නැවැත්මෙහි මඟට පිවිසෙනු සබඳ...

මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ

ත්‍රිපිටක සාහිත්‍යයට අයත් මජ්ජිධිම නිකායේ එන අම්බලට්‌ඨික රාහුලෝවාද සූත්‍රයෙන්, තමාගේ ජීවිතය ද සකසාගෙන ලෝකයේ යහපත උදෙසා වැඩ කළ හැකි ආකාරය ගැන කදිම පාඩමක්‌ උගත හැකි වෙයි. එහි කියෑවෙන දහම, ජාති-ආගම්-දේශ භේදයකින් තොර ව අප කාගේත් ජීවිත ආලෝකවත් කර ගැනීම උදෙසා කැඩපතක්‌ කොට ගත හැකි ය.

භාග්‍යවතුන් වහන්සේ කැඩපත කුමක්‌ ප්‍රයෝජන කොට ඇත්තේ දැයි කුඩා රාහුලහිමියන්ගෙන් ප්‍රශ්න කරති. එවිට කැඩපත ඇත්තේ තමා පරීක්‌ෂා කොට බැලීම සඳහා යෑයි රාහුල හිමියෝ පිළිතුරු දෙති. බුදුන් වහන්සේ වදාරන්නේ කිසියම් වැඩක්‌ කරනු කැමති වන විට-කරන විට මෙන් ම කළ පසුවත් එය තමාගේ මෙන් ම අන් අයගේ යහපත පිණිස, එනම් හිත සුව පිණිස වෙයි ද යන්න ගැන පරික්‌ෂා කොට බලා ඒ කරන ලෙස යි. ඒ කාර්යය තමාගේ මෙන් ම අනුන්ගේ අයහපත පිණිස වේ නම් නොකරන ලෙස යි. කයෙන් කරන කර්ම, වචනයෙන් කරන කර්ම මෙන් ම මනසින් සිතන කර්ම යන මේ තුන් ආකාර කර්ම කළ යුත්තේ කලින් කී පරිදි තමාගේ මෙන් ම අන් අයගේ යහපතට හේතු වේ නම් පමණකැයි ද උන් වහන්සේ වැඩිදුරටත් වදාරති. එසේ ම යට කී සූත්‍රයෙන් තමාගේ මෙන් ම අනුන්ගේ යහපතට හේතු නොවන කායික කර්ම, වාචසික කර්ම මෙන් ම මානසික කර්ම නොකළ යුතු ය යන කරුණ ද අවධාරණ කෙරේ.

මෙය අප කවර තැනක සිටියත් කවර සේවයක නිරත ව සිටියත් අප කාට වුවත් කළ හැකි දෙයකි. අප කා විසිනුත් කළ යුතු දෙයකි. පරික්‌ෂා කොට බැලීමෙන් පසු තමාට යහපත් ලෙස පැහැදිලි ව පෙනී යන දෙයින්, තමාගේත් ලෝකයේත් යහපත උදෙසා ඕනෑම කෙනෙකුට වැඩ කළ හැකි ය. ඒ සඳහා වැඩ කළ යුත්තේ තමා මෙන් සිතන පිරිසක්‌ සමග එක්‌ව නම් කෙනෙකුට එසේ එක්‌ ව වැඩ කළ හැකි ය. කෙනෙකුට පරික්‌ෂා කොට බැලීමෙන් පසු පෙනී යන්නේ තමාට වඩා ගැළපෙන්නේ තනි ව වැඩ කිරීම නම් එසේ කළ හැකි ය. මේ අනුව තමා 'සිටින තැන' කුමක්‌ වේවා එතැන සිට ඕනෑම කෙනෙකුට තමාගේ මෙන් ම ලෝකයේ යහපත උදෙසා වැඩ කළ හැකි ය, ක්‍රියාත්මක විය හැකි ය.

