බුදු දහම අන් ආගම්වලින් වෙනස්‌ වන්නේ කෙසේද?

බුදු දහම සහ අන් ආගම් අතර යම් කිසි සමානකම් තිබුණද ඒවායේ මූලික න්‍යාය වශයෙන් ඒවා එකිනෙකට පරස්‌පර අදහස්‌ දක්‌වයි. එහි ප්‍රධාන ප්‍රතිවිරුද්ධ ලක්‌ෂණය වන්නේ බොහෝ ආගම් දේවවාදී සංකල්ප මත ගොඩනැඟුණ ඒවා වන අතර සර්වබලධාරී දෙවි කෙනෙක්‌ පිළිගනී. ඒ මත සියල්ල සිදු වන බව ඒ ඒ ආගම්වල මතයයි .

නමුත් බුද්ධ දර්ශනය තුළ ඒ සියල්ල ප්‍රතික්‌ෂේප කරන අතර බුදු දහම තුළ දක්‌වනුයේ තමාට උරුම ජීවිතයේ වගකීම තමා සතු බවයි. එසේම අන්‍ය ආගම් බොහොමයක්‌ නැවත උපත ප්‍රතික්‌ෂේප කරන අතර බුදු දහමට අනුව නැවත උපත ඒකාන්තයෙන්ම සිදු වන්නකි.

තවද දේවවාදී සංකල්ප ඇති ආගම් පවසනුයේ ලෝකයේ හටගැනීම දෙවියන් වහන්සේ විසින් සිදු කරන ලද්දක්‌ බවයි. නමුත් බුද්ධ දේශනාවට අනුව එය සිදු වන්නේ සියලු සත්වයන්ගේ කර්මානුරූපවය. මෙහි කර්මය යනුවෙන් අදහස්‌ කරන්නේ ඒ ඒ සත්වයන් පුර්ව ජීවිතවල සිදු කරගන්නා ලද්දා වූ යහපත් අයහපත් ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයි. (ලෝකයේ හට ගැනීම පිළිබඳ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේ දැක්‌වේ)

තවද සෙසු බොහෝ ආගම්වල විමුක්‌තිය ළඟාකරදීම සර්වබලධාරී දෙවියන්ගේ ක්‍රියාවක්‌ යෑයි ප්‍රකාශ කරයි. නමුත් බුදු දහමේ තමාගේ විමුක්‌තිය තමා විසින්ම අවබෝධ කරගත යුතු බව පැහැදිලිවම දක්‌වයි. එහි විමුක්‌තිය ළඟාකර ගැනීමේ මාර්ගය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි, එනම්,

සම්මා දිට්‌ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මාර්ග අංග අටයි .

බුදු දහමේ මූලික පරමාර්ථය වනුයේ

කවරක්‌ද යත් ?

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්‌ ලොව පහළ වනුයේ ලෝවැසි සත්වයන් ඒකාන්ත වශයෙන්ම මුහුණ දෙන්නා වූ දුකෙන් එතෙර වීමේ මාර්ගය කියා දීමටයි. එහිදී අන් කිසි දර්ශනයක හමු නොවන චතුරාර්ය සත්‍ය ධර්මය හමුවන්නේ වෙයි. ඒ චතුරාර්ය සත්‍ය කවරක්‌ද යත්

දුක්‌ඛ ආර්ය සත්‍යය, දුක්‌ඛ සමුදය ආර්ය සත්‍යය, දුක්‌ඛ නිරෝධ ආර්ය සත්‍යය සහ දුක්‌ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය වශයෙනි.

දුක්‌ඛ ආර්ය සත්‍ය යනු

''ජාතිපි දුක්‌ඛා, ජරාපි දුක්‌ඛා ,මරණම්පි දුක්‌ඛං, සෝක පරිදේව දුක්‌ඛ දෝමනස්‌සුපායාසාපි දුක්‌ඛා, යම්පිච්චං න ලබති තම්පි දුක්‌ඛං සංත්තේන පඤ්චුපාදානක්‌ඛන්ධා දුක්‌ඛා''

ජාති දුක, ජරා දුක, මරණ දුක, සෝකපරිදේව දුක්‌ඛ දෝමනස්‌සුපායාස දුක, කැමැති දෑ නොලැබීමේ දුක කෙටියෙන් කිවහොත් මේ පංච උපාදානස්‌කන්ධයම දුකකි.

