පමා නොවී දිවියේ සුන්දරත්වය සොයා යමු

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
සමාජවිද්‍යා හා මානවවිද්‍යා අධ්‍යයනාංශය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ලෝක විෂයයේ වපසරිය අතිශය පුළුල් වෙමින් පවතී. තොරතුරු තාක්‍ෂණික මෙවලම් නිෂ්පාදනය, නව විද්‍යාත්මක පර්යේෂණ ප්‍රතිඵල කරණ කොට අපි අපෙන් මිදී සයිබර් අවකාශයේ අපමණ ලෙස සැරිසරමින් සිටිමු. ලෞකික ජීවිතය පවත්වාගෙන යැම පිණිස අප විසින් කුමක්‌ උගත යුතු ද? කෙබඳු ශිල්ප ප්‍රගුණ කළ යුතු ද? අවම වශයෙන් ජිවිහුය ගැටගසාගනු නොහී නිරාහාරව, රෝගීව, දුක්‌ පීඩා විඳිනවුන් මෙලොව කොතෙක්‌ ඇති ද? ඒ සඳහා අපි කුමක්‌ හෝ කර සිටියෙමු ද?

කවර රටවැසියකු වුව ද සිය පරිසරයට අනුගතව දිවි පැවැත්වීමේ දී දැන කියාගත යුතු අත්‍යවශ්‍ය දැනුමක්‌ අවබෝධයක්‌ තිෙරී පොදු සාමාන්‍ය දැනීමක්‌ පවතී. තමන්ට ගැළපෙන ආහාරපාන රටාව මුල්ම කාරණය නොවේ ද? 'ජිගච්ඡා පරමා රෝගා' යනු විසින් බුදුරජාණන් වහන්සේ එය හැඳින්වූහ. සාගින්න යනු ලෝකයේ භයානක රෝගය යි. ඊට ඖෂධ වනුයේ මනා සමබර ආහාරය යි. අපි කීදෙනෙක්‌ එබඳු පෝෂිත ආහාර වේලක්‌ බුදින්නෙමු ද? නිසිපදමට සැකැසූ ආහාර නිසි පමණින් අනුභව කිරීම ගැන බුදුපියාණෝ මැනැවින් දේශනා කළහ. වස විසෙන් මිදුණු සමබර ආහාර වේලක්‌, බීමට ජලය ප්‍රමාණයක්‌ යනු කරදරකාරී, අප්‍රසන්න සූරාකෑමට ලක්‌වන දුක්‌මුසු අත්දැකීමක්‌ වී හමාර ය. ලෝකයේ සිදුවන බොහෝ අපරාධවලට එක්‌ ප්‍රධාන හේතුවකි, දාදිsද්දය - දරිද්‍රතාව - දිළිඳුකම. එක්‌ අතෙකින් රස තෘෂ්ණාවෙහි ඇළුණු ගැළුණු අධිපෝෂණය යි. තවත් අතකින් කෝටි සංඛ්‍යාත ජගත් වැසියන් පෙළෙන මන්ද පෝෂණය යි. අසූචි, කැලි කසල, වස විස භූගත උල්පත් ජලයට මුසුකරමින් ඉන් දිය පානය කරමින්, අහර පිසිමින් නිරයේ පැසෙමින් විස්‌මයජනක ලෙස ඒ මං මුළාව අපි තේරුම් නොගනිමින් සිටිමු. රෝගාතුර වෙමින් සිටිමු. පිළිකාවෙන්, අධික රුධිර පීඩනයෙන්, අධික මේදයෙන්, වඳභාවයෙන්, ස්‌ත්‍රී පුරුෂ ජීව ශක්‌තිය හීන කරගනිමින්, දියවැඩියාවෙන් පෙළෙමින් සිටිමු. කුස නිරවුල් නම් බොහෝ දෑ වියවුල් නොවී සුවසෙත ළඟා වෙතැයි දේශීය මෙන් ම ආයුර්වේදයේ ද කියමනකි. බටහිර වෙදකම ද මේ මතය පිළිගනී. සුදු සීනි, සුදු පිටි හා ලුණු භාවිතය අවම කරගැනීමට මාරාන්තික රෝගී භාවයෙන් මිදීමට ඇමරිකානුවෝ, ජපන්නු දරුවන්ට උපදෙස්‌ දෙති.