එසේ ම තවත් පැත්තකින් ගත් විට, එක ම චරිතයට වුව, සුදුසු පරිදි මේ අවස්‌ථා දෙක තුළ ක්‍රියාත්මක විය හැකි ය. එනම් එළඹෙන අවස්‌ථාව සහ පරිසරය වඩා සුදුසු වන්නේ සමූහයක්‌ සමග එක්‌ ව යහපත උදෙසා ක්‍රියාත්මක වීමට නම් අපට එසේ වැඩ කළ හැකි ය. නො එසේ නම් එළඹ ඇත්තේ, තනි ව වැඩ කිරීම වඩා සුදුසු වන අවස්‌ථාවක්‌ සහ පරිසරයක්‌ නම්, එවිට තනි ව වැඩ කළ හැකි ය. ඒ අවස්‌ථා දෙකෙහි දී ම අප ක්‍රියාත්මක විය යුත්තේ තමාගේ යහපත පිණිස මෙන් ම පොදු යහපත සිදු විය යුතු ය යන කරුණ සැලකිල්ලට ගනිමිනි. එහෙත් තීරණාත්මක අවස්‌ථාවක දී පොදු යහපත උදෙසා, අපගේ පුද්ගල යහපත කැප කිරීමට වුව සිදුවිය හැකි ය. එබඳු අවස්‌ථාවක, හොඳින් සිතා බලා කළ යුතු සුදුසු ම ක්‍රියාව කළ හැකි ය කළ යුතු ය. මෙය තවදුරටත් පැහැදිලි කර ගැන්ම සඳහා අපට වෛද්‍ය ලලිත් විඡේසිංහගේ අමුද්‍රිත සටහනක එන එක්‌ ඡේදයක්‌ භාවිතයට ගත හැකි ය.

'අපගේ ජීවිතයේ ස්‌වභාවය, වෘත්තිය, හැකියාව සහ ශක්‌තිය එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්‌ ය. එහෙයින් යහපත උදෙසා අපට ක්‍රියා කළ හැකි ආකාරය ද වෙනස්‌ වේ. එසේ නම් අප කළ යුත්තේ, අප අපගේ එකී වෙනස්‌කම් පිළිගනිමින් ඉහත කී කවර දෙයාකාරයකින් හෝ ක්‍රියා කිරීම ය. එසේ නොමැති ව ක්‍රියා නොකර සිටීම නොවේ.'

'ගෝචර භූමි' සංකල්පය පිළිබඳ යම් වැටහීමක්‌ ඇති කර ගැනීමෙන් මේ අදහස්‌ අපට වඩාත් පැහැදිලි කොට ගැනීමට හැකි වනු ඇත. සංයුත්ත නිකායේ එන සකුණග්ඝී සූත්‍රය මත පදනම් ව, හොරණ පොකුණුවිට, විනයාලංකාරාරාමවාසී කුකුල්පනේ සුදස්‌සී හිමියන් විසින් කරන ලද ධර්ම දේශනයක්‌ හා ඒ ආශ්‍රිත සාකච්ඡාවක්‌ මත පදනම් ව, වෛද්‍ය විඡේසිංහ විසින් ලියන ලද 'ගෝචර භූමි' ලිපිය ද අපට ඒ සඳහා වැදගත් වනු ඇත. මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් වූ එකී 'ගෝචර භූමි' ලිපියෙහි සඳහන් පරිදි, යම් ස්‌ත්‍රියකට හෝ පුරුෂයකුට තම ජීවිතයේ සුරක්‌ෂිත බව හෝ කාර්ය සාධනය පවතින්නේ ඔවුන්ගේ ස්‌ත්‍රී පුරුෂ භාවය තුළ ය. එකී ලිපියේ මෙසේ ද සඳහන් වෙයි.

