අවසනාව වාසනාවක්‌ කර ගැනීම

පූජ්‍ය කුකුල්පනේ සුදස්‌සී හිමි
ශ්‍රී විනයාලංකාරාරාමය, පොකුණුවිට, හොරණ.

ක්‍ෂණ සම්පත්තිය

උල්පත ( නුවණ මඳ පුද්ගලයා ජීවිතයට පැමිණෙන දුක්‌ කම්කටොලුවලදී අනුන්ට චෝදනා කරයි, බියපත් වෙයි, තැවෙයි. එය නුරුස්‌සන ඔහු ඇතැම්විට අනුන් සමග දබර කරගනියි. එහෙත් නුවණැත්තා එම කම්කටොළු පොහොර කරගෙන මනස සවිමත් කරයි. ලෝකය පිළිබඳ අවබෝධය ලබමින් ජීවිතයේ පන්නරය ලබන්නට එය ක්‍ෂණ සම්පත්තියක්‌ කර ගනියි.

විවරණය ( ලාභ - අලාභ, යස - අයස, නින්දා- ප්‍රශංසා, සැප - දුක යන අෂ්ටලෝක ධම_යෙහි අප අපේක්‍ෂා කරන

කරුණු සතරකි. ප්‍රතික්‍ෂේප කරන කරුණු සතරකි. අපේක්‍ෂා කරන දේ ලැබෙනවිට උද්දාමයට පත් වෙනවා සේම, ප්‍රතික්‍ෂේප කරන දේ සිදුවන විට දුකට පත්වීම පොදු මිනිස්‌ ගතියකි. නුවණ මඳ පුද්ගලයා ලාභයෙන්, යසසින් ප්‍රශංසාවෙන්, සැපයෙන් උඩ`ගු වී අන් අයට තම බලය පෙන්වමින් හිංසා කරයි. අලාභ, අයස, නින්දා, දුක පැමිණෙන විට එසේ සිදු වූයේ අනුන් නිසායයි චෝදනා කරමින් ලොවට සාප කරන්නට, වෛර කරන්නට දුබලයන් තලා පෙළන්නට පෙළඹෙයි. එහෙත් නුවණැතියන් විසින් ගනු ලබන මග එය නොවෙයි.

ඥානවන්තයා ලාභ, යස, ප්‍රශංසා, සැප ලැබෙනවිට සසර කරන ලද කුශල බලයෙන් ලද එම සම්පත් තාවකාලික බව දැන අනාගත සුරක්‍ෂිත බව සඳහා තැන්පත් කර තබන්නට, අඹුදරු මව්පියාදීන් පෝෂණය කරන්නට, මතු සසර යහපත පිණිස කුශල් කිරීමට එම සම්පත් අප්‍රමාදීව භාවිත කරයි. අලාභ, අයස, නින්දා, දුක පැමිණෙන විට අනුපිළිවෙළින් මෙසේ ක්‍රියා කරයි.

1. පළමුව පැමිණි අවස්‌ථාවට ඔරොත්තු දීමට මනස සකසා ගනියි.

2. එම ගැටළු මතුවීමට තමාගෙන් සිදුවී ඇති අඩුපාඩු සොයා බලා සකසා ගනියි.

3. ඒ සඳහා ඇසුරු කරන අන් අයගේ දුබලකම් හේතු වී ඇතොත් හැකි පමණ ඒවා

සකසා ගැනීමට සහාය වෙයි.

4. ඒ සඳහා බලපාන සසර කර්ම මැඩලීමට සුදුසු කුසල් සිදුකිරීමෙහිලා උත්සාහවත්

වන අතර යළි එබඳු අකුශල් සිදු නොවීමට වගබලාගනියි.

සංවේදී මනසක්‌ ඇති අයකු ලෙස අපි දු කලෙක තරයේම දුක ප්‍රතික්‍ෂේප කළෙමු. අපේක්‍ෂා කරන ලෙස යහපත් දේ පමණක්‌ සිදු වේවා යි යළි යළිත් ප්‍රාර්ථනා කළෙමු. එහෙත් සිදු වූයේ අනෙකකි. ප්‍රතික්‍ෂේප කරන දේම යළි යළිත් සිතට පීඩා කරන්නට විය. එය කෙතරම් ''මා'' දුකට පත් කළේද යත් පැය විසිහතර පුරාම බියෙන්, තැතිගැනීමෙන්, දුකින්, දොම්නසින් හා ලෝකය නුරුස්‌නා කලකිරුණු සිතින් කාලය ගත විය. මේ සිදුවන්නේ කුමක්‌ද? මට වැරදුනේ කොතැනද? සැබැවින්ම සිතට මෙතරම් පීඩා ඇතිකරන්නේ ලෝකයේ සිදුවන දේද? නැතිනම් නුරුස්‌නා මනෝභාවයද? ලෝකයේ සිදුවන දේ කවරාකාරයෙන් වර්ගීකරණය කළත්, නම් කළත් අපි දුක්‌ විඳින්නේ සැබැවින්ම ඒවායින් ද?

