පුරාවිදු ඇසින් වියෑකී යන නිල්ලක්‌ගම බෝධිඝරය

ඡායාරූපය හා සටහන - හූරිගස්‌වැව - ඒ. කරුණාතිලක



අද ලෝකයේ දක්‌නට ලැබෙන බෝධිඝර අතුරින් ගෘහ නිර්මාණ අංගසම්පූර්ණයෙන්ම දක්‌නට ලැබෙන බෝධිඝරය නිල්ලක්‌ගම බෝධිඝරයයි. මේ සඳහා ළඟාවීමට මාර්ග තුනක්‌ පවතී. ගල්ගමුව - මොරගොල්ලාගම මාර්ගයේ කිලෝමීටර් හයක්‌ පමණ පැමිණි විට බිම් පොකුණහන්දිය හමුවේ. එතැනින් වමට ඇති මාර්ගයේ කිලෝමීටර් තුනක්‌ පමණ ගෙවා හෙට්‌ටිගමට පැමිණ මෙම ස්‌ථානයට ළඟා විය හැකියි.

එසේත් නැතිනම් පොල්පිතිගම - මඩගල්ල මාර්ගයේ පැමිණ සාලියගම හන්දියෙන් ගල්ගමුව දෙසට ඇති මාර්ගයේ ගල්ලෑව හන්දියට පැමිණ දකුණට හැරී කිතලව හරහා හෙට්‌ටිගමට පැමිණ මෙම ස්‌ථානයට ළඟා විය හැකියි. වැටකොලුවාගම හන්දියෙන් හැරී මීගලෑව මාර්ගයේ බුල්නෑවට පැමිණ හේල්වලගම හරහා ද මෙම ස්‌ථානයට ප්‍රවිෂ්ට විය හැකියි.

කැඩී බිඳී විනාශයට පත්ව මහ පොළොවට මෙන්ම මහ වනයට වැසී තිබී ඇති නිල්ලක්‌ගම බෝධිඝරය සොයාගෙන එය ප්‍රතිසංස්‌කරණය කොට වර්තමානයේ පවතින තත්ත්වයට පත් කොට ඇත්තේ මෙරට කීර්තිමත් පුරාවිද්‍යාඥයකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් ය. මෙහි ප්‍රතිසංස්‌කරණ කටයුතු අවසන් කර ඇත්තේ 1956 වර්ෂයේදීය.

බෝධිඝරය රැක බලා ගැනීමේ කටයුතු සිදු කරන හෙට්‌ටිගම පදිංචි ඩබ්ලිව්. එම්. මුතුබණ්‌ඩා මහතා එහි ඉතිහාස කතාව මෙසේ කීය.

1950 ගණන්වල ඔය බෝධිඝරය තිබෙන කොටස මහා ඝන වනාන්තරය. එතකොට අපි පුංචි ළමයි. පොඩි කඳු ගැටයක්‌ වාගේ පස්‌ ගොඩක්‌ ඔතැන තිබුණේ. අපේ අප්පච්චි දවසක්‌ ඔය හරියෙන් යනකොට දැකලා තිබෙනවා සුදු වේට්‌ටියක්‌ ඇඳ ගත්ත කෙනෙක්‌ කැලේ ඇතුළෙ රිංගමින් මොනවදොa හොයනවා.

ඊට ටික දවසකට පස්‌සේ කට්‌ටියක්‌ එක්‌ක ඇවිත් මෙතැන කැලෑව එළිකරලා වාඩියක්‌ ගහගෙන අර පස්‌කන්ද හාරලා තියෙනවා. එහෙම හාරලා පස්‌වලට යටවෙලා තිබුණ ගල්කණු පුවරු වාගේ දේවල් මතු කරගෙන තිබෙනවා. අප්පච්චිත් ඒ දවස්‌වල හැමදාම වගේ මෙතැනට ඇවිත් තියෙනවා. කැලෑවේ රිංගමින් මොනවාදොa හොයපු කෙනා සෙනරත් පරණවිතාන මහත්තයා කියලා අප්පච්චි පස්‌සෙ දැනගෙන තිබෙනවා. ඒ මහත්තයා අප්පච්චිට මේක බලාගන්න බාරදීලා. කවුරු හරි ඇහුවොත් මේක තමයි නිල්ලක්‌ගම බෝධිඝරය කියලා කියන්න කියලා තිබෙනවා.

මෙම ස්‌ථානයේ බෝධිඝරයක්‌ ඉදිකිරීම පිළිබඳව ජනප්‍රවාදයේ පවතින්නේ මෙවැනි කතාවකි.

