මහින්දාගමනයෙන් නිකුත් වූ පළමු හඬ

කොබෙයිගනේ පුබ්බිලිය, ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය
ගලගෙදර රතනවංශ හිමි

මිහිඳු මහ රහතන් වහන්සේ ලක්‌දිවට වැඩම කරන ලද්දේ ශ්‍රී සද්ධර්මයේ පණිවිඩය රැගෙන බව අමුතුවෙන් කිව යුතු නැත. හය දෙනකුගෙන් යුත් පිරිසක්‌ සමග කළ එම ලංකාගමනය තුළින් ලක්‌ වැසියාට ධර්මයේ අමා මිහිර ලබා ගැනීමේ වාසනාව උදා විය. ඊට අමතරව ආර්ථික, දේශපාලනික, සංස්‌කෘතික සහ ආධ්‍යාත්මික ආදී සෑම අංශයකම දියුණුවක්‌ ලබා ගන්නට මාර්ගෝපදේශකයකු හැටියට මිහිඳු මහ රහතන් වහන්සේ කටයුතු කළහ.

උන්වහන්සේ ලක්‌දිවට පැමිණ දේශනා කළ සූත්‍ර අතුරින් 'චුල්ලහත්ථි පදෝපම' සූත්‍රය ඉතා වැදගත් වේ. එයට හේතුව වන්නේ එම සූත්‍රය තුළින් තුනුරුවන්ගේ ගුණ ඉස්‌මතු වීමයි. කිසිමදාක ධර්මයේ පහස නොලැබූ පිරිසකට ධර්මය අවබෝධ කරවීම අපහසු කාර්යයකි. ඒ නිසා පළමුව ශ්‍රද්ධා ගුණ ඇති කළ යුතුය. ඒ අතරම තුනුරුවන් කෙරෙහි අචල විශ්වාසයක්‌ හා ශ්‍රද්ධාවක්‌ ඇති කරලීමේ පරමාර්ථයද ඇතිව එම සූත්‍රය මිහිඳු මහ රහතන් වහන්සේ දෙවනපෑතිස්‌ රජතුමා ඇතුළු රට වැසියාට දේශනා කරන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.

චුල්ලහත්ථි පදොaපම සූත්‍රය තුළින්ම ධර්මය දේශනා කිරීමට හේතු වූයේ විශේෂ කරුණු රාශියක්‌ පදනම් කරගෙනය. විශේෂයෙන් එවකට ලක්‌දිව වනාන්තරවල ඇතා, සුලභව දැකිය හැකි දර්ශනයක්‌ වීමත්, රටේ රජතුමාගේ පවා ඇතා වාහනයක්‌ වීමත්. සතුන් අතරින් විශාලම පා සටහන් පැවතියේ ද ඇතාට වීමත් ආදී කරුණු නිසා ඇත් පා සතර උපමා කොටගෙන බුදුරජාණන් වහන්සේගේ ඥන පද සතර ගැන විස්‌තර කිරීමටත්, තුනුරුවන් ගුණ කියා දීමටත් මිහිඳු මහරහතන් වහන්සේ උත්සාහවත් විය.

බුදුරජාණන් වහන්සේ එම සූත්‍රය දේශනා කිරීමට හේතුව නොහොත් නිධානය පිළිබඳ විමසා බැලීමේදී දෙදෙනෙක්‌ අතර ඇතිවූ බුද්ධිමත් සංවාදයක්‌ පිළිබඳ කරුණු පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ඡේතවනාරාමයෙහි වැඩ වසන කාලයෙහි ජානුස්‌සෝනි නම් බමුණෙක්‌ විය. ඔහු කොසොල් මහ රජතුමාගේ පුරෝහිත තනතුර ද දැරීය. මොහුගේ සිරිතක්‌ වූයේ මාස හයකට වරක්‌ නගරයේ ශ්‍රී විභූතිය නැරඹීමට පෙරහැර මධ්‍යයේ සුදු වෙළඹ රියකින් ගමන් කිරීමය. එසේ යන ජානුස්‌සෝනි බමුණාට බුදුරජාණන් වහන්සේට උපස්‌ථාන කොට ආපසු එන පිලෝතික පරිබ්‍රාජකයා හමු විය. පසුව ජානුස්‌සෝනි බමුණා පිලෝතික පරිබ්‍රාජකයාගෙන් තොරතුරු විමසීය. එහිදී ඇතිවූ සංවාදය මෙසේය.

