අගලවත්ත ස්‌වර්ණලෙන ආරණ්‍ය සේනාසනය
ගොඩනැඟීමට පිං කැමති ඔබට ආරාධනා



වෙහෙර විහාරස්‌ථාන හැදීම, චෛත්‍යය, ආරාම ඉදිකිරීම, ඒවාට ළඟාවීමට ඇති මාර්ග සකස්‌ කිරීම මහඟු පුණ්‍ය කර්මයක්‌ ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කර සිටියහ. අනේපිඬුසිටානෝ සිට හෙළ රජදරුවන්ද, දානපතියෝද, පිං කැමැති මෙලොව පරලොව දියුණුව පිණිස කටයුතු කරන්නා වූ බොහෝ දෙනෙක්‌ එම නිර්මල බුදු වදන් සත්‍යය බව පසක්‌ කරගත්හ. ඒ ගමන් මඟ ගියහ.

අද සමාජයේද සුළු පිරිසක්‌ එම බුදු වදන් පිළිපදිමින් නොයෙක්‌ පුණ්‍ය ක්‍රියාවල නිරත වූවත් බොහෝ දෙනා පුහු ආටෝපයටත්, සමාජයේ කැපී පෙනෙන්ටත් ප්‍රිය කරමින් තම ධනය, කාලය, වස්‌තුව නාස්‌ති කරමින් සිටිති. ඔවුන් යහමඟට ගැනීමට කෙසේ වෙතත් ඔවුන්ට තම ධන පරිත්‍යාගයෙන් උතුම් පිංකමක්‌ සඳහා කරන ආරාධනාවකි මේ

ඒ පුණ්‍ය භූමිය පිහිටා ඇත්තේ අගලවත්ත යටියන ප්‍රදේශයේය. මතුගම - අගලවත්ත මාර්ගයේ අගලවත්ත ප්‍රදේශයට කිලෝමීටර් 3 ක්‌ පමණ ගිය පසු පිහිටි මගුරල කන්දේ ඇති යටියන ස්‌වර්ණලෙන ආරණ්‍ය සේනාසනය එකී පුණ්‍ය කර්මයට තෝතැන්නකි.

මතුගම - අගලවත්ත ප්‍රධාන මාර්ගයේ එකී දුර පැමිණ වම් අතට හැරෙන්න ඇති මාර්ගයේ තවත් කිලෝමීටරයක්‌ පමණ ගිය පසු හමුවන එම ස්‌වර්ණලෙන ආරණ්‍ය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පින් බිමකි. එකී පුණ්‍ය භූමිය වෙත ගිය විට එහි ඇති ශාන්තිමත් භාවය ඔබට නිතැතින්ම දැනෙනු හැඟෙනු ඇත.

ආරණ්‍යවාසී භික්‍ෂුන් වහන්සේලා පස්‌නමක්‌ ඒ පින් බිමේ වැඩ වාසය කරති. ජීවිතයේ අනියත බව පසක්‌ කරගත් උන්වහන්සේලා බුදු වදන් මෙනෙහි කරති. භාවනා කරති. ශාන්ත ගමනින් සක්‌මනේ යෙදෙන උන්වහන්සේලා නිර්මල බුදු වදන් දේශනා කරති.

යටියන මගුරල කන්ද නම් කැලය මැද ආරණ්‍යය ඉදිකර ගත් උන්වහන්සේලාට දන්, පැන්, ගිලන්පස පූජා කළ දායක දායිකාවෝ මහත් පරිශ්‍රමයක්‌ දරා එතෙක්‌ අඩි පාරක්‌ව තිබූ ආරණ්‍යයට ඇති මාර්ගය දැන් වාහනයකට යැමට හැකි වන සේ පළල් කර ඇත. ස්‌වර්ණ ලෙන ආරණ්‍ය සේනාසනයේ දායක සභාවේ සභාපති සම්පත් චමින්ද කුමාර මහතා එම මාර්ගය සෑදීමේ කටයුතුවලද පෙරමුණ ගෙන ක්‍රියා කළේය.

එහෙත් එම මාර්ගය කඳු තරණය කරමින් ඉදි වූවක්‌ නිසා මාර්ගයට කොන්ක්‍රීට්‌ හෝ තාර දැමීමට හෝ ගල් ඇතිරීමට හෝ මුදල් ආධාර කිරීමට කැමති පින්වතුන් අවශ්‍යය. කිලෝමීටරයකට ආසන්න එම මාර්ගය ඉදිකිරීම සඳහාත්, ආරණ්‍ය සේනාසනයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීම සඳහාත් ආධාර උපකාර කරන ලෙස දායක සභාව මෙන්ම ආරණ්‍ය භික්‍ෂුන් වහන්සේලාද පිං කැමැති ඔබ සැමට ආරාධනා කර සිටිති.

එමතු නොව ආරණ්‍ය භික්‍ෂුන් වහන්සේලාට අවශ්‍ය කුටි ඉදිකිරීම සඳහා ද ඔබේ සහාය, ආධාරය, උපකාරය අවැසිය. දරුවන්ගේ උපන්දින සාද, විවාහ සංවත්සර, එහෙමත් නැත්නම් කාර්යාලයේ තනතුර, උසස්‌වීම් පිළිබඳවත් ලක්‍ෂ ගණනින් මුදල් වියදම් කර සාද පවත්වන යුගයක සිට අපි ඔබට මේ ආරාධනාව කරමු. මේ ආරණ්‍යයට ඇති මාර්ගයත්, චෛත්‍යයත්, ආරණ්‍යවාසී භික්‍ෂුන් වහන්සේලාට අවශ්‍ය කුටිත් ඉදිකර දීම සඳහා පරිත්‍යාගයක්‌ කිරීමට ඔබේ සුපින්වත් සිත් තුළට අදහස්‌ පහළ වේවා·

ඔබගේ නොමසුරු පරිත්‍යාගයන් ලබාදීම සඳහා ආරණ්‍යය 0345720592, සම්පත් මහතා 0777753792, පියසේන මහතා 0714993373 යන දුරකථන අංකවලට ඇමතීමෙන් හෝ ආරණ්‍යයට පැමිණ විමසීම් කළ හැක.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.