නිවහල් ජීවිතය

පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි
ආර්ය නිකේතනය කන්නිමහර - වතුරුගම.

මිනිසුන් ජීවත් වී සොයන්නේ සැපය. ඔවුන් දුකෙන් තොරව ජීවත්වීමට සෑම උත්සහයක්‌ ම දරයි. හොදින් අධ්‍යාපනයක්‌ ලැබ, ධනය උපයාගෙන, දේපල අත්පත් කරගෙන, හොඳ පවුල් ජීවිතයක්‌ ඇතිකරගෙන, කාටවත් අතනොපා, නිදහස්‌, නිවහල් ජීවිතයක්‌ ගතකිරීම සැම දෙනාගේ අභිප්‍රායයි. සම්මුති ලෝකය තුළ කිසිවෙකුට මෙහි වරදක්‌ නො පෙණෙයි. සාමාන්‍ය ජීවිතයක ජයග්‍රහණය වන්නේ ද මෙයයි. මෙම අභිමථාර්ථ ඉටුකරගැනීම ට ද මහත් වෙහෙසක්‌, උත්සහයක්‌, වීර්යයක්‌ තිබිය යුතුය. උදේ පටන් රෑ වෙනකම්, රෑ පටන් පහන් වනකම්, පාඩම් කරමින්, රැකියා කරමින්, ගේ දොර වතුපිටිවල වැඩ කරමින්, දඟලන්නේ මෙම සම්මුති ලෝකය ජයගැනීමටය. සාමාන්‍ය ලෝකයේ ජීවත්වන අයෙකුට මෙයින් මිදිය නොහැක. එමනිසා කෙසේ හෝ සමාජයේ පිළිගත් අරමුණු කරා ගමන් කිරීමට කටයුතු කරයි. එනම් මිනිසුන් වර්ථමාන කාලයේ දුක්‌ විදිමින්, අනාගතයේ ඉහළ පිළිගැනීමක්‌, හොඳ සමාජ තත්වයක්‌ සහිතව, භෞතිකව පෙනෙන ලෝකය තුළ සැපක්‌ ඇතිකර ගැනීමට උත්සහවන්ත වේ.

ජීවිතයේ සැප ලෙස සොයා යන්නේ ඉෂ්ඨ කාන්ත මනාප රූප, ශබ්ද, ගන්ධ, රස සහ ස්‌පර්ශයන් හෙවත් පංචකාමයන් ය. සත්‍ය නොදන්නා කමින් ඇතිවන අවිද්‍යාවත්, තමන්ගේ කැමැත්තෙන් ඇතිවන තෘෂ්ණාවත් නිසා, මෙම පංචකාමය ම නැවත නැවත පතමින්, සංසාරයේ දුක්‌ විදිමින්, සත්වයා ගමන් කරයි. තමන්ගේ වසඟයේ නොපවතින, විනාශවන, වෙනස්‌වන, රෙදි කෑලි, ලී කෑලී, ප්ලාස්‌ටික්‌ කෑලි, ලෝහ කෑලි යනාදී දේවල් වලට යටත් වී, ඒවාත් එක්‌කම හැප්පෙමින්, දඟලමින් කටයුතු කරන ජීවිතය වහල් ජීවිතයකි. 'ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්‌හා දාසෝ' ලෝකය තුළ කටයුතු කරන කෙනා, තෘප්තිමත් නොවී තණ්‌හාවට දාසකම් කරන බවණී බුදුපියාණන් වහන්සේ දේශනා කර ඇත්තේ මේ නිසාය.

පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහ ධාතූන්ගෙන් සෑදුන ශරීරය නියම ආකාරයෙන් කවා, පොවා, නාවා, සතපවා ඇප උපස්‌ථාන නොකරන්නේ නම් මහත් දුකට පත්වේ. එබැවින් තමන්ගේ ශරීරයට මැරෙන තුරු වහල්කම් කළ යුතුය. ඒ වගේම තමන් අත්පත් කරගෙන ඇති සම්පත් වලට වහල් කම් කළ යුතුය. තමන් අත්පත් කරගෙන ඇත්තේ රෙදි කෑලි, ලී කෑලී, ප්ලාස්‌ටික්‌ කෑලි, ලෝහ කෑලී යනාදී දේවල්ය. කිලිටි වූ රෙදි ටික, 'අපව සෝදන්න' කියයි. එවිට තමුන් වහලෙක්‌ මෙන් ඒවා සෝදයි. දූවිලි සහිත මේසය, 'මාව පිහින්න' කියයි. එවිට වහලෙක්‌ මෙන් මේසය පිහදමයි. දැන් කෙනෙකුට ප්‍රශ්නයක්‌ එන්න පුළුවන් පිරිසිදුව ජීවත්වීම වැරදි ද? කියලා. එය වැරදි නැත. නමුත් පිරිසිදුකර ඉවර කළ නොහැකි බව අවබෝධ කළ යුතුය. එමෙන් ම සිහින ලෝකයේ ඇති මෝටර් රථය, 'මාව ගන්න ඕනෙ නම් අතිකාල වැඩකරපන්' කියයි. තමුන් අතිකාල වැඩ කරයි. සාදන අලුත් ගෙදර 'හොම හම්බකරලා බෑ, කොමිස්‌ ගහලා හරි, අල්ලස්‌ අරන් හරි, හොරකම් කරල හරි මාව හොඳට හදපන්' කියයි. එවිට එයද කරයි. මේ ලෙසට වහල්කම්වලට පාපකම් ද එකතු වේ.

