උතුම් සැප පිරි පැවිදි බව සරු

බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති,
නාලන්දේ විමලවංශ හිමි

ගෞතම බුද්ධ ශාසනයෙහි පැවිදි බව ලබා ගැනීම වනාහී මෙලොව සැප සම්පත් අතරෙන් උතුම්ම සැපයක්‌ වශයෙන් සැලකිය හැක. එය රාජ්‍යත්වයට, දේවත්වයට පත්වීමටත් වඩා උතුම් තත්ත්වයට පත් වීමකි. රජකම වනාහි ආශාව, තණ්‌හාව, ඊර්ෂ්‍යාව, වෛරය,ක්‍රෝධය වැනි කෙළෙස්‌ වැඩි වීමට, පව් වැඩි වීමට හේතුවක්‌ විනා සසර ගමන නතර කිරීමට හේතු වන සැපතක්‌ නොවේ. රජවරුන්ට සිදු වන්නේ නොයෙක්‌ පාප කර්ම කර මරණයෙන් පසු අපාගත වීමට ය. අප මහා බෝසතාණන් වහන්සේ පවා රජකම් කිරීමෙන් පසු අපාගත වූ බව තේමිය ජාතකය වැනි ජාතක කථාවලින් පැහැදිලි වෙයි. මේවා පිළිබඳ සැලකිල්ලට ගත් පෙර ඇතැම් රජවරු, ඇමතිවරු, පුරෝහිතවරු එම සැප සම්පත් අතැර දමා පැවිදි වූ බව සඳහන් වෙයි. මහාකප්පින රජ තුමා, පුක්‌කුසාති රජතුමා, ජෝතිය සිටු තුමා, රට්‌ඨපාල සිටු පුත්‍රයා, යස කුල සිටු පුත්‍රයා, සෝණ නමැති සිටු පුත්‍රයා වැනි උතුමන් ලෞකික සියලු සැප සම්පත් අත්හැර දමා පැවිදි වූහ.

ලෝකයේ කොතෙක්‌ ජනගහනය සිටියද එයින් පැවිදි බව ලබන්නේ අතළොස්‌සකි. ලෞකික සැප සම්පත් අත්හැර එක්‌ දිනක්‌ හෝ ගත කිරීමට ඉදිරිපත් වන අයෙක්‌ ඇත්නම් හෙතෙම සිදු කරන්නේ ඉමහත් කැප කිරීමකි. ඒ සඳහා මහත් චිත්ත ශක්‌තියක්‌ සහ ධෛර්යයක්‌ තිබිය යුතු ය. පැවිදි බවෙහි තිබෙන ගුණයන් මෙතෙකැයි කිව නොහැක. එවැනි ගුණ ඇති නිසාම පැවිද්දා දෙවියන්ගෙන්, රජුන්ගෙන් පවා වැඳුම් පිදුම් ලැබීමට සුදුසුකම් ලබයි. දෙව් ලොවට අධිපති සක්‌ දෙවිඳුන් පවා,

බොහෝ කලක්‌ සන්සිඳවූ සිත් ඇති, ශ්‍රේෂ්ඨ චරියාවෙන් යුක්‌ත, යහපත් පැවිද්දන්ට වන්දනාමාන කරන බව සඳහන් වෙයි.

