මැදින් පොහෝ දා කිඹුල්වත් පුර
බුදුන් දෙසු බණ අසන් පිංවත


අලුතෑපොල ගණේකන්ද පුරාණ රජමහා විහාරාධිපති,
කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය,
ආචාර්ය නැදලගමුවේ ධම්මදින්න හිමි

කිඹුල්වත් නුවරට වැඩම කළ බුදුරජාණන් වහන්සේ පසුදින ගෙ පිළිවෙලින් පිඬුසිඟා යාමට පටන්ගත් සේක. ඒ බව දැනගත් සුද්ධෝදන රජතුමා වහ වහා මහ මගට දිවවුත් 'අපේ කුලයට නින්දා නොකරන්නැයි' කීවේය. එවිට බුදුරජාණන් වහන්සේ,

'මහරජ, ඒ ඔබේ කුල වංශයයි, නමුත් අපේ වංශය නම් දීපංකර ආදී බුදුවරුන්ගේ වංශයයි. ඒ පෙර වැඩ සිටි බුදුරජාණන් වහන්සේලා පි`ඩු සි`ගීමෙන්ම ජීවිතය පැවැත්වූවෝ ය'. යනුවෙන් පැහැදිලි කළ සේක.

පියරජාණන්ගේ පින මෝරා ඇති බව දුටු බුදුරජාණන් වහන්සේ මහ මගදී ම සිය පියාණන්ට මෙම ගාථාව දේශනා කළ සේක.

උත්තිට්‌ඨේ නප්පමඡ්ජෙය්‍ය

ධම්මං සුචරිතං චරේ

ධම්මචාරී සුඛං සේතී

අස්‌මිං ලෝකේ පරංහිච

මෙම ගාථාවෙහි තේරුම නම්,

(ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා) නැගී සිටින්නේය, ප්‍රමාද නොවන්නේ ය, ධර්මයෙහි මනාව හැසිරෙන්නේ ය. එසේ ධර්මයේ හැසිරෙන පුද්ගලයා මෙලොවක්‌ පරලොවත් සැපසේ වාසය කරන්නේ ය.

බුදු රජාණන් වහන්සේ මේ ගාථාවෙන් රජතුමාට පෙන්වා වදාළේ ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා පටු සමාජ සම්මත වලට බිය නොවී ඒවාට එරෙහිව නැගී සිටින අතර ම එසේ කටයුතු කිරීමට ප්‍රමාද නොවන බවයි. එම නිසා මෙලොවදී ම කායික හා මානසික සැපය ළ`ගා කර ගැනීමට ධර්මයේ හැසිරෙන්නා සමත් වන්නේ ය.

විවිධ පටු ආකල්පවල සිර වී සිටින සමාජය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද විමුක්‌තිය ලබා ගන්නේ ඉතාමත් ම කලාතුරකිනි. එබඳු පටු ආකල්ප නම් විවිධ මිත්‍යා ඇදැහිලි, කුල හෝ ගෝත්‍ර වලට අයත් මතිමතාන්තර, සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර, සමාජ සම්මත හෝ විවිධ විශ්වාසයන් ය. ධර්මයේ හැසිරීමට උත්සාහ කරන පුද්ගලයා විවිධ මිත්‍යා ඇදැහිලි හා විශ්වාස නිසා ධර්මයෙන් ඈත්වන බව බොහෝ විට දැක ගත හැකිය. එක්‌ අවස්‌ථාවක හදිසි අනතුරකට පත්ව බලවත් සේ රෝගී වූ අයෙකු වෙනුවෙන් සෙත් පතා විහාරස්‌ථානයට පැමිණි පිංවතෙකුට අවශ්‍ය වූයේ තම සිත කය වචනය සංවර කරගෙන සිල්වත් ව, බුදුන් වැඳ පිං රැස්‌කරගෙන ඒ අයට සෙත් පැතීම නොව දෙවියන්ට භාර වීම ය. එබඳු අවස්‌ථාවල පිනේ බල මහිමය හා සත්‍යක්‍රියාව කොයිතරම් ප්‍රබල ද යන්න බොහෝ දෙනා නොදනිති.