'මනාව උගෙනීම, ගුරු ගෞරවය, සංවරය, කැපවීම, සංවාදය, යහපත් ගතිගුණ, ලෝකයට විවර වුණ සිත යනාදිය ශිෂ්‍යයකුට තම ශිෂ්‍ය කාර්ය සාධනයෙහිලා ගෝචර භූමිය වෙයි. ඉගැන්වීම, ආදර්ශය, කරුණාවන්ත බව, දරා ගැනීම, ඉවසීම, බුද්ධිමත් බව, තම ආස්‌ථානය මැනවින් දැන ගැනීම යනාදිය ගුරුවරයකුගේ ගෝචර භූමිය වෙයි.'

ගුරුවරයාට සහ ශිෂ්‍යයාට එකී ගෝචර භූමියේ, එකී ආස්‌ථානයේ එනම් තමා සිටින තැන සිට ලෝකයේ යහපත උදෙසා ක්‍රියාත්මක විය හැකි ය. ගයාන් මධුසංඛ තරුණ කවියාගේ පහත සඳහන් කවිය ශිෂ්‍යයා, උගත යුතු අතර ම ලෝකය පිළිබඳ ව සංවේදී විය යුතු ය යන පණිවිඩය ගෙන එයි. එසේ ම ඉගෙනීම සඳහා නගරයට යන ශිෂ්‍යයකු අමතා ගුරුවරයකු විසින් කරනු ලබන ප්‍රකාශයක්‌ වන එහි ගුරුවරයාගේ ආස්‌ථානය ද පැහැදිලි ව දැක්‌වෙයි. ගුරු ශිෂ්‍ය දෙපිරිස ම විසින් එකී පණිවිඩය පැහැදිලි ව හඳුනාගෙන ඒ අනුව ක්‍රියාත්මක වීම යනු ගුරු ශිෂ්‍ය නමැති පුද්ගල චර්යා සම්බන්ධයෙන් සිදුවන පෞද්ගලික යහපත යි පොදුවේ ගත් විට සිදුවන සමාජ යහපත යි.

සිප් සතර පමණක්‌ ද පුතුනේ ලෝකයක උරුමේ

ගහ කොළක මුදු සුළං රැල්ලක නැති ද සුව සහනේ

යම් දිනක නුඹ මා බලන්නට ආවොතින් පුතුනේ

මම ය උගතා කියා නොසිතා එන්න මඳ පවනේ

පොළොන්නරුව, පළුගස්‌දමන මහා විද්‍යාලයේ චිත්‍රකලා ගුරුවරයා වශයෙන් සේවය කළ සමන් සිත්තරා, සිසු දරුවන් උදෙසා ගුරු පරපුරට කළ හැකි දෙය සහ අධ්‍යාපන බලධාරීන්ට කළ හැකි දෙය ගැන තැබූ සුවිශේෂ සටහනකින් ගත් පහත සඳහන් උපුටන, අපගේ අධ්‍යාපනය යොමුවිය යුතු, නිවැරදි දිසාව වෙත අප යොමු කරවන ආලෝක සංඥාවක්‌ සේ දැනේ. ඒ අනුව ක්‍රියාත්මක වීම, ගුරු ශිෂ්‍ය දෙපිරිසෙහි මතු නොව අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නියුතු විද්වතුන්ගේ පුද්ගල යහපත සලසන අතර ම සමාජමය වශයෙන් මහත් වූ පොදු යහපතට ද හේතු වනු ඇත.

