මේ ගැන දන්නෙ නැති අශ්‍රැතවත්, පෘථග්ජන පුද්ගලයො ළිප ගිනි මොළවන තෙක්‌ දිය සැලියේ සැපයක්‌ යෑයි කකුළුව දිය කෙළියේ' කියපු විදිහට බොහොම උජාරුවට පසිඳුරන් පිනවමින් කම් සැප විඳිමින්, ඒ කම් සැප වෙනුවෙන් අකුසල් කරමින් කාලය ගත කරනව.

එනමුත් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පිළිගන්න ශ්‍රද්ධාවන්ත ආර්ය ශ්‍රාවකයා උන්වහන්සේa දේශනා කරන ලද ච

ආකාරයට පින් රැස්‌ කරගන්නව. මේ මිනිස්‌ ලොව උපදින්න අපි ගොඩක්‌ පින් කරගන්න ඕන. 'නඛසිඛා' සූත්‍රයේදී උන්වහන්සෙ පෙන්වා දෙන්නේ නියසිලට ගත් පස්‌ ස්‌වල්පයක්‌ වගෙ ඉතා ස්‌වල්ප දෙනෙක්‌ මේ මනුෂ්‍ය ලෝකයේ උපදිනවා කියල. ඒ වගේම බහුතරයක්‌ අනිකුත් දුෂ්කර ආත්මභාව වන නිරය, තිරිසන්, ප්‍රේත, අසුර වගේ තැන්වල උපදිනව කියල. ඒ නිසා පින්වතුනි, අපි සියලු දෙනාම විශාල වශයෙන් පින් කළ නිසා මේ උතුම් ජීවිත ලබන්නත් තිසරණය හිමිකරගන්නත් වාසනාව ලැබුව.

අප පෙර ජීවිතවලදී දානමය, සීලමය, භාවනාමය පින් සිදුකරගෙන, දෙමවුපියන්ට සලකා, තව විවිධාකාරයේ පින්කම් කරගෙන තියෙන අය. එහෙත් පින්වතුනි, අවාසනාවක මහතෘ සමහරුන්ට ඒ අවස්‌ථාව ආපසු හිමිකරගන්න ලැබෙයිද කියන්න බෑ. සමහරුන්ට දැනටම තිසරණය අහිමිවෙලා. තිසරණය අහිමි වෙච්ච කෙනකුගේ ඉරණම ඉතාමත් භයානකයි. ඒ මිථ්‍යාදෘෂ්ටි නිසා ඔවුන්ට සතර අපායේම උපදින්න වෙනවා. ඊළඟට තෙරුවන් සරණට පත්වෙන්න උපතින් අවස්‌ථාව ලබපු අය මේ වෙනකොට විවිධ හේතු මත ඒ තිසරණය අහිමි කරගෙන. සමහරු විවාහය නිසා, සමහරු තාන්න මාන්න නිසා, සමහරු බලය නිසා, සමහරු නිලය නිසා, සමහරු තවත් නොයෙක්‌ කරුණු නිසා.

මේ යුගය ගත්තම මනුෂ්‍ය ලෝකය ඉතාම පිරිහෙන යුගයක්‌. ඒ වගේම පිරිහීමට පත්වූ යුගයක්‌. චක්‌කවත්ති සීහනාද සූත්‍රයෙහි දේශනා කර තියෙන විදියට ඉතාමත් භයානක යුගයකට අපි එළඹෙමින් සිටිනවා. මිනිසුන්ගේ ගුණ ධර්ම ඉතාමත් වේගයෙන් පහළට වැටෙනවා. ආයුෂ සීග්‍රයෙන් පිරිහෙනව. කොසොල් රඡ්ජුරුවෝ දැකපු සිහින දහසය මේ වනවිට ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන. ඒ අධාර්මික ලෝකය දැන් ඇතිවෙලා. ඉතිං පින්වතුනි, අපි ඉතාම ප්‍රඥගෝචර ලෙස පින් රැස්‌කරගත යුතුයි. ඒ වගේම අපේ මනස දියුණු කරගන්න ඕන. නැත්නම් අපිට සතර අපායේ ගිහිල්ල කල්ප ගණන් දුක්‌ විඳින්න වෙනව.

ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥ කියන සේඛ බල ධර්මයන් අපි දියුණු කරන්න ඕන. ශ්‍රද්ධාව කියන්නෙ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව තිබෙන නොවෙනස්‌ වන පැහැදීම. කය, වචනය සංවර කරගැනීම තමයි සීලය. ඉතිං ඔබට පංචශීලය රැකගන්න පුළුවන්.ඒ වගේම පොහොය දිනවල අටසිල් සමාදන් වෙන්න පුලුවන්. සමහරවිට ඔබ තවම අටසිල් සමාදන් වීම ගැන කිසිම සැලැස්‌මක්‌ හදාගෙන නැතිව ඇති. අනික්‌ සියලු වැඩ ගැන සැලසුම් ගහගෙන ඉන්න ඔබ සිල් ගැනීම ගැන, භාවනා කිරීම ගැන කිසි සැලසුමක්‌ ගහගෙන නැතිව ඇති. ඒ නිසා අපි ඉක්‌මන් කළ යුතුවෙනව. අපේ ජීවිතය කොයි මොහොතේ නැති වෙයිද දන්නෙ නෑ. ඒ නිසා ඉක්‌මනින්ම සිල් රැකීම ආරම්භ කරන්න. ශ්‍රැත කියන්නෙ ධර්ම ඥනයට.

අපි ධර්ම ඥනය දියුණු කරගන්න ඕන. අපේ බුදුපියාණන් වහන්සෙ සූත්‍ර දහ අට දහසකට ආසන්න ප්‍රමාණයක්‌ දේශනා කළා. අපි ඒ සූත්‍ර දේශනා ටික ටික කියවන්න. අද සරල සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා. විශේෂයෙන්ම පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්‌වාමීන් වහන්සේගෙ පරිවර්තන කියවගන්න පහසුයි. ඉතිං ඔබට ඉංග්‍රීසියෙන් වුණත් කියවගන්න පුළුවන්. අද බොහෝ දෙනෙක්‌ ටෙලිනාට්‍යවලටම ඇබ්බැහි වෙලා ඉන්නෙ. අපි ඒවායින් ටිකක්‌ මිදිල ධර්මය ඉගෙන ගනිමු.

ඊළඟට අපි පුරුදු කරන්න ඕන ත්‍යාගය. ඒ කියන්නෙ පරිත්‍යාගය. නොමසුරුව දන්දෙන්න ඕන. භාග්‍යවතුන් වහන්සේට බුද්ධ පූජාව පූජාකර ගැනීමෙන් අපිට බොහෝ පින් රැස්‌කරගන්න ලැබෙනවා. මහා සංඝරත්නයට දානය පූජා කර ගැනීමෙනුත්, බොහෝ පින් ලැබෙනවා. සතෙකුට කෑම ටිකක්‌, දානයක්‌ දුන්නත් ආනිශංස සීයක්‌ ලැබෙනව. සාමාන්‍ය මනුෂ්‍යයකුට සිල්වත් උනත් නැතත් දානෙ දුන්නොත් ආනිශංස දාහක්‌ ලැබෙනව.

ඊළඟට අපිට පුළුවන් ප්‍රඥව දියුණු කරන්න. අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම යන ත්‍රිලක්‌ෂණය පිළිබඳව මනා අවබෝධයක්‌ ඇතිකරගෙන කටයුතු කරන්න ඕන. ආයතන වන ඇස, කන, නාසය, දිව, කය, මන ආදිය පිළිබඳව රූප, වේදනා, සංඥ, සංස්‌කාර, විඤ්ඤාණ පිළිබඳව පඨවි, ආපෝ, තේජෝ, වායෝ පිළිබඳව අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම වටහාගන්න ඕන. ඒ ආකාරයෙන් විදර්ශනාව වඩන්න ඕන. එතකොට ප්‍රඥව වැඩෙනවා දියුණු වෙනව.

මෙන්න මේ සේඛ බල දියුණු කළාම මේ ලෝකයෙන් සමුගන්න කොට දිව්‍ය තලයක උපදින්න පුළුවන්. ඊට පස්‌සෙ එහිදී තවදුරටත් දියුණුවෙලා මාර්ගඵල අධිගමයන්ට පත්වෙලා බඹලොව ඉපදිලා පිරිනිවන් පාන්න පුලුවන්. ඔබටත් ඒ භාග්‍යය, වාසනාව උදාවේවා.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.