අපේ දර්ශනය විය යුත්තේ කුමක්‌ ද?

ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති
රාජකීය පණ්‌ඩිත, ශාස්‌ත්‍රපති පූජ්‍ය කොත්මලේ කුමාරකස්‌සප හිමි

මීට අවුරුදු ගණනාවකට කලින් අපේ ආරණ්‍යයේ අලුතින් කුටි හදපු දවස්‌වල කැළේ ඉන්න රිලව් ජනේලවල වීදුරු ළ`ගට ඇවිල්ල කෑගහනව, ඉස්‌සරහට ආපස්‌සට පනිනව. තව කෙනෙක්‌ වීදුරුව ඇතුළෙ ඉන්නව කියල හිතාගෙන ගහනව, ගොරවනව. එයාට පෙනෙන්නෙ ඇතුළෙ ඉන්න කෙනත් තමන් ගොරවනකොට ගොරවනව, එකක්‌ කහනකොට ගහනව කියල. ඉතින් මෙතන හරි කලබලයක්‌.

දැන් අවුරුදු 8 - 10ක්‌ විතර වෙලත් තවමත් ඒ ගොල්ල එතෙන්ට ආවම කෑගහනව, ගහනව, ගොරවනව, පනිනව. ඇයි? ඒගොල්ලො ඉන්නෙත් තව
කෙනෙක්‌ ඉන්නව කියන අදහසින්. යන්නෙත් මෙතන කෙනෙක්‌ ඉන්නව කියන අදහසින්. පැත්තකට ගිහින් හිතන්නෙත් අරහෙ තව කෙනෙක්‌ ඉන්නව මං මෙහේ හිටියට කියන අදහසින් මයි. ඉතින් පැත්තකට ගියත් තව අවුරුදු දහයකටත් එයාට ආපහු ඒ ඉන්න කෙනා හොයාගෙන යන්න හේතුව තියෙනව මයි.

එද අපිට මේ රිලව කරන්නෙ මෝඩකමක්‌ කියල හිතුණට රිලවයි අපියි අතර වෙනසක්‌ නෑ. එක සමානයි. භූමියෙ මට්‌ටමින් අපි ඔක්‌කො ම එක ම මට්‌ටමේ. මේ පින්වතුන් ආවෙ 'තියෙන' ගෙදර ඉඳන්, ගෙදර 'තියෙන' තැනකයි හිටියෙ. තියෙනවයි කියන ගෙදර මයි ජීවත් වුණේ. අද මෙතනට ආවෙ 'ගෙදර එහෙ තියෙද්දි මම පන්සලට යනව' කියන හැ`ගීමෙන්. දැන් ඇවිල්ල ඉන්නෙත් ගෙදර එහෙ තියෙනව, මම මෙහේ කියන මානසික මට්‌ටමින්.

දැන් රිලවට වගේ ම ආපහු හොයාගෙන යන්න හේතු ටික ඒ විදියට ම තියෙනව. මෙතෙන්ට ආපු ඔය පින්වතුන්ට හේතු ටික තියෙනව ගෙදර කියන තැන බලන්න ආපහු යන්න. මොකද හැම වෙලාවක දි ම ගෙදර කියන එක රැස්‌ කරගෙන ඉන්නෙ. තියෙන දෙයක්‌, ඇති දෙයක්‌ හැටියට අපි රැස්‌ කරගෙනයි තියෙන්නෙ. ගියොත් බලන්න පුළුවන් කියන මට්‌ටමේ මයි.

නමුත් ගියාට අපේ හිතේ තියෙන ගෙදර ම බලන්න පුළුවන් වෙයි ද? ගියාට අපේ හිතේ තියෙන ගෙදර බලන්න පුළුවන්කමක්‌ ඇත්තෙ නැහැ. ගියොත් ඇස්‌ හමුවට එන රූපායතනය ම, වර්ණ සටහන ම ගැටීමක්‌ මිස තියෙන ගෙදරක්‌ දකින්න පුළුවන්කමක්‌ ඇත්තෙ නැහැ. (වර්ණ සටහන තුළ ගෙවල් නැති නිසා). රූපායතනය එනකොට ම මෙන්න අපේ ගෙදර තියෙනව කියල අපි රැවටෙන්නෙ නැද්ද? රැවටෙනව. වර්ණ සටහන එනකොට ම තියෙන ගෙදර දකිනව කියල අපේ හිතේ ගේ ගැන යම් සංඥා ටිකක්‌ තියෙනව නම් මේ තියෙන්නෙ අපේ ගෙදර නෙ කියන මට්‌ටමකින් රැවටෙනව මයි.

