හා... හා... අපිත් දිසාපාමොක්‌වරු නොවෙද?
ජාතක පොතෙන් මූල පරියාය ජාතකය

සුගත් වීරසූරිය

බරණැස්‌ නුවර වැසි සකලවිධ සත්වගට ඉමහත්වූ සොම්නසක්‌ උදාකළ වසන්තය තවමත් අහවරවී නොතිබුණේය. එහෙයින්ම එහි ගහකොළ වැල මෙන්ම වැව් තාවුලුද සොඳුරු විසිතුරු බවින් පිරි නෙක මලින් පිරී පිපී තිබුණේය. එමෙන්ම ඒ අසිරිමත් ගහකොළ වදුලු මලින් පමණක්‌ පිරී තිබුණා නොවේ. අනේකවිධ වූ පලින්ද ගැවසී සිටියේය. ගහකොළවලම හටගෙන,ඒවායෙහි පැසී, ඉදී සුවඳ පැතිරී ගිය ඒ පලවැල දොaතින් ගෙන කෑ සියොත් සිව්පා සමූහයෝද මෙදා බරණැස්‌ පුරවරය තුළ කාලය ගත කළේ පුදුමාකාර සතුටකිනි.

මෙකලම අප මහ බෝසතාණන්වහන්සේ ගාන්ධාර දේශයේ උපත ලබා සිටියෝය. කුඩා බිළිඳකු ලෙස ඉපදුණු උන්වහන්සේට ද අනෙක හැම දෙයකටම එක ලෙස බලපෑ අනියත දහම ඒ එක සැටියෙන්ම බලපෑවේය. උන්වහන්සේ මවුකුස තුළ පිළිපන් සැටියේම ඒ අනියත දහම විත් උන්වහන්සේගේ ජීවිතය අවුරාගත්තේය. අවුරාගෙන ජීවිතය තදබදකරගෙන සිටියේය. මහ බෝසතාණන් වහන්සේ බිළිඳු දිවියෙන්, ළදරු ජීවිතයටත්, ළදරු ජීවිතයෙන් තරුණ ජීවිතයටත් එතැනින් තලතුනා කාලයටත් පැමිණියේ එදා දිවි අවුරාගත් ඒ අනියතභාවයෙහි නොයෙක්‌වූ පහරදීම් හමුවේය. එවන්ව ජීවන විපරීතයන් ගණනාවක්‌ම මැදින් සිය ජීවන ගඟුලට හුදෙකලාවේම ගලා යන්නට ඉඩදුන් මහ බෝසතාණන් වහන්සේ දැන් සිටින්නේ තරමක්‌ තලතුනා අවධියේය. සැබැවින්ම ඒ තක්‌සලාවේ අසහාය දිසාපාමොක්‌ ඇදුරුවරයා වශයෙන්ය.

ඇදුරුවරයකු වශයෙන් දිසාපාමොක්‌ නම්වූ මේ සොඳුරු ඇදුරා තුළින් දිවමන් වූයේත් බෙහෙවින්ම අසිරිමත් ස්‌වරයකි. එනම් පළමුකොට හේ ඇදුරකු වශයෙන් දැනගත යුතු නන්විධ දැනුම් සම්භාරයම ප්‍රගුණ කොටගෙන තිබුණේය. ඊළඟට හේ තමන් එලෙසින් සපුරාගත් හැම දිනුමක්‌ හා ශිල්පයක්‌ම සිසු කැළට නොමසුරුව දන් දෙන්නටද පුරුදුවී සිටියේය. හුදෙක්‌ම ඒ ඔහුවත කරුණා සයුරු දිය රැස්‌ කළ තැනක්‌ද වූ නිසාය. සැබෑ ගුරුවරයකු තුළින් විද්‍යමාන විය යුතු අව්‍යාජ වූ ගුරු ජීවනයත් මෙයම නොවේද?

