සද්ධර්මයේ වෙනස හඳුනා ගැනීම

පූජ්‍ය කරඳන සමිත හිමි

බෞද්ධ චින්තාවෙහි ආරම්භය කවර අයුරින් ආරම්භ වීද යන්න අවබෝධ කර ගැනීමේදී aතත්කාලීන භාරතීය අන්‍ය සමයවාද සම්බන්ධ වැටහීමක්‌ අවශ්‍යය. බුදුදහම ජෛන යන සමයවාද හැර අන් සියලුම සමයවාදවලින් කරන්නට වෑයම් කර ඇත්තේ ලෝකය සහ සත්වයා පිළිබඳ පැවැත්ම දෙවියන් වහන්සේ වෙත පැවරීමයි. ඉදිරිපත් කොට ඇති දෘෂ්ටි කෝණවල ඇතිපටු බව හෝ පුළුල් බව අනුව ඉදිරිපත් වන සංකල්ප විවිධ විචිත්‍ර භාවයකින් යුක්‌තවේ. ඒ අනුව දෘෂ්ටිවාද දෙසැටක්‌ බිහිවී තිබූ බවට දීග නිකායෙහි බ්‍රහ්මජාල සූත්‍රය සාක්‌ෂි දරයි. (දී.නි. බ්‍රහ්මජාල සුත්ත 22 පිට) එම දෙසැටක්‌ දෘෂ්ටිවාද ප්‍රධාන කොටස්‌ දෙකකට වර්ග වී ඇත.

1. උච්ඡේදවාදය, 2. ශාස්‌වත වාදය

මෙහිදී තත් යුගයේ පැවැති මූලික දාර්ශනික ප්‍රඥප්තීන් කිහිපයක්‌ වේ.

ආත්මවාදය බුද්ධකාලීන බ්‍රාහ්මණවාදය තුළ සම්ප්‍රදා දෘෂ්ටි විවිධත්වයක්‌ තිබුණද ඒවායෙහි පොදු ලක්‌ෂණය නම් ආත්මවාදී ස්‌වරූපයයි. තථාගත ශ්‍රී සද්ධර්මය හඳුනානොගත් ඕනෑම පුද්ගලයෙක්‌ තුළ මේ ආත්මවාදී සංකල්පය බලපවත්වයි. ආත්මවාදය ලෙස ගනු ලබන්නේ මමත්වය මත දැඩි සේ 'මම' වෙමි, 'මගේ' යන ව්‍යවහාරයට යෝග්‍ය සාරයක්‌ ඇත යන පිළිගැනීමයි. පුද්ගලයා තමා ලබන වින්දන අත්දැකීම් අනුසාරයෙන් එවන් සංකල්පයන් නිරන්තරයෙන් තහවුරු කරගනියි. ඒ අතර ආත්මය වන්නේ කුමක්‌ද? යන්න වෙනම මතුවන ප්‍රශ්නයකි. ආත්ම සාරයක්‌ මූලික වශයෙන් පිළිගෙන ඒ සදාකාලික යෑයි කල්පනා කිරීම ශාස්‌වතවාදයයි. ආත්මය සදාකාලික නොවෙයි යන්න පිළිගැනීම උච්ඡේදවාදයයි. ඒ අනුව ශාස්‌වතවාදය වුවද උච්ඡේදවාදය වුවද ඇතුළත් වන්නේ ආත්මවාදයටම බව සැලකිය යුතුය.

