පොසොන් අසිරියෙන් ඒකාලෝකමත් වන
දිගාමඩුල්ල බුද්ධංගල වන සෙනසුන

බුද්ධංගල ආරණ්‍ය සේනසනාධිපති රාජකීය පණ්‌ඩිත,
දීගවාපිය සුසීම හිමි
(බුද්ධංගල පොඩි හාමුදුරුවෝ)

එදා මේ ගල්තලාව කසාවතින් බැබළෙද්දී සැදැහැවතුන්ගේ සාධු නාදයෙන් ගුවන් ගැබ සිසාරා ගියේ ඓතිහාසික උරුමයන්ගෙන් ගහන නමින් බුද්ධංගල තපෝවනයෙහි මහිමය හඬගා ලොවට කියන්නාක්‌ මෙන්ය. ඒ මෙයින් ශත වර්ෂ 20 කට පෙර අහිංසක සතා සිවුපාවුන්ට අභය භූමියක්‌ව, තුරු ලතාවන්ගෙන් ගහණ වූ සිත්කලු බිම් පෙදෙසක්‌ව, නිර්වාණගාමී මඟට පිළිපන් සුසිල්වත් මහණුන්ගේ මන දොළ පිනවන බිමක්‌ වශයෙනි. එය එසේ විය නොහැකි යෑයි මෙම පුද බිම දුටු කිසිවකු නොසිතනු ඇත. වීතරාගීන්ගේ සිත් අලවන බිම් පියස කෙලෙස්‌ භරිත වූවන්ගේ හද නොබැඳගන්නා බව බුද්ධ වචනයෙන්ද ප්‍රකාශිතය.

රත්තරන් පාටට රූරා වැටුණු නෑඹුල් අරුණලු ඈතින් ඈතට විහිදුණ වන අරණ අතරින් නැගී සිටි තුමුල ගිරි හිස්‌ නහවමින් සිටි පර්වත පන්තියක්‌ සේ දිස්‌වන මේ ගිරිකුලු තද බෑවුම් සහිත කපොලුවලින් වෙන්ව තිබේ. එසේ හෙයින් වැසි කාලයේ ගල් මතින් ඇදහැලෙන දිය ධාරාවන් රිදී දිය ඇලි සේ කඩා හැලීම වූ කලී දුන්හිද සිහියට නැගෙනු ඇත. වැසි සමයේ මෙන් වියළි සමයේද සුවදායක සිසිලසකින් යුත් මෙහි ඕනෑම විඩාපත් වූවකුට ගතට, සිතට ලබාදෙන සැනසිල්ල බුදුගුණයෙන් මුසුවී තිබීම ඉමහත් අසිරියකි. එහි එක්‌ ගිරි හිසෙක සුදොa සුදු පැහැයෙන් බබලන බුද්ධ ප්‍රමුඛ අගසව් දා නිදහිත චෛතයකි. ඊට මදක්‌ ඔබ්බෙන් ගල් පව්ව මත හුදකලාව වැඩහිඳින ශ්‍රී මහා බෝ රදුන් දිස්‌ වේ. මනා කොට සැකසුණු බැම්මකින් යුත් මලුවක්‌ ඊට රැකවරණය සපයයි. යෝධ ගල් කුලු අතරින් උතුරට විහිදී යන මිටි ගල්තලා රැස මත පෞරාණික ඉදිකිරීම් රැසක නටඹුන් ගොන්න අසිරිමත් අතීතයක සොඳුරු යටගියාව කියාපාන්නක්‌ මෙන් නිහඬව සිටී.

ක්‌ෂිතජය දක්‌වා හෙළ රජදරුවන් විසින් අමුණු කෝටියක්‌ පමණ වපසරිය වගා කළ ඒ සරුසාර කෙත්බිම් අපේ නරවිරුවන්ගේ දස්‌කම් විස්‌කම් මොනවට වීදාපෑවද අනාගතය වෙනම දේශයක්‌ වේ යෑයි මා සිත තුළ විමතියක්‌ම ඇති කෙරේ. එය පාලකයන්ට භාරකර අප නිසොල්මන්වී මෙම වන අරණෙහි ගිරිශිඛරයක්‌ සේ බලා හිඳිමුදැයි ඔබ විසින් ආවර්ජනා කිරීමට කාලයයි මේ. එයින් උතුරු දෙසට වන්නට ගල්ඔය ව්‍යාපාරයෙන් ජනාවාස වූ ජනපදද ඉන් ඔබ්බෙහි රස්‌සහෙළ කඳුවැටිය දක්‌වා විහිදී යයි. හෙළයේ අසිරිමත් හැදියාවට මුල පිරූ අනුබුදු මිහිඳු මාහිමිපාණන් වහන්සේගේ ධාතු නිදන් කොට ඉදිකළ අතීත ගිරිකුම්හිsල වෙහෙර සහිත රජගලද, පියංගල, සමංගල වැනි වන අරණයන් වේ. දකුණු දෙසින් සම්බුදු සිරිපා පහසින් සුපිරිසිදු වූ ඓතිහාසික දීඝවාපී සෑ රදුන් වහන්සේ අද හුදකලාව වැඩ සිටිනුයේ ඉතිහාසයක්‌ පුරා විඳි නෙක දුක්‌ ගැහැට පළකිරීමට වස්‌ මහා වෘක්‌ෂලතා වලින් සරසාගෙනය. වරෙක ඉස්‌ලාම් මූලධර්මවාදීන්ගේ ග්‍රහණයට හසුව වුවද බුදුගුණ බලයෙන් එය සමතලා කිරීමට නොහැකි වුවද නුදුරු අනාගතයේදී නව අසිංහල පරිපාලන ඒකකය තුළ බිමට සමතලා කර උඳු වපුරා අල්ලා දෙවියන් උදෙසා කැප කරවිදැයි වරෙක මට සිතේ. බටහිරින් ඉඟිනියාගල, වඩිනාගල හා ගොවින්ද පබ්බතය පෙනේ. අතීතයේ පොළොන්නරුවේ සිටි ආක්‍රමණික කාංලිග මාඝට රුහුණු රාජ්‍යයට ඇතුල්වීමට නොදෙන ආරක්‌ෂක බලකොටුව වූයේ එයයි. එහි බුවනෙකබාහු නම් ඈපාණ කෙනකුන් වූ බව වංශ කතාකරු කියයි.