දුක්‌ඛ සමුදය ආර්ය සත්‍ය කවරේද යත්

''යායං තණ්‌හා පෝනෝභවිකා නන්දිරාගසහගතා තත්‍ර තත්‍රාභි නන්දිනී සෙයHථිදං,කාම තණ්‌හා, භව තණ්‌හා ,විභව තණ්‌හා''

මේ පුනර්භවය ඇති කරන්නා වූ නන්දි රාගය සහිත වූ ඒ ඒ තැන විශේෂයෙන් ඇලෙන්නා වූ කාම තණ්‌හා, භව තණ්‌හා, විභව තණ්‌හා යනාදී තණ්‌හාවක්‌ වේද එය දුක්‌ඛ සමුදය ආර්ය සත්‍යය වේ.

දුක්‌ඛ නිරෝධ ආර්ය සත්‍යය කවරේද යත්

''යෝ තස්‌සායේව තණ්‌හාය අසේසවිරාග නිරෝධෝ චාගෝ පටිනිස්‌සග්ගෝ මුත්තී අනාලයෝ ඉදං වුච්චති දුක්‌ඛ නිරෝධ අරිය සච්චං''

යම් ඒ තෘෂ්ණාවෙහිම ශේෂ නොවූ විරාග වූ නිරෝධ වූ අතහැරීමක්‌ ඉවතලෑමක්‌ මිදීමක්‌ නොඇලීමක්‌ ඇත්ද මෙය දුක්‌ඛ නිරෝධ ආර්ය සත්‍යය නම් වේ.

දුක්‌ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍ය කවරේද යත්

''අයමෙව අරියෝ අට්‌ඨංගිකෝ මග්ගෝ සෙයHථිදං සම්මා දිට්‌ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි''

සම්මා දිට්‌ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම වේ.

මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිම විදර්ශනාව කිරීම නම් වේ. විදර්ශනාව යනු විශේෂයෙන් බැලීම නම් වේ. මෙහිදී විශේෂයෙන් බැලිම යනුවෙන් හඳුන්වනු ලබන්නේ 'මම' යනුවෙන් සිතා සිටින්නා වූ පුද්ගලයා ගැන යථාර්ථය සෙවීමයි. එය සිදු කළ යුතු මාර්ගයක්‌ ඇත. ඒ මාර්ගයද සාමාන්‍ය ආකාරයෙන් පිළිපදින මාර්ගයක්‌ නොව භාවනාව තුළින් විශේෂයෙන් පිළිපදින මාර්ගයකි.

එය පිළිපදින ආකාරය පහත පරිදි වේ. සීල විශුද්ධිය, චිත්ත විශුද්ධිය, දිට්‌ඨි විශුද්ධිය, කංඛාවිතරණි විශුද්ධිය, මග්ගා මග්ගඤාණ දස්‌සන විශුද්ධිය, පටිපදා ඤාණ දස්‌සන විශුද්ධිය, ඤාණ දස්‌සන විශුද්ධිය යන විශුද්ධි සත වැඩීමයි.

ඒ සමගම වැඩෙන විදර්ශනා ඤාණ ද ඇත. ඒවා නම්.

නාම රූප පරිච්ෙච්දය, පච්චය පරිග්‍රහය, සම්මර්ශනය, උදයබ්බය, භංගය, භය, ආදීනව, නිබ්බිදාව, මුඤ්චිතු කම්‍යතා, පටිසන්ඛානුපස්‌සනා, සංඛාරුපෙක්‌ඛා, අනුලෝම, ගෝත්‍රභූ, මග්ග ඵල වේ.

01. සීල විශුද්ධිය

සීල විශුද්ධිය යනු පිරිසිදු සීලයකින් යුක්‌ත වීමයි. ඒ පිරිසිදු සීලය නම් චතුපාරිශුද්ධි සීලයයි. එනම් පාතිමොක්‌ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආර්ය පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසංනිශ්‍රිත සීලය යන සතර සීලයයි.

පාතිමොක්‌ඛ සංවර සීලය යනු සමාදන්ව ගත් සීලය පිරිසිදු කර කඩ නොකොට ආරක්‌ෂා කිරීමයි.

