ධර්මාවබෝධයට අභිධර්මයේ වැදගත්කම

පූජ්‍ය ඉඟුරුවත්තේ ධම්මගවේසි හිමි,
සිව්වන වසර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ජීවිතයත් ලෝකයත් තත්ත්වාකාරයෙන් අවබෝධ නොකරගත් බොහෝ දෙනා ඒ සම්බන්ධව අතීතයේ සිටම නොයෙකුත් වාද විවාදයන් හා දර්ශනයන් ලෝකයට බිහි කළහ. නමුත් තථාගත දර්ශනය ශ්‍රේෂ්ඨ වන්නේ එය තථාගතයන් වහන්සේ විසින් යථාවබෝධයෙන් යුක්‌තව ඉදිරිපත් කරන ලද හෙයිනි. දම්සක්‌ පැවතුම් සූත්‍රය දේශනා කරමින් උන්වහන්සේ එය හැඳින්වූයේ (පුබ්බේ අනනුස්‌සුතෙසු ධම්මෙසු) පෙර නො ඇසූ විරූ ධර්මයක්‌ වශයෙනි. එහෙයින් එම දර්ශනයට වෙන කිසිදු දර්ශනයක්‌ කිසිලෙසකින්වත් අභියෝගාත්මක නොවීය. සූත්‍ර විනය අභිධර්මය වශයෙන් නූතනයේ ත්‍රිපිටක ධර්මය වශයෙන් ප්‍රචලිතව පවතිනුයේ එසේ දේශිත ධර්මයයි.

තථාගතයන් වහන්සේ පිළිබඳ මනා අවබෝධයක්‌ ඇති කෙනෙකුට පමණක්‌ම තථාගත දර්ශනයේ ස්‌වභාවය තේරුම් ගත හැක. උන් වහන්සේ ධර්මය දේශනා කොට වදාළේ සියල්ල තත්ත්වාකාරයෙන් අවබෝධ කොටගෙනය. සර්වඥතාඥානයේ ස්‌වභාවය පටිසම්භිදා මග්ගයේ සොළස පඤ්ඤානිද්දේසයේ විස්‌තර කොට ඇත්තේ මෙසේය.

''නත්ථි තස්‌ස භගවතො අඤ්ඤාතං අදිට්‌ඨං අවිදිතං අසචජිකතං

අඵසසිතං පඤ්ඤාය. අතීතං අනාගතං පචචුප්පන්නං උපාදාය සබ්බේ ධම්මා

සබ්බාකාරෙන බුද්ධස්‌ස භගවතො ඤාණමුඛෙ ආපාතං ආගච්ඡන්තිදී'

(භාග්‍යවතුන් වහන්සේ විසින් නොදන්නා ලද්දක්‌, නොදක්‌නා ලද්දක්‌ ඥානයෙන් නොපැමිණෙන ලද්දක්‌ ප්‍රත්‍යක්‍ෂ නොකරන ලද්දක්‌ ඥානයෙන් ස්‌පර්ශ නොකරන ලද්දක්‌ නැත. අතීත අනාගත වර්තමාන වු සියලූ ධර්මයන් සර්වාකාරයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඤාණ මුඛයෙහි සම්මුඛ වන්නේ ය.)

අතීත අනාගත වර්තමාන වශයෙන් පවත්නා සකල ධර්මයන් පිළිබඳ තත්ත්වාකාරයෙන් අවබෝධ කොටගත් තථාගතයන් වහන්සේ සත්ත්වයන් උදෙසා ධර්මය දේශනා කොට වදාළේ අරමුණු කීපයක්‌ මූලික කොටගෙනය.

- බුද්ධො සො භගවා බොධාය ධම්මං දෙසෙති

ලෝකය තත්ත්වාකාරයෙන් අවබෝධ කොටගත් තථාගතයෝ අන්‍යයන්ට ද අවබෝධය පිණිස ධර්මය දේශනා කළහ.

- දන්තො සො භගවා දමතාය ධම්මං දෙසෙති

සියලු තැන්හි දැමුණු තථාගතයෝ අන්‍යයන් ද දමනය කරණු පිණිස ධර්මය දේශනා කළහ.

- මුත්තො සො භගවා මොචාය ධම්මං දෙසෙති

සියලු කෙලෙසුන් කෙරෙන් සහ ලෝකයෙන් මිදුණු තථාගතයෝ සත්ත්වයාද එසේ මුදවනු පිණිස ධර්මය දේශනා කළහ.

- සන්තො සො භගවා සමතාය ධම්මං දෙසෙති

සියලු අකුසල ධර්මයන්ගෙන් විනිර්මුක්‌තව ශාන්ත ස්‌වභාවයෙන් යුතු තථාගතයෝ සත්ත්වයා ද එසේ ශාන්ත බවට පත්කරලනු පිණිස ධර්මය දේශනා කළහ.

