ලුම්බිණියේ සල්ගස සොයාගත් මහාචාර්ය කොනින්හැම් ලංකාවට ඇවිත් කී කතාව

චතුර පමුණුව

රොබින් කොනින්හැම් මුලින්ම 1989 දී ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ අනුරාධපුරයේ කැණීම් කටයුතු සිදු කිරීම සඳහාය. බ්‍රිතාන්‍යයේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා පිළිබඳව මෙරට පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ වැඩකටයුතු කරන අය දැන ගත්තට බෞද්ධ ලෝකය ඔහු පිළිබඳ දැනගත්තේ ලුම්බිණියේ මායාදේවි විහාරය අභ්‍යන්තරයේ සිදුකළ පුරාවිද්‍යා කැණීම් පිළිබඳව මාධ්‍ය වාර්තා පළ වීමෙන් පසුවය. මෞර්ය සමයට එහා කාලය එනම් අශෝක රජුගේ කාලයෙන් එපිට ලුම්බිණිය පැවතියේ කෙසේද යන්න පිළිබඳව වඩා පැහැදිලි විස්‌තරයක්‌ සමස්‌ත ලෝකයට ලබාදීමට හැකි වූයේ කොනින්හැම්ගේ පුරාවිද්‍යා පර්යේෂණ වාර්තාවලින් පසුවය.

මේ මහාචාර්යවරයා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේය. හෙතෙම ඉකුත් සඳුදා දින කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේදී පුවත්පත් සාකච්ඡාවක්‌ පවත්වමින් ලුම්බිණියේ කැණීම් පිළිබඳ මෙරට මාධ්‍ය හමුවේ කරුණු දක්‌වා සිටියේය.

එය මෙරට වැසි කෝටි එකහමාරකට අධික බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පුවතකි. මන්ද මායාදේවි විහාරය අභ්‍යන්තරයේ කළ කැණීම්වලදී සොයාගත් පැරණිතම ලී කණු මත ඉදිකළ විහාරය මධ්‍යයේ ගසක්‌ තිබූ බව පැහැදිලි බවත් ඒ ගස හඳුනා ගැනීම පිණිස බ්‍රිතාන්‍ය ස්‌ටර්ලින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉයන් සිම්සන් මහතා පරීක්‍ෂණ පවත්වන බවද කොනින්හැම් අවධාරණය කර සිටියේය.

ලුම්බිණි සල් උයනේ සල් ගස ගැන සිහිවන විට බෞද්ධයන්ගේ නෙත කඳුළු නගී. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය පිළිබඳව චිත්ත රූප මනසට නැගේ. ලොව කිසිදු ආගමික ශාස්‌තෘවරයකුගේ උපත පිළිබඳව මෙතෙක්‌ පැහැදිලි පුරාවිද්‍යාත්මක සාක්‍ෂියක්‌ ලැබී නොතිබිණි. එහෙත් මහාචාර්ය කොනින්හැම් සිදුකළ කැණීම් වලින් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවූ සල්ගස වටා ඉදිකළ පැරණිතම ආරාමය හෙළි කර ගැනීමට හැකි විය. මෙය ලී වලින් ඉදිකරනු ලැබූවකි. එහි මැද හිස්‌ය. මැද හිස්‌ වන්නේ කවර හේතුවක්‌ නිසාද ගසක්‌ තිබූ නිසාය. මහාචාර්ය කොනින්හැම් මේ ලුම්බිණියේ හමුවූ පැරණි විහාරය සමාන විහාරයකට මෙරට ජයශ්‍රී මහා බෝධියද දක්‌වයි. එයද පූජනීය ගස වටා ඉදිවූ විහාරයකි.

මායාදේවි විහාරයේ අභ්‍යන්තරයේ කැණීම් සඳහා ආධාර ලබාදී ඇත්තේ ජපන් රජය හා යුනෙස්‌කෝව විසිනි. ඒ කැණීම් කටයුතු ආරම්භවී ඇත්තේ 2010 වසරේදීය.

මෙම කැණීම් අනුව අශෝක යුගයේ ඉදිකළ ගඩොල් විහාරය මුලින්ම හමුවී ඇති අතර එයට යටින් හමුවූ විහාරයේ බිත්ති මත සුදුපාට බදාමයක්‌ අතුරා තිබී ඇත. මේ විහාරය වටා වහලක්‌ තිබී ඇතත් මධ්‍යයේ වහලක්‌ තිබී නැත.