මෙසේ අනිමිසලෝචන පූජාවෙන් දිගාමඩුලු අසිරියෙහි යුග කිහිපක්‌ දැකුමට යා යුතු එකම ස්‌ථානය නමින් බුද්ධංගල ආරණ්‍ය සේනාසනයයි. ලංකා සිතියමේ පෙරදිගරට අම්පාර නම් දිසාවෙහි (දිගාමඩුලු දිස්‌ත්‍රික්‌කයේ) වැව්ගම්පත්තුව උතුරු ප්‍රාදේශීය ආදායම් කොට්‌ඨාසයේ අම්පාර වසමේ අක්‌කර දහස්‌ ගණනක්‌ පුරා වනරජ දහනකින් ගිරිශිඛරයන් සහිත යෝගාවචරයන්ගේ ක්‌ෂේම භූමියක්‌ වූවකි. එහ ළඟාවිය හැක්‌කේ අම්පාර පොදු සුසාන භූමිය මැදින් දිවෙන කෙටි කාපට්‌ පාරකිනි.

මෙවන් පුණ්‍ය භූමියක්‌ කරා දිවෙන කාගේ වුවද ගත සිත බුද්ධාලම්භන ප්‍රීතියෙන් නැහැවෙනු නිසැකය. එහි ඇති පෞරාණිකත්වය හා පූජනීයත්වය නිසාය. මෙම වන අරුණ ක්‍රි.පූ. 2-3 සියවස්‌වලට අයත් වූ ‚ණාසවයන් වහන්සේලා සිය ගණනින් වැඩසිටි සෙනසුනකි. අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ තම ජාතභූමිය වූ වේදිසාවේ සාංචි ස්‌ථූපයෙහි තැන්පත් ශාරිපුත්‍ර-මොග්ගල්ලාන අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා වඩමවා සර්වඥ ධාතුන් වහන්සේලා සමග එකම රන් කරඬුවක තැන්පත් කරවමින් මෙහි වටදාගෙයක තැන්පත් කරවූ බව පුරාවිද්‍යා මතයයි. ගිරිතුම්හිල විහාරයේ අභිලේඛනගත සාක්‌ෂිය හා චිත්‍රා ලෙන යෑයි නම් ලත් මෙම අරණෙහි ප්‍රධාන ගල් ලෙනෙහි වූ ශිලා ලිපිය එහිලා සාධක වන පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.

උසින් අඟල් හතරක්‌ පමණ රන් කරඬුවෙන් නෙලුම් මල් තුනකි. උස්‌ නෙලුම් මලෙහි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා දෙනමකි. දකුණු පසෙන් නෙළුම් මලෙහි පාත්‍රයෙහි ශාරිපුත්ත මහරහතන් වහන්සේගේද වම් පසින් කුඩාම නෙලුම් මලෙහි මුගලන් මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඩ සිටිති. එම ධාතු සහිත පාත්‍ර වැසීමට විධානයන් තුනක්‌ ද එහි බෝපත්‍රවල ශාරිපුත්ත-මහා මොග්ගලාන යෑයි ක්‍රි.පූ. 1, 2 ශත වර්ෂයට අයත් අක්‌ෂර වේ. මියෑදෙන්න දෙසතියකට පෙර පුරාවිද්‍යා මහාදැරු සෙනරත් පරණවිතානයන් උක්‌ත පාඨය පිණිස මෙහි මොනවට සාක්‌ෂි දරයි.