ගිහි සැප, පැවිදි සැප යනුවෙන් සැප වර්ග දෙකක්‌ ඇත. ' ඒතදග්ගං භික්‌ඛවේ ඉමේසං ද්වින්නං සුඛානං යදි පබ්බ-ජෝ සුඛෝ ' යනුවෙන් බුදුරජාණන් වහන්සේ එම සැප දෙවර්ගයෙන් පැවිදි සැපයම උසස්‌ වන බව වදාළහ. පැවිදි බවෙහි ගුණාත්මක බව, වටිනාකම මැනිය යුත්තේ ඔහු සතු ධනයෙන්, බලයෙන්, ප්‍රසිද්ධියෙන් එසේ නැතහොත් කුලයෙන්, නිකායෙන් නොවේ. එවැනි දෙය නැති පැවිද්දා දුප්පතෙකු හෝ නොසළකා හැරි යුතු අයකු නොවේ. පෙර බරණැස්‌ නුවර සිටි 'අරින්දව' නමැති රජතුමා තමන්ගේ උයනෙහි වැඩ හුන් පසේ බුදුවරයකු හමුවට ගොස්‌, හිස මුඩු කරගෙන, කැබලි එක්‌කොට මැසූ දුර්වර්ණ චීවරයක්‌ පෙරවා, මවෙක්‌ පියෙක්‌ නැතිව ගසක්‌ මුල සිටින උන් වහන්සේ දැක ' අනේ දුප්පත් අසරණයා යෑ'යි ප්‍රකාශ කළේය. එවිට උන්වහන්සේ 'මහ රජ, අරිඅටැඟි මඟ සහිත, ලෝකෝත්තර තත්ත්වය ලබා ගත් පැවිද්දා දුප්පතෙකු නොවේ. යමෙක්‌ ධර්මය බැහැර කොට අධර්මයෙන් වසයි නම් එම තැනැත්තාම දුප්පතෙකු වන්නේ ය. එසේම රජ තුමනි, ගෙවල් නැති, ධන ධාන්‍ය නැති, කිසිවක්‌ රැස්‌ නොකරන, සීලාදී ගුණ දහමින් පරිපූර්ණ, ගෙපිළිවෙළින් පිඬු සිඟා යෑපෙන පැවිද්දා වනාහි සැම දිනම සතුටෙන් වාසය කරයි ' යනුවෙන් වදාළේ ය.

වෙදකම් කිරීම, නක්‌ෂත්‍ර කිරීම, යන්ත්‍ර මන්ත්‍ර වශී ගුරුකම් කිරීම වැනි අකැප ක්‍රියාවන් නොකර, දැහැමින් ප්‍රත්‍ය සොයා වැළඳිය යුතු ය. එසේ නිවැරදිව ආහාර වළඳන පැවිද්දාට ලෝභ ද්වේෂ ආදී කෙළෙස්‌ හට නොගනියි. එබැවින් ගෙවල්, ධන ධාන්‍ය නැති පැවිද්දා සැපයක්‌ ලබයි. මගේ නෑයාය, මගේ දායකයාය, ආදී වශයෙන් ගිහියන් කෙරෙහි ඇලීම් බැඳීම් නැති බැවින් පැවිදි සැපය උතුම් වෙයි. නගරයක්‌ ගිනි ගත්ත ද ධනය නැති, ගෙවල් දොරවල් නැති පැවිද්දාගේ කිසිවක්‌ ගිනි නොගනියි. එබැවින් පැවිදි සැපය යහපත් වෙයි. සොර සතුරන් පැමිණ රටක්‌ කොල්ලකෑවද, කොල්ලකන්නට තරම් කිසිවක්‌ නැති බැවින් පැවිදි බව වඩා යහපත් වෙයි. මේ ආදී වශයෙන් පසේ බුදුහිමියන් පැවිදි බවෙහි වටිනාකම දේශනා කළ පසු අරින්දව රජ තුමාද රජ සැප හැර දමා උතුම් පැවිදි බව ලබා ගත් බව සඳහන් වෙයි.