මේ ආත්මවාදය ඇතැම් අය යෝග්‍ය භාවනා පදනම් කරගෙන උපදවා ගන්නට 'අභිඥ සමාපත්ති' මගින් ඥන විභාගයීය පදනමක්‌ද යටතේ ඉදිරිපත් කරති. තවත් සමහරු තාර්කිකව ඇති කරගත් වැටහීම් මාත්‍ර වශයෙන් ආත්මවාදය ඉදිරිපත් කරති. මේ හේතුකොටගෙන බුදුපියාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේ ශාස්‌වතවාද සතරක්‌ ඉදිරිපත් කරනු ලබයි. ඉන් තුනක්‌ම 'පුබ්බේනිවාසානුස්‌සති ඥානය' පදනම් කරගෙන ඉදිරිපත් කර තිබේ. තර්කය පදනම් කොටගෙන ඉදිරිපත් වන්නේ එකකි. එනම් පුබ්බේනිවාසානුස්‌සති ඥනයෙන් කෙරෙන්නේ ඒ අභිඥලාභියාගේ අතීත භවයන් අනුස්‌මරණය කිරීමයි. ඇතැම් අය භව කිහිපයක්‌ හෝ සංවෘත විවෘත කල්ප දෙක තුනක්‌ හෝ තිහ හතලිහක්‌ හෝ සිහිකර තමා අතීත සංසාරයෙහි සිටි ආකාරය දැක තමාගේ ආත්මය සදාකාලික යෑයි කල්පනා කරයි.

ඉහත සඳහන් වූයේ පූර්වාන්ත කල්පනය අනුව ආත්මවාදය ප්‍රකාශ වන ආකාරයයි. පූර්වාන්ත කල්පනය නම් ආත්මයේ අනාගත පැවැත්ම අනුසාරයෙන් දෘෂ්ටි ගොඩනැගීමයි. බුදුපියාණන් වහන්සේ පහළ වන විට භාරතයෙහි ගොඩනැගී තිබුණු ආත්මවාද පූර්වාන්ත හා අපරාන්ත දෙකම අනුසාරයෙන් ඉදිරිපත් වී තිබිණි. අපරාන්ත කල්පන දෘෂ්ටිවාදයෙහිදී මරණින් මතු පැවැත්ම පිළිබඳ දෘෂටිවාද ගොඩනැගුණි. බ්‍රහ්මජාල සූත්‍රයෙහි සංවාද දහසය අපරාන්ත කල්පන දෘෂ්ටිවාදය පොදු ලක්‌ෂණය නම් 'මරණින් මතු ආත්මය පවතී' යන සංකල්පය පිළිගැනීමයි. (දී.නි. බ්‍රහ්මජාල සුත්තා 54 පිට) මරණින් මතු පවතින ආත්මය නිත්‍යයෑයි පිළිගැන්මේ ආත්මවාද ප්‍රඥප්තියට පදනම්වී ඇත්තේ අරූපාවචර ධ්‍යාන පිළිබඳ ඥනයයි.

අපරාන්ත කල්පනය හේතුකොටගෙන ඇතැමෙක්‌ ආත්මයේ කෙළවරක්‌ දකිති. එය හේතුකොටගෙන උච්ඡේදවාදය බිහි වන්නේ අශාස්‌වතවාදයක්‌ ලෙසයි. 'මහණෙනි, සත් වශයෙන් ඇති ධර්මයක උච්ඡේදවාදය, විනාශය නොවීම පනවන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කොටසක්‌ වෙති. බ්‍රහ්මජාල සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ පවසති. ඇතැම්හු චාතුම් මහාභූතික ශරීරය ආත්මය ලෙස පිළිගෙන එහි නිමාව ආත්මයේද නිමාව යෑයි සිතති. එය ප්‍රතික්‌ෂේප කරන ඇතැම්හු කබලිංකාර ආහාරය අනුභව කරන කාමාවචර දිව්‍යමය පැවැත්මකින් ආත්මය කෙළවර වන බව කියති.

මේ සෑම අයකුම තම උච්ඡේදවාදය ප්‍රකාශ කරනුයේ අන් අය ඉදිරිපත් කළ උච්ඡේදවාද ප්‍රතික්‌ෂේප කරමිනි. ඒ ප්‍රතික්‌ෂේප කරන ආකාරය අනුව උච්ඡේදවාදියා ආත්මයක්‌ පිළිගන්නා බව තහවුරු වෙයි.

