නියම ජය කුමක්‌ද?

ගෙවී යන වසර ආලෝකවත් කරන අවසන් පුන්සඳ පායන දිනය අදයි. 2016 වසර අවසන් වීමට ඇත්තේ තවත් සීමිත දින ගණනකි. සිංහල ක්‍රමයට අවුරුද්දක්‌ ලබන්නේ වෙසක්‌ පුන් පොහොයෙන් පසුව වුවත් සම්මතය සහ භාවිතය අනුව නව වසරක්‌ උදාවන්නේ ජනවාරි මාසයත් සමඟය. උදාවූ මේ සීතල උඳුවප් සඳ යට විවේකීය හිඳ ඔබ මේ වසර ගතකළ හැටි නැවත ආවර්ජනය කරන්න. ඔබට දැනෙන්නේ කුමක්‌ද? මේ වසර ආරම්භයේ ඔබ ලබාගත් ඉලක්‌කයන්ට ඔබට ගමන් කිරීමට හැකි වූවාද? සිනහව, කඳුළ ජීවිතය සමග බද්ධ වූයේ කෙසේද? සිතන්න. මේ ඒ සඳහා සුදුසුම මොහොතයි.

අප අපගේ ජීවිතවල සාර්ථකත්වය මනින්නේ අප ලබනා ජයග්‍රහණයන් මතයි. නැතිනම් අප සපුරාගන්නා ඉලක්‌කයන් මතයි. එම ඉලක්‌කයන් බොහෝ විට අප භෞතිකව සපුරාගන්නා ඒවාය. උදාහරණයකට ඔබ වසර මුලදී මේ වසර අවසානය වීමට පෙර මම මෝටර් රථයක්‌ මිලදී ගන්නවා යෑයි අධිෂ්ඨාන කරගත්තා යෑයි සිතමු. ඔබ ඒ ඉලක්‌කය ඉදිරියේ තබාගනිමින් වසර පුරා කටයුතු කරයි. ඔබ ඒ සඳහා ගොඩනඟන සැලසුම්වල සාර්ථකත්වය මත එය ඔබ වෙත ළඟාකර ගැනීමට හැකි වේ. අද සමාජයේ යම් තත්ත්වයක්‌ ආරෝපණය වීමට නම් තමන්ට සුව පහසු වාහනයක්‌ තිබිය යුතු යෑයි බොහෝ දෙනා සිතයි. මේ සෑම දෙයක්‌ම අත්කර ගැනීම්ය. අල්ලාගැනීම්ය. ලෞකික ජීවිතයක්‌ ගත කරන ගිහියන්ට මෙවැනි දෑ බුදුදහම අනුව අකැප නොවේ. එහෙත් බුදුදහමේ පරම සුවය තම ජීවිතය වෙත ළඟාකර ගැනීමට

වෙහෙසෙන්නේ, ඒ සඳහා වසර මුල ඉලක්‌ක තබාගන්නෝ සිටින්නේ කීයෙන් කී දෙනාද?

බලන්න ආපසු හැරී, ඔබ පසුගිය වසර තුළ ඔබේ අධ්‍යාත්මය සුවපත්කර ගැනීම වෙනුවෙන් කළ කටයුතු

මොනවාද කියා. අඩුම තරමේ ගෙවී ගිය පෝය දිනවලින් කී දවසක්‌ ගමේ විහාරස්‌ථානයට ගියාද? ඇතැමුන් පවසන්නේ අපි නම් පන්සල් නොගියාට කිසිදු පවක්‌ නොකරන බවයි. එලෙස පව් නොකරන පන්සල් නො යන බෞද්ධයන් පින් පව් පිළිබඳ විශ්වාසයක්‌ නැත්තවුන්ය. ගෙවී ගිය වසර තුළ ඔබ ඔබගේ සංසාර ගමන වෙනුවෙන් කළ ආයෝජනයන් මොනවාද? ඒ වෙනුවෙන් දෙන පිළිතුර 'කිසිවක්‌ නැත' යන්න නම් ඔබ ලබාගත්, ජයගත් භෞතික ඉලක්‌කයන්ගෙන් කිසිදු පලක්‌ නැති බව වටහාගන්න. ඒ පිළිබඳ හිතන්න තව කල් තියෙනවා යෑයි ඔබ සිතනවා නම් ඔබගේ ඒ ප්‍රමාදය සංසාර ගමන අඳුරුකර ගැනීමේ මූලාරම්භය වේ. ජීවිතය නම් තණ අග පිනි බිඳක්‌ යෑයි අප අසා ඇත්තෙමු. අප මේ මොහොතේ කාබී, සිනහ සී වැජඹුණත් තව මොහොතකින් මරණය අප කරා නොපැමිණෙන්නේ යෑයි කාට නම් කිව හැකිද? මාරයාට තැනක්‌, කාලයක්‌ නැත. එනිසා අප මාරයා පරාජය කළ හැකි එකම මඟ නම් කුසල් දහම් වැඩීමයි. ඒ සඳහා බුදුරදුන් දේශනා කළ මාර්ගයන් බොහෝය.

එසේ නම් කළ යුත්තේ එළඹෙන වසරේ අප අපගේ ඉලක්‌කයන් අතර මේ භයංකාර වූ සංසාර ගමනින් එගොඩ වීමට අවශ්‍ය කටයුතුවලට අඩිතාලම දමා ගැනීමයි. ඒ සඳහා වෙහෙස වීමයි. එවිටයි ඔබට නියම ජයග්‍රාහකයකුගේ සතුට භුක්‌ති විඳිය හැක්‌කේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.