රාමුවක සිර නොවනු...

වෛද්‍ය ලලිත් විඡේසිංහ

ඔබ ඔබේ වෘත්තිය, ස්‌ථාවරත්වය, ජීවිතය පිළිබඳ ව අද සතුටු වන්නේදැයි වරෙක ඉතා ජනප්‍රිය නිරූපණ ශිල්පියකුගෙන් අසනු ලැබිණි.

'මීට වසර කිහිපයකට පෙර මගේ මේ වෘත්තිය, මගේ ස්‌ථාවරත්වය, ජනප්‍රියත්වය සහ මගේ ජීවිතය පිළිබඳ ව මම බොහෝ සතුටු වුණා. එහෙත් අදමට දැනෙන්නේ මගේ වෘත්තිය සහ මගේ අනාගත ජීවිතය පිළිබඳ ව විශාල අවදානමක්‌ සහ පීඩනයක්‌' යි හෙතෙම පිළිවදන් දුන්නේ ය.

'ඒ මන්දැ' යි ඔහුගෙන් විමසූ විට, 'මා මේ වෘත්තියට පිවිසෙන්නට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියකු ලෙස සේවය කළා. මම මේ ක්‍ෂේත්‍රයට පැමිණියාට පසු ඉන් ඉවත් වුණා. ඒත් නිරූපණ ශිල්පියකු වයසට යාමත්, අලුත් මුහුණු මේ ක්‍ෂේත්‍රයට එකතු වීමත් නිසා මේ ක්‍ෂේත්‍රයේ විශාල අවිනිශ්චිත බවක්‌ සහ තරඟයක්‌ තියෙනවා. ඒ නිසා එදා මම ගත්ත තීරණය පිළිබඳ ව අද මම නැවත නැවතත් හිතනවා යි' ඔහු පිළිතුරු දුන්නේ ය.

'එසේ නම් ඔබට, ඔබ පෙර කළ රැකියාවට නැවත යන්නට හෝ ඔබට ඇති සුදුසුකම් මත වෙනත් රැකියාවකට හෝ යන්නට හැකි නේද?'යි නැවත ඔහුගෙන් ප්‍රශ්න කෙරිණි.

'මම මගේ පෙර රැකියාව අතහැර පැමිණි පසු ඒ ආයතනය සමග තිබූ සියලු ම සම්බන්ධකම් මා අත්හැරියා. මම මගේ මේ අලුත් රැකියාව, එහි ජනප්‍රියත්වය ගැන ලොකු සතුටකට, සාඩම්බරයකට පත්වුණා. ඒ නිසා මගේ යහළුවන්, නෑදෑයන් පමණක්‌ නොව මගේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන් සහ නිවස පවා අත්හැර දමා පැමිණියා. ඒ අයගේ ආදරණීය අවවාද පවා මට දැනුණේ මට කරන ලොකු කරදරයක්‌ ලෙස යි. මගේ කාර්යබහුලත්වයටත් වඩා මගේ නොසැලකිලිමත් බව නිසා කාලයත් එක්‌ක ඔවුන් සමග තිබූ මගේ සියලු සම්බන්ධකම් ගිළිහී ගියා. මම දැනට වසර ගණනාවක්‌ ම කළේ මේ රැකියාවේ කාර්යයන් ම පමණයි. ඒත් මට ලොකු වැරදීම් කිහිපයක්‌ ම වුණා යෑ යි දැන් මට හිතෙනවා' යි අවසන ඔහු පවසා සිටියේ කළකිරීම මුසු ස්‌වරයකිනි.

ඉහත කී නිරූපණ ශිල්පි වෘත්තිය, ගුරු වෘත්තිය, කම්කරු වෘත්තිය මේ ආදී කවර සමාජමය වෘත්තියකින් හෝ වේවා, කවර හෝ ස්‌වයං රැකියාවකින් හෝ වේවා සමාජයට සැපයෙන්නේ ශ්‍රම සහ බුද්ධි දායකත්වයකි. නැතහොත් සෞන්දර්යමය දායකත්වයකි. එය සමාජයේ පැවැත්මට සේ ම පුද්ගල පැවැත්මට ද පිටිබලයකි. ඉන් සමාජ අවශ්‍යතා ඉටුවනවා සේ ම එහි නියෑලෙන්නාට ද ලැබෙන ආර්ථික, කායික හා මානසික ප්‍රතිලාභ මගින් තමාගේ ජීවන අවශ්‍යතා ඉටු වෙයි.

