සංකේත වන්දනය, යටි අරමුණු හා සැබෑ දහම

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

වෛද්‍යවරයෙකුවීමට නම් වෛද්‍ය උපාධියක්‌ ලැබීම අත්‍යවශ්‍යය. ඉංජිනේරුවෙකු වීමට අදාළ විෂය ක්‌ෂේත්‍රය පිළිබඳ ඉංජිනේරු උපාධියක්‌ ලැබීම අත්‍යවශ්‍යය. වෙනත් ඕනෑම වෘත්තිකයෙකු සම්බන්ධව ද මේ කාරණය එසේම අදාළය. නමුදු බුදු දහම පිළිබඳ එලෙස පුහුණුවක්‌ හෝ දැනීමක්‌ ලැබීම අවශ්‍යය යන කරුණ මෙකල සමාජයේ වැඩි දෙනෙකු අතර නැත. ගිහි පිරිස තබා භික්‌ෂුන්වහන්සේලා තුළ වුවද මේ පිළිගැනීම මෙකල නැත. මෙය සමාජයේ පවතින විශාල හිඩැසකි. ඒ හිඩැසෙන් ප්‍රයෝජන ගන්නා සට කපට කෛරාටිකයන්ගෙන්ද සමාජයට කිසිදු අඩුවක්‌ නැත. ඔවුහු බුදුදහම විවිධ කාර්යයන් සඳහා භාවිත කරති. වාණිජ වටිනාකම් ඉපයීම සඳහා බුදුදහම යොදා ගැනීම මේ අතරින්ද වඩාත් ප්‍රමුඛ වේ. සුදු පැහැති ජාතික ඇඳුම, බුද්ධ චීවරය මේ රටේ සංස්‌කෘතිය, සමය ආදී ක්‌ෂේත්‍ර තුළ විශාල වටිනාකම් ලැබූ සංකේතයි. බුද්ධ ප්‍රතිමාව, ථූප, බෝධිය, විහාරාරාම ආදිය බුදු දහමේ සංකේතයි. යමෙකුගේ සිත තුළ බුදු දහම පිළිබඳව කිසියම් අදහසක්‌ හෝ ආකල්පයක්‌ කුළුගැන්වීම, අභිවර්ධනය සඳහා මෙබඳු වූ සංකේත භාවිත වේ. නිවස බුදු දහමේ සංකේතයක්‌ නොවේ. නමුදු පන්සල බුදු දහමේ සංකේතයකි. එබැවින් ආගමේ වත්පිළිවෙත් ඉටුකිරීම සඳහා නිවසේ සිට පන්සල වෙත අපි සැදැහැ සිතින් යන්නෙමු.

දහම් පාසල් අවසාන, බෞද්ධ ධර්මාචාර්ය, ප්‍රාචීන පණ්‌ඩිත, ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටකවේදී උපාධිය, පාලි හා බෞද්ධ විෂය ක්‌ෂේත්‍රය යටතේ වූ ශාස්‌ත්‍රවේදී උපාධිය යන සහතිකවලට වාණිජ, අධ්‍යාපන, සමාජ හා සාමයික වටිනාකම් කිසිවක්‌ විද්‍යා, තාක්‌ෂණ විෂය ධාරා, ඉංග්‍රීසි හා සෙසු ජාත්‍යන්තර භාෂා ක්‌ෂේත්‍ර පිළිබඳව පමණක්‌ උනන්දුව දක්‌වන මේ සමාජයෙහි නැත. ඉහත කී සහතිකවලට සමාජයේ වටිනාකම් ලබාදීම යනු හුදෙක්‌ ඡන්ද සමයට ලබාදෙන දේශපාලන පොරොන්දුවලට පමණක්‌ සීමාවූ දෙයක්‌බවට පත්ව තිබේ.බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්‌ෂු විශ්වවිද්‍යාලය ආදී විශ්වවිද්‍යාල හා උසස්‌ අධ්‍යාපන ආයතනවලින් පිටවන උපාධිධාරීන්ගෙන් පාලි හා බෞද්ධ අධ්‍යයන විෂය ක්‌ෂේත්‍රයේ දියුණුවට උපකාරිකර ගැනීම සඳහා සැකසූ එකදු අධ්‍යාපන වැඩසටහනක්‌,

යෝජනාවක්‌වත් මෙරට අධ්‍යාපනය, උසස්‌ අධ්‍යාපනය භාර අංශ සතුව නැත. මෙරට පිරිවෙන් අධ්‍යාපනය ගරාවැටීමට හා අභාවයට යාමට හේතුවූ ප්‍රධානතම කාරණය නම් එයින් පිටවන උගතුන් බුද්ධිමතුන් ජාතික තලයෙහි ප්‍රයෝජනවත් සංවර්ධන කාර්යයන්වලට සාර්ථක ලෙස අනුගත කරවීම පිණිස සැකසූ වැඩසටහන් හා ප්‍රතිපත්ති නොමැතිකමයි.මෙරට ජාතික කාර්යයන් සඳහා ප්‍රතිපත්ති සකසා ඇත්තේ මෙරටට ණයදෙන ලෝක බැංකුවේ කොන්දේසිවලට අනුකූලව මිස මෙරට ජාතික අවශ්‍යතා සැලකිල්ලට ගෙන නොවේ.