- පරිනිර්බුතො සො භගවා පරිනිබ්බුතාය ධම්මං දෙසෙති

සකල භවයෙන් මිදී පිරිනිවුණු තථාගතයෝ පරිනිර්වාණය පිණිස ලෝකයට ධර්මය දේශනා කළහ.

ඉහත අරමුණු සියල්ලෙන් ප්‍රකට වන කාරණය නම් ජීවිතයේ සහ ලෝකයේ යථා පැවැත්ම කවරක්‌ද යන්න පිළිබඳ සත්ත්වයා හට අවබෝධ කරවා ඉන් සත්ත්වයා මිදවීම බුදුවරුන්ගේ අභිප්‍රාය වන බවයි. උන්වහන්සේ දේශනා කළ ධර්මය පටිසෝතගාමී පිළිවෙතක්‌ බව පැහැදිලිව දේශනා කොට ඇත. එයට හේතුව නම් සාමාන්‍ය සත්ත්ව ප්‍රජාව ලෝකය දක්‌නා ආකාරයට

වඩා හාත්පසින්ම වෙනත් ආකාරයකටය බුදුවරුන් ලෝකය දකිනුයේ. පර්වතයක්‌ මුදුනට නැගගත් කෙනෙකු හාත්පස පැහැදිලිව දකිනුයේ යම් සේද ඒ ආකාරයෙන් බුදුවරුන් සකල භව පරම්පරාවද තතු පරිදි දැක දේශනා කොට ඇත.

එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අභියෝග කළ හැකි කිසිවෙක්‌ කිසිදු ලෝක ධාතුවක්‌ තුළ විද්‍යමාන නොවේ. තථාගත සන්තානය තුළ විද්‍යමාන වන විශාරද ඥාන හතරක්‌ පිළිබඳ මඡ්Cධිම නිකායේ මහාසීහනාද සූත්‍රයෙහි දක්‌වා ඇත. ඉන් පළමු ඥානය වනුයේ

''සම්මාසම්බුද්ධස්‌ස තෙ පටිජානතො ඉමෙ ධම්මා අනභිසම්බුද්ධාති......'' යනුයි.

තථාගතයන් වහන්සේ සියල්ල මනා කොට දැන සිටිනවා යන්න ප්‍රතිඥා කෙරේ. එහිදි කිසිදු ශ්‍රමණයකු, බ්‍රාහ්මණයකු, දෙවියකු, මාරයකු, බ්‍රහ්මයකු හෝ අන් කිසිවකු විසින් හෝ ''ඔබ වහන්සේ සියල්ල දනිමි යෑයි ප්‍රකාශ කළ ද අසවල් කරුණ දැන නැතැයි'' කිසිවෙකුට ද චෝදනා කළ නොහැකිය. එසේ හෙයින් තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය කිසිලෙසකින්වත් කිසිවෙකුට අභියෝගයට ලක්‌ කළ නොහැකිය. තථාගත ධර්මයේ පවත්නා එම ස්‌වභාවය ඛුද්දක නිකායේ ලෝකාවබෝධ සූත්‍රයෙහි මෙසේ දේශනා කොට තිබේ.

''යඤාච භික්‌ඛවෙ රත්තිං තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං

අභිසම්බුæCධති, යඤාච රත්තිං අනුපාදිසෙසාය නිර්බානධාතුයා පරිනිර්බායති,

යං එතස්‌මිං අන්තරෙ භාසති ලපති නිද්දිසති, සර්බං තං තථෙව හොතිÁ නො අඤ්ඤථා''

(මහණෙනි, තථාගත තෙම යම් රාත්‍රියෙක්‌හි නිරුත්තර වු සම්‍යයක්‌ සම්බෝධිය අවබෝධ කෙරේ ද, යම් රාත්‍රියෙක්‌හි අනුපාදිශේෂ නිවර්වාණ ධාතුවෙන් පිරිනිවේ ද, මේ අතුරෙහි යමක්‌ වදාරා ද, ප්‍රකාශ කෙරේ ද, දක්‌වා ද, ඒ සියල්ල එසේම වේÁ අන් පරිද්දෙකින් නොවේ)

(ඛුද්දක නිකාය, ඉතිවුත්තක පාලිය, ලෝකාවබෝධ සූත්‍රය, 482 පිටු, බු.ජ.ත්‍රි.)