විඥනවාදයෙහි මූලික ප්‍රභේද දෙකකින් යුක්‌ත වේ. ඉන් පළමුවැන්න විෂය මූලික විඥනවාදයයි. දේව නිර්මාණවාදී සියලුම ආගමික දර්ශන මේ විෂය මූලික විඥනවාද කොටසට අයත් වේ. මිනිස්‌ සන්තානයෙහි ස්‌වාධීන වූත්, ද්‍රව්‍යයෙන් ස්‌වාධීන් වූත් ජගත් විඥනයක්‌ විසින් හෝ සර්ව බලධාරී දෙවියකු විසින් හෝ ලෝකය නිර්මාණය කෙරුණාය යන්න මෙහි පිළිගැනීම වේ. දෙවැනි විඥනය 'මනෝ මූලික' විඥනවාදයයි. මනෝමූලික විඥනවාදයෙන් අදහස්‌ කරන්නේ පුද්ගලයාගේ ඉන්ද්‍රිය අත්දැකීමෙන් බාහිර ලෝකයත් ස්‌වතන්ත්‍රව නොපවතී යන්නය. එනම් බාහිර ලෝකය චිත්ත නිර්මිතයක්‌ය යන්නය.

බුදුපියාණන් වහන්සේ වදාළේ විෂය මූලික විඥානවාදයක්‌ නොව එසේම මනෝ මූලික විඥනවාදයක්‌ද නොවේ. සිතෙන් තොර බාහිර ලෝකයක පැවැත්ම බුදුසමය පිළිගන්නා බැවිනි. එසේ වුවද බුදුදහමේ සමකාලීන සෙසු ආගම් දර්ශනවල භෞතිකවාදී සංකල්පද, විඥනවාදී සංකල්පද දක්‌නට ලැබේ. වෛදික චින්තනය, ඊශ්වර නිර්මාණවාදය, ප්‍රජාපතී, මහා බ්‍රහ්ම ආදී නම්වලින් හඳුන්වන නිර්මාතෘවරයකු පිළිගන්නා බැවිනි. අං.නි. තිත්ථායතන සූත්‍රයෙහි ඉස්‌සරනිම්මාණවාද' නමින් බුදුපියාණන් වහන්සේගේ විචාරයට ලක්‌වන්නේ එයයි. උපනිෂද් දර්ශනයට එනවිට මේ පුද්ගල ස්‌වරූපී ඊශ්වර, ජගත්, විඥාන පදාර්තයක්‌ ලෙස සැලකිණි. ආත්මන්, බ්‍රහ්මන්, පරමාත්තන් නාමයෙන් ගැනුනේ එයයි. විඥනවාදී චින්තන ව්‍යqහයට මෙය ඇතුළත් වේ.

පැරැණි භාරතීය චින්තකයන් ප්‍රවෘත්ති විඥනය හෙවත් මතුපිට සිතට පමණක්‌ සීමානොවී ස්‌වප්න විඥනය, සුසුප්ත විඥනය යන අවස්‌ථාවන් කෙරෙහිද යොමුවී තිබේ. ස්‌වප්න අවස්‌ථාව සත්‍ය පැවැත්මක්‌ ලෙස අපට පෙනෙන්නේ ස්‌වප්න අවස්‌ථාවේදීය. අවදිවූ විට ස්‌වප්න අත්දැකීම අතුරුදන් වේ. එවිට ස්‌වප්න අත්දැකීම අසත්‍යයක්‌ බව පෙනෙයි. මේ අයුරෙන් ජාගර හෙවත් විඥනයද සාපේක්‌ෂ ධර්මතාවක්‌ බැවින් බාහිර ලෝකයෙහි පරමාර්ථමය සත්‍යතාවක්‌ නැති බව පිළිගැනේ.