"ජානුස්‌සෝනි ( යහළුව. ඔබ මේ කොහි සිට එන්නෙහිද?

පිලෝතික ( යහළුව, මම බුදුරජාණන් වහන්සේ හමුවී එන්නෙමි.

ජානුස්‌සෝනි (යහළුව, ඔබ බුදුරජාණන් වහන්සේගේ නුවණ ගැන කුමක්‌ දන්නෙහිsද?

පිලෝතික ( යහළුව, එය කීමට මම කවරෙක්‌ද? තවත් බුදු කෙනෙක්‌ම එය දනී.

ජානුස්‌සෝනි ( යහළුව, ඔබ බුදුරජාණන්වහන්සේට උදාර පැසසුම් කරති

පිලෝතික ( යහළුව, බුදුරජාණන් වහන්සේ දෙව් බඹුන්ගෙන් පූජා ලැබීමට සුදුසුය.

ජානුස්‌සෝනි ( යහළුව, ඔබ බුදුරජාණන් වහන්සේගේ කවර ගුණයක්‌ දැක පැහැදුණේaද?

පිලෝතික ( යහළුව, මම මහ ගුණ හතරක්‌ දැක පැහැදුණෙමි."

පසුව පිලෝතික පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේගේ ගුණ වඩාත් තහවුරු කරවීම පිණිස ඇත් පා සටහන් උපමාව ඉදිරිපත් කරමින් එය විස්‌තර කළේය. එනම්. යම්කිසි දක්‍ෂ ඇතුන් අල්ලන්නකු කැලයට ගොස්‌ ලොකු ඇත් පා දැක එය මහ හස්‌ථි රාජයාගේ යෑයි දැන ගන්නා සේ මම ද බුදුරජාණන් වහන්සේගේ ඥන පද සතරක්‌ දැනගත් බව ප්‍රකාශ කළේය. තවද ඔහු සඳහන් කරන්නේ විවිධ අය බුදුජාණන් වහන්සේ පැරැදවීමට එන බවත්, එසේ එන ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ ආදී විවිධ දක්‍ෂතා තිබෙන, විවිධ හැකියාවන් තිබෙන පණ්‌ඩිතයන්ගේ පරමාර්ථය වූයේ බුදුරජාණන් වහන්සේ ළඟට ගොස්‌ බුදුරජාණන් වහන්සේ හමුවී අපි මේ විදිහේ ප්‍රශ්න අසමු. ඒවාට නියම පිළිතුරු දීමට බුදුරජාණන් වහන්සේට නොහැකි වුවහොත් අපි නියම පිළිතුරු දී වාදයට අල්ලා ගනිමු. ඒ වගේම වාද කර පරද්දා හොඳටම ලැඡ්ජා කරමු. යෑයි ආදී වශයෙනි. ඔවුන් බුදුරජාණන් වහන්සේ හමුවීමට ගිය පසු බුදුරජාණන් වහන්සේ පළමුව ධාර්මික වූ පිළිසඳර කතාවක ඔවුන් සමග යෙදෙන අතර එම පිළිසඳර කතාවෙන්ම ඔවුන් පුදුම වී මවිත වී ගොතාගෙන ගිය සියලු ප්‍රශ්න අමතක වී ඔවුන්ගේ පණ්‌ඩිතකම් නැතිවී මාන්නය දුරුවී සිංහයකු ළඟට ආ මුව පොව්වකුගේ තත්ත්වයට වැටෙන බව පිලෝතික පරිබ්‍රාජකයා ජානුස්‌සෝනි බමුණාට සඳහන් කර සිsටියේය. ඊට පසු එසේ මාන්නය දුරු කරගත් ඔවුන් සඳහන් කර සිටින්නේ බුදුරජාණන් වහන්සේ භාග්‍යවත්ය, සම්‍යක්‌ සම්බුද්ධය, ධර්මය ස්‌වාක්‌ඛාතය, සංඝයා සුපටිපන්නය යනුවෙනි. එසේ සත්‍ය වටහා ගත් ඔවුන් තුනුqරුවන් ගුභ අගය කරමින්ම ත්‍රිවිධ රත්නය සරණ ගොස්‌ පැවිදි වීමෙන් හෝ නොවීමෙන් බුද්ධශ්‍රාවක බවට පත් වීමය.