බුද්ධත්වයෙන් පසු, ප්‍රථම රහතන් වහන්සේලා ඇමතූ බුදු හිමියෝ, ' මහණෙනි, මම සියලු බන්ධනයන්ගෙන් මිදුණෙමි, ඔබලා ද සියලු බන්ධනයන්ගෙන් මිදුණාහු වෙති, දැන් තොප සියලු ජනතාවගේ යහපත පිණිස චාරිකාවෙහි හැසිරෙන්න, 'අනුජානාමි භික්‌ඛවෙ, තුම්හෙවදානි තාසු තාසු දිසාසු තෙසු තෙසු ජනපදෙසු පරීබාජෙථ උපසම්පදා දෙථ ' යනුවෙන් මහණෙනි, දැන් තෙපි නොයෙක්‌ ප්‍රදේශවල පැවිදි වෙනු කැමති පුද්ගලයන් පැවිදි කරව්, උපසම්පදා කරව්...' යනුවෙන් අනුදැන වදාළෙන් එතැන් සිට භික්‌ෂුන් වහන්සේලා ද පැවිදි කිරීමේ උපසම්පදා කිරීමේ විනය කර්ම කිරීමට පටන් ගත්හ. එම කටයුතු කිරීමට හැකියාව ලැබෙන්නේ උපසම්පදා භික්‌ෂූන් වහන්සේලාට පමණකි. වෙනත් අයට මේ ශාසනයෙහි පැවිදි උපසම්පදා කිරීමට බලයක්‌ නැත. තමන් විසින් සිවුරු පෙරවා ගත් පුද්ගලයා ද, උපසම්පදා නොවූවකු විසින් පැවිදි කළ පුද්ගලයා ද පැවිද්දෙක්‌ වශයෙන් ගණන් නොගනී. එසේ සිවුරු පෙරවා ගත් උදවිය සිවුරු දැරුව ද පැවිද්දන් නොවෙති. සිවුරු පෙරවා ගත් ගිහියෝ වෙති. මහණකමක්‌ නැති නිසා ගිහියන්ගේ සිව්පසයට උරුමකම් කිව නොහැක. සඟ සතු ස්‌ථාන පරිභෝග කිරීම ද වරදකි.

සසුනෙහි පැවිදි වීමට හැම දෙනාම සුදුස්‌සෝ නොවෙති. සුදුස්‌සන් පමණක්‌ පැවිදි කළ යුතු ය. පැවිදි කිරීමට, උපසම්පදා කිරීමට සුදුසු පුද්ගලයන් කවුරුන්ද යන්න විනයානුකූලව විමසිය යුතුය. ඇතැම් දෙනා කියන පරිදි රජ අණ හෝ වෙනත් හේතුන් පැවිදි කිරීමේ දී බලපාන්නේ නැත. බුද්ධ දේශනාව අනුවම සලකා බැලිය යුතු ය. රජුන්ගේ අණ ඉස්‌ මුදුනෙන් පිළිගැනීම භික්‌ෂුන්ට සුදුසු නොවේ. ' අප්පුවා ' නමින් සිටි කුල හීනයකු පැවිදි කිරීම අරභයා වඩුග රජෙකු විසින් පණවන ලද තහනම්

නියෝගයට අනුව කටයුතු කිරීම අප්පුවා විසින් කරන ලද දීන ක්‍රියාවට වඩා බරපතළ පහත්,විනය විරෝධී ක්‍රි්‍රයාවක්‌ බව වටහා නොගැනීම පුදුමයට කරුණකි. වසුරු කදක්‌ රැගෙන මහ මඟ ගමන් ගත් සුනීත වැන්නවුන් පැවිදි කළේ ඔවුන් පූජනීයත්වයට පත්කිරීම, සසරින් මුදවා ගැනීම උදෙසාය. ඔවුන් පැවිදිවූ පසු වසුරු කදවල් ඇද්දේ නැත. එවැනි කරුණා ශාසනයක රජ අණ පරිදි කුල හීනයන් පැවිදි නොකිරීමට යම් භික්‌ෂු පිරිසක්‌ කටයුතු කළෝ නම් එය උන්වහන්සේලාගේ කුල මානයෙහි තරම පෙන්වන්නකි. කළ යුතුව තිබුණේ අප්පුවා වැන්නවුන් පැවිදි කිරීමට පෙර පැවිදි වීමෙන් පසු අනුගමනය කළ යුතු වත් පිළිවෙත්, ඇවතුම් පැවතුම් පිළිබඳ මනා වැටහීමක්‌ ලබා දී පැවිදි කිරීමයි.එසේ නොමැතිනම් පැවිදි කළ පසු ඔවුන්ට අවශ්‍ය දැනුම ලබා දීමයි. එහි වගකීම භාර ගත යුතු වන්නේ අප්පුවා වැනි නූගතුන්, මන්ද බුද්ධිකයන් පැවිදි කරන ගුරුවරුන්මය.