ඇඳුම්, පැළඳුම්, නිවාස, සෞඛ්‍ය, සංරක්‍ෂණය, පරිසරය, ගණිතය, වාග්විද්‍යාත්මක කුසලතාව, තොරතුරු තාක්‌ෂණය, සෞන්දර්ය කලා, සාහිත්‍ය කලා සහ ක්‍රීඩා ව්‍යායාම ද ජීවත්වීම පිළිබඳ මහඟු කලා ශිල්ප ප්‍රගුණ කිරීම අපි අතපසු කරමින් සිටිමු. එහි දී අපි මෝහයේ තිමිර පටලය ඇසුරෙහි වල්මත් වෙමින්, මංමුළාවෙමින්, අයාලේ යමින් සිටිමු.

කඳු නැගීම, ගස්‌ නැගීම, ඉණිමළුක්‌ දිගේ පියෑස්‌සකට ගොඩවී කැඩුණු බිඳුණු තැන් පරිස්‌සමින් සකසා ගැනීම, තුරුලිය වැල් මල් පළතුරු හඳුනාගැනීම, ඒවා රෝපණය කිරීම, සුරැකීම, සතා සීපාවා, අපා, දෙපා, බහුපා සතුන් තේරුම් බේරුම් කරගැනීම කොතරම් පරිණත දිවිපෙවෙතක්‌ ගත කිරීමට ඇවැසි ද?

'අධ්‍යාපනය යනු පොත්පත්වලින් ඉගෙනුම හෝ යම්කිසි කරුණු කටපාඩම් කිරීම හෝ පමණක්‌ නොවේ. පොත්පත්වලින් කියෑවෙන දේ සත්‍ය ද අසත්‍ය දැයි බැලීමත් ඊට සවන්දීමත් අධ්‍යාපනය වේ. අධ්‍යාපනය හුදෙක්‌ විභාගයකින් සමත්වීම පමණක්‌ නොවේ. උපාධියක්‌ හෝ රැකියාවක්‌ හෝ ලැබීම පමණක්‌ නොවේ. ආවාහ විවාහ වී තැන්පත්වීම පමණක්‌ නොවේ. කුරුල්ලන්ට සවන්දෙන්නට අහස දෙස බලන්නට, ගසෙක අසිරිය දකින්නට, කන්දෙක හැඩය නරඹන්නට, ඒවා හා එක්‌ව හැඟීම් ඇති කරගන්නට ඇත්තට ම ඒවා සමග එක එල්ලේම සම්බන්ධතා ඇතිකරගන්නට හැකිවීම ද අධ්‍යාපනය යි.'

මේ අදහස ඩබ්ලිව්. ආර්. ෙµdන්සේකා මහතා පරිවර්තනය කළ ඡේ. ක්‍රිෂ්ණමූර්තිතුමාගේ 'අධ්‍යාපනය' නම් ග්‍රන්ථයේ සඳහන් වී ඇත. නව ලොව දැනුම උජාරුවෙන් ද තරඟකාරීව ද ආත්මාර්ථයෙන් ද හොඳින් හෝ නරකින් ජයගන්නා බොහෝ පුද්ගලයෝ ස්‌වාර්ථ සාධනයේ ම යෙදෙති. ඔවුන් නගා සිටුවීමට ජන සමාජයක්‌ කොතරම් ඇප කැපවීම් කළා දැයි ඔවුහු අමතක කරති. මේ පුද්ගලවාදී තත්ත්වය අපේ ඉපැරණි උරුමය සේ ගලා පැමිණි සාමූහිකත්වයට - කණ්‌ඩායම් හැඟීමට ආකල්පයට කොතරම් සතුරු ද?. එසේ නම් අප ලබා ඇත්තේ නිසරු ඉගෙනීමකි. බර්ට්‍රන්ඩ් රසල් පඬිවරයා ප්‍රයෝජනයක්‌ නොමැති දැනුම ගැන පොතක්‌ ලියා ඇත. අනවශ්‍ය කුණුකන්දල් මනසේ රුවා නොගෙන එදිනෙදා කළ යුතු කාර්යභාරය ඉෂ්ට සිද්ධ කරගැනීමට පුරුදු පුහුණු වීම කොයිතරම් ඵලදායක වන්නේ ද?

ඔබ සැලසුම් කරන්නේ වසරකට නම් ධාන්‍ය වපුරන්න.