යම් විදියකින් ගෙදර වෙනස්‌කමක්‌ වෙලා තිබුණොතින් අපි ඒකත් රැස්‌ කරගන්නව. ගෙදර ඉස්‌සරහ ගහක්‌ තිබුණ. හුළ`ගක්‌ ඇවිල්ල ගහ කඩාගෙන වැටිල. අපි දැන් යනකොට ගහ නැහැ. දැන් ගහ නැති බවට රැස්‌ කරගත්ත. දැන් ඊළ`ග දවසෙ ඉඳන් ගහක්‌ ළ`ග නැති ගෙදරක්‌ තමයි අපි අරමුණු කරගෙන ඉන්නෙ. දැන් ගහ නැති බව ම අපි දකිනකොට 'ආ මේ තියෙන්නෙ අපේ ගෙදර' කියල ගහ නැති බවින් ම අරමුණු කරනව.

හැම වෙලාවක දි ම අපි කෙළෙස්‌ ධර්මතා ටික තමයි ඇසුරු කිරීම තුළ යාවත්කාලීන කරන්නෙ. අපි අවුරුදු දහයකින් (පිටරටක කෙනෙක්‌ නම් ලංකාවට ගිහිල්ල) අපේ අම්මව දැකල නැත්නම් දැන් අපි හිතාගෙන යන්නෙ අපේ හිතේ ඉන්න අමම්ව බලන්න. යනකොට අම්ම වෙනස්‌ වෙලා. හිතේ ඉන්න අම්ම නැහැ. අපි කියන්නෙ අම්ම සෑහෙන වයසට ගිහිල්ල, අම්ම වෙනස්‌ වෙලා, මහත් වෙලා, කෙට්‌ටු වෙලා කියල. හිතේ තියෙන එකට ගැලපෙන්නෙ නැහැ බාහිර රූපය. ඊට පස්‌සෙ අපි රැස්‌ කරගන්නව 'ආ දැන් මේ කෙනාගෙ ස්‌වරූපය මේකයි' කියල.

තව අවුරුදු දහයකට පස්‌සෙ ආපහු යනව. දැන් යන්නෙ එදා අර දෙවැනි වතාවෙ දැකපු සංඥාව මෙනෙහි කරගෙන. දැන් හිටියටත් වැඩිය වෙනස්‌ වෙල. ආපහු ඒකත් රැස්‌ කරගන්නව.

දැන් අපි මේ විදියට රැස්‌ කරගෙන තියෙන්නෙ වර්තමානය, ඇත්ත ඇති සැටියට පිරිසිඳ නො දන්නාකම නිසා. ඇහැ රූප චක්‌ඛු විඤ්ඤාණ තුන් දෙනා ගෙ එකතුව නිසා ඇති වන ස්‌පර්ශය කියන තැන පිරිසිඳ දකින්නෙ නැහැ. ස්‌පර්ශයට ඇහැ රූප දෙක විදියට බැඳලයි අද අපි ජීවත් වෙන්නෙ. ස්‌පර්ශය නිසා හටගත් වේදනා සංඥා දෙකටත් අපි ඇහැ රූප දෙක බැඳලයි ජීවත් වෙන්නෙ.

ජීවත් වෙන අපිට වේදනා සංඥා දෙකක්‌ ම විඳින වේදනා සංඥා ම දැනගන්න අපිට රූපය දැනගන්න පුළුවන් වෙලා ද? වේදනා සංඥා දෙක ම අරමුණු කරන අපට රූපය අරමුණක්‌ වෙලා.

ඒකෙන් මම පැහැදිලි කළේ රූපාරම්මණංවා කියනකොට රූපය ආරම්මණයක්‌ වුණේ වේදනා සංඥා දෙකක්‌ විඳින අපිට. රූපය දැනගන්නව කියල දැනගන්න කෙළෙස්‌ සහිත මානසික මට්‌ටමකටයි අපිට රූපාරම්මණයක්‌ වුණේ.

නැතිනම් යථාර්ථයක්‌ විදියට හිතට තව හිතක්‌ ම අරමුණු කරල දැනගන්න පුළුවන්කම මිසක කවදා වත් ම හිතට පුළුවන් වුණා ද රූපය දැනගන්න. හිතට පුළුවන් වුණේ නැහැ කවදා වත්, රූපය කියන එක දැනගන්න පුළුවන්කමක්‌ තිබුණේ නැහැ.

