තර්කයට හසු නොවේමය ඔබ ක්‍රියාවට නංවනු මැනේ....

කම්මට්‌ඨානාචාරිනී පද්මාවෝ රාජපක්‍ෂ
ශ්‍රී අමිත ගවේෂී ධම්ම සමාජයේ අනුශාසිකා

සිරිමහ බෝධියේ අතුපතර දැවටෙනා සිහිල් සුළං රැලි හමාගෙනැවිත් මගේ ගතේ දැවටී යන්නේ කන්කලු හඬක්‌ නඟමිනි. කලින් කලට මතුවන හැඟවෙන යළි පිබිදෙන ප්‍රතිවේද ශාසනය අද අතුරුදන් වී නැති බවයි මේ මිහිරි සුළං නාදය පවසන්නේ. එදා වීර්යයෙන් මතු කරගත් දහමම තමයි බුදුපියාණන් ගුරුතන්හි තබා ගත්තේ. පුද්ගලයෙක්‌ නම් නොවේ. වාසනාවන්...· වාසනාවන්....· අදත් ඒ ගුරුතුමාණෝ ජීවමානව වැඩ වෙසෙති.

හෙළනවා කඳුළු

සැලෙනවා සියලු

හඬන්නේ කවුරු

කඳුළු පිසදමනු

එදා බුදුපියාණන් ශ්‍රී මහා බෝ සෙවණේ වැඩහිඳ සමාධියට සමවැදී අවබෝධ කරගත්තේ ලෝකයේ සැඟවුණු රහසකි. ලෝකය කියන්නේ ක්‍රියාවකුයි විඳීමකුයි. කරන, විඳින කෙනෙක්‌ නැහැ. හසු කරගත නොහැකි වේගය නිසා කෙනෙක්‌ යෑයි හැඟීමක්‌ ඇතිවේ. මේ මුළාව තිබෙනතුරා සත්ත්වයා සසර සැරිසරයි. එයයි ලොව රහස කියා බුදුපියාණෝ හෙළි කරගත්හ.

කම්මස්‌සකාර කෝනත්ථි

විපාකස්‌සච වේදකෝ

ශුද්ධ ධම්මා පවත්තන්තී

අවේතං සච්ච දස්‌සනං

බුදුපියාණන් එදා මතු කරගත්ත ඒ සුවිශේෂී දර්ශනය සරලව පැවසුවොත් ක්‍රියාවකුයි. විඳීමකුයි තිබෙයි. කරන, විඳින කෙනෙක්‌ නොවෙයි. මේ ඇත්ත දුටුවහොත් දුකින් අත මිදෙයි. කෙසේද අපි ඇත්ත දකින්නේ? ඇත්ත දකින්න නම් අසන්න, දැනගන්න, හැසිරෙන්න මේ දහමේ-සුනාථ, ධාරේථ, චරාථ ධම්මේ සමාධිමත් වෙලා විදර්ශනා, කර්මස්‌ථානවල නියෑළී ඇසූ දහම උපේක්‍ෂාවෙන් විමර්ශනය කරන විට සත්‍යය හෙළිවෙයි. ඒ විදර්ශනාවයි. ඇත්ත හෙළි වූ විට දුකින් ගැලවෙයි. ක්‍රමවේදය එයයි. නිවනට තිබෙන එකම මඟ අරිඅටඟි මගයි. ඒ මගෙහි ගමන් කරන ආකාරයයි ඒ. කයක්‌ සහ සිතක්‌ ඇති බවත් කෙනෙක්‌ නොමැති බවත් ඒ දෙකොටස එක්‌ වූ කල කෙනෙක්‌ මැවෙන බවත් ඒ නිසා මුළාවී ඇති බවත් හෙළි වූ කල මුළාව නැති වේ. ඇත්ත නොවැටහෙන්නේ පවතින වේගවත්කම නිසයි. මේ අධික වේගය නිත්‍ය නැහැ අනිත්‍යයි. එහෙත් ඇතිවීම හා නැතිවීම අතර පරතරය නොපෙන්වයි. ඒ නිසයි ආත්ම දෘෂ්ටිය ඇතිවන්නේ.