දරුවන් ප්‍රසූත කිරීමට ආසන්න මෑණිවරුන්ට සෙත් පිරිත් කීමෙන් ඒ අය කෙතරම් සුවපත් වනවාද යන්න මහා සංඝ රත්නය අත්දැකීමෙන් ම දනිති. තව ද මරණාසන්න රොAගීන්ට වුව පිරිත් කීමෙන් ඒ අයගේ සිත් තුළ යහපත් හැ`ගීම් පහළ වන ආකාරය මුහුණේ ඇතිවන ප්‍රසාදජනක ලක්‌ෂණවලින් පෙනේ. තව ද එබඳු අය පිරිත් ඇසීමෙන් පැය කීපයකට හෝ දින කීපයකට තම ජීවිතය දික්‌ කරගන්නා බව නිතර ම දැකගත හැකිය.

පටු ජාති, කුල හො ගෝත්‍රවලට අයත් මතිමතාන්තර වල එල්බ ගෙන සිටින මිනිසා ඒ නිසා ම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සැනසීම ළ`ගා කරගැනීමට අපොහොසත් වෙයි. බෞද්ධ ප්‍රතිපත්ති අනුව කටයුතු කරන අබෞද්ධයන් බොහෝ පිරිසක්‌ ලංකාවේ වාසය කරති. ඒ අය බෞද්ධ ප්‍රතිපත්ති අගය කරනුයේ බුද්ධ ධර්මය පිළිබඳ අසා, කියවා දැනගත් කරුණු අනුව ය. ඇතැම් පුද්ගලයන් පටු මතාන්තරවල හිර වී එවන් සහනශීලී පුද්ගලයන් අන්තවාදී ව

විවේචනය කර වෛරය හා ක්‍රෝධය වපුරති. කන්‍යාරාමයක ඉගෙන ගත් එක්‌තරා මෑණි කෙනක්‌ සඳහන් කළේ තමන් කන්‍යාරාමයේදී රහසේ ගුවන්විදුලි ධර්ම දේශනා ශ්‍රවණය කළ බවත්, බණ පොත් කිය වූ බවත් පසුව බෞද්ධයෙකු කසාද බැඳ බෞද්ධ වු බවත් ය.

ඇතැම් අය බොහෝ අවස්‌ථාවල දී අන්‍ය ජාතිකයන් අතර බෞද්ධාගමිකයන් නොමැති බව සිතුව ද අපේ රටේ අද ද දෙමළ ජාතික බෞද්ධයෝ විශාල ප්‍රමාණයක්‌ ජීවත් වෙති. බුදු දහම සියලු ජාති, කුල හා ආගම් භේද ඉක්‌මවා ගිය විශ්වධර්මයන් බව මනාව ප්‍රත්‍යක්‌ෂ වෙයි. මේ නිසා ධර්මයේ හැසිරෙන විට අපට දකින්නට ලැබෙන්නේ කුසල් හා අකුසල් සිත් ඇති මිනිසුන් පිරිසක්‌ මිස ජාති, කුල, ගෝත්‍ර වලට අයත් පිරිසක්‌ නොවේ. ඒ අනුව ධර්මානුකූලව බලන විට පෙනී යනුයේ අප සටන් කළ යුත්තේ ජාති, කුල, ගෝත්‍ර ආදියට විරුද්ධ ව නොව සිත් තුළ නිදන්ගතව ඇති තෘෂ්ණාවට එරෙහි ව බවය. අප කාගේත් පොදු සතුරා වන්නේ තෘෂ්ණාව මිස කිසියම් ජාතියක්‌ හෝ ආගමක්‌ නොවේ.