කවදා වත් දැකලත් නැති අහලත් නැති නො දන්නා දෙයක්‌ ඉස්‌සරහට ආවොත් අපිට පුළුවන් ද ඒක දැනගන්න? දැනගන්න පුළුවන්කමක්‌ ඇත්තෙ නැහැ. මොකද අපි ඒ ගැන දන්නෙ නැති නිසා. අපි දැනගන්නෙ අපේ හිතේ ම තියෙන දැනගැනීමක්‌. අපේ හිතේ ඒ ගැන දැනගන්නා බව මයි අපි දැනගන්නෙ.

එතකොට හිතන බව ම දැනගන්න, විඳින අපි හිතනව බාහිර රූපයක්‌ දැනගත්ත කියල. බාහිර රූපය දැනගත්ත කියන්නෙ සම්පූර්ණයෙන් ම කෙළෙස්‌වලින් ගෙන දුන්න මට්‌ටමක්‌. හැම වෙලාවක ම තිබුණු යථාර්ථය තමයි හිතෙන් හිතක්‌ ම උපද්දවල හිත ම වින්ද කියන කාරණය.

අද අපේ දර්ශනය වෙලා තියෙන්නෙ ඕන ඔය කියන කාරණාව පිරිසිඳ දැකල ඔන්න ඔය කියන කාරණාව ඇත්ත ඇති හැටියෙන් දැකල රූපය රූප පැත්තෙන් දැනගන්නත් නාම ධර්මතා ටික නාම ධර්මතා විදියට දැනගන්නත් නාම රූප පරිච්ඡේ¨දයක්‌ කරන්න. නැතිනම් නාම-රූප දෙක පිරිසිඳ දකිනව කියන මටටමක්‌ ඇති කරගන්නව කියන එකයි අද අපේ ජීවිතය විය යුත්තෙ, නැතිනම් දර්ශනය විය යුතු වන්නෙ.

අපි අද යම් භාවනාවක්‌ කරනවා නම් ඒ අපි අනුගමනය කරන ප්‍රතිපදාව තීරණය විය යුත්තේ සකස්‌ විය යුත්තේ ඔන්න ඔය කියන කාරණාව සාක්‌ෂාත් කරගන්න.

ඒකටයි මේ ශාසනය සම්මා දිට්‌ඨි පුබ්බංගමා හොති. ආර්ය වූ සම්මා සමාධිය ඇති කරගන්නත් සමමා දිට්‌ඨිය තමයි පූර්වාංගම වෙන්නෙ. සම්මා දිට්‌ඨිය පෙරටු කරගෙන මයි සම්මා සමාධිය ඇති කරන්නෙ.

එතකොට හැම වෙලාවක දි ම සම්මා දිට්‌ඨිය කියන දේ තමයි අපේ ජීවිතයෙ පෙරටු විය යුත්තෙ. අද අපි කරන භාවනාවකින් පවා අපට පෙනෙන්න තියෙන්න ඕන මේ දර්ශනය වැඩෙන බව. මේ ඇත්ත ඇති හැටියට දකින බවට උපකාර වන බව අපි කරන භාවනාව තුළ අපට ප්‍රකට ව තියෙන්න ඕන.

අද අපි යම් සීලයක්‌ සමාදන් වනව නම් මේ සමාදන් වන සීලය තුළ අපිට මේ කියන දර්ශනය වැඩෙන බව පෙනෙන්න තියෙන්න ඕන. එහෙම නැත්නම අපි වඩන සීලය ආර්ය සීලයක්‌ බවට, මේ ශාසනයෙ පනවන සීලයක්‌ බවට පත් වෙන්නෙ නැහැ. මොකද බුදුරජාණන් වහන්සෙ පහළ වෙන්න කලිනුත් ලෝකෙ ශික්‌ෂාපද තිබුණ.

අද අපි සමාදන් වන සීලය තිසරණගත සීලයක්‌ නිසා කුසල සීලයක්‌ කියල කියන්න පුළුවන්. නමුත් ප්‍රතිපදාව වැඩෙන තැනට මේක යොමු වෙල නැත්නම් මේක සීලබ්බත පරාමාස ගණයෙන් මිදුණු සීලයක්‌ කියල කියන්න බැහැ. මේක සීලබ්බත පරාමාසයෙන් ස්‌පර්ශ කරන ලද සීලයක්‌ කියල තමයි අපිට කතා කරන්න වෙන්නෙ.

