රූපය
පිරිසිඳ නො දන්නා බව

ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති,
රාජකීය පණ්‌ඩිත, ශාස්‌ත්‍රපති, පූජ්‍ය කොත්මලේ කුමාරකස්‌සප හිමි

II කොටස

ඊට පස්‌සෙ අපි නිරෝධය ගැන, නිරෝධ සත්‍යය ගැන විමසමු. නැති වීම සහ නිරෝධය කියල කාරණා දෙකක්‌ තියෙනව. නැති වීම කියන්නෙ ඇති ධර්මතාවක නැති වීම කියන එක. මේ මේසෙ නැති වෙන විට නැති බව අපිට ප්‍රකට කරගන්න පුළුවන්. මේසෙ නැති බව ප්‍රකට කරගත්ත කියල අපිට ඇති මේසයක නැති බවයි ප්‍රකට වෙලා තියෙන්නෙ. කැඩිල බිඳිල අනිත්‍ය වෙලා නැති වෙලා යන ධර්මතාවක්‌ විදියට දකින්න පුළුවන්. හැබැයි ඒක තිබුණු මේසෙ නැති බව.

නිරෝධය කියන තැන හැම වෙලාවක ම පනවන්නෙ මේසෙ හමු වෙන බවේ ම, මේසෙ ලැබෙන බවේ ම නැති වීමක්‌ තියෙන්නට ඕන කියන එක. අපිට අනිත්‍යය බලන්න වුණත් මේසයක්‌ හම්බ වෙන්නෙ නැති වෙන්න ඕන. ඒකට කිව්ව නිරෝධ සත්‍යය. ඒ නුවණ ඇති කරගන්න ප්‍රතිපදාව පැනෙව්ව ආර්ය අෂ්ටාංගික මාර්ගය.

ආර්ය අෂ්ටාංගික මාර්ගයෙ පළමුවැනියට ම තියෙන අංගය මොකක්‌ ද? සම්මා දිට්‌ඨිය. සම්මා දිට්‌ඨිය කියල කියන්නෙ ඇත්ත ඇති හැටියට දැකීම. මොකක්‌ ද සම්මා දිටඨිය කියන්නෙ?

මිච්ඡා දිට්‌ඨිං මිච්ඡා දිට්‌ඨීති පජානාති. මිච්ඡා දිට්‌ඨිය මිච්ඡා දිට්‌ඨිය හැටියට දන්නව. මිච්ඡා දිට්‌ඨිය මිච්ඡා දිට්‌ඨිය හැටියට දැනගෙන මිච්ඡා දිට්‌ඨිය දුරු කරන්න උත්සාහ කරනව. ඒ උත්සාහය සම්මා වායාමය. මිච්ඡා දිට්‌ඨිය මිච්ඡා දිට්‌ඨිය හැටියට දැනගෙන සිහිය පවත්වනව මිච්චා දිට්‌ඨිය ඇති නො වන විදියට, ඒක සම්මා සතිය.එතකොට මේ සම්මා දිට්‌ඨි, සම්මා වායාම, සම්මා සති කියන අංග තුන අනෙකුත් මාර්ග අංගවලට හැම එකකට ම උපකාර කරන ධර්මතාවයන්. එතකොට මොකක්‌ ද අපිට තියෙන මිච්ඡා දිට්‌ඨිය? සම්මා දිට්‌ඨිය ඇති කරගත යුතු, සම්මා දිට්‌ඨිය ඇති කරගැනීමෙන් ප්‍රහානය විය යුතු මිච්ඡා දිට්‌ඨිය මොකක්‌ ද?