අද මෙරටට නායකත්වය ලබාදෙන තැන්වල ආකල්ප ක්‍රියාත්මක වනුයේ විදේශීය අවශ්‍යතා තෘප්තිමත් කරවීම සඳහා බව සමරිසි විවාහයට නීතිමය පිළිගැනීම ලබාදීමට උත්සුක වීම බඳු දේවලින් පැහැදිලිව දක්‌නට ලැබේ. විෂම ලෝභය පහළ වීම අනුව විකෘති, විකාරරූපී කාමුකත්වය පුද්ගලයා තුළ පහළවන බව බුදු දහමේ පැහැදිලිවම පෙන්වාදී තිබේ. සත්ව ලෝකය අසත් ධර්මයන්ගෙන් පිරීයත්ම විෂම ලෝභ ආකල්ප, ආශාවන් පහළවන බව බුදු හිමියන් පෙන්වාදී ඇත. බුදුරදුන් ධරමාන කාලයේද කලාතුරකින් එබඳු පුද්ගලයෝ සිටි බව විනය පිටකයට අයත් පාරාජිකා පාලියේ සඳහන්ය. නමුදු එබඳු අයට අද මෙන් මුල්පුටු හිමි නොවීය. පැවිදි නොකළ යුතු අය වශයෙන්ද මෙබඳු අය විනය අනුව පැහැදිලිවම පෙන්වා දී ඇත. යම්කිසි අයුරකින් පැවිද්දෙකු තුළ එබඳු චර්යා, ආකල්ප, හැඟීම් ඇතිවීම පැවිදි බව අහිමි වීමට හේතු වන වරදක්‌ ලෙසද පෙන්වාදී තිබේ. පුරාණ සමාජය තුළද එබඳු අය අල්ප ලෙස සිටිය හැකි වුවද ඔවුන්ට සමාජ පිළිගැනීම අහිමි විය. සමාජය තුළ එබඳු කතිකාවත් යළි ගොඩනංවා නීරෝගී සමබර සිත් ද දූෂ්‍ය කිරීමට කිසිවෙකු පුරාණ සමාජය තුළ නූතනයේදී මෙන් උත්සාහ ගත්තේද නැත. අද රාජ්‍ය නොවන සංවිධානවල මූල්‍ය අනුග්‍රහය මත ඇතැම් සන්නිවේදන මාධ්‍ය හරහා එබඳු දූෂිත කතිකාවත් සමාජගත කිරීමට වෑයම් දරනු ද පැහැදිලිව ඉස්‌මතුව පෙනේ.

රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරිත්වය නිසා බොහෝ ආසියාතික රටවල සංස්‌කෘති විනාශ වී ඇත. මෙරට දේශීය වී වර්ගවලට, සිංහල වෙදකමට, දේශීය පිරිවෙන් අධ්‍යාපනයට, පරිපාලන රටාවට සිදුකළ හානිය බඳු විනාශයක්‌ බුදුදහමටද බෞද්ධ සංස්‌කෘතියටද සිදු කිරීමට බොහෝ බටහිර සංවිධානවලට අවශ්‍යව තිබේ. ඒ සඳහා මුලින්ම ඔවුහු බෞද්ධ සංකේතවලට ඇති ආධ්‍යාත්මික අගය විනාශ කරති. ඊට පසුව විදේශීය මුදල් පොම්පකිරීමෙන් සම්භාවනීය වෘත්තිකයන් බිලිබා ගනිති. ඔවුන් ලවා රිසිසේ තම මත වාද,ආකල්ප සමාජගත කරති.මුදල් ඉදිරියේ කොඳුනාරටි කශේරුකා සිඳබිඳගත් මහාචාර්යවරුන් ඇතුළු සම්භාවනීය වෘත්තිකයන් නූතන සමාජයේ විද්‍යමානවීම මෙකල අරුමයක්‌ නොවන්නේද මේ හේතුව මතමය.

පෙර කළ පින් පව් උසස්‌ පහත් කුලවල ඉපදීමට හේතුව බව බුදු දහමේ සඳහන්ය. පහත් ආකල්ප, ආශා, චර්යා පහත්කුලවල අය සතුවද උසස්‌ ආකල්ප, හැඟීම්, චර්යා උසස්‌ කුලවල අය සතුවද තිබීමට මෙය ප්‍රධාන හේතුවකි.

