ථෙරවාද බුදුදහම ලක්‌දිව ප්‍රතිෂ්ඨාපනය හා ව්‍යාප්තියට බලපෑ හේතු සාධක

හිඟුල බෝධිමළු විහාරාධිකාරී, බෙලිගම්මන පොත්ගුල් විහාර විද්‍යාවර්ධන පරිවේණාධිපති, ශාස්‌ත්‍රපති,
හීන්බෝවේ විමලකිත්ති හිමි

බෞද්ධ ධර්ම දූතයන් මගින් බුදුසමය ලක්‌දිවට ආගමනය වීම සමග මෙහි පැවැති සංකීර්ණ වූ ආගමික ඇදහිලි හා විශ්වාස බොහෝය. වංසකතා දෙසට සිත් යොමු කිරීමේදී ඒ බව තහවුරු වේ. එහි සඳහන් ආකාරයට ඉතා සුළු කාල පරාසයක්‌ තුළ එම ආගම් අභිබවාගෙන බුදුසමය නැඟ සිsටි අයුරු පෙනේ. මේ සඳහා ඉවහල් වූ හේතු සාධක බොහෝ ඇත.

- සිංහලයන් පැවිදි කිරීම හා ආගමික සාමාජික හා සංස්‌කෘතික කටයුතුවල ප්‍රමුඛතාවය එකී සිංහල භික්‌ෂුන්ට පැවරීම

- සංවිධිත වූ ආගමක්‌ නොතිබීමය

- භාෂා සාම්‍යය

- එකම පවුලේ ආගමක්‌වීම

- බුද්ධාගම හා රාජ්‍යය අතර පැවැති සබඳතාව

- භික්‌ෂුණී ශාසනය පිහිටුවීම

- රටේ පැවැති ආර්ථික දියුණුව

- බෞද්ධ ධර්ම දූතයන් රැගෙන එන පණිවිඩයෙහි සුවිශේෂී බව.

- මිහිඳු මහරහතන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රමය

- බුද්ධාගම පැවැතීම

- භික්‌ෂුන්ගේ උපශාන්ත ජීවිතය

- ආමිස පූජාව හඳුන්වා දීම

- සිංහල අටුවා ලිවීම

යන කරුණු එකිනෙක විමසුමට ලක්‌කර බැලිය යුතුය. එහිදී අපට පෙනී යන කරුණු රාශියක්‌ ඇත.

භාරත දේශයෙන් මෙහි වැඩම කළ භික්‌ෂුන් විසින් සිංහල ජනතාවට දහම් දෙසුවේ මුල් මාසය තුළ පමණි. ඉන්පසු පෙනී යන කරුණු අනුව සිංහල භික්‌ෂුන් වහන්සේලා ලවාම මේ නව දහම ශ්‍රී ලාංකිකයන් අතර සන්නිවේදනය කිරීමට සැලැස්‌වීය. ඒ බවට තොරතුරු සමන්තපාසාදිකා විනය අටුවාවෙන් හා මහාවංශයෙන් පැහැදිලි කෙරේ. මුලින්ම ලක්‌දිව ඉදිවූ මහා විහාර සීමාමාලකය පිහිටුවීමෙන් පසුව ලක්‌ධරණී තලය තුළ බුදුසමය පිහිටුවීදැයි අසන ලද පැනයකට අනුව උන්වහන්සේ වදාළේ ලක්‌දිව තුළ මාපිය කෙනකුට දාව උපන් කුල දරුවකු පැවිදි වී ධර්ම විනය ඉගෙන සිංහල බසින් ධර්මය දේශනා කරන තුරු මෙරට බුදුසමය ප්‍රතිෂ්ඨාපනය නොවන බවයි. මිහිඳු මහරහතන් වහන්සේ සිංහල භික්‌ෂු සමාජයක්‌ ඇතිකිරීමට අදහස්‌ කරනු ලැබුවේ කරුණු දෙකක්‌ අනුවය. භාරතයෙන් පැමිණි භික්‌ෂුන් කිහිප නමකට පමණක්‌ සම්පූර්ණයෙන් මෙරට බුදුසමය ප්‍රචාරය කළ නොහැකිය. අනෙක තමන් වහන්සේ වැනි විදේශීය පූජ්‍ය පිරිසක්‌ මගින් දේශනා කරන දහම් පණිවිඩය සිංහලයන් නොපිළිගන්නා බවයි. ඒ නිසා ඔවුන් ලංකාවට පැමිණි විසිහත් වැනි දිනයේදී අරිට්‌ඨ කුමරු ඇතුළු පනස්‌ පස්‌දෙනා සසුන්ගත කර ඇත. ඉන්පසු ක්‍රමයෙන් නොයෙක්‌ ග්‍රාමවලින් පැමිණ පැවිදිවූ පිරිස බෙහෙවින් වර්ධනය වී ඇත. මුල් මාසය තුළ සිංහල භික්‌ෂු සමාජය දහස්‌ ගණනින් වැඩිවී ඇත. එය බුදුසමයේ සීග්‍ර ව්‍යාප්තිය පිණිස ඉවහල් විය.