යම් වෘත්තියක්‌, දැනුමක්‌, දැක්‌මක්‌ යනු යම් ආකාරයක 'රාමුවකි'. මිනිසකු ලෙසට මෙලොව උපන් යම් පුද්ගලයෙක්‌ පවතින සමාජ අවශ්‍යතාව අනුව හෝ තමාගේ අවශ්‍යතාව අනුව යම් දැනුමක්‌ ලබා, තමාට රුචි හෝ ඇතැම් විට තමාට රුචි නොවූ හෝ යම් රැකියාවක නියෑලෙයි. ඒ සඳහා යම් පුද්ගලයකු යම් යම් සංස්‌කෘති සහ දැනුම් පද්ධති තුළ කුඩාකල සිට ම පුරුදු පුහුණු කෙරෙයි. ලොව නානා විධ සංස්‌කෘති සේ ම විවිධ දැනුම් පද්ධති ද වෙයි. ඒවාහි සමාන ලක්‌ෂණ සේ ම අසමාන ලක්‌ෂණ ද වෙයි. මිනිස්‌ සමාජයේ සංස්‌කෘතිය, දැනුම පමණක්‌ නොව ජීවිතය ද 'සාපේක්‌ෂ' ය. එහෙයින් මිනිසා ජීවත් වන්නේ එසේ මිනිසා විසින් ම නිර්ණය කර ගත් 'සාපේක්‌ෂ රාමු' තුළ ය.

වර්තමාන සමාජයේ දැනුම ලබාගැනීමේ ඉලක්‌කය අනාගත වෘත්තියකි. මෙරට උපන් දරුවකුට කුඩාකල පාසල් අධ්‍යාපනය මගින් පොදු දැනුමක්‌ ලබා දෙමින් සහ පසුව කලා-වාණිජ-විද්‍යා හෝ ගණිත ආදී එකිනෙකට වෙනස්‌ එක්‌ දැනුම් පද්ධතියක දැනුමක්‌ ලබා දී ඉන් සමත් වුවහොත් විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය ද ලබා දෙයි. ඉන්පසුව ඊට උචිත රැකියාවකට යොමු කෙරෙයි. එහෙත් එසේ වූ සම්මත වූ දැනුම් පද්ධතියකින් හෝ ආයතනයකින් හෝ දැනුම් නොලබා තම කුසලතාව ඔප් නංවා ගනිමින් රැකියාවල නියුක්‌ත වන්නෝ ද බොහෝ වෙති. ඉන් පසුව එනයින් ලබාගත් දැනුම, රැකියාව සහ කාර්යයන් තම 'තම ජීවත්වීමේ රාමුව' කොටගෙන ඔවුහු ජීවත් වෙති. එහෙයින් යම් සමාජයක අපට දැකිය හැක්‌කේ එසේ සමාන වූ හෝ සමාන නොවූ හෝ සමාන වන හා නොවන 'රාමු' සිය දහස්‌ ගණනකි.

අපි මෙරට 'බටහිර වෛද්‍යවරයා' යන රාමුව ගැන විමසා බලමු.

විවිධ රෝගාබාධ, ඒවාට හේතු, ඒවා හඳුනාගැනීම සහ ඒවා නිරෝධනය කරන ආකාරය පිළිබඳ වන බටහිර විද්‍යාවේ දැනුම, මූලධර්ම, ක්‍රමවේද හා ඖෂධ පිළිබඳ ව හෙතෙම උගනියි. එකී උගෙනීමේ අවශ්‍ය ශක්‍යතා සපුරා ලු විට ඔහුට බටහිර වෛද්‍යවරයකු ලෙස රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ අනුමැතිය ලැබෙයි. ඉන්පසුව බටහිර වෛද්‍ය විද්‍යාව ක්‍රියාත්මක කෙරෙන ආයතනයක, ඊට අවශ්‍ය වෙනත් පුහුණු දැනුම්, මිනිස්‌ ශ්‍රමය සහ උපකරණ භාවිත කරමින් රෝගීන්ට ප්‍රතිකාර කරනු ලැබෙයි. එහෙයින් බටහිර වෛද්‍ය වෘත්තිය යනු තමන් උගත් දැනුම් පද්ධතියක මූලධර්ම, නිර්ණායක සහ උපයෝගිතා අවශ්‍ය පරිදි කළමනාකරණය කරමින් නිශ්චිත වූ දැනුම් පද්ධතියකින් හෙබි තවත් 'රාමුවකි'. එහි නියෑලෙන්නාට මානසික තෘප්තියක්‌, ආර්ථික ප්‍රතිලාභ සේ ම සමාජ තත්ත්වයක්‌, පිළිගැනීමක්‌ සහ යම් සමාජ ගෞරවයක්‌ ද ලැබෙයි. එහෙත් ඒ සියල්ල ඒ අයුරින් ම ලැබෙන්නේ ඔහුගේ දැනුම, ඔහුගේ ශක්‍යතාව සහ ඔහු ක්‍රියාත්මක වන පරිසරය තුළ ය. එහෙත් ඉන් බැහැර වන අවස්‌ථාවක පෙරකී සමාජය ඔහු සාමාන්‍ය පුද්ගලයකු ලෙස සැලකීමට පමණක්‌ නොව ඇතැම් විට යම් ප්‍රශ්නයක දී එම සමාජයෙන් ම ද්වේෂය, ගර්හාව, ප්‍රතිරෝධය ද එල්ල විය හැකි ය.

