ඒ ජය මහා ජයක්‌ නොවේ!

වෙසක්‌ පොහෝ දිනයට පසු බොදුනු අපට වැදගත්ම අනෙක්‌ දිනය පොසොන් පොහෝ දිනයයි. බුදුහිමියන්ට පසු අප හදපිරි බැතිසිතින් සිහිකරන්නේ අනුබුදු මිහිඳු හිමියන්ය. මේ උතුම් පොහෝ දින දෙකෙහි බුදු තෙමඟුල හා මෙරට බුදුදහමේ උපත අපි සිහි කරන්නෙමු.

සිංහලකම සමග ගසට පොත්ත මෙන් බැඳුණු යමක්‌ වේ නම් ඒ බෞද්ධකමය. අපගේ මග බුදුමගයි. ඒ උතුම් බුදුමග වෙතට අප යොමු කරන්නට අනුබුදු මිහිඳු හිමියන් මේ ලක්‌බිමට වැඩම කළේ අද වැනි දිනකය.

මිහිඳු සමිඳුන් මේ රටට වැඩම කළ අවස්‌ථාවේදීත් අපට දියුණු සභ්‍යත්වයක්‌ තිබිණි. මිහින්තලා කඳු මුදුනේ වැඩ සිටිමින් අපගේ නරපති දෙවනපෑතිස්‌ නිරිඳුන් සමග එදා මිහිඳු හිමියන් විසින් අරඹන ලද බුද්ධිමය සංවාදය සිංහලයේ ප්‍රඥ ඇස මෙන්ම විචක්‌ෂණ භාවයේ පූර්ණත්වයද හෙළි කළ ඓතිහාසික අවස්‌ථාවකි.

මිහිඳු මාහිමියන්ගේ බෞද්ධ සංස්‌කෘතියෙන් ඇරැඹුණු ශිෂ්ටාචාරය ගලා බසින්නට වූයේ එතැන් සිටය. සිංහලයාගේ සංස්‌කෘතික ආධ්‍යාත්මයේ පිළිබිඹුව ලෙස අදත් ඉතිරිවී තිබෙන අනුරාධපුර උරුමය අපට මොන තරම් සාඩම්බරයක්‌ද? ඒ දෙවනපෑතිස්‌ නිරිඳු යුගයෙන් ඇරැඹුණු සංස්‌කෘතියේ යශෝරාවයයි.

අනුරාධපුරයේ සමාධි බුදු ඇසින් ගලන මුදිතා ගුණය අදත් සුළඟ හා මුසුව අප නිවා සනසාලයි. රුවන්වැලි සෑ රදුන්ගේ කොත් මුදුන්හි උපන් රශ්මි මාලා සමග මුසුවූ සතසහස්‌ දෙව් බඹුන්ගේ බුදු බැති ගී අපේ දෙසවන් තුළ අදත් රැව්පිලිරැව් දෙයි. කලාවැවේ දිය රැළි සේ නැගෙන ජාතියක සංස්‌කෘතික ආධ්‍යාත්මය සුගන්ධය ජයශ්‍රී මහා බෝ සමිඳු පාමුල වැටී සිටින බැතිමතුන්ගේ සිරසෙහි දැවටෙයි.

කලින් කල පරසතුරන් නැගී වනසාලන්ට තැත් කළේ ඒ සනාතන සංස්‌කෘතික උරුමයන්ය. පරදේසීන්ට අපගේ සංස්‌කෘතික හැඳුනුම්පත උදුරාගන්ට නොහැකි වන්නේ ඒ විශිෂ්ට උරුමයන් හාස්‌කමින් මෙන් සුරැකෙන්නේත් අප විසින් ලද උතුම් බුදුදහමේ බල මහිමයෙනි. එහෙත් අද අප විසින්ම ඒ බලය, ඒ මාර්ගය අමතක කර දමනු ලැබ නොතිබේද?

මිනිස්‌කම් අද වල්වැදෙමින් තිබෙයි. යහ ගුණදම් ඈත්වෙමින් තිබෙයි. දානය, සීලය, ප්‍රිය වචනය, සමානාත්මතාව අද අපට නුහුරු දේවල්ය. මහත් සේ කැළඹී ගිය සමාජයක හිස ගිනිගත් අය සේ දිවයන ගමනක්‌ අපට තිබේ. ආශාවේ යදම රන් මාලයක්‌ සේ සිතන අය සිටිති. අන්සතු දේ උදුරා ගැනීම වීරකමක්‌ සේ දකින අය සිටිති. එහෙත් අප පත්ව සිටින මුළාව කිසිවෙක්‌ නොදකිති.

එහෙත් අප බුදුදහම අපේ ප්‍රඥ ඇස අවදි කළ බුද්ධිමය ආලෝකයක්‌ මෙන්ම අපගේ ජීවිතය යහමාර්ගය ඔස්‌සේ ඉදිරියට ගමන් කරවීමට ලද ශක්‌තියක්‌ද විය. එහෙත් අද අපට ඊට වඩා වටිනා යෑයි අප සිතන අරමුණු, ඉලක්‌ක තිබේ. ඒ වෙනුවෙන් ඕනෑම දුෂ්ට ක්‍රියාවක්‌ කිරීමට අප සූදානම්ය. එහෙත් ඒ ජය මහා ජයක්‌ සේ ඔබ සිතන්නෙහිද?

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.