සෝතාපන්නයාගේ ලක්‌ෂණ

පූජ්‍ය කිවුල්දෙණියේ විජිතනන්ද හිමි,
නිසලවිල වන අරණ, මාලිගාතැන්න, කහතිලගම, පොල්පිතිගම.

යමෙකුට තුනුරුවන් කෙරෙහි ඇතිවන අවෙච්චප්ප්‍රසාදය සහ අරියකාන්ත සීලය කියන කරුණු පිහිටා නැත්නම්, ඒ පුද්ගලයා ප්‍රමාද විහාර ඇත්තෙක්‌ බවත්, මේ අංග මුළුමනින්ම නැත්නම් බාහිර පෘථග්ජනයෙක්‌ බවත් සංයුත්ත නිකායේ එන නන්දිය සූත්‍රයේ සඳහන් වෙනවා.

පෘථග්ජනයා කියන්නෙ කවරෙක්‌ද කියල හඳුනගන්න ඉහත දේශනාව ඉතා වැදගත්. ආර්යයන් නොදකින, ආර්ය ධර්මයේ නොහික්‌මෙන, සත්පුරුෂයන් නොදකින, සත්පුරුෂ ධර්මයේ නොහික්‌මෙන තැනැත්තා අශ්‍රැතවත් පෘථග්ජනයෙක්‌ බව බුද්ධ දේශනාවල සඳහන් වෙනව. (අරියනං අදස්‌සාවී අරිය ධම්මේ අවිනීතෝ - සප්පුරිසානං අදස්‌සාවී සප්පුරිස ධම්මේ අවිනීතෝ).

ඒ වගේම ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥ කියන පංච ධර්මයන් මුළුමනින්ම නැත්ද, ඒ පුද්ගලයා පෘථග්ජනයෙක්‌ විදිහට තමයි ධර්මයේ පෙන්වා තියෙන්නෙ. හීන වූ ග්‍රාම්‍ය වූ පංච කාමයන්ගේ ඇලී වසන කෙනාත් පෘථග්ජනයෙක්‌ බව ධම්මචක්‌ක සූත්‍රයේ සඳහන් වෙනව. මේ විදිහට පෘථග්ජනයන් දෙන්නෙක්‌ සිටින බව අට්‌ඨකතාවේ එන ගාථාවක සඳහන් වෙනව.

ද්වේ පුථුඡ්ජනා වුත්ති

බුද්ධාදිච්ෙච්න බන්දුතා

අන්ධෝ පුථුඡ්ජනෝ ඒකෝ

කල්‍යානේකෝ පුථුඡ්ජනෝ

අන්ධ පෘථග්ජන සහ කල්‍යාණ පෘථග්ජන වශයෙන් දෙන්නෙක්‌ සඳහන් වෙනවා. සතර සෝතාපත්ති අංග කොහෙත්ම නැති කෙනා අන්ධ පෘථග්ජනයෙක්‌. බාහිර පෘථග්ජනයා විදිහට සූත්‍රවල සඳහන් කරල තියෙන්නෙ මේ පුද්ගලයා ගැන. සෝවාන් ඵලයට පත් නොවූ, නමුත් සද්ධා ආදී ගුණවල යම් පමණින් හෝ පිහිටි සද්ධානුසාරී, ධම්මානුසාරී පුද්ගලය කල්‍යාණ පෘථග්ජනයෙක්‌ විදිහට හඳුන්වන්න පුළුවන්.

සතර සෝතාපත්ති අංගවලින් යුත් සෝතාපන්නයාට නිරන්තරයෙන් පුණ්‍ය ගංගා කුසල ගංගා පහළ වන බව සංයුත්ත නිකායේ අභිසන්ද සූත්‍රයේ දක්‌වා තියෙනව. (චත්තාරෝ මේ භික්‌ඛවේ පුඤ්Æභිසන්දා කුසලාභිසන්දා, සුඛස්‌සාහාරා).