බටහිර වෛද්‍යවරයා තම 'වෘත්තීය රාමුවෙන්' හා වෘත්තීය පරිසරයෙන් බැහැර වූ විටක ඔහුගේ තත්ත්වය කුමක්‌ ද? අනිවාර්යයෙන් ම හෙතෙම සාමාන්‍ය මිනිසකු බවට පත් වේ. එනම් මහමග දී ඔහු සාමාන්‍ය පදිකයෙකි. තම රථය පදවාගෙන යාමේ දී හෙතෙම සාමාන්‍ය රියෑරෙකි. එහෙයින් මහමග දී හෙතෙම අනතුරකට ලක්‌ වුවහොත් ඔහු අනතුරකට ලක්‌ වූ සාමාන්‍ය තුවාලකරුවෙකි. ඔහුට එහි දී කළ හැක්‌කේ සාමාන්‍ය මිනිසකු කරන හා කියන පරිද්දෙන් හැකි ඉක්‌මනින් තමා රෝහල්ගත කරන ලෙස ඉල්ලීම පමණකි. මන්ද, කළ යුතු වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ ව දැනුම ඔහු සතු ව පැවතිය ද එය ක්‍රියාත්මක කළ හැකි පරිසරයක්‌ මහමග නොවීම හා එවිට හෙතෙම වෛද්‍යවරයකු නොව රෝගියකු වන හෙයිනි. මෙහි දී ඔහුට ඇතැම් විට වඩා වැදගත් විය හැක්‌කේ ඔහුගේ සුවිශේෂී හෝ සුවිසල් වෛද්‍ය දැනුම නොව සාමාන්‍ය දැනුම හෝ ඉතා සරල ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයකි. එය නොදැන සිටියහොත් හෝ ක්‍රියාත්මක නො කළහොත් ඔහු විශාල කරදරයකට පත් විය හැකි ය.

එකී බටහිර වෛද්‍යවරයා සිය නිවසේ දී සිය මව්පියන්ට, පුතෙකි සොයුරු සොයුරියනට, සොයුරෙකි තම දූ - පුතුන්ට, පියෙකි. හිතමිතුරනට, මිතුරෙකි. රටකට පුරවැසියෙකි. එමතුදු නොව හෙතෙම අනිත්‍ය - දුක්‌ඛ - අනාත්ම ත්‍රිලක්‌ෂණයට බඳුන් වන සංසාරික ගමන්කරුවෙකි. එහෙයින් හෙතෙම මෙසේ විවිධ වූ 'රාමු' සහිත පුද්ගලයෙකි. එනම් ඔහුගේ වෘත්තිමය 'බටහිර වෛද්‍යවරයා' නමැති රාමුවෙන් පරිsබාහිර සහ වෙනස්‌ රාමු රාශියක ක්‍රියාත්මක විය යුතු පුද්ගලයෙකි. එහෙයින් ඔහුට සාර්ථක මිනිසකු වන්නට මෙකී රාමුවලට අනුගත ව සිතන්නට හා ක්‍රියාත්මක වන්නට සිදුවෙයි. එසේ තිබිය දී ඔහු වර්ෂාව දකින්නේ හයිඩ්‍රජන් සහ ඔක්‌සිජන්හි එකතුවක්‌ ලෙසින් පමණක්‌ නම්, හිරු එළිය ලෙස දකින්නේ හරිත ශාකවල තිරකරන ශක්‌තිය ලෙසින් පමණක්‌ නම්, හදවත ලෙස දකින්නේ, ශල්‍යාගාරයේ දී ඔහු විච්ඡේදනය කරන හදවතේ කර්ණිකා, කෝශිකා හෝ කපාට ලෙසින් පමණක්‌ නම්, හෙතෙම 'බටහිර වෛද්‍යවරයා' යන රාමුවේ තමන් විසින් ම තමන් හිරකර ගත් පුද්ගලයකු පමණක්‌ මිස අන් කවරෙක්‌ ද ? ඔහු වෘත්තීයමය සිරකරුවකු මිස අන් කවරෙක්‌ ද ? එසේ වූ විට, ඔහුට, ඔහු උපන් මේ විචිත්‍රවත් ලෝකයේ තවත් සිය දහස්‌ ගණන් වන සෞන්දර්යයේ, දර්ශනයේ, චින්තනයේ, ආදරයේ, සහෝදරත්වයේ, මිත්‍රත්වයේ ආé රාමුවල සුන්දරත්වය, මාහැඟියාව, වර්ණවත් බව මිනිසකු ලෙස දැකීමේ, විඳීමේ බෙදා හදා ගැනීමේ වරම අහිමි වෙයි.