ඒ තමයි දුක්‌ඛෙ අඤ්ඤානං කියපු තැන. දුක පිළිබඳව නො දන්නවා කියපු තැන. එතකොට අපි දුක ගැන කතා කළා ආකාර දෙකකින්. (කලින් පළ වූ ලිපපිය හා බැෙ`ද්.) ඒකෙන් එකක්‌ අපිට පැහැදිලියි. අපි දන්නවා. අනික්‌ එක අපිට ප්‍රකට නැති ප්‍රකට කරගත යුතු පිරිසිඳ දැකිය යුතු මට්‌ටමේ දුකක්‌. එතකොට අපිට සංත්තෙන පංච උපාදානක්‌ඛන්ධා දුක්‌ඛා කියල පෙන්නුව නම් කොටින් ම පංච උපාදානස්‌කන්ධය දුකයි කියල පෙන්නුව නම් මෙන්න මේ පංච උපාදානස්‌කන්ධ මට්‌ටමේ දුක. අද අපිට පංච උපාදානස්‌කන්ධය හමු වෙන විටත් ඒ බව නො දන්නා එකමයි අපේ තියෙන මිච්චා දිට්‌ඨිය වෙන්නෙ. මේ පංච උපාදාන ස්‌කන්ධ මට්‌මෙන් හම්බ වෙන දුකේ ප්‍රහානය, නැති නම් මේ පිළිබඳව පිරිසිඳ දැකීම තමයි අද අපි කළ යුත්තෙ.

ඒකයි පෘතග්ජන කෙනෙක්‌ සෝවාන් වෙන්නත්, සෝවාන් කෙනෙක්‌ සකෘදාගාමී වෙන්නත්, සකෘදාගාමී කෙනෙක්‌ අනාගාමී වෙන්නත්, අනාගාමී කෙනෙක්‌ අරිහත්වයට පත් වෙන්නත් මොකද කරන්න ඕන මේ පංච උපාදානස්‌කන්ධයේ උදය වැය ම බැලිය යුතු ය කියන තැනින් පෙන්නන්නෙ.

එතකොට අද අපිට ප්‍රතිපදාව හැටියට, සම්මා දිට්‌ඨිය හැටියට පවත්වන්න තියෙන්නෙ තණ්‌හාව නැති කරන එක නෙමෙයි. තණ්‌හාවට හේතුව නැති කරන එක. තණ්‌හාව ඇති වුණේ ස්‌කන්ධය ස්‌කන්ධය හැටියට නො දන්නාකම නිසාත්, පංච උපාදානස්‌කන්ධය පිරිසිඳ නො දන්නාකම නිසාත්. නාම රූප දෙක එකට එකතු කරල එකට බැඳල එකට ගැටගහල ගන්න අපේ වැරැදි දැකීම වැරැදි දෘෂ්ටිය නිසයි අපිට තණ්‌හාව ඇති කරගන්න හේතු වුණේ.

නැත්නම් තව විදියකට කිව්වොත් දුක එන විදියට තණ්‌හාව ඇති වුණේ අපිට දකින්න පුළුවන් මේසයක්‌ හම්බ වුණු නිසා. බාහිරින් සත්ත්ව පුද්ගලභාවයකින් ලෝකෙ තුළ දකින්න පුළුවන් මනුස්‌සයො, දකින්න පුළුවන්, ගස්‌ ගල් ගෙවල් දොරවල් යාන වාහන, අල්ලන්න පුළුවන් වස්‌තු, බාහිර ලැබුණු නිසයි අපිට දුක කියන එක ඇති වෙන්න හේතුව. නැති නම් සමුදය කියන එක ඇති කරගත්තෙ.

තියෙන වස්‌තුවටයි ඇලුණෙ. තියෙන වස්‌තුවටයි තණ්‌හා කළේ. තියෙනව කියල හිතාගෙන හිටපු වස්‌තුව ම වෙනස්‌ වෙනකොට අපිට දුක කියන එක ආවා. අන්න ඒ විදියට හදාගෙන විඳපු දුක ඇති කරගත්ත අපට පෙන්නුව දුක හදාගත්ත තැන පිරිසිඳ දකින්න, ඇත්ත ඇති හැටියට දකින්න කියල. එතකොට ඒ ඇත්ත ඇති හැටියට දකින්න කියල පෙන්නපු තැන දි අපිට තියෙනව පංච උපාදානස්‌කන්ධ කියන මට්‌ටමින් පිරිසිඳ දකින්න.