මෙලොව සැපසේ ජීවත් වීමට පවතින තවත් බාධාවක්‌ නම් ඇතැම් වැඩකට නැති සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර යි. අප ප්‍රදේශයේ එක්‌තරා පවුලක්‌ තිබේ. ඒ පවුලේ විශේෂත්වය නම් සහෝදර

සහෝදරියන් කවුරුවත් විවාහ නොවීමය. ඊට හේතුව ලොකු අක්‌කා තවම අවිවාහක වීම නිසා අනිත් අය ද

විවාහයට අකමැති වීමයි. දැන් තාත්තා මිය ගොසිනි, අම්මා ද ඇවිද ගැනීමට නොහැකිව එක්‌තැන් වෙලා ය. ඇයට තිබෙන බලවත් වේදනාව නම් තම දූවරුන්ගේ අවිවාහක බවයි. එසේ ම තවත් එක පවුලක ලේලිය තම නැන්දම්මා බැලීමට නොපැමිණෙයි. තම ස්‌වාමි පුරුෂයා හා පුතනුවන් ද නැන්දම්මා බැලීමට යනවාට අකමැතිය. ඊට හේතුව නම් මේ නැන්දම්මා තම ලේලිය පිළිබඳ දක්‌වන එක්‌තරා සාම්ප්‍රදායික විරෝධතාවකි. තම ලේලිය පුතාට වඩා වයසින් වැඩි වූ නිසා ඇය මේ විවාහයට විරුද්ධ වූවාය. නමුත් ඒ යුවල සිය කැමැත්තට විවාහ විය. ප්‍රශ්නය ඇරඹුණේ එසේය.

ඇතැම් අය තම මිත්‍යා විශ්වාස නිසාද ධර්මයෙන් ඈත් ව දුකසේ ජීවත් වෙති. අප දන්නා එක්‌තරා මහත්මයෙක්‌ තම අසල්වැසියා සමග ජීවත් වන්නේ බලවත් වෛරයෙනි. ඊට හේතුව නම් එක්‌තරා ආරූඪකාරයෙකු මායම් වී ඔහුගේ ඉඩමේ වල දමා තිබුණු ගුරුකමක්‌ ගොඩගෙන එය කරන ලද්දේ අසල්වැසියා විසින් යෑයි ඔහුට පැවසීමය. නමුත් මේ ආරූඪකරුවා ආරූඪයෙන් වලක්‌ කපා හොර රහසේම ඒ ගුරුකම්වලට දමා ගොඩගත් ලෙස

පෙන්වු බව දන්නේ එක්‌ අයෙකු පමණි. මේ මිථ්‍යා විශ්වාසය නිසා ඒ මහත්මයා හා අසල්වැසියා අතර ජන්මාන්තර වෛරයක්‌ ඇති වී තිබෙන අතර ඔවුන්ට මෙලෝ වශයෙන් කිසිම සැනසීමක්‌ නැත. මේ අනුව බලන විට පැහැදිලි වන්නේ ධර්මානුකූලව ලෝකය දෙස බලන විට ඉහත සඳහන් සියලු සිද්ධි ධර්ම විරෝධී පටු ආකල්ප පමණක්‌ ම වන බවයි.

මේ නිසා බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන රජුට වදාලේ ධර්මයෙහි

හැසිරෙන පුද්ගලයෙකු වෙන ලෙසයි. අප අද කළ යුතු වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද

ආකාරයට ධර්මයෙහි හැසිරෙන පුද්ගලයන් බවට පත් වීමය. බුද්ධ දේශනාවේ සඳහන් වන ආකාරයට ධර්ම මාර්ගයෙහි ගමන් කිරීම පිණිස පළමුවෙන්ම කළ යුත්තේ පවත්නා පටු ආකල්ප පිටු දැක ඒවාට විරුද්ධ ව නැගී සිටීම ය. එසේ නැගී සිටින පුද්ගලයාගේ අභීත භාවය මාර පරාජය දක්‌වාම පවතින බව පැහැදිලි වනුයේ බුදුරජාණන් වහන්සේ 'ප්‍රමාද

නොවන්නේ ය" යන විග්‍රහයෙනි.

මෙලෙස ධර්මානුකූල ව කටයුතු කරන පුද්ගලයා තමා මුහුණ පාන ගැටලුවලදී එම සියල්ල තත්වාකාරයෙන් දකින නිසා මෙලොව හා පරලොව දෙලොවම සැප සේ වාසය කරන බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.