මීළඟට අනෙක්‌ හේතුව වන්නේ පසුව එළැඹුණු ආගමික, සාමාජික හා සංස්‌කෘතික කටයුතුවල ප්‍රමුඛතාව සිංහල භික්‌ෂුන් වෙත පවරාදීමයි.

මහාවංශ මූලාශ්‍රයේ දහවැනි පරිච්ඡේදයේ සඳහන් පරිදි මෙරට පැවැතියේ සංකීර්ණ ආගම් රාශියකි. එයින් එකම පිළිගත් ජාතික හෝ රාජ්‍ය ආගමක්‌ නොතිබිණි. එහෙත් එවැනි රාජ්‍ය ආගමක්‌ පැවැතියේ නම් ඔවුන්ගේ විරෝධතාවන්ට මුහුණපෑමට ඉඩකඩ තිබිණි. මෙය වඩාත් තහවුරු වන්නේ පසුකලෙක පැමිණි ක්‍රිස්‌තියානි මිෂනාරිවරුන්ට ක්‍රිස්‌තු ධර්මය ප්‍රචාරය කිරීමට අපහසු වීම ගැන සිතා බලන විටයි. එහෙත් මේ සඳහා ප්‍රධාන හේතුව වූයේ මේ වනවිට සියවස්‌ ගණනක්‌ මුළුල්ලේ මෙරට බුදුසමය මුල්බැසගත් රාජ්‍ය ආගමක්‌ බවට පත්ව තිබීමය. නමුත් බෞද්ධ ධර්මදූතයන්ගේ ලංකාගමනය සිදුවූ අවස්‌ථාව වනවිට ඔවුන්ට එබඳු තත්ත්වයකට මුහුණදීමට කිසිසේත් ඉඩකඩ නොතිබිණි. එය බුදුසමයේ සීග්‍ර ව්‍යාප්තියට ප්‍රමුඛ හේතුවක්‌ විය.

භාෂා සාම්‍යය ගැන සැලකීමේදී දෙරටේ මිනිසුන් කතා කළ භාෂාව බොහෝදුරට සමාන විය. ඒ වනවිට මෙහි පැවැති භාෂාව සිංහල ප්‍රාකෘතය වශයෙන් හැඳින්වේ. ලක්‌දිව වෙස්‌සගිරි සෙල්ලිපිය ලියෑවී ඇත්තේ මේ ප්‍රාකෘත භාෂා මිශ්‍ර සිංහලයෙනි. එවක ඉන්දියාවේ පැවැති අශෝක සෙල්ලිපිය ලියෑවී ඇත්තේ මේ ප්‍රාකෘත විශේෂයකිනි. මෙනයින් විමසා බැලීමේදී අශෝක සෙල්ලිපි කියවිය හැකි කෙනකුට ලක්‌දිව වෙස්‌සගිරි සෙල්ලිපිද, වෙස්‌සගිරි සෙල්ලිපි කියවිය හැකි කෙනකුට අශෝක සෙල්ලිපිද කියවිය හැකිය. එයට හේතුව දෙරට වැසියන් කතා කළ භාෂාවේ සමානත්වයක්‌ තිබීමයි. යම් හෙයකින් එබඳු භාෂා සාමානත්වයක්‌ නොතිබී නම් බෞද්ධ ධර්ම දූතයන් ප්‍රථමයෙන්ම සිංහල භාෂාව හෝ සිංහලයන්ට බෞද්ධ ධර්මදූතයන්ගේ භාෂාව ඉගෙන ගැනීමට ඉඩකඩ තිබිණි. එසේ වී නම් සීග්‍ර ආකාරයෙන් මේ නව දහම සිංහලයන් අතර නොපැතිරීමට ඉඩකඩ තිබිණි.