පංච උපාදානස්‌කන්ධ මට්‌ටම පිරිසිඳ දකිනව කියල කියනකොට අපිට අද ස්‌කන්ධ මට්‌ටම නැති නම් පංච උපාදාන ස්‌කන්ධ මට්‌ටම කියන එක අපි තේරුම් ගන්නට ඕන.

පංච උපාදානස්‌කන්ධ මට්‌ටම කියල කියන්නේ මොකක්‌ ද? අද අපේ ජීවිතය වුණ ආයතන ටික එකට එකක්‌ ගැටගහල එකට එකක්‌ බැඳල ඇති කරගෙන තියෙන මේ ධර්මතාවට කිව්වා පංච උපාදානස්‌කන්ධ ලෝකය කියල. මේකට පංච උපාදානස්‌කන්ධය කියල පනවන්න හේතු වුණේ මොකක්‌ ද? රූපය රූපයේ කෘත්‍යයෙනුත්, නාමය නාමයේ කෘත්‍යයෙනුත් නො දන්නාකම නිසා. නො දන්නාකම නිසා නාම රූප දෙක ම එකතු කරල අද අපි හදාගෙන විඳින ලෝකයක්‌ තියෙනව මෙන්න මේ ලෝකය අපි පිරිසිඳ දැකිය යුතුයි.

අද අපිට දකින්න පුළුවන් වස්‌තුවක්‌ ලෝකෙ තුළ තියෙනව කියල කියන කොට එතන තියෙන්නේ ම රූපය පිරිසිඳ නො දන්නා බව. මේසය කියන එකක්‌ බාහිර දකින්න පුළුවන් බවට ඇති සිද්ධිය ගත්තොත් අපි රූපය කියන එක පිරිසිඳ නො දන්නාකම, රූපය ඇත්ත ඇති හැටියෙන් නො දන්නාකම කියන එකයි මේ තුළ තියෙන්නෙ. මේ කාරණාව තේරුම්ගන්න ඕන නිසා ඉදිරියටත් අපි රූපය ගැන ටිකක්‌ කතා කරමු.

රූපය රූපය අන්තයෙන් තේරුම්ගන්නව කියල කියනකොට අපිට හැම වෙලාවක දි ම රූපය කියන එක දිට්‌ඨෙ දිට්‌ඨමත්ථං කියන ස්‌වභාවයකින් ප්‍රකට වෙලා තියෙන්නට ඕන. දිට්‌ඨෙ දිට්‌ඨමත්ථං කියනකොට ඒක දකින්න එපා මේසය මේසය විදියට දැකල ඒ පිළිබඳව මෙනෙහි නො කර ඉන්න බව දිට්‌ඨෙ දිට්‌ඨමත්ථං කියල. මේසය මේසය විදියට දැකීම තුළ තියෙන්නෙ දිට්‌ඨෙ දිට්‌ඨමත්ථං සහ විඤ්ඤාතෙ විඤ්ඤාතමත්ථං කියන කාරණා දෙක ම පිරිසිඳ නො දැක එකට කරල ඇති කරගත්ත ඵලයක්‌. මේසය කියන එක බාහිර ව හමු වන බවට දකින එක තුළ තියෙන්නෙ දිට්‌ඨෙ දට්‌ඨමත්ථං සහ විඤ්ඤාතෙ විඤ්ඤාතමත්ථං කියන එක පිරිසිඳ නො දන්නාකමමයි.