ඒ වගේම අපිරිසිදු සතුන්ගේ පිරිසිදු බව පිණිසත්, නොදැමුණු අයගේ දමනය පිණිසත් සතර සෝතාපත්ති අංග හේතුවන බව සංයුත්ත නිකායේ දේවපාද සූත්‍රයේ දේශනා කරල තියෙනවා. වෛර 5ක්‌, බිය පහක්‌ දුරු කළ සෝතාපත්ති අංගවලින් යුත්ත ආර්ය න්‍යාය ප්‍රඥවෙන් දැකල අවබෝධ කරපු සෝතාපන්නයාට තමන් නිරයෙන්, ප්‍රේත ලෝකයෙන්, තිරිසන් ලෝකයෙන්, අසුර නිකායෙන් සදහටම මිදුන බව ප්‍රකාශ කරන්න පුළුවන්.

සුදුස්‌සාට සුදුසු තැනදී අධිගම ප්‍රකාශ කරන්න පුළුවන්. ''සම්මදේව' කියල අධිගම ප්‍රකාශ කරන ක්‍රමයක්‌ ධර්මයේ පෙන්වා තියෙන්නෙ ඒ නිසා. 'සම්මා විහරණය' මොකක්‌ද කියල විවරණය කරන, තමන්ගෙ සෝවාන් බව අනුන්ට කියල ඒ තැනැත්තාත් සෝවාන් තත්ත්වයට නැගී සිටුවන්න උත්සාහ කළ යුතු බව අටුවාවේ පෙන්වා තියෙනවා. (අත්තනෝ සෝතාපන්න භාව අඤ්ඤස්‌ස කථෙFවා තං සෝතාපන්නං කරෝතීති සම්මා විහරතී නාම)

සංයුත්ත නිකායේ සරකානි සූත්‍රයේ මහානාම කුමාරයාට බුදුන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා. 'මහානාමය, මේ මහා සල් ගසුත් සුභාෂිත දුර්භාෂිත දන්නේ නම්, වැටී නොයන නියත වූ නිවන පිහිටකොට ඇති සෝතාපන්න යෑයි කියා මේ සල් ගස්‌වලටත් ප්‍රකාශ කළ හැක'. මෙයින් පෙන්වා තියෙන්නෙ, යහපත, අයහපත තේරුම් ගන්න පුළුවන් හැමෝටම ධර්මාවබෝධය කරන්න පුළුවන් බව. ඒකට සුදුසුකම් විදිහට බුදුන්වහන්සේ පෙන්වා දුන්නෙ, සට කපටකම් නැති බව, මායාවන් නැති, සෘජු ගති ඇති අය මා වෙත පැමිණෙන්න, ඒ සියල්ලට මම අනුශාසනා කරමි කියල. (ඒතු විඤ්­ පුරිසෝ අසඨෝ, අමායාවී, උජුජාතිකෝ අහමනුසායාමි, අහං ධම්මං දේසේමි)

පථව්‍යා ඒක රඡ්ඡේන

සග්ගස්‌ස ගමනේනවා

සබ්බලෝකාධි පච්ෙච්න

සෝතාපත්ති ඵලං වරං

(ඛු.න. ධම්ම පද, ලෝක වග්ග)

ඉහත ධම්ම පද ගාථාවෙන් සෝතාපන්න වීමේ ඇති ශ්‍රේෂ්ඨ බව පෙන්වා තියෙනවා. පෘථිවියට අධිපති චක්‍රවර්තී රජ බව, ස්‌වර්ගයේ ඉපදීම, මුළු ලොවට අග රජවීම කියන සියලු කරුණුවලට වඩා සෝවාන්වීම අග්‍රයි. ශ්‍රේෂ්ඨයි, උත්තමයි.

සක්‌විති රජ කෙනෙක්‌ සතර මහා දිවයිනට අධිපතිව රජකම් කර, මරණින් මතු තව්තිසා වැසි දෙවියන් අතරට ගිහින් නන්දන වනයේ අප්සරාවන් සමූහයා පිරිවරා ගෙන දිව්‍ය පංච කාම ගුණයන් විඳිමින් වාසය කරනවා. නමුත් ඔහු නිරය, තිරිසන්, ප්‍රේත, අසුර කියන සතර අපායෙන් මිදිල නෑ. ඒ දෙව් සැප, අවසන් වෙලා මිනිස්‌ ලොවට පැමිණ හෝ කවදා හෝ දවසක ධර්මාවබෝධය නොකරන තාක්‌ සතර අපායේ ඉපදීමට හේතු නැති කරල නැති නිසා දුගතිගාමී වීමට අවකාශ තියෙනවා.