ගිනි පෙනෙල්ලක්‌ කරකැවෙයි. අතරක්‌ නොපෙනෙන අධික වේගය නිසා අනිත්‍ය බව සැඟවී ගිනි වළල්ලක්‌ මැවෙයි. වළල්ලක්‌ ඇති බවට මුළාවක්‌ ඇතිවෙයි. ආත්ම දිට්‌ඨිය එයයි. මෙලෙස නාම-රූප ක්‍රියාකාරිත්වයේ සුවිසල් වේගය නිසා පුද්ගලයෙක්‌ මැවෙයි. මේ ආත්ම දෘෂ්ටියයි. ඇතිවන නැතිවන වේගය පියවි ඇසට හසු නොවන නිසා කෙනෙක්‌ යෑයි ව්‍යාජ ආත්ම දිට්‌ඨියක්‌ ඇතිවෙයි. ස්‌වභාව දහමේ පවතින එම ක්‍රියාව සහ විඳීම මේ මැවුණු පුද්ගලයා භාරගෙන මම විඳිනවා යෑයි සිතයි. එවිට රාගය ද්වේෂය යන උපක්‌ලේශයෝ ඇතිවී ඇලෙයි. භවයටම සංයෝජනය වෙයි. සක්‌ඛාය දිට්‌ඨියේ ස්‌වභාවය එයයි.

ඉතින් සුළඟ පවසන්නකෝ ඇයි සත්ත්වයා ඉපදෙන්නේ? ඇලෙන නිසයි. ඇයි සත්ත්වයා ඇලෙන්නේ? ඉපදෙන නිසයි. කුමක්‌ද මුල? කුමක්‌ද අග? අග මුල හමු නොවෙයි. අග-මුල නැත්තේ චක්‍රයකයි. එයයි ස්‌වභාවය.

කෙනෙක්‌ යෑයි රැවටිලා ඒ කෙනා මම මගේ මට කියා මගේ ලෝකය මවාගනී. මවාගත් ලෝකයට ඇලෙයි. අනවරාග්‍ර සංසාරයේ ස්‌වභාවය එයයි. ඒ ස්‌වභාවදහම අවබෝධ කරගත හැකි වන්නේ වීර්යයෙන්, නුවණින්, සිහියෙන් විදර්ශනා කර්මස්‌ථානයන්හි නියෑළීමෙන් පමණයි. එවිට ලෝකයේ ස්‌වභාව දහම හෙළිවේ. ධම්මේසු ධම්මානුපිස්‌සී විහරති, ආතාපි සම්පජානෝ සතිමා.

මේ සත්‍යය පියවි ඇසට හසු නොවන නිසා මුළාවී ලොවෙහි නතර වෙයි. මේ මායාමය ලෝකය මැවෙන්නේ මාරයාගේ ආයුධ කට්‌ටලය වන ඇස, කණ, නාසය, දිව, කය ආදියෙන් බව සත්ත්වයාට නොවැටහෙයි. මේ පංච ඉන්ද්‍රියයන්ට ඇත්ත හසු නොවන නිසා මගේ ලෝකය යෑයි මුළාවක්‌ ඇතිවේ. ලොව ස්‌වභාවය එයයි. ඇස, කණ, නාසය ආදියෙන් මොහොතක්‌ නෑර ලෝකය මැවෙමින් තිබෙන බව නොපෙනී පවතින ලෝකයක ඉන්නවා යන හැඟීම ඇතිවේ. පංච ඉන්ද්‍රියන්ට හැකියාව තිබෙන්නේ ඇත්ත නොපෙන්වා සත්ත්වයා මුළාකර භවයේ ගෙනයැමට පමණයි. මේ ඉන්ද්‍රියයන්ගෙන් යථාර්ථය වැසෙනවා මිස දැකගත හැකි නොවේ.

ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය සහ ප්‍රඥව යනුවෙන් තවත් සුවිශේෂී ඉන්ද්‍රියයන් පහක්‌ ඇතිබව සත්ත්වයා නොදනී. තමා සතුව යටපත් වී තිබෙන ඒ ඉන්ද්‍රියයන් මතුකරගෙන නිවනට යා හැකි වේ. බණ ඇසීමෙන් රෝපණය වන්නේ ශ්‍රද්ධා බීජය පමණයි. ඒ අනුමාන වශයෙන් දැනගන්නා නුවණයි. එයින් සෑහීමට පත්වීම නිවැරැදි නොවේ යෑයි පවසමි. අනුබෝධ ඥනයෙන් නිවන හසු නොවේ. ක්‍රියාකාරිත්වයේ යෙදෙමින් දහමින් පෝෂණය වෙමින් ප්‍රඥව නමැති ඵලය නෙළාගත යුතුමය. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන තමා සතුව පවතින ඒ ශ්‍රද්ධාව හෙවත් විශ්වාසය කෙදිනකවත් වෙනස්‌ නොවන පරිදි අචල භාවයට පත්කරගත යුතුමය. බුද්ධ දර්ශනය දැකගන්නා නුවණ ප්‍රතිවේද ඥනයයි. ප්‍රඥව හෙවත් ලෝකයේ යථාර්ථය අවබෝධ කරගත හැක්‌කේ පිළිවෙතේ යෙදීමෙන් හා බහුලවර භාවිත කර පිළිවෙත් පිරීමෙන් පමණි. (භාවිතා බහුලීකතා)