අපිට බාහිර තියෙන මේසෙ ගැන නො හිත හිටියයි කියල දිට්‌ඨෙ දිට්‌ඨමත්ථං කරගෙන මේ ගැන විඤ්ඤාතෙ විඤ්ඤාතමත්ථං නැති ව ඉන්න පුළුවන්කමක්‌ ඇත්තෙ නැහැ. මේසෙ බාහිර ව හම්බ වෙනව කියන එක තුළ ම තියෙන්නෙ දිට්‌ඨෙ දිට්‌ඨමත්ථං හා විඤ්ඤාතෙ විඤ්ඤාතමත්ථං කියන මෙන්න මේ කාරණා දෙක පිරිසිඳ නො දැක එකට එකතු කරල එකට ගැටගහගත්ත මට්‌ටම.

එතකොට මොකක්‌ ද දිට්‌ඨෙ දිට්‌ඨමත්ථං කියල රූපය පිළිබඳව පැනෙව්වෙ? රූපය දැකීම දැකීමක්‌ විතරමයි කියල පැනෙව්වෙ? චක්‌ඛුංච පටිච්ච රූපෙච උප්පඡ්Cධති චක්‌ඛු විඤ්ඤාණං තිණ්‌ණං සංගති ඵස්‌සො ඵස්‌ස පච්චයා වෙදනා.

අපි අහල තියෙනව ඇහැ, රූප, චක්‌ඛු විඤ්ඤාණ කියන මේ තුන්දෙනා ගෙ එකතුව ස්‌ඵර්ශයයි. ස්‌ඵර්ශය නිසා වේදනාවක්‌ හටගන්නව, යං වේදෙති තං සංජානාති. යමක්‌ විඳිනව නම් එය හඳුන්වනව කියල මෙන්න මේ කාරණා ටිකක්‌.

එතකොට මෙතන ඇහැ රූප චක්‌ඛු විඤ්ඤාණ කියන ටිකේ එකතුවක්‌ ගැන කතා කළා නම් මෙන්න මෙතනට කිව්ව දිට්‌ඨෙ දිට්‌ඨමත්ථං අවස්‌ථාව කියල. දැකීම දැකීමක්‌ විතරයි කියන අවස්‌ථාව. දැකීම දැකීමක්‌ විතරයි කියන තැන දි දැකීම තුළ මනුස්‌යො ඉන්න පුළුවන්කමක්‌ ඇත්තෙ නැහැ. දැකීම තුළ ගස්‌ගල් ගෙවල් දොරවල් තියෙන්න පුළුවන්කමක්‌ ඇත්තෙ නැහැ. දැකීම කියන එක දැකීම් මාත්‍රයක්‌ ම විතරයි.

එතකොට රූපයට පුළුවන්කම තියෙන්න වර්ණ සටහනක්‌ විදියට පෙනී සිටීම විතරමයි. ඇහැට පුළුවන්කම තියෙන්නෙ වර්ණ සටහනක්‌ ගෝචර කරගන්න බව කරන්න විතරමයි. ඇහැට පුළුවන් ද වර්ණ සටහනක්‌ විඳින්නෙ දැනගන්නෙ නැති ව වෙනත් දෙයක්‌ දැනගන්න? ඇහැට පුළුවන්කම ලැබෙන්න ම වර්ණ සටහන කියන එක ගෝචර කරගන්න නැතිනම් වර්ණ සටහන කියන එක ඇති කරගන්න එක විතරමයි.

රූපය පෙනෙන ගතියෙන් ම දකින්න ඇහේ ඇති වීම කියන එක. ඇහැ හටගන්න බවින් ම දකින්න රූපයේ පැවැත්ම කියන එක. රූපයේ හටගැනීම කියන එක. ඇහෙන් තොර ව රූපයක්‌ වත් රූපයෙන් තොර ව ඇහැක්‌ වත් පනවන්න පුළුවන්කමක්‌ ඇත්තෙ නැහැ. ඇහැ පනවනව නම් පනවන්න වෙන්නෙ රූපය කියන එක පෙනෙන බවින් මයි. රූපය පෙනෙන බව පනවන්න වෙන්නෙ ඇහැ කියන එකේ හටගැනීමෙන් මයි.