'චතුහපායේහි ච විප්පමුත්තෝ - ඡචාභිඨානානි අභබ්බෝ කාතුං' කියන රතන සූත්‍ර පාඨයෙන්, සෝතාපන්න වූ කෙනා සදහටම අපායෙන් මිදිල කාරණා හයකට අභව්‍ය වූ කෙනෙක්‌ බව පෙන්වා තියෙනව.

යමෙක්‌ සෝවාන් වෙන්න නම් මොකක්‌ද කරන්න ඕන කියල වදාරණ බුදුපියාණන් වහන්සේ, සතර සෝතාපත්ති අංගවලින් යුත්ත වන ලෙස පැහැදිලි කරනවා. සකදාගාමී, අනාගාමී, අරිහත්වීම සඳහා කළ යුත්තේ සෝතාපත්ති අංගවල පිහිටීම, ඒ වගේම පංච උපාදානස්‌කන්ධය අනිච්ච වශයෙන්, දුක්‌ඛ වශයෙන්, අනත්ත වශයෙන් වැඩීමෙන් සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරිහත් කියන සතර මාර්ග ඵල ලබන බව සඳහන් වෙනවා.

සත්පුරුෂ සේවනය, සත්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්ති යමෙක්‌ භාවිත කිරීමෙන් නැවත නැවත භාවිත කිරීමෙන් (භාවිතා බහුලීකතා) මහාපඤ්ඤ, පුථු පඤ්ඤ, විපුල පඤ්ඤ, ගම්භීර පඤ්ඤ, අසාමන්ත පඤ්ඤ, භූරි පඤ්ඤ, පඤ්Æ බහුල්ල, සීඝ පඤ්ඤ, ලහු පඤ්ඤ, හාසු පඤ්ඤ, ජවන පඤ්ඤ, තික්‌ඛ පඤ්ඤ, නිබ්බේධික පඤ්ඤ කියන මහා ප්‍රÆ ලැබෙන බව බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. මේ ලිපියෙන් ඒ සියලු විස්‌තර සඳහන් කරන්න බැරි වුණත්, වැඩි විස්‌තර දැන ගැනීමට අවශ්‍ය නම් සංයුත්ත නිකායේ (5) සෝතාපත්ති සංයුත්තයේ මහා පඤ්Æ වර්ගය බලන්න.

ආර්ය මාර්ගයේ සෝතාපන්න මාර්ග අනාගාමිකත්වයේ පටන් අරිහත් මාර්ගය දක්‌වා සිටින ආර්ය උතුමන් හත්දෙනා සේඛ හෙවත් විමුක්‌ති මාර්ගයේ හික්‌මෙන පුද්ගලයන් විදිහට හඳුන්වා තියෙනව. ආර්ය මාර්ගයේ හික්‌මී අවසන්වූ උතුමන් අසේඛ කියල හඳුන්වනව. බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා අසේඛ වෙනවා.

සේඛ පුද්ගලයා ආර්ය මාර්ගය වැඩීම පසෙක දමා ඉන් පරිබාහිර කටයුතුවල වැඩි කාලයක්‌ යෙදිල වාසය කළොත් පිරිහීමට පත්වෙන බව තථාගතයන් වහනසේ විසින් අංගුත්තර නිකායේ සේඛ සූත්‍රය තුළින් පෙන්වා තියෙනවා. මෙතනදී පිරිහීම කියල සඳහන් කළේ ලැබුවා වූ මාර්ග ඵලය පිරිහීම නොවෙයි, ඉතිරි මග ඵල ලැබීමට ප්‍රමාදවීම.

ඒ නිසා සෝවාන් මාර්ග

අනුගාමිකයාගේ පටන්, අරිහත් මාර්ගය දක්‌වා සිටින සේඛ පුද්ගලයන්, කළ යුත්ත නොකළ යුත්ත පිළිබඳව විමර්ශන

බුද්ධියෙන් වාසය කරන්න ඕන. එහෙම නොවුණහොත් නොදැනුවත්වම ඉදිරි දියුණුව ප්‍රමාද වෙන්න පුළුවන්.