ඔබ සැලසුම් කරන්නේ දශකයකට නම් ගස්‌ සිටුවන්න.

ඔබ සැලසුම් කරන්නේ ජීවිත කාලයට නම් ජනතාවට අධ්‍යාපනය දෙන්න.

අප්‍රිකානු මාසායි මැරා ගෝත්‍රික කියමනක්‌ අපට කියවන්නට ලැබිණි. මීට පෙර ද මේ අදහස දැන සිටියෙමු. සුනිල් රණසිංහ විසින් සම්පාදනය කරන ලද ඇවිදින පාසල පොත කියවීමෙන් මහදෙහි වැඩි කැළඹීමක්‌ ඇති විය. එහි මෙබඳු අදහසකින් පොත ආරම්භ කොට ඇත.

'ජනප්‍රිය අධ්‍යාපනය යනු දැනුම වනපොත් කිරීමේ ක්‍රියාවලිය යි. මෙහි දී ඥානය සිසුවාගේ ප්‍රායෝගික ජීවිතයට හෝ නිෂ්පාදන ක්‍රියාවලියට කොතෙක්‌ දුරට බද්ධවේද යන්න සැලකිල්ලට නොගැනෙයි. එය අධ්‍යාපනයේ තැන්පතු හා පෝෂණ සංකල්පය ලෙස හැඳින්වෙයි. එහෙත් පාවුල් ෙµ්‍රdයිරේ හා ඉවාන් ඉලිව් වැනි සමාජ අධ්‍යාපනඥයෝ ඊට එරෙහි ව ප්‍රශ්නාභිමුඛ හෙවත් සංවාද අධ්‍යාපනය ලතින් ඇමරිකානු සමාජයට හඳුන්වා දුන්හ. පාවහන් රහිත ගුරුවරු නමින් හැඳින් වූ ඥානය ඇති පුද්ගලයන් ස්‌වෙච්ඡාවෙන් ම ගොස්‌ ඉගැන්වීමේ ක්‍රමයක්‌ තිබුණි. මාවෝ සේතුං විසින් චීන විප්ලවයෙන් පසුව ක්‍රියාත්මක කරන ලද මේ ක්‍රමය ආභාසයෙන් ලොව විවිධ රටවල් විසින් එවැනි නව අත්හදා බැලීම් කරන ලදී.'

අපේ බුදු පියාණන් වහන්සේ ප්‍රථම ධර්මදූත සේවාව මගින්, ගමින් ගම, දොරින් දොර පුද්ගලාභිමුඛ ව මෙබඳු සාකච්ඡා, කථිකා මගින් ඤාණාලෝකය දල්වාලු සේක. සොබාදහම හා බැඳුණු අල්පේච්ඡ දිවිපෙවෙතක්‌ ගත කළ බුදුරජහු, භික්‌ෂුන් වහන්සේලා ඊට හුරු කළහ. සොබාදහම මිනිසුන්ගේ ක්‍රියා පිළිවෙත්, ආචාර විචාර චර්යා කෙරෙහි හැසිරෙන ආකාරය පිළිබඳ දස දහස්‌ ගණනින් අත්දැකීම් තොරතුරු සොයා ගත හැකි ය. හත්කෝරලයේ වැව් ගම්මණ්‌ඩියක වාසය කරන පොඩිරත්න අඟමලේ කවියා තම අත්දැකීම් මෙසේ විස්‌තර කරයි. ඔවුන්ගේ ගංකරයේ වැව, කැලෑව, පාසල, කුඹුරු යාය අසල වත්තක වරකා ගසක්‌ තිබුණි. වරකා ඉදෙන කාලයට ගැමි වතු හිමියා පැමිණ අහල පහළ උදවියට වරකා කඩාගෙන යන්ටැයි ඇරැයුම් කරයි. කාලයක්‌ යන කල්හි එම වරකා ගස පැණිවරකා ගසක්‌ බවට පත්වූයේ කුමන අරුමයක්‌ නිසා ද?

එහෙත් වතුහිමියා දන්දීමේ සිතින් මිදුණු විට සිදු වන්නේ කුමක්‌ ද ? තත් කවියා විසින් තමා ලද සත්‍ය අද්දැකීමක්‌ තවදුරටත් විකසිත කරමින් ලියූ 'කොස්‌ ගසක අරුමය' ඒ ප්‍රශ්නයට දිය යුතු පිළිතුර දෙයිර් එතෙකින් නොනැවත අපේ ජීවිත සකසා ගෙන යා යුතු මාවත ද පෙන්වයි.