පැවිද්දාට ප්‍රශ්න අඩුය, ගිහියාට ප්‍රශ්න වැඩිය. අතීතයේ මිනිසුන්ගේ ජීවිත සරලය, එනිසා ප්‍රශ්න අඩුය. අද මිනිසුන්ගේ ජීවිත සංකීර්ණය, එනිසා ප්‍රශ්න වැඩිය. මෙසේ විවිධ වර්ගීකරණයන් අනුව ලෝකය බෙදා දැක්‌වීමට මිනිසුන් උත්සාහ කළත් ඒ සියල්ල විමසා බලනවිට අපි සැවොම දුක්‌ විඳින්නේ ප්‍රශ්න දෙකකින් බැව් ප්‍රකට වෙයි. එනම්,

1. මම කැමති දේ සිදු නොවේද?

2. මම අකමැති දෙයක්‌ සිදු වේද?

මේ ප්‍රශ්න දෙකම හටගන්නේ ''මා කැමති ලෙස ලෝකය පැවතිය යුතුයි'' යන සංකල්පය පදනම් කොටගෙනය. එහෙත් ලෝකයේ සියල්ල අනාත්ම බැවින් ''මගේ'' කැමැත්තට අනුව කිසිවක්‌ සිදු නොවෙයි. ලෝකයේ සියල්ල සිදුවන්නේ අදාළ හේතු ප්‍රත්‍යයන්ට අනුකූලව විනා මගේ රුචි අරුචිකම් අනුව නොවේ.

මේ ප්‍රශ්න දෙකම හටගන්නේ ''මා කැමති ලෙස ලෝකය පැවතිය යුතුයි'' යන සංකල්පය පදනම් කොටගෙනය. එහෙත් ලෝකයේ සියල්ල අනාත්ම බැවින් ''මගේ'' කැමැත්තට අනුව කිසිවක්‌ සිදු නොවෙයි. ලෝකයේ සියල්ල සිදුවන්නේ අදාළ හේතු ප්‍රත්‍යයන්ට අනුකූලව විනා මගේ රුචි අරුචිකම් අනුව නොවේ.

අදාළ හේතු ප්‍රත්‍ය සම්පාදනය වනවිට අපි එය අපේක්‍ෂා කළත්, ප්‍රතික්‍ෂේප කළත් එය එසේ සිදු වෙයි. හේතු ප්‍රත්‍ය අහෝසි වන විට රුචි වුවත්, අරුචි වුවත් ඒවා අහෝසි වෙයි. එහෙත් රුචි අරුචිකම්වලට වහල්වී, පවතින තත්ත්වය ප්‍රතික්‍ෂෙප කරන විට දුක දොම්නස අසහනයá මනස විඩාවට පත් කරයි දුබල කරයි. විටින් විට අප වෙත පැමිණෙන අසාර්ථකත්වය හා කටුක අත්දැකීම්වලදී අප දොම්නසට පත්වන්නේ එහෙයිනි.

එහෙත් නුවණැත්තා හැඟීම්වලට වහල් නොවී තමා අසාර්ථක වූයේ ඇයිදැයි සොයා බැලීමට උත්සුක වෙයි. එවිට හේතු හඳුනා ගනියි. සාර්ථකත්වය සඳහා එම දුබලකම් මඟහරවා ගත යුතු බව දකියි. අපහසුවෙන් හෝ ඒ සඳහා උත්සාහ කරයි. මෙසේ දුක්‌ දුරුකරන මග විවර කර ගැනීමට, සාර්ථකත්වයේ මග විවර කර ගැනීමට එයම අවස්‌ථාවක්‌ කර ගනියි.