'දුෂ්කර යෑයි සැලකෙන ප්‍රදේශයක දූ දරුවනට චිත්‍ර කලාව ඉගැන්වීම සඳහා මම ඉතා කැමැත්තෙන් දිගු කලක්‌ සේවය කළෙමි. ඔවුන් හාත්පස ම ඇති ඓතිහාසික ශ්‍රී විභූතිය හා සොබාදහමේ අසිරිය හඳුන්වා දෙන්නට ද මම හැකි පමණ වෑයම් කළෙමි. එම තීරණය පිළිගනු ලැබුවහොත් මගේ විශ්‍රාම වැටුප ඇතුළු අනෙකුත් රැකියාවට අදාළ අයිතිවාසිකම් සියල්ල අහෝසි වන බව ඔබතුමන් විසින් දන්වා එවා තිබේ. මගේ සේවය වෙනුවෙන් පෙරළා උපකාරයක්‌ මා නොපතන බව කාරුණිකව සැලකුව මැනවි. ගුරු ජීවිතය මුළුමනින් ම සිසුන්ගේ යහපත සඳහා ය යන්න තරයේ විශ්වාස කරන ගුරුවරයකු තම ආදරණීය සිසුන්ගෙන් ඈත් ව යන මොහොතේ දී දේශයේ අධ්‍යාපනය බාර ව කටයුතු කරන සියලු ම අධ්‍යාපනවේදීන්ගෙන් ඉල්ලා සිටිනුයේ මිනිස්‌ ජීවිතයේ විකසිත වීම වෙත අධ්‍යාපනය යොමු කරන ලෙස ය. ඒ සඳහා දරනු ලබන ප්‍රයත්නයක දී ඊට ආශිර්වාද කරන ලෙස ය තම ඉරණම කුමක්‌වේදැයි කිසිසේත් ම නොදන්නා වූ ද තමන්ගේ ඉරණම තීරණය කිරීම තම ගුරුවරුන් වෙත පවරන්නා වූ ද මුළු මහත් ශිෂ්‍ය සංහතිය වෙත අප්‍රමාණිකව දයාබරිත වන ලෙස ය.'

'ගෝචර භූමි' ලිපියෙහි සඳහන් වන පරිදි ප්‍රතිපත්ති රැකීම, යහ පාලනය, නායකත්වය, අවංක බව, කාර්යශූර බව, ස්‌ථානෝචිත ප්‍රඥාව, නොසැලීම, අභීත බව, ජනතාව රංජනය කිරීම ආදිය රාජ්‍ය පාලකයාගේ ගෝචර භූමිය යි. මෙසේ ක්‍රියාත්මක වීම පුද්ගලයකු වශයෙන් ඔහුගේ පුද්ගල භූමිකාව යහපත් වීමට හේතු වන අතර පොදු වශයෙන් ගත් විට ඔහුගේ ක්‍රියාකාරීත්වය සමාජ යහපතට හේතු වෙයි.

එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ තම වෘත්තිය සහ එහි වපසරිය, එහි සීමා, තමා සතු කාර්යය පිළිබඳ මනා අවබෝධය, කාර්යය කිරීම, කාර්යය තේරුම් ගැනීමේ හැකියාව යනාදිය ඕනෑම වෘත්තිකයකු සතු විය යුතු ගෝචර භූමිය බව යි. ගුරු-වෛද්‍ය-ඉංජිනේරු-කම්කරු-රියෑදුරු ඈ කවර වෘත්තියක සිටින අයට වුවත් තමා සිටින තැන සිට ක්‍රියාත්මක විය හැකි ය. මෙහි මුලින් සඳහන් අම්බලට්‌ඨික සූත්‍රයේ සඳහන් පරිදි තමාගේ යහපත සලසා ගන්නා අතර ම ලෝක යහපත උදෙසා ක්‍රියාත්මක විය හැකි ය. වෛද්‍යවරයකුට සිය සෞඛ්‍ය සම්පන්න භාවය රැකගනිමින් ලෝකය සෞඛ්‍ය සම්පන්න කිරීම සඳහා කටයුතු කළ හැකි ය. කොන්දොස්‌තර වෘත්තියෙහි යෙදෙන අයකුට තමා අවංක ව සතුටින් සේවයෙහි නියෑලෙන අතර ම ලෝකය යහපත වෙත කැඳවීම උදෙසා කටයුතු කළ හැකි ය. භාතිෂ අකලංක සිල්වා නම් තරුණ කවියා, අප හමුවට මෙසේ පමුණුවන්නේ එබඳු කොන්දොස්‌තර තරුණයෙකි.