පන්සලට ගිය විට නිවසේ නැති බුද්ධාලම්බන ප්‍රීතියක්‌ නිරාමිස සතුටක්‌ අප තුළ ඇති වේ. එය ස්‌ථානය වෙනස්‌ කිරීමෙන් ලැබෙන සතුටකි. ස්‌ථානය සමඟම පරිසරයද වෙනස්‌ වේ. විහාරස්‌ථානයක වෙසෙන හිමිවරු, උපාසක උපාසිකාවන්, පිරිත්, ගාථා උච්චාරණ, තෙල් මල් පහන්, සුවඳ දුම්, ආගමික පරිසරය ඇසුරේ සිත තුළ ආගම පිළිබඳව පහන් සංවේගයක්‌ ඇති කිරීමට ඉවහල් වන සෙසු සාධක සේ හැඳිනගත හැකිය. මඳක්‌ විමසිලිමත්ව සිතනු මැනවි. මේවා සියල්ලම බුදු දහමේ සංකේත නොවේද? ඒ සංකේතවලට සාර්ථකව දහම සමඟ බාහිරව අපව සම්බන්ධ කළ හැකිය. එය මානසික සමෝධනය ඇති කරගැනීමටද ඉවහල් වේ. ඉහත කී සියලු බාහිර ප්‍රබෝධක වැදගත් වනුයේ මානසික සමෝධානය ඇති කර ගැනීමට ඒවා උපකාරී වන බැවිනි. බාහිර සංකේත ප්‍රබෝධක හෝ උත්තේජක ලෙස යොදා ගැනීම සඳහා මූලික මෙවලමක්‌ ලෙස පමණක්‌ ඉහත කී බෞද්ධ සංකේතවල වැදගත්ය. එසේම මෙබඳු ආගමික සංකේත බාහිර උතේතේජක ලෙස භාවිත කළ හැකි නිසා මෙකල ඒවාවලට සුවිශාල වාණිජ වටිනාකමක්‌ ලැබී තිබේ. වාණිජත්වය පෙරදැරි කරගෙන විවිධ වාණිජ ආයතන ඒවාට අනුග්‍රාහකත්වයද දක්‌වනු ලැබේ. ආගම තුළ පෞරාණිකව මේවාට සුවිශාල ආධ්‍යාත්මික පිළිගැනීමක්‌ හිමිව තිබිණ. නමුදු අද මේ සංකේතවලට හිමිව ඇති වාණිජ වටිනාකම තුළ ඒවාට හිමි ආධ්‍යාත්මික අගය ගිලිහී ගොස්‌ ඇත.

බුදු දහම පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක්‌, උගත්කමක්‌, දැනුමක්‌ නැති ඕනෑ අයෙකුට බුද්ධ චීවරයක්‌ දැරූ පමණින් විශාල සමාජ වටිනාකමක්‌ හිමිවීමේ සාධකය බුදු දහමේ නිර්මලත්වය විනාශ කිරීමටම අද දින පාරා වළල්ලක්‌ බවට පත්ව තිබීම කනගාටුදායකය. බුදු දහම යනු කොන්ක්‍රීට්‌ ඉදිකිරීම් නොවේ. ඒවා සියල්ල ජනප්‍රිය බුදු දහමේ ලක්‌ෂණ පමණකි. සැබෑ බුදු දහම යට යන තරමට ජනප්‍රිය බුදු දහමේ මතුපිට ඔපයේ නොගැඹුරු වඩවඩාත් ඉහළට ඉස්‌මතු වේ. පාරක්‌ පාරක්‌ ගානේ හන්දියක්‌ හන්දියක්‌ බෝක්‌කුවක්‌ බෝක්‌කුවක්‌ ගානේ බුදු පිළිම ඉදිවීමත්, එලෙස ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරවීමත් අද මෙරට ජනප්‍රිය බුදු දහමේ තවත් ලක්‌ෂණ බවට හැඳිනගත හැකිය. බුදු දහම පිරිහෙමින් පවතින මෙකල බුද්ධ කාලීන මුල්යුගයේ වත් නොතිබුණු අයුරින් මෙසේ ධාතූන්වහන්සේලා විද්‍යමාන වීම එක්‌ අතකින් විස්‌මයානුකූලය. ධාතූන්වහන්සේලාට හිමිව තිබූ සංකේතමය වටිනාකම උපයෝගීකර ගනිමින් වාණිජ මට්‌ටමින් ධාතූන්වහන්සේලා නිපදවීමේ ක්‍රියාවලීන්ද වර්තමාන සමාජයේ ඇතිබව මේ පිළිබඳව හෙළිදරව් වන විවිධ ජනසන්නිවේදන මාධ්‍ය වාර්තා අනුව දැකගත හැකිය.බහුතර ප්‍රජාවගේ ඇති ආගමේ සැබෑ හරය පිළිබඳ ඇති නොදැනුවත්කම අද යහමින් මුදල් සෙවීමට උපයෝගී කරගැනේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.