බෞද්ධ ධර්මදූතයන් රැගෙන ආ බුදුසමය හා සමාන ආගම් රාශියක්‌ මේ වනවිට ලාංකිකයන් අතර පැවැතිණි. විශේෂයෙන් නිගණ්‌ඨ, ආජීවක, පරිබ්‍රාජක වැනි ආගම් ඇතැම් අංශවලින් බුදුසමයට සමානය. එම පූජකයන් හා බෞද්ධ භික්‌ෂුන් යන දෙපිරිසගේම පිළිවෙතව පැවැතියේද කෙස්‌ රැවුල් කපා කසාවත් දරා විරාගී දර්ශනය හා චරණය අනුව සත්‍ය ගවේශනයෙහි නිරත වීමයි.

ආගම හා රාජ්‍ය අතර පැවැති සබඳතාව බුදුසමයේ සීග්‍ර ව්‍යාප්තිය පිණිස ඉවහල්වූ තවත් ලක්‌ෂණයකි. බුදුසමය ලක්‌දිවට පැමිණ කෙටි කලක්‌ තුළ එය රටේ රාජ්‍යය ආගම බවට පත්විය. පාලකයා අනිවාර්යයෙන්ම බෞද්ධයකු යන සම්මතය ඇතිවිය. මිහින්තලා සෙල්ලිපියෙහි සඳහන් පරිදි රජු බෞද්ධයකු පමණක්‌ම නොවන අතර බෝධි සත්ත්වයකුද විය යුතුය. ඔහුගේ පිළිවෙත වනුයේ ආගම ධර්මය පිරිහුණු අවස්‌ථාවේදී එහි දියුණුවට කටයුතු කිරීමයි. බුදුසමයේ රක්‌ෂණය, පෝෂණය සඳහා කටයුතු කිරීම පාලකයා සතු වගකීමක්‌ විය. ඒ බව ෂඪ වැනි මිහිඳු, මහාවිජයබාහු, මහ පැරකුම්බා, නිශ්ශංකමල්ල යන රජවරු බුදුසසුන පුනරුත්ථානය කිරීමේ වගකීම දරා තිබීමෙන් පෙනේ.

අරිට්‌ඨ කුමරු ප්‍රධාන පිරිස පැවිදි වීමෙන් පසුව සමාජයේ පුරුෂ පක්‌ෂයට මේ නවක ආගම පිළිබඳව සම්පූර්ණ අයිතිවාසිකමක්‌ ලැබිණි. එහෙත් සිව්වනක්‌ පිරිස අතර භික්‌ෂුණින්ට එම අවස්‌ථාව ඒ වනවිට නොලැබිණි. භික්‌ෂුණී ශාසනය ඇති නොවීම එහි සීග්‍ර ව්‍යාප්තිය සඳහා එක්‌තරා අවහිරයක්‌ විය. එහෙත් පසුකලෙක අනුලා දේවිය ප්‍රධාන කාන්තා පිරිස සසුනට අවතීර්ණ වීමත් සමග මෙරට කාන්තා සමාජයටද මේ නවක ආගම සම්බන්ධව උරුමයක්‌ ඇතිවිය.

විශේෂයෙන් රටකට ආර්ථික සමෘද්ධිමත් බව අවශ්‍යමය. බුදුදහම පැතිර ගිය සෑම රටකම පාහේ එහි දියුණුව සඳහා හේතුවූ කරුණු අතර ඒ රටවල පැවැති ආර්ථික සමෘද්ධිය ප්‍රබල සාධකයක්‌ විය. බෞද්ධ ධර්මදූතයන් මෙහි පැමිණෙන අවස්‌ථාවේ ඊට ප්‍රථමයෙන් විජය රජු ඇතුලු ආර්යයන් වැව් අමුණු ඉදිකොට කෙත්වතු සංවර්ධනය කොට විශාල වශයෙන් ආර්ථික සමෘද්ධියක්‌ ගොඩනඟා තිබිණි. බුදුදහමට අනුව ධාර්මික සංවර්ධනය හා ආර්ථික සංවර්ධනය යන කරුණු දෙකින් ආර්ථික සංවර්ධනය ප්‍රමුඛ වේ. එයට හේතුව ධාර්මික සංවර්ධනයක්‌ මානසිකව ගොඩනඟා ගැනීමට නම් ආර්ථික දියුණුව පැවැතිය යුතුයි. එහෙයින් විජය රජු ඇතුළු පිරිස ආගමික දියුණුව පසෙක තබා ආර්ථික දියුණුව ඇතිකිරීමට ක්‍රියා කළේ එබැවිනි. මේ නිසා රට ස්‌වයංපෝෂිතව පැවැති බැවින් ධර්මදූතයන් මෙහි පැමිණෙන විට සිංහලයන්ට මිල මුදල් මෙන්ම කාලය ඉතිරිව පැවැති බව පෙනේ. ඒ නිසා ඔවුන් තම ධනය, ශ්‍රමය වැය කිරීමේ ප්‍රතිඵලයක්‌ මත වෙහෙර විහාර ඉදිවිණි.