අනුරාධපුර රාජධානි සමයේ ඇතිවූ විදේශ ආක්‍රමණ අවස්‌ථාවකදී දළදා වහන්සේ ආරක්‍ෂා කර ගැනීමට දළදාවත් රැගෙන භික්‍ෂූන් වහන්සේ නමක්‌ හෙට්‌ටියකුගේ වෙස්‌ගෙන මායා රටට ගමන් කරන විට මෙම ප්‍රදේශ හරහා ගමන් කර තිබේ. ඒ යන ගමනේ එක්‌ රැයක්‌ මේ ස්‌ථානයේ ගත කිරීමට ඒ හිමිනමට සිදුවූ බව පැවසේ. රටේ අවුල් වියවුල් සමනය වූ පසු ඉහත කී භික්‍ෂූන් වහන්සේ තමා දළදා වහන්සේව රැක ගැනීමට කළ ක්‍රියාවත් ඒ ගමනේදී රාත්‍රිය ගත කළ ස්‌ථානය පිළිබඳවත් රජතුමාට දැනුම්දී තිබේ. රජු ඒ ස්‌ථානයේ බෝධියක්‌ රෝපණය කොට එහි ආරක්‍ෂාවට පියස්‌සක්‌ සහිත ගෘහයක්‌ ඉදිකළ බව පැවසේ.

නිල්ලක්‌ගම බෝධිඝරයේ පිට මළුව හා ඇතුළු මළුව වශයෙන් මළු දෙකකි. පිට මළුව ගලින් කරන ලද පවුරකින් වටවී ඇත. මේ සම චතුරස්‍රාකාර මළුවේ බිත්ති ඇත් හා හංස රූපවලින් අලංකාර කොට ඇත. පිට මළුවේ සිට ඇතුළු මළුවට පිවිසීමට බටහිර හා නැගෙනහිර දෙසින් දොරටු දෙකකි. මේ දොරටුවල ගල් උළුවසුවල අලංකාර කැටයම් දකින්නට පුළුවන.

මේ ඇතුළු මළුවේ බෝධිය රෝපණය කොට තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඇතුළු මළුව වටා ඇති බිත්තිවලද හංස හා සිංහ රූ කැටයම් කොටා තිබේ. නිල්ලක්‌ගම බෝධිඝරය ප්‍රතිසංස්‌කරණ සමයේ මේ ස්‌ථානයේ තිබී මැටි උළු කැට රාශියක්‌ හමුවී ඇති බව කියයි. ඒ අනුව මෙහි පියස්‌සට උළු සෙවිළිකොට තිබූ බවට පුරාවිද්‍යාඥයන් නිගමනය කොට තිබේ. ඒ පියස්‌ස ඉදිකොට තිබුණේ බෝධියටත් සමග ද නොඑසේ නම් පිටමළුවේ හා ඇතුළු මළුවේ බිත්ති අතර කොටසට පමණක්‌ ද යන්න ස්‌ථිරව නිගමනය කොට නැත.

එහෙත් මෙලෙස ලෝක පූජිත වූ නිල්ලක්‌ගම බෝධිඝරය අද ඉතිහාස පොත්වලට සීමාවී පවතී. මෙයට අද කිසිම සැලකිල්ලක්‌ ලැබෙන්නේ නැත. මේ බෝධිඝරයට ළඟාවීමට ඇති අප ඉහත කී මාර්ග තුනම ඉතා අබලන් තත්ත්වයේ පවතී. මාර්ග ඉතා පටු ඒවා නිසා බස්‌රථවලට ඒමට අපහසුය. එමනිසා කිsතලව දක්‌වා බස්‌ රථ පැමිණ ආපසු හරවා යන බව ප්‍රදේශවාසීහු පවසති.

නිල්ලක්‌ගම බෝධිඝරය වෙත පැමිණෙන අයගේ පහසුව සඳහා ඒ අසල විශ්‍රාමශාලාවක්‌, පානීය ජලය ලබා ගැනීමට ළිඳක්‌ හා වැසිකිළියක්‌ ඉදිකර තිබේ. මේවා ඉදිකර ඇත්තේ කොළඹගම මියුගුණරාම රජමහා වෙහෙරේ විහාරාධිපති මදුරැස්‌සේ ශ්‍රී සීලරතන හිමියන් විසිනි. 2001 වසරේ දෙසැම්බර් මස 15 මෙකී විශ්‍රාම ශාලාව විවෘත කොට තිබේ. එහෙත් අද වනවිට මේ ළිඳත්, වැසිකිළියත්, විශ්‍රාමශාලාවත්, කැලයට යට වෙමින් පවතී.

මෙම ස්‌ථානයට මුරකුටියක්‌, විදුලිය පවා නොමැත. මෙය අද දවසේ රැක බලා ගන්නා මුතුබණ්‌ඩා මහතාට මාසිකව ගෙවන්නේ රුපියල් 1500 ක්‌ බව ඔහු කියයි. මෙම ස්‌ථානය අතු පතු ගෑමට ඉදල් හෝ කොහු ද නොලැබෙන බව ඔහු කියයි.

අතීත උරුමයක්‌ සුරැකීමට වග කිවයුතු බලධාරීන් ගෙන ඇති පියවර ගැන හැඟෙන්නේ දුකක්‌ සහ වේදනාවකි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.