සේඛ භික්‌ෂුවකගෙ පිරිහීමට හේතුවන කරුණු පහක්‌ ධර්මයේ සඳහන් වෙනවා. කම්මාරාමතා, නිද්දාරාමතා, හස්‌සාරාමතා, සංඝණිකාරාමතා, විමුත්ත සිත ප්‍රත්‍යවේක්‌ෂා නොකිරීම කියන කරුණු සේඛ භික්‌ෂුවකගේ පිරිහීම පිණිස පවතිනවා. (කම්මාරාමතා, හස්‌සාරාමතා, නින්දාරාමතා, සංඝණිකාරාමතා යථා විමුත්තං චිත්තං න පච්චචෙක්‌ඛති, ඉමේ ඛෝ භික්‌ඛවේ පංච ධම්මා සේඛස්‌ස භික්‌ඛුණෝ පරිහානාය සංවත්තති. අංගුත්තර නිකායේ පඨම සේඛ සූත්‍රය)

කම්මාරාමතා කියන්නෙ නව කර්මාන්තවල යෙදීම. භික්‌ෂුවක්‌ වශයෙන් සීමාව ඉක්‌මවා ගොඩනැඟිලි හැදීම්, අධිකව ගමන් බිමන් යැම්, තව නොයෙක්‌ බාහිර කටයුතුවල නිරතවීම ආදිය

කම්මාරාමතාවට අයිතියි. අධිකව නිදීම, නිද්දාරාමතාව. හස්‌සාරාමතා කියන්නෙ අල්ලාප සල්ලාපවල යෙදෙමින් විහිලු කොලොප්පම් කරමින් කොක්‌ හඬලා සිනාසෙමින් කාලය ගෙවීම. සමහර අය හුදකලා විවේකයට කැමැති නෑ. පිරිස්‌ සමග එකතු වෙමින් දෙතිස්‌ කතා කියමින් කාලය කා දැමීමට ප්‍රියය. මේක ඝන සංගණීකාරාමතා කියල හඳුන්වනවා.

පස්‌වැනි පරිහානි කාරණය තමයි විදර්ශනා වඩමින් මිදුනු සිත ප්‍රත්‍යවේක්‍ෂා නොකිරීම.

මේ කාරණා පහෙන් යුක්‌ත කෙනාට ඉදිරි මාර්ග ඵල අවබෝධ කර ගැනීමට නොහැකිව ප්‍රමාදව වාසය කරන්නට සිද්ධ වෙනවා. අරිහත් මාර්ග අනුගාමිකත්වයේ සිටින කෙනෙක්‌ නමුත් කම්මාරාමනාදියෙහි යෙදී මිදුණු සිත ප්‍රත්‍යවේක්‍ෂා නොකරමින් වාසය කළොත් ඒ ආර්ය ශ්‍රවකයාට අරිහත් ඵලය සාක්‌ෂාත් කිරීම ප්‍රමාද වෙනවා. අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනකුට අරිහත්වයට පත්වීම පහසුයි කියල නොසිතන ලෙස බුදුන්වහන්සේ වදාරලා තියෙන්නෙ මේ කාරණා නිසා. ඒ නිසා අරිහත්වයට පත් නොවූ සියලු සේඛ පුද්ගලයන් මේ ගැන අවධානය යොමු කරල නිසරු දේවලින් වැළකිලා ඉතිරි මාර්ගඵල අවබෝධ කරගන්න වෑයම් කරන්න ඕන.

ඊළඟට යමෙක්‌ සෝතාපන්න ආර්ය ශ්‍රාවකත්වයට පත්වෙනකොට ඒ පුද්ගලයා තුළ ඉතිරි කෙලෙස්‌ සහ පහ වූ කෙලෙස්‌වල ස්‌වභාවය සුත්‍ර දේශනාවල සඳහන් උපමා ඇසුරෙන් මේ විදිහට දක්‌වන්න පුළුවන්.

මහණෙනි, යම් සේ පුරුෂයෙක්‌ මුං ඇට පමණ ගල් කැට හතක්‌ සිනේරු (මහාමේරු) පර්වත රාජ්‍ය ළඟ තබයි. මහණෙනි, සිනේරු පර්වත රාජයා ළඟ ඇති ගල් ලොකුද? සිනේරු පර්වත රාජයා ලොකුද? ස්‌වාමීනි, සිනේරු පර්වත රාජයා ලොකුය. ළඟ තැබූ මුං ඇට පමණ ගල් කැට ඉතා කුඩය. ගණන් කරන්නටත් බැරිය. සම කරන්නටත් බැරිය. සියයෙන්,දහසෙන්, සිය දහසින් කලාවකටද නොපැමිණේ.