එම පුවත ඇසූ ජානුස්‌සෝනි බමුණා ඉමහත් ප්‍රීතියට පැමිණ රථයෙන් බැස බුදුරජාණන් වහන්සේ සිටි ප්‍රදේශයට වැඳ නමස්‌කාර කොට බුදුරජාණන් වහන්සේ හමුවීමට යන බව ප්‍රකාශ කළේය. පසුදිනෙක බුදුරජාණන් වහන්සේ හමුවීමට ගිය ජානුස්‌සෝනි බමුණා පිලෝතික පරිබ්‍රාජකයා සමග ඇතිවූ සංවාදය හා කතාබහ පිළිබඳ බුදුරජාණන් වහන්සේට සැළ කළේය. ඊට පසු බුදුරජාණන් වහන්සේ පිලෝතික පරිබ්‍රාජකයාගේ ඇත්පා උපමාව සම්පූර්ණ නොවන බව වදාරා එය මෙසේ විස්‌තර කර දුන් සේක.

යම්කිසි හස්‌ථි පාලකයෙක්‌ කැලේට ගොස්‌ ඇත් පා සටහන් දැක එය මහ ඇතාගේ පා සටහන් නොවන බව තේරුම් ගෙන එතැනින් නොනැවතී මහ ඇතා සොයාගෙන යන්නේය. ඒ යන අතරතුර ඔහුට වාමනිකා නම් වූ ඇතින්නියගේ විශාල පා සටහන් ඇති මිටි ඇතින්නියක්‌ හමුවේ. එතැනින් නොනැවතී තවත් ඉදිරියට යන ඔහුට තව විශාල පා සටහන් හා උස්‌ ගස්‌වල අතු කඩා ගස්‌වල පිට අතුල්ලා සිටින උච්චාකාලාරිකා නම් වූ ඇතින්aනිය හමුවේ. එතැනිනුත් මේ මහ ඇතා යෑයි තීරණය නොකොට කැලේ තවත් ඉදිරියට ගමන් කරන කල විශාල පා සටහන් ඇති අසල ගස්‌වල දළ පහරින් ඇණ ඇති උච්චාකණේරුකා නමැති ලොකු ඇතින්නියක්‌ දැකගත හැකිය. එසේ වුවද ඔහු මහ ඇතා කියා තීරණය නොකරයි. තවත් කැලයේ ඉදිරියට යන මෙම දක්‍ෂ නාගවනිකයාට විශාල පා සටහනුත්, කඩා බිඳ දැමූ උස්‌ ගස්‌වල අතුපතුරුත්, උස්‌ ගස්‌වල දළ පහරවලුත් දැක ගත හැකිය. එසේම ගසක්‌ මුල හිඳින හෝ එළිමහනේ ඇවිදින හෝ වැතිර සිටින මහ හස්‌ථි රාජයා දැක ගන්නට ලැබේ. එහිදී මේ දක්‍ෂ හස්‌ථි ශිල්පියා මේ ඇත් රජාම බව නිගමනය කරනු ඇත.

දක්‍ෂ හස්‌ථි ශිල්පියා (නාගවනිකයා) මහ ඇතා සොයා යන්නා සේ දක්‍ෂ තැනැත්තා ද බුදුරජාණන් වහන්සේ නව අරහාදී බුදු ගුණයෙන් යුක්‌ත බවද ධර්මය, මුල, මැද, අග යහපත් බව ද අර්ථවත් බව ද සර්ව සම්පූර්ණ බව ද සංඝයා සුපටිපන්න, උජුපටිපන්න, ඤායපටිපන්න, සාමීචිපටිපන්න යන ගුණයන්ගෙන් යුක්‌ත බවද වටහා ගන්නේය. එසේ වටහා ගත් දක්‍ෂ තැනැත්තා ත්‍රිවිධ රත්නය සරණ ගොස්‌ ගිහි ජීවිතයෙන් මිදී පැවිදි භාවය ද ලබා ගන්නේය. දස අකුසල්වලින් මිදී කුරුල්ලකු සේ සැහැල්ලු පැවතුම් ඇතිව ජීවිතය පවත්වාගෙන යන්නේය. එසේම ඉන්ද්‍රිය සංවරය උපදවා ආධ්‍යාත්මික සුවය ද ලැබීමට තරම් උත්සුක වන්නේය. ආර්ය සති සම්පජඤ්ඤයෙන් ද යුක්‌ත වේ.