මෙය සමාන වන්නේ බෝධි ඝරයකටය. මෙම විහාරයේ කැණීම්වලට යටින් ඊටත් පැරණි විහාරයක නටබුන් කොනින්හැම්ගේ කණ්‌ඩායම විසින් සොයා ගෙන ඇති අතර මෙහි විශේෂය වන්නේද අශෝක විහාරය මෙන්ම ඉදිකර තිබීමය. එහි හමුවූ ගඩොලක බර කිලෝ විස්‌සකට අධිකය. ගඩොලක දිග අඩි දෙකකට වැඩිය. මේ විහාරයද ඉදිකර ඇත්තේ මැද වහලයක්‌ නොමැතිව හිස්‌ව පවතින ආකාරයටය. කිසිම අවස්‌ථාවක පැරණි ආකෘතිය වෙනස්‌ කිරීමට උත්සාහ කර නැත. එහිද වටේට වහලයක්‌ තිබී ඇත.

අශෝක යුගයට යුග දෙකක්‌ එහාට යන ලොව පැරණිතම බෞද්ධ විහාරය හමුව ඇත්තේ එයින් පසුවය. එය ලී වලින් කරනු ලැබූ විහාරයකි. එයද බෝධි ඝරයක්‌ ආකාරයට ඉදිකර ඇතත් පාවිච්චි කර ඇත්තේ ගඩොල් නොව ලීය. මෙය ක්‍රි. පූ. හය වැනි සියවසට එනම් ක්‍රි. පූ. 550 වැනි කාලයට අයත් විහාරයක්‌ බව මහාචාර්ය කොනින්හැම් කියයි.

මෙම ලීs විහාරයෙන් පෙන්වන්නේ ඒ කාලයේ එනම් ක්‍රි. පූ. හයවැනි සියවසේදී බුද්ධාගම ග්‍රාමීයව පැතුරුනු කුඩා ආගමික කණ්‌ඩායමක්‌ ලෙස පැවැති බවත් එය පසු කාලීනව විශේෂයෙන් ආශෝක රජුගේ කාලයේදී රාජ්‍ය අනුග්‍රහය ලැබී වඩා හොඳින් ව්‍යාප්තවී ඇති බවයි.

ලී විහාරය මධ්‍යයේ කරන ලද කැණීම් අනුව එහි තිබූ ශාකයේ පොසිල මේ පුරාවිද්‍යා කණ්‌ඩායම විසින් සොයාගෙන ඒවා පරීක්‍ෂණ සඳහා බ්‍රිතාන්‍යයට යවා ඇත. ඇත්තෙන්ම බුදුන් ජීවමාන කාලයේ පවා මේ සල්ගස වටා වන්දනාමාන සිදු කරන්නට ඇතැයි මෙහිදී අපට සැකකළ හැකිය.

මහාචාර්ය කොනින්හැම් ලොව පැරණිම බෞද්ධ විහාරය පිළිබඳව කරුණු මුලින්ම හෙළි කරනු ලැබුවේ ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදීය. රොබින් කොනින්හැම් සමග මේ කැණීම් සඳහා කොෂ් ප්‍රසාද් ආචාර්යවරයාද සහභාගි විය.

බුදුන් වහන්සේ ප්‍රකාශ කළේ ගූඪබවින් තොර මගේ දහම ඉරහඳ සේ බබලන්නේ යෑයි යනුවෙනි. එලෙසම කොනින්හැම් ගේ පුරාවිද්‍යා කැණීම් නිසා සිදුහත් උපතද ඉරහඳ සේ බැබලිනි. දහස්‌ ගණන් බෞද්ධයෝ අද මහත් බැතියෙන් ලුම්බිණියේ මායාදේවි විහාරය වඳිති. එය සැබවින්ම සල්ගස වටා ඉදිකරන ලද විහාරය මත පිහිටා ඇති බව නම් සත්‍යය.

බුදු දහම සත්‍යයද නැද්ද යන්න බලාගැනීමට පුරාවිද්‍යාවට භාරදිය යුතු නැත. එහෙත් මහාචාර්ය කොනින්හැම්ගේ පර්යේෂණ නිසා බුදු දහමට තවත් ආලෝකයක්‌ එක්‌විය. එය බෞද්ධයන්ට සතුටකි.

මෙය දිවයින ඉරිදා සංග්‍රහයේ පළවූ ලිපියකි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.