එහෙත් අභාග්‍යයක තරමෘ අනෙකුත් සියලුම ශිල්ප ප්‍රගුණ කර ගත් ශිෂ්‍ය සමූහයාට දිසාපාමොක්‌ ඇදුරුව රයාගේ මේ මහා සුන්දර මිනිස්‌කම් සමූහය නම් පිහිටියේම නැත. කරුණාව, මෛත්‍රිය, උපේක්‌ෂාව, නිහතමානය හා අනුකම්පාව ආදී කොටගත් උතුම් ගුණාංග ඔවුහු දිවියේ පෑලදොරින්ම පලායන්නට ඉඩ හැරියෝය.ඒ වෙනුවට ඔවුන් තුළ ඇතිවූයේ ආත්මාර්ථකාමයයි. අතිමානය හා ගුණමකු භාවයේත් කුරිරුම ස්‌වභාවයයි. ඒ අනුව ස්‌වකීය වූ ජීවිතවලට වැඩෙන්නට ඉඩ දුන් ඔවුන් විටින් විට කතිකා කළේ මෙලෙසින්ය. 'ඉඳින් යහළුව, අපත් දැන් අපේ ඇදුරුවරයා දන්නා සියලුම දේ දන්නවා නොවේද? හා... හා... ඉදින් අපිත් දැන් කදිම දිසාපාමොක්‌වරුන් පිරිසක්‌ තමයි. එහෙයින් අපේ ඇදුරුතුමාත් දැන් ඉන්නේ අපේම තත්ත්වයේයි.මින් පසුව අප ඔහුට ගරු සත්කාර කරන්නට වුවමනා නැහැ.'' සැමවිටම ඔවුහු කීහ. සැමවිටම ඔවුහු කොක්‌ හඬදී සිනාසුණහ.

සිය පණට මෙන් ආදරය කළ ශිෂ්‍යයන් තුළින් මතුව ආ මේ මහ වෙනස කුමක්‌දැයි වටහා ගන්නට අප්‍රමාණ බුද්ධියකින් මුහුකුරා ගිය දිසා පාමොක්‌ ඇදුරුවරයාට අපහසු නොවීය. තම සිසු දරුවෝ වෙනදා මෙන් තමන් දකින විට හුනස්‌නෙන් නෙනැඟිටිති. තමාට හුණු පැන් මෙන්ම සිහිල් පැන්ද නොගෙනෙති. ඒ තබා දැන් දැන් ඔවුන් තමා අමතන්නේද නැති තරම්ය. නිසල දිය ගැඹුරුය. නිහඬය. එමෙන්ම ඇදුරුවරයාගේසිත් හසරද ඒ කිසිදු දෙයකින් නොසැලුණේය. නොතැවුණේය. ඒ වෙනුවට ඇදුරුවරයා කළේ තම මෝඩ සිසු කැළතට අනුකම්පාව හා ආදරයම පෑම පමණකි. ඇත්තෙන්ම ඒ ආදරය හා අනුකම්පාව කොතෙක්‌වී දැයි කියතොත් එය දිය ඌලකින් නොනැවතී ගලාහැලෙන නිර්මල දිය දහරක්‌ම මෙන් වීය. ඇදුරුවරයා මේ කුළුණුවන් සිතැඟි සරුන් ජීවිතය ගෙවන අතරේම තවත් දෙයක්‌ බලාපොරොත්තුවෙන් සිටියේය.

එනම් ශිෂ්‍යයන්ගේ අඥන තත්ත්වයෙහි තරම කොතෙක්‌දැයි ඔවුන්ටම අවබෝධ කර දෙන්නට ඇදුරුවරයා කදිම මොහොතක්‌ පැමිණෙන තෙක්‌ද ආසාවෙන් බලා සිටියේය.

කාලයේ ගඟ හෙමි හෙමින් ගලාබැස්‌සේය. හිරු මැරුණි. අහස බටහිර දිග රතු රැහැනින් සැරසිණි. එක යායට තරුමල් පූදින්නට පටන් ගති. නෙත මෙන්ම සිතද අපමණක්‌ සැනසූ මේ සැඳෑ කාලයේ අසිරි බලමින් සිටි දිසාපාමොක්‌ ඇදුරුවරයා ගසක්‌ යට වැතිර සිටියේය. මේ අතරින් ගමන් කරමින් සිටි සිසු පිරිසට මෙදකින්නට ලැබිණි. එක්‌ මාන්නාධික ශිෂ්‍යයකු සරදම් සිනහවක්‌ පෑවේය. එසැණින්ම මේ ගසේ දැන් අරටුවක්‌ නැහැ' යි කී හෙතෙම ඇදුරුවරයා පිටදී සිටි ගසට හෙමින් තට්‌ටුවක්‌ද දමා යන්නට ගියේය. ඇදුරුවරයාට අසංවර ශිෂ්‍යයා වක්‌ මගින් කී දේ වැටහිණි. එතැනදී නම් ඔහුගේ සිතට ලොකු වේදනාවක්‌ දැනුණේය. එතෙකුදු වුවත් එසැණින්ම අනන්ත සංසාරයේ පටන් පුරාගෙන ආ මහා කරුණාවේ සිහිල් සිතිවිලි සරින් ඇදුරුවරයාගේ ඒ සියුම් වේදනාව යටපත් විණි.