පසුව භාවනාව දියුණු කොට කාමච්ඡන්දාදී පංච නීවරණයන් දුරු කොට සිත පිරිසිදු කරගෙන විතක්‌ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතාදියෙන් සම්ප්‍රයුක්‌ත ප්‍රථම ධ්‍යානය උපදවා ගනු ඇත. ඊටපසු එම ආර්ය, ශ්‍රාවකයා ද්විතීය, තෘතීය, චතුර්ථ ධ්‍යානයන් ද, පුබ්බේ නිවාසානුස්‌සති ඥනය ද චුතූපපාත ඥනය ද උපදවා ගනු ඇත. එසේ වුවද තුනුqරුවන් ගැන නියම නිගමනයකට පැමිණීමට සමත් නොවේ.

අවසානයේදී ආර්ය ශ්‍රාවක තෙමේ සියලුම කෙළෙසුන් නැති කිරීමේ නුවණ හෙවත් ආසවක්‌ෂය ඥනය ද උපදවා ගැනීමට සිත යොමු කිරීමත් ඒ තුළින් චතුරාර්ය සත්‍ය ධර්මය යථාභූත ඥනයෙන් අවබෝධ කර ගැනීමටත් සමත් වේ. එවිට ඔහුගේ සිත කාම, භව, විභව, අවිඡ්ජා යන ආස්‍රවයන්ගෙන් මිදේ. එසේ වුවද තුනුරුවන් ගැන නියම අවබෝධයක්‌ නොලබන ඔහු නුවණ පහළ කර ගන්නේ මම දැන් කාමාදී ආස්‍රවයන්ගෙන් මිදුණෙමියි කියාය. නැවත නොඉපදීම, බඹසරෙහි හැසිරීම, තවත් නිවන පිණිස කළ යුතු දෙයක්‌ නැති බව යනාදීන් පිළිබඳ සිත යොමු කරනු ඇත.

බුදුරජාණන් වහන්සේ ජානුස්‌සෝනිs බමුණාට හත්ථිපාද උපමාව සම්පූර්ණ කරමින් සඳහන් කර සිටින්නේ, බ්‍රාහ්මණය, මේ ක්‍රමයට නොහොත් පිළිවෙළට කෙළෙසුන් නැති කොට නිර්වාණය අවබෝධ කර ගැනීමට තථාගත පදය ද තථාගත නිෂේවිතය ද, තථාගත රඤ්ජිතය ද වන බවත්, එවිට නියම ලෙස ත්‍රිවිධ රත්නය ගැන දැන ගන්නා බවත්ය.

මෙම චුල්හත්ථි පදොaපම සූත්‍රය එදා මිහිඳු මහරහතන් වහන්සේ විසින් එවකට රටේ රජතුමා වන දෙවන පෑතිස්‌ රජුටත් එම පිරිසටත් දේශනා කළේ ඔවුන්ට ත්‍රිවිධ රත්නයේ ගුණ අවබෝධ කර දීමටය. එහිදි රජතුමා ප්‍රමුඛ පිරිස තිසරණ පංචශීලයේ පිහිටි බවත් වැඩිදුරටත් සඳහන් වේ. එදා මිහිඳු මහ රහතන් වහන්සේ කළ මෙම දේශනාව තුළින් මෙරට ආගමික පුනරුදයේ අත්තිවාරම ශක්‌තිමත් විය. ඒ තුළින් රටවැසියා ත්‍රිවිධ රත්නය කෙරෙහි අපමණ ගෞරවයක්‌ භක්‌තියක්‌ දැක්‌වීමට පුරුදු විය. එසේ නම් මෙම පොසොන් පෝ දිනයේ සිදුවූ එම සුවිශේෂී සිදුවීම් සිහියට ගෙන ත්‍රිවිධ රත්නය සරණ ගොස්‌ පන්සිල් රකින පිරිසක්‌ බවට අප හැම කෙනෙක්‌ම පත්වීමට උත්සාහ කිරීම දෙලොව ජයගැනීමට හේතු වන බව මතක තබා ගත යුතු වන්නේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.