අද අපි වඩන සීලය තුළ අපිට මේ දර්ශනය සාක්‌ෂාත් වන බව ම තියෙන්න ඕන. අපි ගත්තොත් පාණාතිපාතා වෙරමණී සික්‌ඛාපදං සමාදියාමි - සතුන් මරන්නෙ නැහැ කියන ශික්‌ෂාපදය

සමාදන් වන අපිට බාහිර ශාසනෙන් දකින්න තියෙන දෙයක්‌ තමයි සතෙක්‌ වැරදිලා මැරුණොත් ශික්‌ෂාව කැඩෙනව, ශික්‌ෂාව කැඩුණහම ඇවිල්ල සතුන් නො මරනව කියන මේ ශික්‌ෂාපදය ආපහු සමාදන් වන බව. මෙය අපිට බාහිර ශාසනය තුළත් දකින්න තියෙනව, මේ ශාසනය තුළත් දකින්න තියෙනව. ඒක නෙමෙයි වෙනස.

මේ ශාසනේ කෙනා සීලයත් දන්නව. සීලය කියන දේ නැති වෙන හැටිත් දන්නව. නැති වෙන බව නැති වෙන හැටිත් දන්නව. සීලය ඇති කරගන්න ප්‍රතිපදාවත් දන්නව කියන තැනකින් එයාට සීලය පනවන්න පුළුවන්කම තියෙනව.

එතකොට එයා සීලය ගැන දැනගන්නව. මේ දේ වුණොත් සීලය කැඩෙනව. සීලය සමාදන් වුණොත් රකිනව. සීලය කියන දේ නැවත පිහිටන්න පුළුවන් කියන මට්‌ටමින් සීලය ගැන දන්නව. සීලය කැඩුණොත් එයා දන්නව පාණාතිපාතා ශික්‌ෂාපදය කැඩුණොත් කැඩුණෙ මගෙ හිතේ තියෙන මේ තරහව නිසයි මේ ශික්‌ෂාපදය කැඩුණෙ. තරහ ඇති කළේ මොකක්‌ නිසා ද? ඉන්න කෙනෙක්‌, ඉන්න සතෙක්‌, ඉන්න පුද්ගලයෙක්‌ ගැනයි මට තරහ ඇති වුණෙ. එහෙනම් මට දැන් සීලය නො කැඩෙන මට්‌ටමට යන්න නම් මට සතා නො මර ඉන්නකොට ඉන්න සතා නො මරනව කියන මට්‌ටමින් මට සීලය නො කඩ ඉන්නව කියන දේ කරන්න පුළුවන්කමක්‌ ඇත්තෙ නැහැ.

මදුරුවත් ඉන්නව නම්, අතේ වේදනාවත් තියෙනව නම් අනිත් අත එතනට යනව කියන දේ නතර වෙන්නෙ නැහැ. අපි ඒක ආයාසයෙන් රකින දෙයක්‌ විතරයි. නමුත් මේ ශාසනයෙ සිල්වත් කියන කෙනා මේ ඥාන දර්ශනයත් එක්‌ක සීලය සමාදන් වන කෙනා දකිනව මදුරුව මරන්න මදුරුව ගැන තරහක්‌ ඇති කරගන්න හේතු වුණේ බාහිර මදුරවෙක්‌ ඉන්න නිසයි. මදුරුවට කන්න කියල මට අතක්‌ පයක්‌ තිබුණ නිසයි.

එහෙනම් මම මදුරුව කියන තැනින් මිදෙන්න උත්සාහවත් වෙන්න ඕන. එයා සම්මා දිට්‌ඨියෙන් සීලය රකින්නෙ. එයා මදුරුව කියන තැනින් නිදහස්‌ වෙන්න හදනකොට එයාට තරහක්‌ ඇති කරගන්නයි කෙනෙක්‌ නැති වෙන්නෙ. එයා ඇත්ත ඇති හැටියට දකිනව බාහිර ඉන්න මදුරුවෙක්‌ ද තමන් හිතෙන් හදාගත්ත මදුරුවෙක්‌ ද කියන එක.

එයාට මදුරුවෙක්‌ වත් මදුරුවට කන්න අතක්‌ වත් හම්බ වෙන්නෙ නැති වෙයි මේ ඥාන දර්ශනය තුළ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.