සඳේ තනියට ඈත අහසේ පුංචි තාරකා පායා තිබිණි. තක්‌සලා බිම කෙළවරෙහි වූ විසල් විල තුළ සුනිල් දිය පිට පිපුණු සුදු නෙළුම්වලින් මිහිරි සුවඳ අවට වාතලය බර කළේය. දිසාපාමොක්‌ මහ ඇදුරුවරයගේ සිත බෙහෙවින්ම නිශ්චල වී තිබිණි. එනමුදු ඒ වන විටත් ඔහුතේ සිත තුළ පැවතියේ කෙසේ හෝ තම මෝඩ සිසු දරු පිරිස මාන්නයේ විනාශයෙන් බේරාගත යුතුය යන කරුණාබරිත සිතිවිල්ලයි.

එදින රාත්‍රිය බෙහෙවින්ම නිශ්චල විය. තක්‌සලාව පිහිටි සුවිසල් භූමි භාගයෙන් ඔබ්බෙහි වූ ඈත මහා වනය නිසොල්මනෙහි බලා සිටියේය. තොරතෝංචියක්‌ නොමැතිව එතෙක්‌ එම මහ වන ප්‍රවාහය කළඹ කළඹා හමාගිය රුදු සුළඟ නතරවී තිබිණි. ඝන කළුවරට බියවී ගත් රැහැයියන් එතෙක්‌ මෙතෙක්‌ අඩක්‌ ගයා නිම කළ ශෝක ගීතය සදහටම නවතා දමා තිබිණි. මුළු මහත් බරණැස්‌ පුරවරයෙහිම වාසය කළ ජනතාවත් ජීවත් වීමේ සටන ජය ගැන්ටම කළ අනේක ප්‍රකාර දුක්‌ත ක්‍රියාකාරකම්ද හෝරා ගණනාවක්‌ ගතවෙන තෙක්‌ නවතා දමා ඇත. දිසාපාමොක්‌ ඇදුරුවරයාගේ කුටිය තුළද මැස්‌සකුගේ පමණවත් හඬක්‌ නොවීය. එහෙයින්ම ඉදි කටු තුඩක්‌ බිමවැටුණද එහි ඒ ඉසියුම් ශබ්දයද ඇසෙන තරමේ නිහඬතාවක්‌ අවට හැම තැනෙකම තිබුණේය.

තම මෝඩ ශිෂ්‍යයන් පන්සිය දෙනා තම කුටිය අභිමුවට ගෙන්වන්නට දිසාපාමොක්‌ ඇදුරුවරයා කටයුතු කළේ මේ අතරවාරයේය. ඈත මෑත පරිසරය සිසාරා මෙතෙක්‌ පැවැති ඝන නිහඬතාව බිඳිණි. පන්සියයකටත් වඩා අධික වූ ශිෂ්‍ය පිරිසගේ මඳ මඳ වූ ඝෝෂාවෙන් මේ ශීත රාත්‍රියේ නිහැඬියාවත්, පාළුවත් නැතිවී ගියේය. ශිෂ්‍ය පිරිස තුළ ඇතිවී තිබුණේ පුදුමාකාර කුතුහලයකි. ඒ ඇදුරුවරයා තමන් හදිසියේම මෙතෙක්‌ කැඳවූයේ කුමකටදැයි දැන ගැනීම සම්බන්ධයෙනි. නිහඬ බව බිඳිණි. ඇදුරුවරයා සිය මියුරු හඬ අවදි කළේය. ගාථාවක්‌ කීවේය. මිහිරිම හඬක්‌ ලබන්නට ඈත සංසාරයේ පටන් මහ බෝසතකු වී පුරාගෙන ආ පෙරුම් නිසාදොa ඒ ගාථා හඬෙහි දොaංකාරය දුර කඳු අතර ද රැඳෙන තෙක්‌ දිවගිය මියුරුම හඬක්‌ වී. වැඩි වේලාවක්‌ ගතවූයේ නැත. සත්දිනක්‌ ඇතුළත එම ගාථාවේ තේරුම තමන් වෙත දක්‌වන්නැයි ශිෂ්‍ය පිරිවරට නියම කළ දිසාපාමොක්‌ ඇදුරුවරයා ඉනික්‌බිති ඔවුන් පිටත්කර හැරියේය.