ඉන්ද්‍රිය සංවර සීලය යනු ආයතන සයෙන් අරමුණු ගන්නා වූ කල්හි ලෝභයක්‌ හෝ ද්වේෂයක්‌ හෝ ඇතිකර නොගැනීමයි.

ආජීව පාරිශුද්ධ සීලය යනු අධාර්මික ක්‍රම වලින් සිව්පසය නොඉපදවීමයි.

ප්‍රත්‍ය සංනිශ්‍රිත සීලය යනු එනම් ඇඳුම් පැළඳුම් ආහාර පාන නිවාස බෙහෙත් යන සිව්පසය අවශ්‍යතාව උදෙසා පමණක්‌ පරිභෝග කිරීමයි.

මේ සික්‌ෂාපද සීලය ආරක්‌ෂා වීමට අමතරව තමා අතින් ඉටු විය යුතු යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටු වී තිබිය යුතුය.

එසේ සික්‌ෂාපද සීලය හා යුතුකම් වගකීම් සම්පුර්ණ වීම සීල විශුද්ධිය සම්පූර්ණ වීම නම් වේ.

02. චිත්ත විශුද්ධිය

චිත්ත විශුද්ධිය යනු ප්‍රථම දුතිය තතිය චතුත්ථ යන කිසියම් හෝ ධ්‍යානයක්‌ ඉපදවීමයි. ධ්‍යාන නොමැතිනම් ශුෂ්ක විදර්ශක වශයෙන් හෝ නීවරණ දුරු කර තිබිය යුතුය .නීවරණ දුරු කිරීමම චිත්තයාගේ විශුද්ධියයි .

03. දිට්‌ඨි විශුද්ධිය හෙවත් නාම රුප පරිච්ෙච්දය

නාම රූප යනු නාම රුප වෙන්කර ගැනීමයි. එනම් තමාගේම සිත සිතුවිලි හා ශරීරය යන කොටස්‌ නාම හා රූප යන ප්‍රභේදයන්ට වෙන් කර ගත යුතුය. තවදුරටත් පවසනවානම් පංච උපාදානස්‌කන්ධය යන්න කුමක්‌දැයි තමාගේම සිත සිතුවිලි හා ශරීරය තුළින් විමසා බැලිය යුතුය. මෙහිදී මම යනුවෙන් හඳුන්වනු ලබන්නේ තනි පුද්ගලයකු නොව කොටස්‌ කිහිපයක එකතුවක්‌ බව අවබෝධ කරගැනීම පරමාර්ථයයි. මෙය දිට්‌ඨි විශුද්ධිය වේ.

04. කංඛාවිතරණි විශුද්ධිය හෙවත් පච්චය පරිග්‍රහය

පච්චය පරිග්‍රහය යනු ඉහත පරිදි බෙදා වෙන් කරගත් නාම රූපයන්ගේ හට ගැනීමේ හේතුව සොයාගැනීමයි. ඒවා හටගැනීමේ හේතූන් නම් අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර වේ.

අවිද්‍යාව යනු

අරිහත් ඵල කෘත ඥානයෙන් චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්‌ෂ වශයෙන් අවබෝධ නොකිරීමයි. එනම් ක්‌ලේශ ධර්මයන් පිළිබඳව ප්‍රත්‍යක්‌ෂ අවබෝධයක්‌ නොමැතිවීමත්, සංස්‌කාර රැස්‌වන ස්‌වභාවය පැවතීමත්, නැවත ප්‍රතිසන්ධි ගන්නා ස්‌වභාවය පැවතීමත්, ධර්මාවබෝධය සම්පූර්ණ නොකිරීමත් යනාදී බොහෝ කරුණු ඉතිරිව පවතින බවයි. අවිද්‍යාව පවතින තාක්‌ කල් ප්‍රතිසන්ධිය සිදු වේ. එවිට නැවතද නාම රූප පහළ වේ. එබැවින් අවිද්‍යාව යනු නාම රූප දෙකම හටගැනීමේ හේතුවකි.

තෘෂ්ණාව යනු

පංචකාම වස්‌තූන් කෙරේ පවතින්නා වූ ඇල්මයි. කැමැත්තයි. පංචකාමයන් කෙරේ ඇල්ම නිසාද නැවත උප්පත්තිය සිදු වේ. නැවත උප්පත්තියේදී නාම රූප පහල වීම සිදු වන බැවින් තෘෂ්ණාව ද නාම රූපයන් හටගැනීමේ හේතුවකි.

