o

 
 
 
 
 


බෞද්ධ අචාර ධර්මයන්හි
ශ්‍රද්ධා සංකල්පයෙහි උපයෝගීතාව


රාජකීය පණ්‌ඩිත, පූජ්‍ය තිස්‌සමහාරාමයේ
ධම්මසාර හිමි, විවේකාරාම විහාරවාසී

මඡ්ජිධිම නිකායේ කීටාගිරි සූත්‍රයට අනුව, සම්බුද්ධ ශාසනයෙහි පිළිවෙත් අනුපූර්ව වශයෙන් වැඩීම පිළිබඳව පැහැදිළි කරනු ලබන සූත්‍ර දේශනාවක්‌ ලෙස මෙය සැලකේ. එහිදී ද පෙන්වනු ලබන්නේ, මුලදීම පිරිපුන් ප්‍රඥාව අපේක්‍ෂා කළ නොහැකි බවත්, ශ්‍රද්ධාව පාදක කරගනිමින් අනු පිලිවෙළින් ම ශ්‍රද්ධාව වැඩිය යුක්‌තක්‌ බවත් ය, යනුවෙන් එහි සඳහන් කරයි. ඒ අනුව,

''කතඤ්ච භික්‌ඛවේ අනුපුබ්බ සික්‌ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා අඤ්ඤරාධනා හොති ඉධ භික්‌ඛවේ සද්ධා ජාතො උපසංඛමති උපසංකමන්තො පයිරුපාසති පයිරුපාස තො සොතං ඕදහති''
(ම.නි. කීටාගිරි සුත්ත, 248 පිටු, බු.ජ.මු)

එයින් පැහිදිළි වන අර්ථය නම්,

''සැදැහැයෙන් පෙළඹෙන පුද්ගලයා සම්‍යක්‌ දෘෂ්ටිය ප්‍රකාශ වන තැනට එළඹෙයි. පැමිණ සමීපයෙහි හිඳගනියි. හිඳ සවන් යොමු කරයි. යොමුකළ සවනින් දහම් අසයි. අසා ධර්මය දරයි. දැරූ ධර්මයෙහි අර්ථ පරීක්‍ෂා කරයි. අර්ථ පරීක්‍ෂා කිරීමෙන් ධර්මය වැටහෙන්නට පටන් ගනියි. ÑÑÑ''

ක්‍රමයෙන් ප්‍රතිපදාව සාක්‌ෂාත් කිරීමෙන්, තමන් බලාපොරොත්තු වන පරම නිෂ්ටාව වන නිර්වාණය සාක්‌ෂාත් කිරීමට හැකි බව මින් අවධාරිතය. එමෙන්ම, පැහැදිළිවන තවත් කාරණයක්‌ නම්, ශ්‍රද්ධාව යනු, පැහැදීම වන අතර එහි අපේක්‍ෂාව සසර දිගට ගමන් කිරීම නොව නිර්වාණය අවබෝධ කර ගැනීමේ මාර්ගයට ප්‍රවේශ වීමය.

බුදු දහමෙහි ප්‍රමුඛ සංකල්පයක්‌ ලෙස, ශ්‍රද්ධා සංකල්පය හැඳින්වීමට පිළිවන. බුදුන් වහන්සේ ධර්මාන අවධියේ බෞද්ධ භික්‍ෂුත්වය ලබා ගැනීමට පැමිණ ඇත්තේ ශ්‍රද්ධාව නිසාය. බුදුන් වහන්සේගේම දේශනා වලින් ඒ බව පැහැදිලි වන්නේ මේ අයුරිනි.

''එතං ඛො තුම්හාකං පතිරූපං කුලපුත්තානං සද්ධා අගාරස්‌මා අනගාරිය පබ්බජිතානං....''
(ම.නි. 1, 123 පිට)

''ශ්‍රද්ධාවෙන් පැවිදි වූ නුඹලාට මෙය සුදුසුය. ශ්‍රද්ධාවෙන් පැවිදි වූ නුඹලාට මෙය නුසුදුසුය''යනුවෙනි.

අවබෝධය හේතුකොටගෙන ශ්‍රද්ධාව නිසැක වශයෙන් ම අවධාරණය වන අවස්‌ථා ගණනාවක්‌ම පාළි සාහිත්‍යය තුළ ද දක්‌නට ලැබේ. එහිදී තථාගතයන් වහන්සේ සම්‍යක්‌ සම්බුද්ධ යෑයි අන්ධ, අවිචාරවත් භක්‌තිය නිසා ම නොපිළගත යුතු බවත්, පිළිගත යුත්තේ නම් තථාගතයන් වහන්සේගේ සම්‍යක්‌ සම්බුද්ධභාවය වීමංසනය කරමිනි. ඒ බව මෙසේ පැහැදිලි වේ.