මේ කාන්තාවක්‌, මේ ගසක්‌, මේ මලක්‌ යෑයි පවසමින් සංඥවේ මිරිඟුවට හසුවන සත්ත්වයා මායාමය ආකල්ප සමුදායකින් මිරිකී සසර සැරිසරයි.

ඇස, කන, නාසය ආදී ආයතනයන් තුළ හේතුඵල ආකාරයෙන් සංස්‌කරණය වන වර්ණ දැනීම, ශබ්දය දැනීම, ගන්ධය දැනීම සහ රසපහස දැනීම යන ධම්ම අරමුණු මනායතනයේ ඔපය වෙත ඇදී එන්නේද හේතුඵල ස්‌වභාවයෙන්ම විනා කෙනෙක්‌ කරන ක්‍රියාවක්‌ නම් නොවෙයි. චිත්ත වේගය හෙවත් විඤ්ඤාණ ක්‍ෂණයෙන් ඇතිවී නාමරුප සංකලනය වීම නිසා සිත සකස්‌ වන්නේ සිතෙනවා යන ෙච්දනාව ඉටුවීම සඳහාමය. විඤ්ඤාණ පච්චයා නාමරූපං මේ සිත සැදුණේ ආයතනයේ ක්‍රියාකාරිත්වය සඳහා හේතුඵල වශයෙනි.

මේවා ක්‍රියා සිත් පමණක්‌ වුවද ඇත්ත නොදන්නා අසරණ සත්ත්වයා ඒ අරමුණු විමසීමේදී හෙවත් විචාරයේදී මතුවන වින්දනය නිසා රාගය, ද්වේශය, මෝහය පැනනැඟී උපාදානය වෙයි. ඇලෙයි. ගැලවෙන හැටි සොයාගන්නේ බුදු කෙනෙකුන් පමණි. ද්වාර හයේ ක්‍රියාකාරිත්වය හේතුඵල ක්‍රියාකාරිත්වයක්‌ම විනා කෙනෙක්‌ කරන දෙයක්‌ නොවන බව බුදුපියාණන් හෙළිකරගත් සේක.

ඇතිවෙමින් විමසමින් පවතින ප්‍රපංච ධර්මයන්ගේ යථා ස්‌වභාවය අයෝනිසෝ මනසිකාරයට හසු නොවන බැවින් සත්ත්වයා විඳිමින් සිහින ලෝකයේ පසුවේ. භවයේ යැම පිණිස අවශ්‍ය කරන මනෝ සංෙච්තන ආහාර වළඳමින් පෝෂණය වේ. මෙයයි ලොව ස්‌වභාවය.

අරමුණක්‌ පහළවීම එය විමසීම සහ නැතිවීම ස්‌වභාව දහමේ නියමයක්‌ වන චිත්ත නියාමයයි. කොහේද? මේ සිතුවිලි තිබෙන්නේ? මතුවන්නේ කොහේ සිටද? යෑයි විමසමින් උන්මත්තක නොවන්න. ඒ ස්‌වභාවය වටහාගත හැකි සුවිශේෂී ශක්‌තිය පවතින්නේ බුදුවරුන් සතුව පමණි. සිතුවිලි මතුවන බව, විමසමින් විඳින් බව, විඳින නිසා ඇලෙන බව නමුත් ඒ සිතිවිලි නැතිවී යන බව ඔබට දැනෙන්නේ නම් ඒ සත්‍යතාව දැක දුකින් නිදහස්‌ වීමට එය සෑහේ යෑයි බුදුපියාණන් වහන්සේගේ සිතෙහි ඒ අසිරිමත් සංකල්පනාව පහළ විය.