සාමාන්‍ය ලෞකික මිනිසුන් පමණක්‌ නොව ලොව්තුරා බුද්ධත්වය සාක්‌ෂාත් කළ ගෞතම බුදුහිමියන් ප්‍රමුඛ සිව්පිළිසිඹියා පත් රහත් ඵල ලැබූ මහරහතුන් වහන්සේලා පවා වැටෙන වැස්‌සෙහි, ගලන ගඟුලෙහි, පායන සඳෙහි, ලෙලෙන ගහකොළෙහි සුන්දරත්වය ද සïවිත්වය ද සෞන්දර්යය ද දුටහ ඒ ගැන භාෂණය කළහ.

'පොළොව ඇසුරු කොට සිටින සියලු ප්‍රාණීහු වැස්‌ස නිසා ජීවත් වෙති' යි වරෙක බුදුහිමියෝ දේශනා කළහ. එමෙන් ම 'නිසල වන පෙත, සිත සමාධිගත කරගනු රුචි පුද්ගලයකුට ක්‌ෂේම භූමියකැ' යි බුදුහිමියෝ තවත් වරෙක දේශනා කළහ. 'වසින වැස්‌ස ගල-ගල හඬින් ගලා යන්නේ' යෑයි වරෙක සම්බුලකච්චාන රහතන් වහන්සේ වදාළහ. වෙසෙන, දකින ලෝකය හා සිදුවීම් පිළිබඳ ව ඒවාහි විචිත්‍රත්වය හා උපයෝගීතා පිළිබඳ ව බුදුන් වහන්සේ ප්‍රමුඛ නික්‌ලේශී මහරහතුන් වහන්සේලා පවා මුවින් ගිළිහෙන වදන්වලින් එසේ ප්‍රකාශ කොට ඇත්තේ උන්වහන්සේලා අවබෝධ කොටගත් ධර්ම මාර්ගය, නිවීම මේ ලෝකයේ ඒ සියල්ල සමග එක්‌ ව පවතින බැවිනි. ඒවාහි සුන්දරතා හෝ රමණීයතා හෝ ඒවාහි ගතිසොබා උන්වහන්සේලාගේ නික්‌ලේශී මනසින් හා නෙතින් දුටු බැවිනි.

පුද්ගලයකුට තමා දැන උගත්, තමා රුචි රාමුවකින් ලෝකය දැකීමට අයිතියක්‌ ඇත. එහෙත් එකී රාමුව තමාටත් ලෝකයටත් බොහෝ වැඩදායක එකක්‌ නම් එකී රාමුව විසින් තමා විෂයෙහි මෙන් ම ලෝක විෂයෙහි ද බොහෝ අර්ථ සිදුකරනු ලබනු ඇත. එමෙන් ම යමකු එසේ තමාට සේ ම ලෝකයට ද වැඩදායක රාමුවක ක්‍රියාත්මක වෙමින් තම රාමුවට සමාන්තර වූ හෝ නොවූ වෙනත් රාමු පිළිබඳ ව අවé මනසින් සිටීම ද, හැකි විට එකී රාමුවලින් ද ලෝකය දෙස බැලීම හා ඒවාහි ක්‍රියාත්මක වීම ද කළ යුතු ය. පුද්ගලයකු එක්‌ රාමුවක සිරකරුවකු නොවන්නේ ද පෘථුල මනසක්‌ සහ වින්දනයක්‌ ඇති අයකු වන්නේ ද එවිට ය.