'මහත්තය කොටුවට ම යනව ද

බහින අය දොර ළඟට එනව ද

කිහිලිකරුවෙන් නැග්ග අයිය ට

කවුරු හරි ආසනේ දෙනව ද'

මේ අතර, මහින්ද ප්‍රසාද් මස්‌ඉඹුල නම් සම්මානනීය කවියා, අපට ඉදිරිපත් කරන්නේ තමා සතුටින් හිඳිමින් ලෝකය සතුටට පත් කිරීම සඳහා වෙහෙසෙන පතල් කම්කරුවෙකි. ඒ ඔහුගේ 'හිරුත් හිම පියල්ලෙක' නම් කාව්‍ය ග්‍රන්ථයේ එන 'සරතේ' නම් නිර්මාණයෙනි.

'සිඹ සනසා මුව සැම දෙනගෙ වැඩ පලේ

උන් ඒ නිසා හරි සන්තොසිනි වැඩ කළේ

උන් උදෙසා නුඹගේ සිනා වැය කළේ

නුඹ මිනිසා සතුටින් හිටපු හැම වෙලේ'

'ගෝචර භූමි' ලිපියෙහි සඳහන් වන පරිදි, දූ දරු පෝෂණය, අඹු-දරු-ස්‌වාමි පුරුෂ, මව් පිය-නෑ හිතවතුන් ආදීන්ට විය යුතු යුතුකම්, හැකි හැම විට ම ලෝ මෙහෙය, දයාව, දරාගැනීම, කැපවීම යනාදිය අඹු-සැමි-මව් පියනට ඇති ගෝචර භූමිය යි. වියපත් මව්පිය පෝෂණය - වැඩිහිටි නෑ හිතවතුනට සැලකීම - මිතුරු මිතුරියන් කෙරෙහි කල්‍යාණ මිත්‍රත්වය දැක්‌වීම, ලෝකයේ යහපත උදෙසා තමාට කළ හැකි දෙය කිරීම ආදිය දූදරුවන්ගේ ගෝචර භූමිකාව ය යන්න ද අපට මෙයට ම එක්‌ කළ හැකි ය.

පහත සඳහන් වන්නේ ලද දෙය විඳිමින් ලෝකය සමග ද ඇති දෙය බෙදාගන්නට කැමැති අඹු සැමි යුවළකගේ හෘදයංගම සිතිවිල්ලකි. මේ නිර්මාණය වෛද්‍ය නිමල් වසන්ත කුමාරගේ ය.

'හැම දේ බදන් නොව කාටත් බෙදන් කමු

අඩුවෙන් කතා කර වැඩියෙන් සවන් දෙමු

දකිනා රිසින් දුර කරවමු නුවන් යොමු

තරඟෙට දුවන අය ගිය දෙන් හෙමින් යමු'

දූ දරුවන්ට අවශ්‍ය අධ්‍යාපනය ලබාදීම, ඔවුන්ගේ ජීවිත සුරක්‌ෂිත කිරීම, ඔවුන් සතු වගකීම් කියාදීම මෙන් ම ඔවුන් සිටින - සිටිය යුතු තැන් පිළිබඳ දැනුවත් කිරීම දෙමව්පිය වගකිමකි. දෙමව්පිය තුරුවලට ආදරය කරන අතර එතුරු මත පිපුණු දරුමල් විසින් තමා සතු භූමිකාව ද නිවැරදි ව හඳුනා ගත යුතු වෙයි. මේ දෙපිරිස ම තමා යහපත් වී සමාජ යහපත උදෙසා ක්‍රියාත්මක විය යුත්තේ ඒ අනුව ය. ප්‍රවීණ කවියකු වන සුමින්ද කිත්සිරි ගුණරත්නගේ 'නා රජ සහ වේ රජ' කාව්‍ය ග්‍රන්ථයේ එන 'සොඳුරේ අරුත' නිර්මාණයෙන් කියෑවෙන්නේ එබඳු මව්පිය දූ දරු සම්බන්ධයක්‌ ගැන ය. එහි එන තාත්තා මෙන් ම දුව පවසන වදන් ද අපට එකසේ දැනෙන්නේ ඒවායේ පුද්ගල ජීවිතය මෙන් ම සමාජ ජීවිතය පවිත්‍ර කරවන ගුණයක්‌ ඇති බැවිනි.