කොස්‌ගසක අරුමය

අතොරක්‌ නැති ලෙසට මුල මැද සිට අගට

තුරැඳී පල බරින් බරවුණු එක දිගට

කාටත් පුදුමයක්‌ වූ සිතු නෙතු යුගට

තිබුණා කොස්‌ ගසක්‌ යාවුණු මහ මගට



දුර මං ගෙවා අත දරුවකු වඩාගෙන

අම්මා කෙනෙකු එතැනින් යන විඩාගෙන

කොස්‌ ගැටයක්‌ පෙනී ගහමුල ඉදීයන

කන්නට සැරසුණා එහි වක ගසාගෙන



එ සැණින් දිව ඇවිත් එතැනට කඩාපැන

කොස්‌ ගස අයිතිකරු කට මැත දොඩාගෙන

අවමන් කරද්දී හෙරකට විලාසෙන

මම ඇය දුටිමි දරුවත් ගෙන පලායන



දුර්ජනයකුට පව පින නොහැඟෙන හින්දා

නොකළත් එතැන éම මම ඔහු හට නින්දා

එනමුත් පූරුවක කරුමයට ද මන්දා

මේ කවි ලියන තෙක්‌ මම ඒ දුක වින්දා



දින සති මාස ගතවී වෙනසකි පෑයේ

අදහාගත නොහැකි තව පුදුමෙකි වූයේ

දහමක්‌ වේ ද නොදනිමි මෙය දිය දායේ

එගසෙහි පලය හටගත්තේ නැත ආයේ



දළු කොළ හැලුණා අතු ඉති දිරුණා

දරකඩ මතුවී තැන තැන පෙනුණා

දුක්‌මුසු සෙයකින් පාළුව පිරුණා

කොස්‌ ගස මැරුණා කොස්‌ ගස මැරුණා

සොබාදහමේ ගහකොළ පවා හොඳ හා නරක හැසිරීම්, කතාබස්‌, සිතුවිලි ආදියේදී දක්‌වන ප්‍රතිචාර මෙසේ අප විසින් දැනගත මනා ය. විභාග සමත්වී ඉහළ තැන්වල වැජඹෙන කීදෙනෙක්‌ මේ සොබාදහමෙහි නියාමය දන්නේදැ යි නොදනිමි. තමන් සතු ජඩ රුදුරු ස්‌වාර්ථය තවදුරටත් වගාකරගනිමින් හුදෙකලාව දිවිගෙවන, ලොවට මෙන් ම තමන්ටත් කිසිකමක්‌ නැති සොහොනක ඇවිලෙන දරකොටයක්‌ බඳු මිනිස්‌සු අප රටේ ද එමට හමුවෙති. තමන් දියුණු වෙමින් ලොව නිවසන අයට දියුණු වන්නට අතහිත දෙන අත්තහිත පරහිත පුද්ගලයෝ ද සිටිති. වඩා ශ්‍රේෂ්ඨ වන්නෝ මේ අවසානයට කී අය යි.

පූජ්‍ය කටුකුරුන්දේ ඤාණානන්ද මාහිමිපාණන් වහන්සේගේ දේශනයක්‌ ඇසුරින් පළකළ 'උත්තරීතර හුදෙකලාව' පුස්‌තිකාව භද්දේකරත්ත සූත්‍රය ඇසුරින් සම්පාදිත ය.

'තෙර යමක්‌ අතීත ද, එය ප්‍රහීන කරන ලද්දේ වෙයි. යමක්‌ අනාගත ද එය අත්හරින ලද්දේ වෙයි, වර්තමාන ආත්ම භාව ප්‍රතිලාභය පිළිබඳව ඡන්ද රාගය මැනවින් හික්‌මවන ලදුයේ ද වෙයි. මෙසේ ය තෙර, හුදෙකලා වාසය පරිපූර්ණ වන්නේ'

ඉහත කී සියලුම අවශ්‍යතා සම්පූර්ණ වී උත්තරීතර හුදෙකලාව මුර්තිමත් කැරෙන්නේ රහතන් වහන්සේ තුළින් ම බව බුදුන් වහන්සේ පැහැදිලි කළහ. පහත සඳහන් වන්නේ ඒ බුද්ධ භාෂිතයේ කාව්‍යමය ප්‍රකාශයකි.