ගල්ඔය ව්‍යාපාරය යටතේ ඓතිහාසික දිගාමඩුල්ල අම්පාර දිස්‌ත්‍රික්‌කය වශයෙන් හෙලි පෙහෙළිවත්ම වණවැදී සැඟව සිටි බුද්ධංගල වන සෙනසුන එකෙළි කළ බුදුගුණ රැස්‌ පැතිර දන හදට සමීපකරන පහන් ටැඹක්‌ බවට පත්කරනු ලැබවේ කලුතර ධම්මානන්ද මාහිමිපාණන් වහන්සේ හා බටයායේ අරියවංශ හිමිපාණන් වහන්සේය. උන්වහන්සේලා පිළිබඳ මා සිත්හි ඇත්තේ බුද්ධංගල වසාගෙන නැගෙන මුෂ්‍යත්වය අභිබවා දේවත්වයට පත් අසිරිමත් පුද්ගලයන් දෙදෙනකු පිළිබඳ වූ ප්‍රතිරූපයකි.

1964 වසරේ දඩමස්‌ වේලන්නන්ගේ කෙම් භූමියක්‌ව පැවැති මගත් තොටක්‌ නොමැතිව ජලය බිඳක්‌වත් නොමැතිව රූක්‌ෂ තුරු ලතාවන්ගෙන් යුත් මෙම වන දහනේ සතා සිවුපාවුන්ගෙන් කිසිදු හිංසාවකින් තොරව එක වේලක්‌ පමණ දන් වළඳමින් සැතපුම් හතරක්‌ පහක්‌ ජලය හා පිණ්‌ඩපාතය සඳහා වඩිමින් ආදී කර්තෘභූත හිමිවරුන් විඳි නේක හිරිහැර වෙනම ඉතිහාස කතාවක්‌ වශයෙන් ප්‍රකාශයට පත් කිරීම වටී. බුද්ධංගල නාහිමියන් ප්‍රදේශයේ සිංහල, අසිංහල බලධාරීන් සමග ගැටී ඔවුන්ගේ සහය බාගෙන බුද්ධංගල ගොඩනැගූ අයුරු බුදුපුතෙකුගේ අප්‍රතිහය ධෛර්යය ගැන කියවෙන බණ කතාවක නොමැති කතාවක්‌ වැනිය. මෙම වන අරණෙහි බුදුගුණ රැස්‌ දහරින් නැහැවුණු හදවත්වලට ලැබුණු නිර්මල ධර්මවාදයක්‌ අමා වැස්‌සක්‌ සේ අදට වයෝවෘද්ධ උවැසි උවැසියන් දහස්‌ ගණනකගේ ධර්ම පිපාසය සංසිදුවයි. මග නොදැන අයාලේ යමින් ආමිසත්වයට ලොල් වූ ජනපදවැසි හුදි ජනයාට ධර්ම මාර්ගය කුමක්‌දැයි හෙළිකරදීම බුද්ධංගලින් සිදුවූ ප්‍රධාන කාර්යයකි. ආගමික වශයෙන් පමණකුදු නොව දිගාමඩුල්ල තුළ යම්කිසි සිංහල ප්‍රබෝධයක්‌ වේ නම් එහිලා බුද්ධංගල නාහිමියන් ප්‍රධාන කාර්යභාරයක්‌ ඉටු කරන වග කිවයුතු නොවේ. 1972 වසරේදී වත්මන් චෛත්‍යය ඉදිකිරීම පිණිස පුරාණ වටදාගෙය කැණීම් සිදුකරද්දී ඉහතකී කරඬුව හමුවීම බුද්ධංගල නවෝදයේ ප්‍රධානතම සාධකය විය. එතෙක්‌ මෙතෙක්‌ කොතෙක්‌ ත්‍රස්‌තවාදී උවදුරු අගහිඟකම් තිබුණද දිඟාමඩුලු පුරවරයේ බෞද්ධ ආගමික ප්‍රධාන පුණ්‍ය මහෝත්සවයක්‌ වශයෙන් වාර්ෂික පොසොන් මහා පිංකම සිදුකරනු ලැබේ.

ජීවිතය වූ කලී කාචයක්‌ නොවන වග සැබෑය. එහෙත් එහි නොසියුම් පදවැල් අතරින් මතුවන රිද්ම රටා පහන්වූ සිත් පත්ලේ වචනයෙන් නැගිය නොහැකි සොඳුරු සංවේදයකින් මැවෙයි. ඒ සංවේදය ඔබ ගතින් සිතින් විඳ දරාලන්නට නම් මෙවන් පුදබිම් නෙතින් ස්‌පර්ශ කළ යුතුය. එයින් උපන් පහන් සංවේගය ඔබගේ ජීවිත ගමන එක්‌තරා අයුරකින පුනරාවලෝකනය කරනු ලබන කාචයක්‌ ආදාසයක්‌ කරගැනීමට සුදුසුතම අවස්‌ථාවයි මේ උදාවන්නේ. එයින් ඔබට දිවි ගමනේ සදොස්‌ තැන් නිදොස්‌ කරගෙන සුසීලත්වයේ සංකේතයක්‌ව ධර්මමය සයුරෙහි ජීවිතය නමැති නෞකාවෙන් විමුක්‌ති සුවය නම් පරම ක්‍ෂේම භූමියට ළඟාවීමට මෙම අසිරිමත් අගසව්දා සිරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය ඉවහල් කර ගනිමු. එයින් ජීවිතයට එක්‌තරා දුරකට සොඳුරු කාචයක්‌ කර ගනිමු.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.