මහාවංශයේ සඳහන් වන පරිදි මිහිඳු මාහිමියන් රාජ්‍ය පාලකයා ප්‍රධාන පිරිසට දහම් ධර්ම සන්නිවේදනය කිරීමේදී අනුගමනය කරන ලද්දේ අනුපූර්ව ශික්‌ෂාවයි. ඒ අනුව පළමුව විමසා සිටියේ අඹ පැනය හා ඥතීන් සම්බන්ධ ප්‍රශ්නයයි. එහිදී දෙවනපෑතින් රජු ඒවාට නිසි පිළිතුරු දීමෙන් අනතුරුව රජුගේ බුද්ධි ශක්‌තිය තේරුම්ගත් මිහිඳු මහරහතන් වහන්සේ පළමුවෙන්ම ම.නි. සඳහන් චුල්ලහත්ථිපදොaපම සූත්‍රය දේශනා කළහ. බුදුදහමේ හරය අන්තර්ගතකොට පෙන්වන ලද ධම්මචක්‌කපවත්තන සූත්‍ර දේශනාවන් තිබියදී මෙවැනි සූත්‍රයක්‌ මාතෘකා කොටගෙන ඇත්තේ කරුණු දෙකක්‌ පදනම් කොටගෙනය. එනම් එකක්‌ පළමුව අන්‍ය ආගමිකයකු බුදුසමය වැළඳ ගැනීමේදී දත යුතු මූලික කරුණු අන්තර්ගත සූත්‍රයක්‌ වීමයි. පළමුවෙන් බුදුසමය වැළඳගන්නකු විසින් තෙරුවන් සරණ යා යුතුය. මෙම සූත්‍ර දේශනාව තුළ පළමුව බුදුන්වහන්සේ යනු කවරෙක්‌ද? උන්වහන්සේ සතු ගුණ සමුදාය කවරේද? ධර්මයේ ගුණ මොනවාද? සංඝරත්නයේ ගුණ කවරේද? යන්න දක්‌වන අතර සූවිසි මහගුණය විස්‌තර කෙරේ. ලෝකයේ ඇති උසස්‌ම ජීවිතය පැවිදි ජීවිතය වන අතර එය ධර්මානුකූල පදනම ඔස්‌සේ සකසාගත යුතු බව පෙන්වා දෙන අතර චතුරාර්ය සත්‍යය පිළිබඳව කෙටි විස්‌තරයක්‌ ඉදිරිපත් කෙරේ.

මෙහි දෙවැනි හේතුව ලෙස දක්‌වා ඇත්තේ සරල ධර්ම කරුණු අන්තර්ගත සූත්‍රයක්‌ බවයි.

බුදුදහම වැනි ගැඹුරු දහමක්‌ පිළිබඳ අවබෝධයක්‌ නොමැති පිරිසකට පළමුව ගැඹුරු ධර්ම කරුණු දේශනා කිරීමට ගියේ නම් මේ නව ධර්මය ඔවුන්ට එපා වීමට හේතුවක්‌ වෙයි. අනතුරුව දෙවැනි දින රජ මාලිගයට රැස්‌වූ රටේ සාමාන්‍ය ජනතාවට ධර්ම දේශනා කර ඇත්තේ දේවදූත සූත්‍රය ඇසුරෙනි. මෙහි බිහිසුණු අපාය දුක්‌ පිsළිබඳව විස්‌තරයක්‌ ඇතුළත් වන අතර මෙම සූත්‍රය මගින් ඒ වනවිට ප්‍රාණඝාතාදී අකුසල කර්මවල යොමුව සිටි ජනතාව තුළ පව්කිරීමේ ආදීනව පෙන්වා දෙමින් බිය ඇතිකොට සුචරිත මාර්ගයට අවතීර්ණ කරගැනීම සඳහා වූ බව පෙන්වාදිය හැකිය. අනතුරුව පේතවත්ථු හා විමානවත්ථු යන සූත්‍ර දේශනා කර ඇත. මේවායේ අන්තර්ගත වන්නේ පින්පව් කළ අය පිළිවෙළින් දෙව්ලොව හා අපායවල ඉපිද සැපදුක්‌ විඳින අයුරුයි. මෙහිදී කර්මඵල විශ්වාසය ඇතිකිරීම පිණිස මෙවන් දේශනා යොදාගෙන ඇත. මළවුන් පිදීමෙහි නිරතව සිටි එම විශ්වාසය පිළිගත් පිරිසට කුසලයට යොමුකොට ගැනීම සඳහා මෙම සූත්‍ර ධර්ම ඉවහල් කරගන්නට ඇතැයි සිතිය හැකිය.