සියල්ල ජයගත් සියල්ල දැනගත්

සියල්ලෙන්මැ නොකිලිටි ඒ නැණවත්

සියල්ල හැරැ තණ්‌හා නැසූ එවිමුත්

නරා යෑ එකලා විහරණයෙන් යුත්



ගිය කල ලුහු බැඳ හොයන්න

මතු කල නොපතා සිටින්න

ගිය දේ ගිය සේ මැ ගන්න

මතුව නොපත් සේ දකින්න



එළැඹුණ දේ දැන් දැන් එන

විදසුන් නුවණට දමන්න

අද අපේ බොහෝ දෙන ගමන් කරනුයේ කෙලෙස්‌ ගින්නෙන් තැවෙන දැවෙන ලෞකික වූ සරාගී හුදෙකලා ගමනකි. එම හුදෙකලාව ථෙරනාම සූත්‍රයේ නිරූපිත පරිසමාප්ත වූ සිත පිළිබඳ හුදෙකලාවක්‌ නොවේ. උත්තරීතර හුදෙකලාව වනාහි ගියකලට හා මතුකලට අයත් සියල්ල අතහැර, එළැඹි මොහොතෙහි තම ආත්මභාවයට ඇති ඡන්ද - රාගය ප්‍රහීණ කිරීමෙන් දිනාගනු ලබන්නක්‌ යයි ¯ණානන්ද හිමියෝ විස්‌තර කරති.

සැබෑ හුදකලා ජීවිතය සම්බන්ධයෙන් අගනා ලිපියක්‌ මෙරට ïවත් ව සිටි සුප්‍රකට චින්තකයකු මෙන් ම සුකීර්තිමත් අධ්‍යාපනඥයකු වූ ආචාර්ය ඊ. ඩලිලිව්. අදිකාරම්තුමන් විසින් ද ලියා තිබිණ. සිතිවිලි කාණ්‌ඩ 3 හි අන්තර්ගත එම ලිපියේ මාතෘකාව 'හුදකලා ජීවිතය යි'. ඉන් කියෑවෙන පරිදි උපතේ සිට මරණය දක්‌වා දැනට අප ජීවත්වන ආකාරය ගැන - එහි අර්ථය ගැන ප්‍රශ්න කිරීමට යොමු වන්නේ ද හුදකලා තැනැත්තා ය. ඒ 'හුදෙකලාව' ලෝකයට සුන්දර අර්ථ ගෙන එයි. ඒ ගැන අදිකාරම් මහතා මෙසේ කියයි.

'මේ සියල්ලෙහි තේරුම කුමක්‌ දැයි දහස්‌ ගණනකින් එක්‌ කෙනෙක්‌ තමාගෙන් ම ප්‍රශ්න කර ගනියි. මේ නිෂ්ඵල නාට්‍යයෙන් එහා යම් කිසි දෙයක්‌ ඇද්දැයි ඔවුනතුරෙනුත් ස්‌වල්ප දෙනෙක්‌ සොයන්ට සිතති. කලාව, විද්‍යාව, දර්ශනය ආදී මනුෂ්‍ය ජීවිතය පිළිබඳ සෑම අංශයක ම කලින් කල නව යුගයන් උදාවූයේ එවැනි වූ ස්‌වල්ප දෙනා නිසා ය.'

මේ ස්‌වල්ප දෙනා බහුතරයක්‌ බවට පත්කළ නොහැකි ද ? එය කළ හැක්‌කේ ඔබට ය. ජීවිතයේ සුන්දර අර්ථ සොයා ගනු කැමැති ඔබට ය. ඒ සොයා ගත් දෙය ලෝකයට දෙනු කැමැති ඔබට ය. ඒ සඳහා ඔබ හුදකලා විය යුතු ය. අදිකාරම් මහතා පෙන්වා දෙන පරිදි හුදකලාව යනු තනිකම නම් නොවේ.

'හුදකලාව යනු තනි බව නොවේ. මේ දෙක එකිනෙකට ඉඳුරාම වෙනස්‌ ය. හුදකලා බව ඕනෑකමින් ඇති කර ගන්නකි. අමිහිරක්‌ හෝ පාළුවක්‌ එහි නැත. තනි බව ඉබේ ඇති වන්නකි. ආශ්‍රයට තමා කැමති අයගේ ආශ්‍රය නොලැබීමෙන් සිදුවන්නකි. එය අමිහිරිය, පාළු ගතිය එහි නිසර්ගයෙන් ම ඇත.'