මේ පංච ඉන්ද්‍රියයන් ඉක්‌මවා ගිය ඥන සම්භාරයක්‌ තිබේ. භාවනා මගින් මෙය දියුණුකර උපදවාගත යුතුය. ඒ ඥනය පුබුදුවාලිය හැක්‌කේ සමාධි සිතකට පමණි. සම්මා සතිය හෙවත් හතරවැනි ධ්‍යාන ශක්‌තිය ඇති සිතකට පමණි. දැහැන්ගත වන විලාශය අද අතුරුදන් වී නොමැත. වාසනාවකි. එය අතීන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ ඥනයයි. සත්‍යය අවබෝධ වීම නිසා කළ කර්මයට ප්‍රතිවිපාකයක්‌ ලෙස ආනන්තරීක කර්මානිසන්සයක්‌ වී නිවන ස්‌පර්ශ කර දෙන්නේ සමාධියයි. සමාධිමානන් තරිකඤ්ඤමාහු - සමාධිනාතේන සමෝන විඡ්ජතී. හිරු උදාවන බවට පෙර නිමිත්ත අරුණෝදයයි. සිහියෙන් ලෝකය විමසා බලා සත්‍යය වටහා ගැනීම සඳහා යෝනිසෝ මනසිකාරය ඇතිවන බවට අරි අටඟි මගට පිවිසෙන බවට, චතුරාර්ය සත්‍යය අවබෝධ වන බවට, පටිච්ච සමුප්පාදය අවබෝධ වන බවට, නිර්වාණය සාක්‌ෂාත් වන බවට පෙරනිමිති වන්නේ සම්මා සමාධිය හෙවත් සතරවැනි ධ්‍යානමය ශක්‌තියයි. ලෝකීය සම්මා සමාධිය එයයි. සතරක්‌ අනුව සිහිය පවත්වාගෙන උපේක්‍ෂාවෙන් ලෝකය විමසමින් යථාභූත ඥනය පහළ කරගත හැකි වන්නේ ඒ සම්මා සමාධියේ ශක්‌තියෙන් පමණයි. මධ්‍යම ප්‍රතිපදාවේ යෙදීමේ හැකියාව ඇති ලෝකයේ පවතින උපරිම උපේක්‍ෂා ශක්‌තිය තිබෙන්නේ එතැනයි. පළමුවැනි, දෙවැනි, තුන්වැනි ධ්‍යාන වල ඇත්තේ රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් තොරව ලැබෙන ප්‍රීති සුඛ වින්දනය. රාගය, ද්වේශය, මෝහය නැතත් විඳීම් සහිත සිතකින් ඇත්ත අවබෝධ කරගත නොහැකි බව වටහාගත් බුදුපියාණන් ලෝකයේ සත්‍ය ගවේෂණය කිරීම සඳහා උපේක්‍ෂාවෙන් සපිරි සතරවැනි ධ්‍යානයට සමවැදිය යුතුම බව හෙළිදරව් කරගත්තේ අදයි. එයයි මධ්‍යම ප්‍රතිපදාව වඩන ඒකායන මාර්ගය. එදා දාරුචීරිය දහම ඇසූ සැණින් අර්හත්වයට පත්වූයේ පෙර පුරුද්ද පාදක කරගත් ක්‍ෂණික සමාධියේ බලයෙනි. අරූපාවචර ධ්‍යාන යනු චතුර්තධ්‍යානයේ උපේක්‍ෂාව පාදක කරගෙන සතර ආකාර සංකල්ප සංවර්ධනය කිරීමක්‌ පමණයි. ඒ නිවන නම් නොවෙයි.

සත්‍යය දැක මූළාව නැතිකර ගැනීමට අපහසු වන්නේ දස ආකාරයකින් සත්ත්වයාගේ භව සංයෝජනය දැඩි වී තිබෙන නිසයි. මෙයින් පළමුවන මෙන්ම භයානකම සංයෝජනය වන්නේ ද සක්‌ඛාය දිට්‌ඨියයි. සක්‌ඛාය දිට්‌ඨිය කියන භව බන්ධනය ආයාසයෙන් නැතිකරගත් කල වාසනාවකි. විචිකිච්ඡාව හා සීලබ්බත පරාමාස යන සංයෝජන දෙක ද නිරායාසයෙන්ම ඉවත් වී යයි. අනෙක්‌ බන්ධන නාමයට මුල් වන්නේ ද මෙම සක්‌ඛාය දිට්‌ඨියමය.