''මහණෙනි අනුන්ගේ සිත්හසර නොදන්නා විමංසක භික්‍ෂුව විසින් තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ වේද නොවේ දැයි විමසිලිමත්ව සොයා බැලිය යුතුවේ. ''

යන ප්‍රකාශයෙන් විද්‍යාමානවන අදහස නම්, තථාගත බෝධියෙහි නික්‌ලේශී භාවය හඳුනාගත හැකි වන්නේ ශ්‍රද්ධාව උපදවා ගැනීම තුළිනි.

මෙහිදී පැහැදිළිවන තවත් කරුණක්‌ නම්,

''මහණෙනි, අනුන්ගේ සිත් හසර නොදන්නා විමංසක භික්‌ෂුව කරුණු දෙකක්‌ අරභයා තථාගතයන් වහන්සේ පිළිබඳව සොයා බැලිය යුතු බවයි. එනම්, බුදුන්වහන්සේගේ

01. කාය සමාචාර (කායික හැසිරීම)
02. වාග් සමාචාර(වාචික හැසිරීම)

යනාදියයි.

එහිදී ද පළ වන අදහස නම්, තථාගතයන් වහන්සේ තුළින් යම් කෙළෙස්‌ සහගත හැසිරීමක්‌ ගම්‍ය වේ ද, එසේත් නැතිනම්, ගම්‍යනොවේද, යෑයි විමර්ශනයට ලක්‌ කලයුතු බවයි. මේ අනුව පැහැදිලි වන්නේ බෞද්ධ ශ්‍රද්ධාව වූ කලී අන්ධ භක්‌ති මාත්‍රයකින් විශ්වාස මාත්‍රයකින් නොගත යුතු බවත් විමංසනය තුළින්ම තහවුරු කරගත යුතු බවත්ය.

විමුක්‌ති සුවය අපේක්‍ෂා කරන්නෙකුගේ පරමාර්ථය හා අවසානික ඉලක්‌කයේ ආරම්භක පියවර ශ්‍රද්ධාව ලෙස සැලකේ. නිවන වඩන්නාට යන මාර්ගය සඳහා අවශ්‍යවන මාර්ගෝපකරණ අතර පළමුවන උපකරණය නම් ශ්‍රද්ධාව වන බව අංගුත්තර නිකායේ සංචිත්තන සූත්‍රය තුළින් ප්‍රතීයමාන වේ.

''සද්ධා ධනං - සීල ධනං

හිරි ඔත්තප්පියං ධනං ''

''සද්ධීධ විත්තං පුරිසස්‌ස සෙට්‌ඨං ''

(අං. නි. සංචිත්තන සූත්‍රය 284) (සං.නි. 42, 214 පිට)

ඒ අනුව බුදු දහම යෝජනා කරනුයේ, ශ්‍රද්ධාව ධනයක්‌ ලෙසයි. ආර්ය ධන හතෙන් පළමුවැන්න ශ්‍රද්ධාව වේ.

තවද, පුද්ගලයා සංසාරය නම් වූ මහා සැඩ, ප්‍රචණ්‌ඩ, පරුෂ වූ බිය ජනක සැඩ පහරකට හසුවී ඇති බවත්, ඉන් මිදීමට හැකි වන්නේ සසර සැඩ පහර ශ්‍රද්ධාවෙන්ම තරණය කිරීමෙන් වන බවයි.

''සද්ධාය කරතී ඕඝං''

(සං.නි. 1.214 පිට)

''ශ්‍රද්ධා ''යන සංකල්පය පිළිබඳව අංගුත්තර නිකායේ සංචිත්තන සූත්‍රය තුළ සඳහන් කරනුයේ''

''යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයකු වෙත ශ්‍රද්ධාදී ගුණ සමුදායක්‌ පවතින්නේ නම්, ඔහුගේ හෝ ඇයගේ ජීවිතය පරිපූර්ණ වන බවයි. එමෙන්ම, කිසිදු විටෙක දිළින්දෙකු ලෙස නොසැලකෙන බවයි. ''

(අං.නි. 4 විත්ථතධන සූත්‍රය පිට 284)