කාලය, තමනුත් අන් සියලු සත්වයනුත් කා දමයි. වනසයි. එබඳු ස්‌වභාවයක්‌ ඇති කාලය අනුභව කොට විනාශ කරන යම් කෙනෙක්‌ වේද? යන්න ගාථාවෙන් විමසූ අදහස විය. ඒ නම්කදිම ප්‍රශ්නයක්‌

නොවේද? එය එතරම්ම ගැඹුරුය. අර්ථවත්ය. පන්සියයක්‌ ශිෂ්‍යයෝ මේ ගාථාවේ තේරුම සොයා ගන්නට සත් දවසක්‌ මුළුල්ලේම උත්සාහ කළෝය. එහෙත් ඔවුන්ගේ ඒ සියලු උත්සාහයන්ම ගලා යන ගඟට කැපූ දර මෙන් අපතේ ගියේය. ගාථාවේ තේරුම තබා එහි අරුත් මාත්‍රයකුදු සොයා ගැන්මට ඔවුන්ට නොහැකි විය. අන්තිමේදී ඔවුන්ට දිසාපාමොක්‌ ආචාර්යවරයා අභිමුවට යන්නට සිදු වූයේ හිස්‌ අතින්මය.

''පින්වත් ඇදුරුතුමනි, ඔබතුමන් අපට පැවැසූ ගාථාවේ අර්ථය සොයා ගන්නට අප සත් දිනක්‌ මුළුල්ලේ වෑයම් කළා. අනේ ඇදුරුතුමනි, එහෙත් අපට එහි තේරුම් මාත්‍රයක්‌වත් සොයාගන්නට නොහැකි වුණා.

මේ මෙබඳු මහා අසරණභාවයකට අපපත්වූ මුල්ම අවස්‌ථාවයි. පෙර අවස්‌ථාවලදී නම් ඔබතුමන් අපට සෑම ගැටලුවක්‌ම හොඳින් විස¹ ගන්න කරුණාවෙන් පිහිට වුණා. ඉදින් පින්වත් ඇදුරුතුමනි, එමෙන් මේ වතාවේදීත් ඔබතුමන් අපට පිහිට වෙන්නැ' යි දිසාපාමොක්‌ ඇදුරුවරයා ළඟට ගිය ශිෂ්‍යයෝ බැගෑපත් ස්‌වරයෙන් ඉල්ලා සිටියහ. ශිෂ්‍යයන්ට මහත්වූ කරුණාවක්‌ පෑ ඇදුරුවරයා ගාථාවේ අර්ථය පැහැදිලි කරන්නට පටන් ගත්තේය.

'පින්වත් දරුවනි, එසේ නම් අසාගන්න. හොඳින්ම අසාගන්න. කාලය මහ පුදුමාකාර දෙයක්‌. එය තමන් ඇතුළු හැම සත්වයකුම කා විනාශ කර දමනවා. එතෙකුදු වුවත් අර්හත්භාවය ලබාගෙන සංසාර සාගරයෙන් එතෙර වූ මහරහතන් වහන්සේලාට නැවත උත්පත්තියක්‌ නැහැ. ඒ නිසාම උන්වහන්සේ යළි යළිත් මේ නපුරු කාල රාමුවට පැමිණෙන්නේද නෑ. එනම් උන්වහන්සේලා යළිදු කවරදාකවත් කාල රාමුවට පැමිණෙන්නේද නැහැ. එහෙයින්ම මහ රහතන් වහන්සේලා කාලය නමැති සාංසාරික බන්ධනාගාරයෙන්ද මිදුණාහුම වෙති. එය බිඳ විනාශ කළෝම වෙති.''

නුඹලාට තල්ගෙඩි වැනි ඔළුගෙඩි තිබුණට මේ සරල එහෙත් සුගැඹුරු ගාථා අර්ථයවත් වටහාගන්නට බැරිවුණා නේද? දිසාපාමොක්‌ ඇදුරුවරයා ශිෂ්‍යයන් සියුම් උපහාසයට ලක්‌ කළේය. ''එපමණක්‌ද නොවෙයි. මාන්නයෙන් හිස උදුම්මා ගත් නුඹලා ආචාරීන්ගේ අරටුවක්‌ නැතැයිද ඇනුම් පදත් කීවා''. ඇදුරුවරයා වදන් ඇසූ සිසුන් තුළ තමන් ගැනම මහත් කනගාටුවක්‌ හා තැවුලක්‌ද හටගැනිණ. ඔවුහු ඇදුරුවරයාට වැඳ සමාව ඇයෑද සිටියේය.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.