සක්‌ඛාය දිට්‌ඨිය නැතිකරගත් විට තව ආත්ම භව හතක්‌ ඇතුළත දී සංයෝජන සියල්ලම ඉවත් වී ඒකාන්තයෙන්ම නිවෙන බවට ස්‌වභාව ධර්මයෙන්ම නියත විවරණ ලැබේ. අවිද්‍යා අන්ධකාරය මුළුමනින්ම නැතිවී ඒකාලෝක වන බවට පෙරනිමිති පහළ වේ. චක්‌ඛුං උදපාදි, ඤාණං උදපාදි, ප්‍රඥ උදපාදි, විද්‍යා උදපාදි, ආලෝකෝ උදපාදි යනුවෙන් බුදු පියාණන් උදම් ඇනුවේ ඒ නිසයි.

උත්සාහයෙන්, වීර්යයෙන් සක්‌ඛාය දිට්‌ඨිය සිඳගත් කල බිය විය යුතු නොවේ. සැනසීමෙන් ජීවිතය ගෙවී යයි. මිය යන අවස්‌ථාවේ දී පහළ වන චුති චිත්තයේ දී කර්ම විඤ්ඤාණය සමඟ එක්‌වන කර්ම නිමිත්ත වන්නේ බලවත් ඵල සමාපත්ති අරමුණමය. මෙම ශක්‌තිය අභිබවා යැමට හෝ මෙයට සමවීමට කිසිදු කර්ම ශක්‌තියක්‌ සමත් නොවේ. මරණ මොහොතේ දී අවසාන සිත සඳහා ඉදිරිපත් වන්නේ බලවත්ම කර්මයයි.

ආහාර සඳහා ගොපල්ලා උදෙන්ම ගවගාල විවෘත කරන විට දොරකඩටම වී සිටින දුර්වල ගවයන් අභිබවා ඈතින් සිටින ශක්‌තිමත්ම ගවයා එළියට පැනගන්නාක්‌ මෙන් ශක්‌තිමත් කර්මයම මූලික වීම ස්‌වභාවයයි. නවතින්න, නවතින්න ඔබට කියා නිමකළ නොහැකි මේ සත්‍යය නම් දොඩමළු නොවන්න වෙසක්‌ සුළඟ මගේ කණට කොඳුරයි. මම තව වචනයක්‌ දෙකක්‌ පවසා නවතින්නම්.

සක්‌ඛාය දිට්‌ඨිය බිඳගත් කල කයට නොරැවටී තනිකරගත් සිතට සිතෙහිම යථාර්ථය පෙන්වාදීමේ හැකියාව මතුවේ. තණ්‌හාව තුනී වීමෙන් දෙවැනි වතාවටත් තණ්‌හාව නැතිවීමෙන් තෙවැනි වතාවටත් චතුරාර්ය සත්‍යය අවබෝධ කළ හැකි වේ. දැන් කළ යුතුව ඇත්තේ නාම-රූප ද්විත්වයේ යථාර්ථය දැකීමෙන් උපාදානය සිඳ ඒ දෙදෙන වෙන් කිරීමයි. එවිට විඤ්ඤාණය හුදෙකලා වන්නේ විඤ්ඤාණයේ පැවැත්මට කිසිදු හේතුවක්‌ නොමැති නිසයි. හේතුවකින් තොරව කිසිවක්‌ ලෝකයේ නොපවතින නිසා විඤ්ඤාණය නැවත ඇති නොවේ. එයයි, නිවන් සුවය.

පසු බසින්න, සැක කරන්න බුදුපියාණන් ඔබට අවස්‌ථා ඉතිරිකර නැත. භික්‍ෂු භික්‍ෂුණී, උපාසක උපාසිකා යන සිව්වනක්‌ පිරිස තමාගේ කය, වේදනාව, සිත සහ ස්‌වභාවය යන සතර පිළිබඳ සිහිය පවත්වමින් ලෝකය විමර්ශනය කරන තාක්‌කල් ලොව අධිගම ලාභීන්ගෙන් හිස්‌ නොවන බවයි. බුදුපියාණන් පැවසුවේ. බුදු පියාණන් බුදුදහම අකාලික බව පවසද්දීත් තමාගේ සිතට නැඟෙන සංකල්පනාවන් ඉදිරිපත් කරමින් පසු බසින්න එපා යෑයි පවසමින් සුළඟ වේගයෙන් හමායයි.

කරනු සිත එකලු

සත්‍ය හෙළි කරනු

මුළාවෙන් මිදෙනු

සිනාසෙනු සිහලු

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.