ශ්‍රද්ධාව ආචාරත්මක හා ආධ්‍යාත්මික අභිවෘද්ධියට අත්‍යාවශ්‍යම ප්‍රත්‍යයක්‌ ලෙස නිර්දේශ කරනු ලැබූවත් කාර්යක්‍ෂම භාවයෙන් නිලීන හා අවබෝධයෙන් හීන ශාස්‌තෘවරයකු පිළිබඳ සද්ධා ප්‍රතිෂ්ඨාපනයක්‌ ඇතිකර ගැනීම සුදුසු නොවන බවත්, එය භයානක ඉරණමක්‌ ගෙන දෙන බවත්, බුදුන් වහන්සේ විසින් වදාළ සේක. චූල ගෝපාලක සුත්‍රයේදී ගඟේ ජල මට්‌ටම නොදැන ගඟෙන් එතෙර කිරීම සඳහා ගවයන් ගඟ මැදට දක්‌වා ගිල්වා මරන්නාවූ මෝඩ ගව පාලකයකුට අබුද්ධ ශාස්‌තෘවරයාව සමාන කෙරේ. එමෙන්ම එගොඩ කිරීමට නිවැරදි තැන හා මග දැන, හරකුන්ව නිරපද්‍රිතව එගොඩ කරන්නාවූ දක්‍ෂ ගවපාලකයෙකුට බුද්ධ ශාස්‌තෘවරයාව සමාන කෙරේ.

එම සූත්‍රයට අනුව අදක්‍ෂ ආගමික නායකයෙකුට ඇහුම් කන්දිය යුතු යෑයි හෝ ඔහු කෙරෙහි ශ්‍රද්ධාව තිබිය යුතු යෑයි (සද්ධාතබ්බං) සිතන්නාට දිගු කලක්‌ විපතට හා දුකට පත්වීමටත්, එමෙන්ම දක්‍ෂ ආගමික නායකයෙකු එසේ සිතන්නාට දිගුකලක්‌ සැනසුමට හා සතුටට පත්වීමටත්, එය බලපාන අයුරු චූලගෝපාලක සුත්‍රය තුළින් විශද වේ.

ශ්‍රද්ධාව ප්‍රභේද්වයකින් බුදු දහම පැහැදිලි කරනු ලබයි. එනම්, ආකාරවතී සද්ධා, අමූලිකා සද්ධා යනුවෙනි.

විධිමත්ව හා විචාර පූර්වකව කරුණු සලකා බලා කටයුතු නොකරන අමූලිකව, අහේතුකව ජනනය කරගත් හුදු භක්‌ති මාත්‍ර හැගීම ඇතිව ක්‍රියා කිරීම අමුලිකා ශ්‍රද්ධාව වේ.

එයට මූලයක්‌ නොමැත. ඒ තුළ ප්‍රඥාවට බර භාවයක්‌ නොමැති අතර අවිද්‍යාවම ස්‌මතුව පවතියි. බුදුන් වහන්සේ මෙම ශ්‍රද්ධාව බැහැර කර තිබේ. ඥානයෙන් කරුණු කාරණා විමසා බලා සැක ඇති තැන් දුරු කරගෙන බුද්ධිමය පදනමක්‌ සහිතව බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහිම ඇති කරගනු ලබන අවබෝධය තුළින් ශ්‍රද්ධාව ගොඩනගා ගැනීම ආකාරවතී සද්ධාව වේ.

බුදුන් වහන්සේ ශ්‍රද්ධාව වපුරන ලද බීජයකට සමානකරන ලද අතර තපස වර්ෂාවටද, ප්‍රඥාව විය දණ්‌ඩට ද, ලඡ්ජාව නගුලට ද, මනස යොතටද. සතිය නගුල් තලය හා කෙවිටට ද උපමා කරණුයේ මේ අයුරිනි.

''සද්ධා බීජං කපොවුට්‌
පඤ්ඤා මේ යුග නංගලං''
(සු.නි. කිසිභාරද්වාජ සූත්‍රය - පිට 28)

එම සූත්‍ර දේශනාවට අනුව බීජ ඇති තාක්‌ ගොවියෝ සී සාති. අනික්‌ උපකරණ භාවිතයෙන් අස්‌වනු ද ලබති. එමෙන්ම බුදුහිමියන්ද, සීසා, වපුරා අනුභව

කරන්නේ යෑයි කසීභාරද්වාජ බමුණාට පැහැදිළි කරනු ලබයි. එහිදී ද ප්‍රකට වනුයේ, ශ්‍රද්ධාව නැමැති බිජුවට පූර්වාංගමය වන්නේ ශ්‍රද්ධාව වන බවයි.

ශ්‍රද්ධාව යනු, හුදෙක්‌ බුද්ධිමය පදනමක්‌ සහිත වූවක්‌ මිස හැගීම් බර ආකල්පයක්‌ නොවන්නකි. ක්‍ෂණිකව උපදවා ගන්නා ලද ප්‍රසාද මාත්‍රයක්‌ද නොව, දූරදර්ශී නුවණින් පර්යේෂණය හා විශ්ලේෂණය තුළින්ම අවබෝධ කරගත යුතු උපයෝගීතා සංකල්පයක්‌ ලෙස ශ්‍රද්ධාව හැඳින්වීමට පුලුවන.

---------

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.