රැකගත් සිත කෙලෙස්‌වලින් තෙත් නො කරයි

පූජ්‍ය නාවලපිටියේ අරියවංශ හිමි

ඔබ අපි කවුරුත් ඉතා ම වාසනාවන්ත යි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ඒ උතුම් මිහිරි සද්ධර්මය බහුලව අහන්න අවස්‌ථාවක්‌ දැන් අපට උදාවී තිබෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ තමන්ගේa ශ්‍රවකයින්ගෙන් බලාපොරොත්තු වුණේ යමක්‌ද, ඒ බලාපොරොත්තුව හඳුනාගෙන ඉටුකර දෙන්න අපිට අවස්‌ථාවක්‌ තිබෙනවා. ඒ නිසයි අපි ඉතා ම වාසනාවන්ත අය වන්නේ.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් සියලූ දෙනා ම එක කටයුත්තක්‌ ඉලක්‌ක කරගෙනයි මහන්සියක්‌, උත්සාහයක්‌ ගන්නේ. කුමක්‌ද ඒ කටයුත්ත...? සිත රැක ගැනීම යි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සිත ආරක්‌ෂා කර ගන්නයි මහන්සි වෙන්න ඕනෑ. තමාගේ සිත රැක ගැනීමේ අදහසින් තොර වූ කෙනෙක්‌ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පත් වෙන්නේ නැහැ. ඒ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය තුළ තිබෙන්නේ සිත ආරක්‌ෂා කරගැනීම පිණිස පුහුණු කළ යුතු, අනුගමනය කළ යුතු, දිවිපුදා රැක ගත යුතු වැඩපිළිවෙලක්‌.

අපි ශ්‍රාවකයින් ලෙසින් මල් පූජා කරනවා, පහන් පූජා කරනවා, වන්දනාමාන කරනවා, ඊළඟට සිවුපසය පූජා කරනවා, සිල් සමාදන් වෙලා සීලය රැක ගන්න උනන්දු වෙනවා, බණ අහනවා, භාවනා පුරුදු වෙනවා, ධර්ම සාකච්ඡා පවත්වනවා. මේ ආදී වශයෙන් නොයෙකුත් ලෙසින් අපි ධර්මයේ හැසිරීම උදෙසා යම් යම් කටයුතු කරනවා. නමුත් කුමන කටයුත්ත කළත්, මූලික අර්ථය අපෙන් බැහැර වෙලා නම්, එය ධර්මයේ හැසිරිමක්‌ බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් අපි ධර්මයේ හැසිරෙන්ට ඕනෑ කුමක්‌ උදෙසා ද? සිත රැක ගැනීම උදෙසා යි.. 'සිත රැක ගැනීම පිණිසයි මා මේ ධර්මයේ හැසිරෙන්නේ' කියන අදහස, ඒ වැටහීම අපි තුළ නැත්නම්, බණ ඇසීම, භාවනා කිරීම, වන්දනමාන කිරීම ආදී.. කුමක්‌ කළත් ශ්‍රාවකත්වය අපි තුළ ඉපදී නැහැ.

අංගුත්තර නිකායේ තික නිපාතයේ තිබෙනවා 'අරක්‌ත' කියල සූත්‍ර දේශනාවක්‌. මේ දේශනාවෙන්a අපට කියා දෙන්නේ සිත නො රැකීමෙන් අපට සිදුවන අනාරක්‌ෂාව හා සිත රැක ගැනීමෙන් ඇතිවන ආරක්‌ෂාව පිළිබඳව යි.

දවසක්‌ අනාථපිණ්‌ඩික සිටුවරයා භාග්‍යවතුන් වහන්සේ මුණගැහෙන් පැමිණියා. පැමිණ වන්දනා කර පැත්තකින් වාඩි වුණා. ඊටපස්‌සේ භාග්‍යවතුන් වහන්සේ ඒ අනාථපිණ්‌ඩික සිටුවරයා උදෙසා මේ දහම් කාරණා කියා දුන්නා.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව...

'චිත්තේ ගහපති අරක්‌ඛිතේ

කාය කම්මම්පි අරක්‌ඛිතං හෝති

වචී කම්මම්පි අරක්‌ඛිතං හෝති

මනෝ කම්මම්පි අරක්‌ඛිතං හෝති'

'පින්වත් ගෘහපතිය, සිත නො රැකුණොත් කයෙන් කරන ක්‍රියාව නො රැකුණා වෙනවා, වචනයෙන් කරන ක්‍රියාව නො රැකුණා වෙනවා, මනසින් කරන ක්‍රියාව නො රැකුණා වෙනවා'.