යමකු තම ජීවිතයේ වෙනත් සමාන්තර රාමු පිළිබඳ ව දැනගත යුත්තේ ද ඒවා හැකි සෑම විට ම ප්‍රගුණ කළ යුත්තේ ද මන්ද යන්නට තවත් සුවිශේෂී හේතුවක්‌ වෙයි. එනම්, යමකු විසින් ප්‍රගුණ කරන ලද්දේ එක රාමුවක්‌ පමණක්‌ නම්, එකී රාමුව බිඳ වැටුණ විටක දී එකී පුද්ගලයා ඉතා අසරණ පුද්ගලයකු බවට පත්වෙයි. පෙරකී නිරූපණ ශිල්පියා හදිසි අනතුරකින් අංගවිකල වූවකු වුවහොත් හෝ ශල්‍ය වෛද්‍යවරයාගේ සුරත අඩපණ වුවහොත් හෝ ගායකයාගේ ස්‌වරාලයේ සෑදෙන පිළිකාවකින් ස්‌වර තන්ත්‍ර අහිමි වුවහොත් වැනි අවස්‌ථාවක දී ඔවුන් එතෙක්‌ පුරුදු පුහුණු කළ, ගමන් ගත්, ජීවත් වූ, සමෘද්ධිමත් වූ රාමුව බිඳ වැටෙයි. එවිට ඉන් එතෙක්‌ ලද ආර්ථික ප්‍රතිලාභ, ගෞරව, කීර්ති ප්‍රශංසා, ජනප්‍රියත්වය තමන්ට අහිමි වෙයි. තම ඉදිරි ජීවිතය ම බිඳ වැටෙයි. එහෙත් නිරූපණ ශිල්පියා, නිරූපණ රාමුව සේ ම ශල්‍ය වෛද්‍යවරයා, ශල්‍ය වෛද්‍ය රාමුව සේ ම ගායන ශිල්පියා, ගායන රාමුව සේ ම තම මනසින්, බුද්ධියෙන්, දැනුමෙන්, හදවතින් හා ක්‍රියාවෙන් වෙනත් කවර හෝ සමාන්තර රාමුවක්‌ හෝ කිහිපයක්‌ යම් මට්‌ටමකින් හුරුපුරුදු කර සිටියේ නම්, දැන සිටියේ නම්, තම ජීවිතය මුළුමනින් ම බිඳ වැටෙන්නේ නැතර්

කළකිරෙන්නේ නැත. අවුල වියවුලක්‌ වන්නේ නැත. එවිට ජීවිතයෙන් පළායන්නට, සුතැවෙන්නට හෝ ඉච්ඡාභංගත්වයට පත්වන්නට හෝ ලෝකයට ද්වේෂ කරන්නට හෝ සිදුවන්නේ නැත. මන්ද, තමා සිටි රාමුවෙන් එළියට අවුත් වෙනත් රාමුවක තම ïවිතය, දැක්‌ම, ක්‍රියාකාරීත්වය පවත්වාගෙන හා හැකි බැවිනි.

ඇතැම් විට ලෝකය තුළ පැවතිය හැක්‌කේ හා එක ම සත්‍යය, තම රාමුව පමණකැ යි ඇතැම්හු සිතති. ඉන් නොනැවතී එය අනුනට ද පටවන්නට උත්සාහ කරති. එසේ නොවන විට බොහෝ ගැටුම් ඇති කරති. එවන් අදහස්‌ හෝ ක්‍රියාවන් ලෝකයේ සහ පැවැත්මට හෝ ප්‍රගමනයට කිසිසේත් හිතකර නොවේ. එක්‌ රාමුවකින් තවත් රාමුවක්‌ ආක්‍රමණය කොට, අවි-ආයුධවලින් ත්‍රස්‌ත කොට, එය බලෙන් පටවා, මිනිස්‌ සංහාරයන් මෙන් ම සංස්‌කෘතික, දේශපාලනික හා ආගමික සංහාරයන් ද කරනු ලැබූ අවස්‌ථා මිනිස්‌ ඉතිහාසය පුරා ඉතා සුලභ ය. එය අදත් සිදුවෙයි. පුද්ගලයකුගේ හෝ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ ව්‍යාප්තවාදී, ඒකාධිපතිවාදී හා විකෘති මානසිකත්වයේ ප්‍රතිඵලය එය යි. එහෙත් තමාට හිතැති, ලොවට හිතැති අන්‍ය රාමු බොහෝ වෙයි.

එහෙයින් යමකු විසින් කරනු ලැබිය යුත්තේ තමාටත් ලොවටත් හිතැති එවන් රාමුවලින් තම ජීවිත කාර්යය සඵල කොට ගැනීම ය එහෙත් කිසිදු රාමුවක සිරගත නොවී ම ය. රාමුවක සිරගත නොවී ජීවිත කාර්යයෙහි නියෑලෙන්නකුට නිරතුරුව ම ලැබෙන්නේ, ජීවිතයේ නිදහස යි. එහි තෘප්තිය සහ සතුට යි. යමකු ලද මිනිස්‌ ජීවිතයේ උපරිම ලැබීම එය යි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.