තැවුල් විපත් ඇති කරන්නේ ආත්මාර්ථය මත පදනම් වන, සමාජය හුදකලාව ලෙස හඳුන්වන ඒ තණ්‌හාධික තනිකම යි. විභාගයෙන් අසමත් වූ විට, පවුල් දිවිය කඩාවැටෙන විට, ප්‍රේමය යෑයි සිතාගෙන සිටි දෙය බිඳ වැටෙන විට, සිය දිවිනසා ගැනීම වෙත මනුෂ්‍යයා යොමු කරන්නේ ඒ තනිකම යි.

බුදුන් වහන්සේ අනුදැන වදාළ බුදුමග ඊට හාත්පසින් වෙනස්‌ ධම්ම විනය සහිත මාර්ගයකි. ගිහියන් වන අපට සාධනය කරගත හැකි වටිනාකම් ප්‍රතිමාන සාධනය කරගත් සැදැහැ ගුණ නුවණින් සැදුණු මාවතකි. එය කවර ආගමකට ජාතියකට අයත් වුවත්, මනුෂ්‍යයන් ලෙස අපගේ ජීවිත සකස්‌ කරගැනීම සඳහා අප ඉදිරියේ ඇති ශික්‌ෂණයේ මාවතකි.

අපි ඒ ගැන නුවණින් කල්පනා කළ යුතු වෙමුර් සැබැවින් ම පිළිවෙතින් හැසිරිය යුතු වෙමු. ගාල්ලේ ජී. ඇම්. අජිත් ප්‍රවීණ කවියා මේ අදහසම අප කාටත් දැනෙන සේ මෙසේ කවියෙන් කියයි.

සම්බුදු ජයන්තියේ පෙළ ගැසෙමු පිළිවෙතින්

සුන්දර පුවරු දිස්‌වන නමුදු දස අතින්

තැන්පත් වී නොමැත තවදුරට හද වතින්

දැන්වත් වැඩක්‌ ගන්නට බලමු බණ පොතින්

මේ සඳහා ගොවියාට තම දැනුම අවබෝධය පුළුල්කොට ගැනීමට ගොවිපළ පාසල් ක්‍රමයත්, වැඩකරන ජනතාවගේ ඥානය වර්ධනය කරගැනීමත් වැඩිහිටි අධ්‍යාපනයට, ධීවරයන්ට, ගැමියන්ට, කම්කරුවන්ට පවුල හා සේවා ස්‌ථානවල දී දැනුම වඩාගැනීමට විවිධ ක්‍රමත් සැකසී තිබේ. ඉන් ලෝකයා අත්දැකීම් ලබා ඇත.

දහවල් භෝජන කාලයේ දී අපි බොහෝවිට විනෝද වැඩසටහන්, සිංදුකීම වැනි දේ කරමු. විනෝදය, සතුට විශ්‍රාන්තියද ජීවිතයට අවශ්‍ය බැව් සැබවි. ඒ අතර අප වැනි දියුණු වන්නට උත්සාහ කරන රටවල මිනිසුන්ට පරිපූර්ණ අධ්‍යාපනයක්‌ ලබා ගැනීම වැදගත් ය. අනගාරික ධර්මපාලතුමා ජන්ම ලාභය ලබා අවුරුදු 150 ක්‌ පිරෙන්නේ මේ වසරේ සැප්තැම්බර් 17 දා ය. ධර්මපාලතුමා දහවල් කෑම වේලාවේ පිටකොටුවේ පයින් යනවිට රික්‌ෂෝකරුවන් නිදා සිටිනු දැක පැවසූ අදහස්‌ රැසකි. අලසකමින් මිදී ජීවයෙන් යුතු ව වැඩ කිරීමෙන් ආනිසංස රැසක්‌ ලබාගත හැකි ය යන්න ඉන් එකකි.

ප්‍රමාදවන්නා පරාජය වෙයි. අප්‍රමාදී පුද්ගලයා නිවී සැනැසෙයි.

අපි ප්‍රමාද නොවී ජීවිතයේ සුන්දර අර්ථ සොයා යමු.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.