අපි අපේ සිත ආරක්‌ෂා කරගෙන නැත්තම්, කයෙන් ක්‍රියා කරනකොටත්, වචනයෙන් ක්‍රියා කරද්දිත් සිතින් සිතන කොටත් අපට ආරක්‌ෂාවක්‌ සැලසී නැහැ. බලන්න, අපි වන්දනාවක්‌ කරනකොට කාය ක්‍රියාවන් කරනවා නේද? මල් සැරසිලි කරනවා, වෙනත් සැරසිලි කරනවා, මල් පහන් සකසනවා... ඒ වගේ ම වචනෙනුත් අපි ක්‍රියා කරනවා. කතා බස්‌ කරමින් වන්දනාවට සූදානම් වෙනවා. වන්දනා කරන කොටත් ගාථා, සූත්‍ර සඡ්Cධායනා කරනවා. ඒ වගේ ම මනසිනුත් අපි ක්‍රියා කරනවා. නමුත් 'සිත රැක ගැනීම පිණිසයි මම මේ කටයුත්ත කරන්නේ' කියන මූලික අරමුණ වැටහුණේ නැත්නම්, අපි සිතින් කයෙන් වචනයෙන් ක්‍රියා කරමින් දන්නෙම නැතුව, කලින් පුරුද්දට අනුව, අරමුණක්‌ නැතිව වැඩ කටයුතු කරනවා.

අපි සසරේ ගමන් කරන අය ලෙසින් සිත රකින පුරුද්දක්‌ අපිට තිබුණද? සිත රකින පුරුද්දක්‌ තිබුණා නම් අපි සසරෙන් නිදහස්‌ වෙලා නේද? අපි ඒක අවංකව තේරුම් ගන්න ඕනෙ. අපට අපේ සිත රැකගන්ට බැරිවුණු නිසා සසරේ කෙළවරක්‌ නැතුව දුක්‌ විඳිමින් ගමන් කරනව. අතීතයේ අපි සිත රැක ගත්තා නම්, ඒ දුක්‌ සියල්ලෙන් මේ වන විට නිදහස්‌ වෙලා නිවන අවබෝධ කරගෙන වාසය කරනවා. නමුත් සසරේ ගමන් කරන අපිට සිත රැකගන්න පිළිවෙතක්‌ තෝරා බේරා ගන්ට බැරි වුණා. ඒ සිත රැක ගැනීම ගැන අපට තේරුම් බේරුම් කර ගන්ට බැරි වුණොත්, ධර්මය මුණගැහසී අපිට දුකෙන් නිදහස්‌ වීමක්‌ ලබන්ට බැරිවෙනවා.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, යම් කෙනෙක්‌ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් සීලයක්‌ සමාදන් වෙලා, ඒ සීලයේ පිහිටියොත් ඒ සීලය වඳබහින්නේ නැති බව. ඒකාන්තයෙන් සීලයේ විපාක තිබෙනවා. නමුත් යම් කෙනෙක්‌ට සමාදන් වුණ සිල් පද තුළින් සීලයේ ආනිසංස නො ලැබෙනවා නම් ඒ ඇයි? ඒ සීලයේ දෝෂයක්‌ නිසා ද? නෑ. 'මේ සීලය කුමක්‌ උදෙසාද?' කියන අදහස අපි ළඟ නැති නිසා යි. සීලය කුමක්‌ උදෙසාද? කියන අදහස තිබෙනවා නම් අපි සීලය කෙරෙහි ගෞරවයෙන් වාසය කරනවා. ඇයි ඒ? අපි දන්නවා 'මේ සීලය සිත රැක ගැනීම පිණිසයි, දුකින් නිදහස්‌ වීම පිණිස යි" කියල. ඉතින් මේ විදිහට වැටහීමක්‌ තිබෙනවා නම් අපි රකින සීලයට ගරු කරනවා. දිවි දෙවනි කොට අපි ඒ සීලය රකිනවා. සීලයට ගරු කළොත් සිල් රැකීම ඉතා ම පහසුයි. එතකොට ඒ ගෞරවයත් සමඟ සීලය ආරක්‌ෂා වෙනවා ම යි. සිල් රකින්න රකින්න අපට ඒක වෙහෙසක්‌ වෙන්නේ නැහැ. ඒ වගේ ම බණ භාවනා කරන්ට වෙහෙසක්‌ වෙන්නෙත් නැහැ.