තාත්තා(

මලක්‌ නෙළා දෝතට ගෙන බුදු මැදුරට යන

මලක්‌ වගේ පුංචි දුවේ මඳක්‌ අසනු මැන

ගසක්‌ තරම් මලකට ආදරේ කවුරු වෙන

මලක්‌ ගහේ තිබෙන විටයි ලෝකෙ ම ලස්‌සන

දුව(

සුවඳ දිදී මල් පිපුණට ගස්‌වල පෙර සිට

හැම මලක්‌ම පර වෙනවා ඒ ගස්‌ පාමුල

පිපුණු මලට අරුතක්‌ දී බුදු සමිඳුන් ළඟ

මලක්‌ ගසෙන් නෙළා ගොසින් පිදුමෙ වරද කිම

'ගෝචර භුමි' ලිපියෙහි කියෑවෙන පරිදි ඕනෑම පුරවැසියකුට තම රට-දැය-ආගම-සමාජය- සංස්‌කෘතිය ආදියට අනුගත ව තම ජීවිත සුභ සාධනය සේම අන් ජීවිත සුභ සාධනය උදෙසා කටයුතු කළ හැකි ය. එය කළ හැක්‌කේ පිරිසක්‌ සමග එක්‌ ව නම් එසේ කළ යුතු ය. මෙහි කලින් කී අමුද්‍රිත සටහනෙහි දැක්‌වෙන්නේ එකට එක්‌වීමෙන් තමාගේ සංලක්‌ෂය හෙවත් සලකුණ, සිය දක්‌ෂතා හා දුර්වලතා අන්‍යයන් හා සංසන්දනය කොට තමාට ම අවබෝධ කොට ගැන්මට අවස්‌ථාව ලැබෙන බව ය. එවිට තමා කරන යහපත් ක්‍රියාව වඩාත් ඵලදායක ලෙසින් කිරීමට තමාට අවස්‌ථාව ලැබෙන අතර එය පුද්ගලයා වන ඔහුට යහපතකි.

බෝධිසත්ත්ව යනු අවබෝධාත්මක මනසින් ක්‍රියාත්මක වූ සුවිශිෂ්ට චරිතයකි. ඇතැම් විට සිය ජීවිතය පවා අනතුරට ලක්‌කර ගනිමින් පොදු යහපත උදෙසා ක්‍රියාත්මක වන බෝධිසත්ත්ව, අවසන තමා පුද්ගලයකු වශයෙන් ලබන අවබෝධය සහ ශක්‌තිය ද පොදු යහපත උදෙසා යෙදවිය හැකි බව අවබෝධ කොට ගනියි. ඒ සඳහා පෘථග්ජනයකු ලෙස එනම්, පුද්ගලයන් - දේවල් වෙන් වෙන් වශයෙන් දැකීමේ ඇති නිස්‌සාරත්වය අවබෝධ කොට ගන්නා ඔහු අවබෝධය ලබා මිස පෘථග්ජනයකු ලෙස මරණයට පත් නොවන බව අවධාරණ කරයි. මේ අදහස රැගත් ප්‍රකාශය අපට හමුවන්නේ 'ලිත විස්‌තර' නම් බෞද්ධ සංස්‌කෘත ග්‍රන්ථයේ ය. ඒ වූ කලී පුද්ගලාවබෝධය ම සමාජාවබෝධයට හේතු වන බව අවධාරණ කරන ප්‍රාඥ ප්‍රකාශයකි.