මහණෙනි, එමෙන් සිවුසස්‌ අවබෝධ කළ ආර්ය පුද්ගලයා විසින් පහ කළ යම් දුකක්‌ වෙයි නම් එය සිනේරු පර්වත රාජයා මෙන් විශාලය. ඉතිරිවූ යම් දුකක්‌ වෙයි නම් එය මුං ඇට හත මෙන් ඉතා ස්‌වල්පය. (ස.නි. සිනේරු සූත්‍රය)

මහ පොළොවෙන් නිය පිටට පස්‌ ස්‌වල්පයක්‌ ගත් විට මහ පොළොවේ පස්‌ විශාල වන්නා සේ, දිට්‌ඨි සම්පන්න පුද්ගලයා පහ කළ දුක මහ පොළොව මෙන් විශාලය. ඔහුට ඉතිරි වූ දුක නිය පිට ගත් පස්‌ ස්‌වල්පය මෙන් ඉතා ටිකය. (ස.නි. - පඨවි සූත්‍රය)

යොදුන් පනහක්‌ දිග, පළල, ගැඹුරු වූද පිරුණු වූද විසාල පොකුණක්‌ වෙයි. මිනිසෙක්‌ කුස තණ කොළයක අගින් දිය ස්‌වල්පයක්‌ ගනී. සෝතාපන්නයා දුරු කළ යම් දුකක්‌ වේ නම් පොකුණේ ජලය මෙන් ඉතා විශාලය. ඉතිරිවූ දුක කුස තණ ගසේ රැඳුනා වූ ජල ස්‌වල්පය මෙන් ඉතා ටිකය. (ස.නි. පොක්‌ඛරණී සූත්‍රය)

ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මහා සංගා එක්‌ වන තැනක්‌ වෙයි. පුරුෂයෙක්‌ එතනින් දිය බිඳු තුනක්‌ ගනී. සෝතාපන්න කෙනා පහ කළ යම් දුකක්‌ වෙයි නම්, මහා ගංගා පහ එකතු වන තැන ජලය මෙන් ඉතා විශාලය. ඔහුට ඉතිරිවූ දුක ඒ ගංගා පහ එකතුවෙන තැනින් ගත් කුඩා දිය බිඳු දෙක තුන මෙන් ඉතා ස්‌වල්පය. (සි.නි. සම්බොඡ්ජCධ සූත්‍රය)

දුතිය සම්බොඡ්Cධ සූත්‍රයේ බුදුහිමියන් මෙසේ වදාරනවා. මහා ගංගා පස එක්‌ වන තැන දිය බිඳු දෙක තුනක්‌ ඉතිරිව තිsබියදී මහ ජල කඳ සිඳී යයි. මෙසේ ආර්ය ශ්‍රාවකයා දුරු කළ දුක්‌ කඳ අති විසාලය. ඔහුට ඉතිරිවූ දුකක්‌ ඇත්නම් එය මහා ජල කඳෙන් ඉතිරිවූ දිය බිඳු දෙක තුන මෙන් ඉතා ස්‌වල්පය.

මේ සඳහන් කළේ,සෝතාපන්නයාගේ ඉතිරි කෙලෙස්‌ පහ කළ කෙලෙස්‌වල ස්‌වභාවය උපමාවලින් පෙන්වා තියෙන ආකාරය. බුද්ධ සාසනයක්‌ මුණ ගැසුණු දුලභ අවස්‌ථාවෙන් අඩුම වශයෙන් දිට්‌ඨි සම්පන්න ආර්ය ශ්‍රාවකත්වයට පත්වුණත් ඔහු සසර ජයගත්තෙක්‌. ඒ නිසා අති දුලභ ධර්මය මුණ ගැහිල තියෙන මේ කාලයේ එයින් උපරිම ප්‍රයෝජන ගැනීමට ප්‍රඥවන්තයෝ උත්සුක වෙත්වා.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.