එවිට මේ අනාථපිණ්‌ඩික සිටුවරයාට භාග්‍යවතුන් වහස්‌සේ කියා දෙන්නේ කොහොමද? සිත නො රැකුණොත් කාය ක්‍රියාවත් රැකෙන්නෙ නැහැ, වචී ක්‍රියාවත් රැකෙන්නේ නැහැ, මනෝ ක්‍රියාවත් රැකෙන්නේ නැහැ, කයෙන්, වචනයෙන්, සිතෙන් කරන ක්‍රියා තුන ම ආරක්‌ෂා වෙලා නැහැ. එවිට අපි කරන ක්‍රියාව ද මෙතනදී වැදගත් වෙන්නෙ? නැහැ. අන්න ඒකරි අප තේරුම් ගත යුත්තේ. අප ධර්මයේ හැසිරෙන මූලික අදහස බැහැර කර ක්‍රියා කරනවා නම්, එතකොට සහිත රැකල ද ? නැහැ.

තුන් වහන්සේ අනාථපරිණ්‌ඩික සරිටුවරයාට කියා දෙනවා.

තස්‌ස අරක්‌ඛිත කාය කම්මන්තස්‌ස

අරක්ඛිත වචී කම්මන්තස්‌ස

අරක්ඛිත මනෝ කම්මන්තස්‌ස

කාය කම්මම්පි අවස්‌සුතං හෝති

වචී කම්මම්පි අවස්‌සුතං හෝති

මනෝ කම්මම්පි අවස්‌සුතං හෝති

'ඒ ආකාරයට යම් කෙනෙක්‌ රැකගත්තේ නැති කාය ක්‍රියා වලින්, රැකගත්තේ නැති වචී ක්‍රියා වලින්, රැකගත්තෙ නැති මනෝ ක්‍රියාවලින් යුක්‌ත වෙනකොට, තමා විසරින් කයෙන් කරන කටයුත්ත කෙලෙස්‌ වලින් තෙත් වෙනවා. වචනයෙන් කරන කටයුත්ත කෙලෙස්‌ වලින් තෙත් වෙනවා. මනසින් කරන කටයුත්ත කෙලෙස්‌ වලින් තෙත් වෙනවා.'

කෙලෙස්‌ කියල කියන්නේ මොනවද? ඒක මෙහෙම තේරුම් ගන්න. යම් විදියකින් හිත පීඩාවට පත්කරනවා නම්, හිත දවනවා නම්, හිත තවනවා නම්, හිත ඇවිස්‌සිලා යනවා නම්, හිත අපේ පාලනයකින් තොරව යනවා නම්, කයත් සිතත් දැවෙනවා නම්, සිහි කල්පනාවක්‌ උපදවා ගන්න බැරුව යනවා නම්, මේ ඉන්නේ කොතැන ද? කියල තේරෙන්නෙ නැතුව හිත ඇවිස්‌සෙනවා නම්, අපි කවුද? කරන්නේ මොකක්‌ද? මේ විදිහට තේරුම් ගන්න බැරුව හිත ඇවිස්‌සිලා කලබලයට පත් වෙනවා නම්, අන්න එතන ක්‌ලේෂයක්‌ තියෙනවා. ඒ කියන්නේ සිත කිළිටි කරවන දෙයක්‌ තියෙනවා. අන්න ඒ විදිහට අපිව අවුස්‌සන, අපිව කලබල කරන, අපිව කුපිත කරන, කයත් දවන, සිතත් දවන, සිත කිළිටි කරන්නා වූ දේ මොනවද? රාගය අන්න එබඳු දෙයක්‌. ද්වේශය අන්න එබඳු දෙයක්‌, මෝහය මුළා වීම අන්න එබඳු දෙයක්‌. එවිට කෙලෙස්‌ වලින් තෙත් වෙනවා කියූ විට දැන් තේරුම් ගන්න කෙලෙස්‌ කියල කිsයන්නෙ රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් හිත තෙත් වෙනවා කියන එකයි.

ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයාගෙන් අපේක්‌ෂා කළ නිවන් මඟ සම්පුර්ණ කරගැනීම උදෙසා රැකගත් කාය ක්‍රියා ඇතිව, රැකගත් වචී ක්‍රියා ඇතිව, රැකගත් මනෝ ක්‍රියා ඇතිව, සිත ආරක්‌ෂා කරගෙන වාසය කරන්නට, හිත කෙලෙස්‌ වලින් ආරක්‌ෂා කරගන්ට සියලු දෙනාට භාග්‍යය උදා වේවා කියල අපි ආශිර්වාද කරනවා.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.