කර්මය යනු?

මතු විපාක දෙන්නා වූ යහපත් අයහපත් ක්‍රියාවන් වේ. කර්මය නිසාවෙන් සුගති දුගති ප්‍රතිසන්ධි ලැබීම හරහා නාම රුප පහල වේ. එබැවින් කර්මයද නාම රූප හටගැනීමේ හේතුවකි.

අහාරය යනු?

මෙය දෙයාකාර වේ. නාමයට හා රූපයට වශයෙනි. නාමයට ආහාරය නම් අරමුණයි. රූපයට ආහාරය නම් කබලීකාර ආහාරයයි.

අරමුණක්‌ නැතුව සිතක්‌ පහල නොවේ. දොරටු සයෙන් කවර හෝ දොරටුවකින් ගන්න වූ අරමුණක්‌ නිසාවෙන්ම විඤ්ඤාණය පහළ වේ. විඤ්ඤාණය පහළ වීම හේතුවෙන් සෙසු චෛතසික පහළ වේ. මෙයාකාරයෙන් නාම ධර්මයන්ගේ පහළ වීම අරමුණ නිසා සිදු වේ. එබැවින් අරමුණ යනු නාමයන්ගේ ආහාරය වේ.

කබලීකාර ආහාරය නොමැතිව ශරීරය පවතින්නේ නැත. ශරීරය පවත්වාගෙන යැමට උපකාර වන්නේ කබලීකාර ආහාරය බැවින් රූපය හට ගැනීමේ හේතුවක්‌ වන්නේ කබලීකාර ආහාරයයි.

මෙලෙසට නාම රූප පරිච්ෙච්දය යටතේ දැක්‌වෙන පරිදි වෙන් කරගත් නාමරූපයන්ගේ හේතුව සොයාබැලිය යුතුය. මෙමගින් නාමරූප ධර්මයෝ යම්කිසි බාහිර බලවේගයක්‌ මගින් මැව්වේය හෝ ඉබේ පහළ වූවේය යනාදී මිත්‍යාදෘෂ්ටි බිඳ වැටෙන්නේය. මෙය කංඛාවිතරණි විශුද්ධිය වේ.

සම්මසනය

සම්මසනය යනු නාම රූප පරිච්ෙච්දයේ පරිදි වෙන්කරගත් හා පච්චයපරිගහය පරිදි හේතු සොයාගත් නාම රූප ධර්මයන් අනිත්‍ය දුක්‌ඛ අනත්ත යන ත්‍රිලක්‌ෂණයෙහි බහා බැලීමයි.

අනිත්‍යය යනු වෙනස්‌ වීමයි. ඇතිවී නැති ව යාමයි. දුක්‌ඛ යනු පීඩාවයි. අනත්ත යනු වසඟයේ පවත්වා ගැනීමට නොහැකි භාවයයි, හරයක්‌ නොමැති භාවයයි, සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නොමැති භාවයයි.

සම්මසනය කරන අතරතුරදී දස උපක්‌ලේශයෝ පහළ වේ. ඒවා ගුරුවරයකුගේ උපදෙස්‌ යටතේ විසදා ගත යුතු වේ.

05. මග්ගාමග්ග ඤාණ දස්‌සන විශුද්ධිය සහ උදයබ්බය

උදයබ්බය යනු සම්මසනයට ලක්‌ කරන්නා වූ නාම රූපයන්ගේ හට ගැනීම බිඳීම ඇසට පෙනෙන්නා සේ වැටහීමයි. මෙහි දී නාමරූප ධර්මයන්ගේ හටගැනීම හා නැතිවීම තමා ඉදිරියේ සිදුවන්නක්‌ සේ නුවණට වැටහීම සිදු විය යුතුය.

උදයබ්බය සම්පූර්ණ වීමට ප්‍රථම සම්මසනයේදී හටගත්තා වූ දස උපක්‌ලේශ ජය ගැනීම සිදු වේ. උපක්‌ලේශ ජය ගැනීම මග්ගාමග්ග ඤාණ දස්‌සන විශුද්ධියයි. මග්ගාමග්ග ඤාණ දස්‌සන විශුද්ධිය සම්පූර්ණ වීමෙන් අනතුරුව උදයබ්බය ඤාණය පහළ වේ. මග්ගාමග්ග ඤාණ දස්‌සන විශුද්ධිය සම්මසනයත් උදයබ්බයත් අතරදී සම්පූර්ණ වන්නකි.