කුලීනයන් තෝරා බේරා ගෙන පැවිදි කළ පමණින් ඔවුන් සිල්වතුන්, ගුණවතුන් බවට පත් වන්නේ ද නැත. එසේ වන්නේ නම් අද භික්‌ෂු සමාජයේ ද ඔවුන් අනෙකුන්ට වඩා සිල්වත් ගුණවත් පිරිසක්‌ විය යුතු ය. වත්මන් සමාජයේ කුලීනයන් වශයෙන් ගත හැකි කිසිවෙකුත් නැත. සියල්ල මිශ්‍රවී ඇත. අතීත වැඩවසම් යුගයෙහි එවැන්නක්‌ තිබුණා විය හැකිය. වත්මන් සමාජයේ ඒ අයුරින් කිසිවෙක්‌ ඉදිරියෙහි දීනත්වයට පත්වන කිසිවෙකුත් නැත. අප දන්න එක්‌තරා පහත්යෑ'යි සම්මත කුලයක පවුලක්‌ නව මහවැලි ජනපද ප්‍රදේශයකට ගොස්‌ පදිංචිවී, යමක්‌කමක්‌ හරිහම්බ කරගත් පසු තමන්ගේ නම් ගොත් වෙනස්‌ කර ගත්හ. එම පවුලට අයත් දරුවකු එක්‌තරා කුලයකට අයත් දරුවන් පමණක්‌ පැවිදි උපසම්පදා කරන නිකායක පැවිදිවී, හොඳින් ඉගෙන ගෙන නායක පදවියක්‌ පවා ලබාගෙන සිල්වත් භික්‌ෂුවක්‌ වශයෙන් වැඩ සිටිති. වෙහෙර විහාරස්‌ථානවල දියණුවට අත හිත දෙන, නිරතුරුව සිව්පසය පුදන සැදැහැවත් මිනිසුන්ගේ දරුවන්ට පැවිද්ද උපසම්පදාව නොදෙන ඇතැම් නිකායිකයන් හදිසියේ පැමිණෙන ආසියාතිකයන්ට මෙන්ම, යුරෝපීය ජාතිකයන්ට පැවිදි උපසම්පදාව දෙති. මේවා බුදු හිමියන් අනුමත නොකරනු ඇත. එසේ නම් පැවිදි කිරීමට නුසුදුසු පුද්ගලයන් කවුරුන්ද යනු විමසා බැලිය යුතු ය.