සත්ත්වයාගේ සාංසාරික ගමනේ යථා ස්‌වභාවය පුහුදුන් සත්ත්වයනට අවිෂය කරුණකි. එසේ හෙයින් ඔවුහු අවිද්‍යාවෙන් අතිශය මුලා බවට පත්ව සසරේ ගමන් කිරීම සත්ත්වයාට ඇති එකම කටයුත්ත ලෙස සලකා කටයුතු කරනු පෙනේ. මේ ලොව වැසී ගියේ කවරකින් ද (කෙනස්‌සු නිවුතො ලොකො) යනුවෙන් දෙවියකු විසින් නගන ලද පැණයට තථාගතයන් වහන්සේ පිළිතුරු වශයෙන් වදාරනුයේ අවිද්‍යාවෙන් මේ ලෝකය වැසී ගිය බවයි (අවිඡ්ජාය නිවුතො ලොකො). අවිද්‍යාව දුරු කරන තුරු සත්ත්වයාට සත්‍ය වටහාගත නොහැකිය.

පළමු ආර්ය සත්‍ය වන දුක්‌ඛ සත්‍ය පැහැදිලි කරන තන්හි එහි දුක වශයෙන් වදාරනුයේ ජාති(උපත), ජරා (දිරායැම), ව්‍යාධි (රෝග), මරණ, අප්‍රිය සම්ප්‍රයෝගය, ප්‍රිය විප්‍රයෝගය, කැමති දේ නොලැබීම සහ පඤ්චූපාදානස්‌ඛන්ධය යන මෙම ධර්මතාවන්ය, එහි දී අවසන දක්‌වනුයේ

ස්‌ඛන්ධ පඤ්චකයය. රූප, වේදනා, සං`ඥා, සංස්‌කාර, වි`ඥාන යනු එම ස්‌ඛන්ධ පඤ්චකයය. නාම-රූප වශයෙන් හඳුන්වනුයේ ද මෙම ධර්මයන්ය.

රූපක්‌ඛන්ධ තුළ විග්‍රයට ලක්‌ වනුයේ අටවිසි රූපයන් ය. වේදනාස්‌ඛන්ධ යනුවෙන් හඳුන්වන වේදනාව සර්බ චිත්ත සාධාරණ චෛතසිකයකි. (මෙම ධර්ම ඉදිරියේ විග්‍රහ වේ). සංඥාක්‌ඛන්ධ වශයෙන් විග්‍රහ වන සං`ඥාව ද සබ්බ චිත්ත සාධාරණ චෛතසිකයකි. වේදනා, සං`ඥා යන චෛතසික ධර්ම හැරුණු කොට පවත්නා ඉතිරි චෛතසික ධර්ම පණස (50) සංස්‌කාරක්‌ඛන්ධය වශයෙන් හැ`දින්වේ. විඥානක්‌ඛන්ධ යනු සිතය. මේ අයුරින් සිත එකක්‌ වශයෙන් ගෙන සලකන කල්හි දුක්‌ඛ සත්‍යය තුළ ලෞකික වශයෙන් විද්‍යමාන වන පරමාර්ථ ධර්ම අසූ එකක්‌ පවත්නා බව පැහැදිලි වේ. (සිත් -01, චෛතසික -52, රූප - 28)

දෙවන ආර්ය සත්‍ය වශයෙන් හඳුන්වනු ලබන දුඃඛ සමුදය සත්‍යය යනු තණ්‌හාව ය. තණ්‌හාව යනු ලෝභ චෛතසිකයයි. එය ද පරමාර්ථ ධර්මයකි. තුන්වන ආර්ය සත්‍යය වන දුඃඛ නිරෝධ සත්‍යය යනු අසංඛත වූ නිර්වාණ ධාතුවයි.

දුඃඛ නිරෝධ මාර්ගය වශයෙන් සලකන සතර වන ආර්ය සත්‍යය තුළවිද්‍යමාන වන ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු චෛතසික ධර්ම අටකි (08)

සම්මා දිට්‌ඨි - ප්‍රඥා චෛතසිකය

සම්මා සංකප්ප - විතක්‌ක චෛතසිකය

සම්මා වාචා - විරති චෛතසිකය

සම්මා කම්මන්ත - විරති චෛතසිකය

සම්මා ආජීව - විරති චෛතසිකය

සම්මා වායාම - වීරිය චෛතසිකය

සම්මා සති - සති චෛතසිකය

සම්මා සමාධි - ඒකග්ගතා චෛතසිකය

ඉහත නිදර්ශනයෙන් චතුරාර්ය සත්‍යය තුළ පවත්නේ ද පරමාර්ථ ධර්මයන් බව පැහැදිලි වේÁ බුදුදහමේ මුලික පරමාර්ථය ද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමය. එහෙයින් සියලු දෙනා විසින් අභිධර්මය පිළිබඳ සුවිශාරද අවබෝධයක්‌ ඇති කරගැනීම ධර්මාවබෝධයට වෙසෙසින් උපනිශ්‍රය වේ.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.