භංගය සහ භය

භංගය යනු නාමරූප ධර්මයන්ගේ බිඳීම පමණක්‌ නුවණට වැටහීමයි. පෙර අවස්‌ථාවේදී ඇතිවීම නැතිවීම දෙකම වැටහුණද මෙහිදී නැතිවීම පමණක්‌ වැටහේ. තවද බාහිර සියල්ල බිඳී යන බව වැටහීමෙන් අනතුරුව ස්‌වකීය චිත්තයද බිඳී යන බව නුවණට වැටහෙයි. එහිදී ලොව තමා සතු වූ එකම වස්‌තුව වූ සිත තමාට අහිමි වන බව තමන්ටම වැටහෙන නිසා තමා සංසාරය තුළ පිළිසරණක්‌ නොමැත්තෙකු, අසරණ වූවෙකු යෑයි සිතට වැටහේ. එකල්හි ඇතිවන්නා වූ බිය විදර්ශනාවේදී භය යනුවෙන් හැඳින්වේ.

ආදීනවය

ආදීනවය යනු පිළිසරණක්‌ නොමැති සංසාරයෙහි නැවත නැවත උප්පත්තිය ලැබීම වශයෙන් නිමක්‌ නොමැති ජරා මරණ දුක්‌වලට මුහුණ දීමට සිදුවන බව වැටහීමයි.

නිබ්බිදාව

නිබ්බිදාව යනු එබඳු සංසාරයෙහි නොඇලිය යුතු බව අවබෝධ වීමයි.

මුඤ්චිතුකම්‍යතාව

මුඤ්චිතුකම්‍යතාවය යනු එකී ජරා මරණ ගෙනත් දෙන්නා වූ නොඇලිය යුතු වූ තුන් ලෝකයෙන් වෙන්වීමේ මිදීමේ ගැලවීයැමේ කැමැත්තයි.

පටිසංඛානුපස්‌සනාව

පටිසංඛානුපස්‌සනාව යනු මෙතෙක්‌ කරන ලද විදර්ශනාව නිවැරදි දැයි නැවත විමසා බැලීමයි.

සංඛාරුපෙක්‌ඛාව

සංඛාරුපෙක්‌ඛාව යනු සියලු සංස්‌කාරයෝ අනිත්‍ය දුක්‌ඛ අනත්ත වන්නේ යෑයි අවබෝධ වීම නිසා සංස්‌කාරයන් කෙරෙහි ඇලීම ගැටීමෙන් වෙන්ව මැදහත්ව වාසය කිරීමයි.

06. පටිපදා ඤාණ දස්‌සන විශුද්ධිය හා අනුලෝමය

අනුලෝමය යනු මෙතෙක්‌ කරන ලද්දා වූ විදර්ශනාව නිවනට අනුලෝම වීමයි. භංගයේ පටන් අනුලෝමය දක්‌වා ඇත්තේ පටිපදා ඤාණ දස්‌සන විශුද්ධියයි.

ගෝත්‍රභූ

ගෝත්‍රභූ යනු පෘතග්ජන ගෝත්‍රය ඉක්‌මවීමයි.

07. මාර්ගය හෙවත් ඤාණ දස්‌සන විශුද්ධිය.

මාර්ගය යනු සෝවාන් ආදී මාර්ග සිත් පහළ වීමයි. මාර්ග සිතෙන් කෙළෙස්‌ ප්‍රහාණය සිදු වේ. කෙළෙස්‌ ප්‍රහාණය වීම ඤාණ දර්ශනය සම්පූර්ණ වීමයි.

ඵල

ඵල යනු සෝවාන් ආදී ඵල සිත් පහළ වීමයි.

මේ විදර්ශනාව නිර්වාණය පිණිස පවතින්නා වූ එකම මාර්ගයයි මෙය ප්‍රායෝගිකවම භාවිත කළ යුතු මාර්ගයකි.

ථෙරවාදී ආර්ය එකමුතුව Facebook පිටුවෙන් උපුටා ගැනුණකි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.