බුදුසසුන ආරම්භ වූ මුල් යුගයෙහි පැවිදි කිරීමේ වයස උපරිමය අවුරුදු පහළොවකි. පසු කාලයෙහි එය කපුටකු එලවා ගත හැකි වයස දක්‌වා වෙනස්‌ කර ගෙන ඇත. ඒ අනුව පැවිදි නොකළ යුතු පුද්ගලයන් මෙසේ දැක්‌විය හැකිය. 1. කපුටකු එලවා දැමිය නොහැකි වයසෙහි සිටින දරුවන් 2. කුෂ්ට, දද, ගෙඩි, වන, ඇදුම, අපස්‌මාරය වැනි රෝග වලින් පෙළෙන පුද්ගලයන් 3. රාජ භටයන් 4. ප්‍රසිද්ධ සොරුන් 5. හිරගෙයින් පැන ගිය අපරාධ කරුවන් 6. අධිකරණයෙහි නම ලියෑවුණ අපරාධකරුවන් 7. වරදට කසයෙන් තලනු ලැබූ පුද්ගලයන් 8. සිරුරෙහි සලකුණු තබා දඬුවම් කළ පුද්ගලයන් 9. ණයකරුවන් 10. දාසයන් 11. මවුපියන්ගෙන් අවසර නොලැබූවන් 12. අතක්‌ නැති පුද්ගලයන් 13. පයක්‌ නැති පුද්ගලයන් 14. අත් පා දෙකම නැති පුද්ගලයන් 15. කනක්‌ නැති පුද්ගලයන් 16. නැහැය නැති පුද්ගලයන් 17. කන සහ නැහැය නැති පුද්ගලයන් 18. ඇඟිලිs අග සිඳුණු පුද්ගලයන් 19.ඇඟිලි සිඳුණු පුද්ගලයන් 20. මහ නහර සිඳුණු පුද්ගලයන් 21. ඇඟිලි එකට බැඳී ඇති පුද්ගලයන් 22. කුදු පුද්ගලයන් 23. මිටි පුද්ගලයන් 24. බෙල්ලෙහි ගෙඩි ඇති පුද්ගලයන් 25. බරවා රෝගය ඇති පුද්ගලයන් 26. පාප රෝග ඇති පුද්ගලයන් 27. පිරිස්‌ මැඳ කැපී පෙනෙන විරූපී පුද්ගලයන් 28. එක්‌ ඇසක්‌ ඇති පුද්ගලයන් 29. අත් පා ඇදවූ පුද්ගලයන් 30. කොරුන් 31. සිරුරෙන් අඩක්‌ පණ නැති පුද්ගලයන් 32. පිදුන් 33. ජරා දුර්වල පුද්ගලයන් 34. අන්ධයන් 35. ගොළුවන් 36. බිහිරන් 37. අඳ බිහිරි පුද්ගලයන් 38. ගොදු බිහිරි පුද්ගලයන් 39. අඳ ගොළු බිහිරි පුද්ගලයන් මෙම කරුණුවලින් පරිබාහිර පුද්ගලයන්ට බුදු සසුනෙහි පැවිදි බව ලබා ගැනීමේ

අපහසුවක්‌ හෝ තහංචියක්‌ නැත. මෙකරුණු අනුව පැහැදිලි වන්නේ බුදු හිමියන් විසින් ගර්හිත කුලය වැනි ග්‍රාම්‍ය කරුණු මත කිසිවකුත් පැවිදි නොකීරීම බුදු දහමට අනුකූල නැති අතර, එය අයිති වන්නේ වඩුග රාජ ධර්මයට අනුව බව පැහැදිළි වන්නේය. පැවිදි නොකළ යුතු තවත් පිරිසක්‌ සිටිති. ඔවුන් නම්, පණ්‌ඩකයාය, උභතෝබ්‍යඤ්ජනකයාය,තිත්තියපක්‌ඛන්තකයාය. තිරශ්චීනයා ය, මාතෘ ඝාතකයා ය, පීතෘ ඝාතකයා ය, අරහන්ත ඝාතකයා ය, ලෝහිතුප්පාදකයා ය, සංඝ බේධකයා ය, භික්‌ඛුණි දූෂකයා ය, යන එකොළොස්‌ දෙනා ද පැවිදි කිරීමට සුදුස්‌සෝ නොවෙති. නොදැන ඔවුන් පැවිදි කළ ද පැවිද්ද

නොපිහිටයි. නොදැනීමෙන් පැවිදි කර ඇත්නම් දැන ගත් විගසකම සිවුරු හැරවිය යුතු ය. දැන දැන එබන්දන් පැවිදි කළ හොත් පැවිදි කළ භික්‌ෂුවට ඇවැත් සිදු වෙයි.

පැවිද්ද ලබා දීමට හැම පැවිද්දන්ම සුදුසුකම් නොදරති. අද ඇතැම් භික්‌ෂුන් තමන් පැවිදි වීමෙන් වසරකින් දෙකකින් ගෝලයන් පැවිදි කරති. උපසම්පදා කරති. මේවා කොතෙක්‌ විනයානුකූල ද යන්න නොසලකති. 'අනුජානාමි භික්‌ඛවෙ, ව්‍යක්‌තෙන භික්‌ඛුනා පටිබලෙන