ථෙරවාද මුල් බුදුසමයට අනුව ආමිස පූජාවට වඩා වැඩි තැනක්‌ ලබාදී ඇත්තේ ප්‍රතිපත්ති පූජාවටය. ප්‍රතිපත්ති පූජා සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්‌ෂා මාර්ගයට අනුගතව ගමන් කිරීමෙන් නිර්වාණාවබෝධය පහසුවෙන් ලබාගත හැකිය. නමුත් එය බුද්ධිමතුන්ට මිස මන්ද බුද්ධිය ඇති අයට ගෝචර වූවක්‌ නොවේ. බෞද්ධ ධර්මදූතයන් මූලික බෞද්ධ ඉගැන්වීම් අනුව බුදුසමය ප්‍රචාරය කළේ නම් එය බුද්ධිමතුන්ට පමණක්‌ සීමා විය හැකිය. එමනිසා මිහිඳු මාහිමියන් නූගත් ජනතාව අතර සැදැහැ භක්‌තිය ඇතිකිරීම සඳහා මෙන්ම බුදුසමය ජනප්‍රිය බවට පත්කරලීමට ශාරීරික, පාරිභෝගික, උද්දේසික යන ත්‍රිවිධ සෑ වනදනය හඳුන්වාදීමට අමතක කොට නැත. පළමුවෙන් බුදුන් වහන්සේගේ අකු ධාතුව තැන්පත් කොට ථූපාරාම දාගැබ ගොඩනැගීමත්, දෙවනපෑතිස්‌ රජු විසින් ථූපාරාම මළුවේ සෛලමය බුද්ධ ප්‍රතිමාවක්‌ තැන්පත් කිරීම හා බෝධි ශාකාවක්‌ රෝපණය කරවීමත් නිසා සිංහලයන්ට ත්‍රිවිධ චෛත්‍ය වන්දනයට මඟ පෑදුනා පමණක්‌ නොව මේ නවක ආගම පිළිබඳ සැදැහැ භක්‌තිය ගොඩනැඟීමට අවකාශ සැලසිණි. මෙලෙස හඳුන්වාදෙන ලද ආමිස පූජාව සිංහලයන් අතර බුදුසමය මුල්බැස ගැනීම සඳහා කොතෙක්‌ දුරට ඉවහල්වීද යන්න පැහැදිලි වන්නේ ශ්‍රී මහා බෝධි ශාකාව මහමෙවුනා උයන්හි රෝපණය කිරීමෙන් පසුවයි. එහි මුල් ලක්‌ධරණී තලය මත බැස ගත්තාක්‌ මෙන් බෞද්ධ හැඟීම් සිතුම් පැතුම් සිංහලයන්ගේ සම්, මස්‌, ඇට, නහර ඔස්‌සේ කිඳාබැස ගන්නා ලද්දේ යෑයි පෝල් ඊ. පීරිස්‌ ඉතිහාසඥයා පෙන්වා දෙයි.

මින්පසු හෙළටුවා ග්‍රන්ථ සම්පාදනය සිදු විය. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන උන්වහන්සේගේ ශිෂ්‍යයන් විසින් ධර්ම විනය කරුණු ඇසුරෙන් කරුණු විස්‌තර කරමින් පොතපත රචනා කළේය. එම ග්‍රන්ථ අනුසාරයෙන් සිංහලයන්ට භික්‌ෂුන්ගේ ධර්මයට සවන්දීමට අමතරව මෙම දහම් පොත්පත් පරිශීලනයට අවස්‌ථාව ලැබුණු අතර ධර්මඥානය දියුණු කරගත හැකිවිය. එසේම ශ්‍රී ලාංකික සමාජය තුළ නොපැවැති බෞද්ධ හැඟීම් ජනිත කරවන ආකාරයේ උත්සව හඳුන්වාදී ඇත. ඒ අතර ගංගාරෝහණ උත්සවය, ගිරිභණ්‌ඩ පූජා උත්සවය, අරියවංස පූජෝත්සවය, මහින්දෝත්සවය, වෙසක්‌ උත්සවය වැනි උත්සව විධි හඳුන්වාදීම මගින් මේ නව්‍ය දහම පිළිබඳව ශ්‍රද්ධා භක්‌තිය වැඩිදියුණු කර ගැනීමට හැකිවිය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.