'අපි ශතධා වසුධා විකීර්යේත

මේරුඃ ප්ලවේ චාම්භසි රත්නශෘ ගඃ

චන්ද්‍රdර්කතාරාගණ භූ පතේත

පෘථග්ජනෝ නෛව අහං මි්‍රයේයම්'

මේ මහා පොළොව සියක්‌ කඩකට කැඩී විසිරී යා හැකි ය. මහා මේරු පර්වතය සාගරයෙහි ගිලී යා හැකි ය. එසේ ම සඳ හිරු තාරකා මහ පොළොවට කඩා වැටිය හැකි ය. (සිදු නොවන මේ සියල්ල සිදු විය හැකි වුව ද) මම පෘථග්ජනයකු ලෙස නම් මරණයට පත් නොවන්නෙමි.

අපගේ පෘථග්ජන ස්‌වභාවය ම මමායනය මත පදනම් වන බොහෝ ගැටලුවලට මගපාදන බව පෙනේ. එහෙයින් පෘථග්ජන ස්‌වභාවයෙන් මිදී කටයුතු කළ, යට කී ඓතිහාසික පරමාදර්ශයේ, ක්‍රියාකාරීත්වය වඩා නිවැරදි ව ක්‍රියා කළ යුතු - වැඩ කළ යුතු ආකාරයන් අවබෝධ කොට ගැන්ම සඳහා අපට කැඩපතක්‌ වනු ඇත. ඒ අතර මේ කරුණ තවදුරටත් පැහැදිලි කරගැන්මෙහිලා මෙහි මුලින් සඳහන් කළ අමුද්‍රිත සටහනෙහි එන පහත සඳහන් ඡේද දෙක ද උපකාරී වෙයි. ඒ, ඒවා අපගේ දැක්‌ම පුළුල් කොට වඩාත් පැහැදිලි ක්‍රියාකාරීත්වයකට මගපාදන බැවිනි.

'වෙන් ව වැඩ කිරීමෙන් තමා කායික ව, ස්‌ථානයක හුදෙකලා වුව ද ලෝකයට කරන යහපතක්‌ හෙයින් තමා ලෝකය තුළ ම එක්‌ ව හිඳියි. මෙකී කාර්යයන්හි ප්‍රතිඵලය, ලෝකය තුළ එතෙක්‌ මෙතෙක්‌ පැවැති වඩාත් යහපත් ලෝකයක්‌ සැදීමේ සත් මිනිස්‌ චින්තනය ඉදිරියට ම ගලායාම යි තමන් එවන් සත් යහපත් ප්‍රවාහයක කොටස්‌කරුවකු වීම ය එමගින් තමන් උපන් ලෝකයෙන් තමන්ට ලැබුණු දෑ උදෙසා තමන්ට ද යුතුකම් ඉටුකිරීමට අවකාශ සැලසීම යි.'

යට කී සටහනෙහි අවසානයට සඳහන් වන්නේ, එසේ ක්‍රියා කිරීමෙන් දහමෙහි මුඛ්‍ය පරමාර්ථය වන තමාටත් ලෝකයටත් යහපතක්‌ කරගැනීම සහ කිරීම සිදුවන බව ය.

මානසික ව හුදෙකලා නොවෙයි. එසේ ක්‍රියා කිරීමෙන් තම මනස තුළ ස්‌වාධීනත්වය, ශක්‌තිය සහ ධෛර්යය වැඩෙයි. ප්‍රතිඵලය තමාටත් ලෝකයටත් යහපතක්‌ සිදුවීම ය.

එවිට පුද්ගලයාට තම පැවැත්ම යහපත් කරගනිමින් නැවැත්මෙහි මගට පිවිසීමට හැකි වන බව ය.

එතෙක්‌, අපි කවුරුත් වැඩ කරමු.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.