එසේම ඉවසීමට, දරාගැනීමට, විමසීමට, ප්‍රත්‍යවේක්‍ෂා කිරීමට, නොදන්නා බවින් දන්නා බවට, අසාර්ථකත්වයෙන් සාර්ථකත්වයට මග විවර කර ගනියි. අපි අපේක්‍ෂා කළ, ප්‍රියමනාප දේ සිදු වූ අවස්‌ථා සිහිකර බලන්න. එහිදී සිදුවූයේ මමත්වය, මානය, අනුන් හෙළා දැකීම, තමන් හුවා දැක්‌වීම, උද්දාමයෙන් ඇති වූ බොළඳ බව, අලස බව, තෘෂ්ණාව, බලාපොරොත්තුව වැනි දුබලකම් වැඩීම පමණක්‌ නම්, සැබැවින්ම ඉන් සිදුවී ඇත්තේ යහපතක්‌ ද? එහෙත් අසාර්ථකවීම් හා කටුක අත්දැකීම් ලද අවස්‌ථා සිහිකර බලනවිට ඉවසීම, දරාගැනීම, හේතුඵල දැක්‌ම, වීර්යය, අධිෂ්ඨානය, විමසීම, ප්‍රත්‍යවේක්‍ෂාව, ප්‍රඥාව යම් පමණකට හෝ මනසේ වැඩී ඇති අවස්‌ථා දැකිය හැකිය. එසේ නම් එම අවස්‌ථා දුර්භාග්‍යයක්‌ ලෙස සලකා ප්‍රතික්‍ෂේප කළ යුතු ද? මෙයින් අදහස්‌ කෙරෙන්නේ දුක්‌විඳි පමණට ගුණ වැඩෙනවාය, සත්‍යාවබෝධය වෙනවාය යන්නක්‌ නොවේ. උත්සාහ කළොත් එම කටුක අවස්‌ථා ඒ සඳහා ක්‍ෂණ සම්පත්තියක්‌ කරගත හැකි බවය. එහෙයින් අසාර්ථකත්වය තුළ ඇති සාර්ථකත්වයේ දොරටුව, කටුකබව තුළ ඇති සැනසීමේ දොරටුව දකින්නට, එහි පිවිසෙන්නට උත්සාහ කළ යුතුය.

සැබැවින්ම අප රුචිකරන දේ පමණක්‌ ලෝකයේ සිදු වුවහොත් ලෝකයෙන් එතෙර වීමට ලෝකය අතහැරීමට විටින්විටවත් සිතුවිලි පහළ වේවිද? නොවේමය. සියල්ල අපේක්‍ෂා කරන අයුරින් සිදු වේ නම් අතහරින්නේ කුමටද? ගිනිහුල අතහරින්නට සිදුවන්නේ අත දැවෙන නිසාය. ලෝකය අතහරින්නට සිතුවිලි පහළ වන්නේ කැමති ලෙස සිදු නොවන නිසාය. කටුක නිසාය. අසාර්ථකවීම් බහුල නිසාය. සාර්ථක වුවත් එය තාවකාලික නිසාය. මෙසේ විමසා බලනවිට අපි අකමැත්තෙන් ප්‍රතික්‍ෂේප කරන්නේ නිවණට පිවිසෙන අමා දොර විවරවන කඩඉම නොවේ ද? දුක ප්‍රතික්‍ෂේප කොට දුකින් එතෙර වූවෝ නොවූහ. එතෙරවූවෝ දුක දැන දැක ප්‍රත්‍යක්‍ෂ කළ උතුමෝ පමණි.

එහෙයින් කටුක අත්දැකීම් ''භුක්‌තිවිඳිමින්'' ප්‍රතික්‍ෂේප කිරීම, දොම්නසට පත්වීම, හැඟීම්වලට වහල්වීම වෙනුවට, සිහියෙන් දකින්නට අවබෝධ කරන්නට වෑයම් කළ හැකිනම්, ඉවසීමට දරාගැනීමට පුහුණු විය හැකිනම් ඒ අවාසනාවම වාසනාවක්‌ කර ගත හැකිය. එවිට ඒ අභාග්‍ය සම්පන්න අවස්‌ථාව, දහම දකින නිවන් මග විවර වෙන ක්‍ෂණ සම්පත්තියක්‌ කරගතහැකි වෙනවා නොඅනුමානය.

දොරටු

1. නිවන් දැකිම යනු කෙළෙස්‌ නැසීමයි. කෙළෙස්‌ යනු ලෝකයේ සිදුවන දෙයින් (අෂ්ට ලෝක ධර්මයෙන්) මනස කෙලෙසීමයි. ලෝකය සැලෙද්දී මනස නොසැලී පවත්වන්නට පුහුණු වීමම නිවන් මග පුහුණු වීමය.

2. ඉවසිය යුත්තේ ඉවසිය නොහැකිම තැනදීමය. කුපිත වන්නට කරුණු නැති තැනක කුමක්‌ ඉවසන්නද?

3. බාධකයන් නැතිව උස පැනීම, ''උඩපැනීමක්‌'' පමණි. බාධකය ඉහල යන තරමට උසපැනීමේ හැකියාව ඉහළ යයි.

4. ''ආපසු භික්‌ඛවෙ ථාමො වෙදිතබ්බො'' කෙනෙකුගේ දරාගැනීමේ හැකියාව, චිත්තශක්‌තිය, ඥාන ශක්‌තිය, ආත්ම ශක්‌තිය, කොපමණදැයි දත හැක්‌කේ කටුක අත්දැකීමකදීය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.