එමෙන් ම සමාජය විසින් තමුන් වහලෙකු බවට පත්කර ඇත. අනිත් අය විසින් නියම කරන ලද සමාජ තත්වය ඇතිකර ගැනීමට, සමාජය කියන කියන දේ කරයි. රූපවාහිනියක හෝ වෙනත් මාධ්‍ය වල වෙළඳ දැන්වීම්, වැඩසටහන්වලින් මේ මේ දේවල් මේ ලෙසට කන්න, මේ මේ දේවල් මේ ලෙසට බොන්න, මේ ආකාරයට නාන්න, මේ විදියෙ වාහනයකින් යන්න, මේ විදියේ අධ්‍යාපනයක්‌ ලබන්න, මේ විදියට මුදල් උපයන්න, මේ විදියේ රැකියාවක්‌ කරන්න යනා දී ලෙස කියයි. මෙසේ තමන්ට අවශ්‍ය නැති දේවල්, එහෙත් අත්‍යාවශ්‍ය දෙයක්‌ ලෙස ඉස්‌මතු කරමින් පෙන්වන නිසා, ඊට මුලා වී කරන වහල්භාවය තමුන්ට නොපෙනේ. මෙහි දී තමන්ගේ අවශ්‍යතාවය මත නැවතී සිට කටයුතු කිරීම මදි පුංචිකමක්‌ ලෙස සිතා, අනිත් අයට වුවමනා විදියට කටයුතු කිරීමේ වහල් ක්‍රියාව, මහත් අභිමානයක්‌ ලෙස දකියි.

බුදුපියාණන් වහන්සේ ලෝකයේ මනාප අරමුණකින් සුඛ වේදනාවක්‌ ඇතිවන බවත්, එය හටගත් මෙහොතේම දියබුබුලක්‌ මෙන් බිඳී විනාශ වී ඒ තුළින් විපරිනාම දුක්‌ඛතාව ඇතිවන බවත්, යම් අමනාපික අරමුණකින් දුක්‌ඛ වේදනාවක්‌ ඇතිවන බවත්, ඒ තුළින් දුක්‌ඛ දුක්‌ඛතාවය ඇතිවන බවත්, යම් උපේක්‌ෂා සහගත අරමුණකින් අදුක්‌ඛම සුඛ වේදනාව ඇතිවන බවත්, ඒ තුළින් සංඛාර දුක්‌ඛතාවය ඇතිවන බවත්, දේශනා කර ඇත. මෙම බුදු වදන තුන් ලෝකයේ කිසිවෙකුට වෙනස්‌ කළ නොහැක. කළ හැකි වන්නේ, බුදු වදන පිළිගෙන සත්‍ය අවබෝධ කරගෙන දුකින් අතමිදීම හෝ බුදු වදන නොපිළිගෙන දුක්‌ විදීමයි.

බෝසතාණන් වහන්සේ රම්‍ය, සුරම්‍ය, සුභ යන මාලිගා පරිහරණයෙන් සහ රජ කුමරකු වශයෙන් මහත් සැපයක්‌ විඳින ලදී. සර්වඥයන් වහන්සේ, එම සැපය උපමාකර ඇත්තේ, තුවාලයක්‌ කසන විට ඇතිවන ඉතා කුඩා වූ සැපයකටය. එමෙන් ම ගිහිකල රජ කුමාරයකු වශයෙන් විඳි සැපයට වඩා පළමු ධ්‍යාන සැපය උසස්‌ බව වැඩිදුටත් දේශනා කර ඇත.

තමුන් මෙලෙස වහල්කම් කරමින් අත්පත් කරගන්නා දේවල් තමන්ට අවශ්‍ය ලෙස පැවැත්විය නොහැක. ඒවා වෙනස්‌ වේ. තමන්ගේ ශරීරයවත් තමන්ට අවශ්‍ය විදිහට පැවැත්විය නොහැක. ඇස දිරයි, කණ දිරයි, හමරැලි වැටෙයි, නොයෙක්‌ ලෙඩ රෝග වැළදෙයි. අනිකුත් දේවල් ද එලෙස ම දිරයි, විනාශ වේ. මෙලෙස වෙනස්‌වන, විනාශවන දේවල් රැස්‌කරීම ට ත්, ඒවා පවත්වාගෙන යාම ට ත්, පරපණ නැසීම, සොරකම් කිරීම, කාමය වරදවා හැසිරීම, බොරු කීම, පරුෂ වචන කීම, කේලාම් කීම, හිස්‌ වචන කීම, මත් ද්‍රව්‍ය භාවිතා කිරීම, ඊර්ෂයා කිරීම, වෛර කිරීම, ක්‍රෝධ කිරීම, අනුන්ගේ ගුණ මැකීම යනා දී මහා අකුසලයන් සිදුකරයි.