දසවස්‌සෙනවා අතිරෙක දස වස්‌සෙනවා උපසම්පාදේතුං නිස්‌සායං දාතුං ' යනුවෙන් උපසම්පදාවෙන් දස වර්ෂයක්‌ හෝ එයට වැඩි කලක්‌ ගතකොට ඇති, ව්‍යක්‌ත ප්‍රතිබලසම්පන්න භික්‌ෂුන් හටම ශිෂ්‍යයන් හැදීමට අවසරය ලබා දුන් සේක. උපසම්පදාවෙන් දස වසක්‌ සම්පූර්ණ කර ඇති, ශිෂ්‍යයාට තුදුස්‌කන්ධකය, සහ ධර්ම විනය පුරුදු පුහුණු කිරීමට හැකි, සසුන්හි ඇල්මක්‌ නැති වුවහොත් එය පහ කිරීමට සමත්, ශිෂ්‍යයා අසනීප වුවහොත් උපස්‌ථාන කිරීමට සමත්, භික්‌ෂුව ශිෂ්‍යයන් හැදීමට සුදුසු වන්නේ ය. විශාල පන්සල් ආරාම නොමැති බව, වත් පොහොසත්කම් නොමැති බව, ධනවත් දායකයන් නොමැති බව පිරිවෙන් වලට විශ්වවිද්‍යාලවලට යවා ඉගැන්වීමට නොහැකි බව ශිෂ්‍යයන් පැවිදි කිරීමට නුසුදුසුකමක්‌ නොවන බව ද සිතිය යුතු ය.

වෙළෙඳාම, ගොවිතැන, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කර, නැකැත් පොරොන්දම්, කේන්ද්‍ර බලා මුඳල් ඉපයීම පැවිද්දන්ට කැප නොවේ.' සාමඤ්ඤඵල සූත්‍රය ' වැනි සූත්‍රවල බුදුහු එය පෙන්වා දුන්හ. ඒවා මිථ්‍යාජීව ඝණයට වැටෙයි. පැවිද්දන් ජීවත් විය යුත්තේ සැදැහැතියන් පුදන සිව්පසයෙනි. ගිහියන් පුදන සිව්පසය පරිභෝග කරමින් තෘෂ්ණාවෙන්, මානයෙන්, විනෝදයෙන් සිටියි නම් එය බරපතල වරදකි. සිව්පසය පරිභෝග කිරීමේ දී ක්‍රම හතරක්‌ ඇත. ථෙයH පරිභෝග, ඉණ පරිභෝග, දාය-ජ රිභෝග, සාමි පරිභෝග යනුවෙන් ඒවා හඳුන්වයි. සිල්වතුනට පුදන සිව්පසය දුසිල්ව ඉදිමින් පරිභෝග කිරීම ථෙයH පරිභෝගයයි. ප්‍රත්‍යවේක්‌ෂා නොකර, ණයකාරයකු වන පරිදි පරිභෝග කිරීම ඉණ පරිභෝගය නම් වෙයි. සෝවාන් සකෘදාගාමී අනාගාමී මාර්ග ඵලලාභී උතුමන්ගේ සිව්පස පරිභෝගය වනාහී දායඡ්ජ පරිභෝජනය නම් වෙයි. රහතන් වහන්සේලාගේ සිව්පස පරිභෝජනය සාමි පරිභෝගය නමින් හඳුන්වයි. මේවා අතරෙන් ඉණ පරිභෝගයත් ථෙය්‍ය පරිභෝගයත් නුසුදුසුය. දායඡ්ජ පරිභෝග, සාමිපරිභෝග යන දෙක යහපත් ය.

සියල් සසර දුක්‌ වලින් නිදහස්‌ව නිවන ලබා ගනු වස්‌ පැවිදි වීමට ඉදිරිපත් වන අය අතරෙන් ඉවසීම තිබෙන, සමගියෙන් විසිය හැකි, කරුණා මෛත්‍රී ගුණ ඇති, ගුරුවරුන්ගේ වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා පිළිගන්නා, ආචාර්ය උපාධ්‍යායන් කෙරෙහි භක්‌තිය ඇති, අවංක සත්පුරුෂයන් පැවිදි වීම මගින් සම්මා සම්බුද්ධ ශාසනය බබළන්නේ ය.

අසප්ක්‌ආබිa 2012?ටප්සකගජදප
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.