අකිරියවාදය ( පුද්ගලයාගේ චර්යාවන්ට හොඳ නරක වශයෙන්, පින්-පව් වශයෙන්, කුසල්-අකුසල් වශයෙන් ඇගයීමක්‌ වටිනාකමක්‌ පිරිනැමිය නොහැකිය යන මතය අකිරියවාදයයි. 'මක්‌ඛලීගෝසාල, අජිත කේසකම්බල, පකුධ කච්චායන, පූර්ණකස්‌සප යන ශාස්‌තෘවරුන් අකිරියවාදය ඉගැන්වූවන් වෙති. ඔහුත් පුබ්බේකත හේතුවාදී හෙවත් සියල්ල පූර්වකර්ම හේතුවෙන්ම සිදුවේ යන්න එනම් ඒකාන්ත කර්ම නියතිවාදයේ ප්‍රතිවිරෝධී අංශය නියෝජනය කරති. චාර්වත දර්ශනයද මේ අකිරියාවාද කොටසට ඇතුළු වේ. මෙහිදී නම් කළ ශාස්‌තෘවරුන් සිව්දෙනාගේම දර්ශන ම.නි. සන්දක සූත්‍රයෙහි සාකච්ඡාවට භාජනය කරයි. ඒ පිළිබඳව සූත්‍රයේදී ආනන්ද මහ රහතන් වහන්සේ කරන විනිශ්චය කුමක්‌දැයි මෙහිදී හඳුනාගත යුතුය. සියල්ල දන්නා දක්‌නා ලොව්තුරා බුදුපියාණන් වහන්සේ විසින් යම් සසුනත නුවණැති පුද්ගලයෙක්‌ ඒකාන්තයෙන් බඹසර නොවසන්නේද විසුවත් න්‍යාය වූ කුසල දහම් සම්පාදනය නොකරන්නේද ඒ අබ්‍රහ්මචරියවාස සතර වදාරන ලදී. (ම.නි. 11 සන්දක සුත්ත ( 320 පිට.බු.ජ.මු)

අධිච්චසමුප්පන්වාද ( අහේතු අප්පච්චවාද යනුවෙන් හැඳින්වෙන්නේද මෙයමය. මෙහි දර්ශනාර්ථය සියල්ල අහේතුකව අප්‍රත්‍යව සිදුවේ යන්නයි. එනම් ලෝක හා සත්වයා පිළිබඳ සිදුවීම් කෙරෙහි කිසිදු හේතු-ඵල සම්බන්ධතාවක්‌ නැත යන්නයි. සියල්ල සිදුවන්නේ ආකස්‌මිකවය, ඉබේමය. කිසිදු හේතු-ඵල සබඳතාවක්‌ නොමැතිව යමක්‌ හටගන්නේ යෑයි කීමෙන් අහේතුක නිරපේක්‌ෂ ආරම්භයක්‌ පිළිගැනේ. එය ලොව ස්‌වභාව නියාමතාවන්ට අනුකූල නොවන සංකල්පයකි. අං(.නි( තිත්ථායතන සූත්‍රයෙහි අහේතු අප්පච්චවාද විචායෙන් කරන්නේ මේ සංකල්පය ප්‍රතික්‌ෂේප කිරීමයි.

අහේතුක බව අප්‍රත්‍ය බව සාර වශයෙන් ගත්තහුට කළ යුත්තේ මෙයය, නොකළ යුත්තේ මෙයය කියා ඒ පිළිබඳ කැමැත්තක්‌ හෝ උත්සාහයක්‌ හෝ නොවේ. මෙසේ කළ යුත්ත හා නොකළ යුත්ත සත්‍ය වශයෙන් ස්‌ථිර වශයෙන් සලකනු නොලබන කල්හි සිහිමුලාවී අනාරක්‌ෂිතව විහරණය කරන්නේ ප්‍රත්‍යත්ම වශයෙන් අර්ථවත් ශ්‍රමණවාදයක්‌ නොවේ. (අං.නි. 1 තිFථායතා සත්ත 600 පිට, බෞ.සම්(සංස්‌()

මේ අනුව ගත් කල අහේතුවාදී සංකල්පයන් ඇති තැන ආචාර ධර්මික පෙළඹීමක්‌ ඇති නොකරයි. අර්ථවත් වූ ආගමික හා ජනජීවිතකට අවශ්‍ය පසුබිම නැතිවී යයි. එබැවින් ඒ දෘෂ්ටිය අනර්ථකාරීය. ඇතැම් විට ධ්‍යාන හා අභිඥ පාදක කරගෙන ද මේ අධිච්චසමුප්පන්නවාදය ඉදිරිපත්වන බවද දත යුතුය.

බුදුදහම ප්‍රතීත්‍ය සමුත්පාදය ලෝකය හා සත්වයා පිළිබඳ නියමතාව ලෙස දකින බැවින් ඉහත සඳහන් කරන ලද සියලු දෘෂ්ටිවාදවලින් ඉඳුරාම වෙනස්‌ වේ.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.