මෙලෙස තමුන් වහල්කම්, අකුසලකම් කරමින් රැස්‌කරගත් දේ මහා වටිනා දෙයක්‌ද? එය විනාශවන දෙයක්‌ නොවේද? කියා සිතිය යුතුය. ඒ නිසා ඇතිවුන අකුසලයන්ට වන විපාක වශයෙන් ආත්ම ලක්‌ෂ කෝටි ගණන් නිරය, ප්‍රේත, තිරිසන්, අසුර යන සතර අපායන් හි දුක්‌ විඳීමට සිදුවේ. ධාතු හතරකින් සෑදුන වෙනස්‌ වන, විනාශ වන රූපයන් නිසා, තමන් තමන්ට කරගෙන ඇති හානිය කොතරම්ද? යන්න සිතිය යුතුය. අනිත් අය තමන්ට කරන හානියෙන් සිදුවන්නේ කුඩා හානියකි. නමුත් තමන් තමන්ට කරගන්නා හානිය අති මහත් ය.

භාග්‍යවතුන් වහන්සේ 'තමන්ට අයිති නැති, තමන්ගේ වසඟයේ පවත්වාගෙන යා නොහැකි දේ අතහරින්න' ලෙස දේශනා කර ඇත්තේ, මෙම වහල් භාවයෙන් මිදීම සඳහාය. පහසුවෙන් පෝෂණය කළ හැකි සැහැල්ලු සරල ජීවිතයක්‌ ගතකරමින් තමන්ගේ අවශ්‍යතාවය මත පමණක්‌ නතරවන ලෙස උන් වහන්සේ දේශනා කර ඇත. ලෝකයේ සම්පත් සොයන ජීවිතයකට සැම දා අත්වන්නේ දුක ම යි. ලෝකය අතහැර දමන ජීවිතයක ඇත්තේ සැපයකි. භික්‌ෂු ජීවිතයක්‌ යනු ලෝකය අතහරිමින් නිවීම සොයන ජීවිතයකි. භික්‌ෂුව, ලෝකයේ ඇති සම්පත් වලට නො ඇලී, ඒවා අල්ප වශයෙන් පරිහරණය කරමින් ලෝකයෙන් එතෙරට ගමන් කරයි. එය සරල සැහැල්ලු ජීවිතයකි. චීවර, පිණ්‌ඩපාත, සේනාසන යනාදී පැවැත්මට අත්‍යාවශ්‍ය දේ පමණක්‌ භාවිතා කරමින් නිදහස්‌ නිවහල් ජීවිතයක්‌ ගත කරයි. සාමාන්‍ය ගිහි ජනතාවත් අවශ්‍යතාවය මත පමණක්‌

රැඳෙමින් කටයුතු කරනවා නම්, සම්පූර්ණ නිවහල් ජීවිතයක්‌ නොලැබුණත්, යම්තාක්‌ දුරට නිදහස්‌ නිවහල් ජීවිතයක්‌ ගතකළ හැකිය. ඉතා කලාතුරකින් ලැබෙන මනුෂ්‍ය ජීවිතය රෙදි කෑලි, ලී කෑලී, ප්ලාස්‌ටික්‌ කෑලි, ලෝහ කෑලීවල වහලෙක්‌ නොකර, බුද්ධ සාසනය පවතින කාලයේ ප්‍රයෝජනයක්‌ ගත යුතුය. නැවත මෙවැනි අවස්‌ථාවක්‌ ආත්ම කෝටි ගණනකටවත් ලැබේ දැයි සැක සහිතය. බුදු පියාණන් වහන්සේ, මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබීමේ දුර්ලභ බව 'අවුරුදු සියයකට වරක්‌ පමණක්‌ මුහුද මතුපිටට එන, ඇසක්‌ අන්ධ කැස්‌බෑවෙක්‌, විය සිදුරකින් පසලොස්‌වක සඳ දකිනවා වගෙයි' ලෙස උපමාවකින් දේශනා කර ඇත. එබැවින් පංචකාමයන්ගේ සහ අන්‍යයන්ගේ වහලුන් නොවී බුදු පියාණන් වහන්සේ දේශනා කළ මාර්ගයේ ගමන් කොට නිවහල් ජීවිතයක්‌ තුළින් සදහට ම නිවී යාමට අධිෂ්ඨාන කර ගනිමු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.