මේ කාරණාවට හොඳට හිත තියන්න. අපිට ඇහැ කියල ඔප්පු කරන්න වෙන්නෙ ඇහැ තියෙනව පේනව කියල කියන්න වෙන්නෙ මොකක්‌ තුළ ද? ඇහැට රූප ගැටෙනව කියන එක තුළ. පේන නිසයි ඇහැ තියෙනව කියල කියන්නෙ.

එතකොට රූපය කියන එක තියෙන බව තුළ ඇහැටත් ඇහැට සාපේක්‌ෂව ඇහැ තියෙනව කියන්නෙ ම රූපය තියෙනව කියන බව මයි. එතකොට රූපයට කරන්න පුළුවන්කම තිබුණේ වර්ණ සටහනක්‌ විදියට ඇස්‌ හමුවට එන එක විතර ම නම්, ඇහැට කරන්න පුළුවන්කම තිබුණෙත් වර්ණ සටහනක්‌ ගෝචර කරගන්න එක විතර ම නම් වර්ණ සටහන තුළ, පාට තුළ මනුස්‌සයො, ගෙවල් දොරවල් යාන වාහන තිබුණ ද? නෑ. පාට තුළ නො තිබුණු මනුස්‌සයො, ගස්‌ගල්, ගෙවල් දොරවල් කියල අපි යමක්‌ විඳිනව නම් ඒ ටික ඔක්‌කොම මනෝමය පැත්තෙන් එකතු කරගෙන විඳින ටිකක්‌.

දිට්‌ඨෙ දිට්‌ඨ මත්ථං කියන එක තුළ අපිට ඇති වෙන්න ඕන කාරණය තමයි පොදු ධර්මතාවක්‌ විදියට නැතිනම් මනුස්‌සයො, ගස්‌ගල්, ගෙවල් දොරවල් කියන නිමිති නැති වර්ණ සටහන් මාත්‍රයක්‌ විතරක්‌ කියන තැන හම්බවෙන්න ඕන.

ඉතින් මෙන්න මේ කාරණාව තුළ අපිට දිට්‌ඨෙ දිට්‌ඨමත්තං කියල පනවනව නම් දැකීම දැකීම් මාත්‍රයක්‌ විතරයි කියල පනවනව නම් පනවන්න වෙන්නෙ ඇහැ, රූප, චක්‌ඛු විඤ්ඤාණ කියන ටික එකතු වුණු අවස්‌ථාවට විතරමයි.

මෙතන ඉන්න හැමෝට ම හිතෙන්නෙ අපි පංසලේ ධර්ම ශාලාව ඇතුළෙ ඉඳල බණ අහනව කියන බව. ධර්ම ශාලාව කියන බව විඳිනකොට කොහොම ද වින්දෙ? වර්ණ සටහන පිරිසිඳ නො දන්නාකම නිසා - ඇහැ, රූප, චක්‌ඛු විඤ්ඤාණ තිදෙනා ගෙ එකතුව නිසා හටගත්ත ස්‌ඵර්ශය නිසා ඇති කරපු වේදනා, සංඥා දෙක දැක්‌ක. බාහිර තියෙන ශාලාවක්‌ හැටියට එක්‌ රැස්‌ කරගත්ත. නැතිනම් චිත්තජ රූපයක්‌ හදාගන්න පුළුවන් විදියට බාහිර තියෙන නිමිත්තක්‌ විදියට ඒක මෙනෙහි කළා.

දැන් ඇතුළට ඇවිල්ල ඇතුළෙ දි විඳින යම් කයට ස්‌පර්ශයක්‌ තිබෙනව ද අන්න ඒ ස්‌පර්ශයත් ඇහැට යම් වර්ණ සටහනක්‌ ගැටෙනව නම් ඒ වර්ණ සටහනත් කියන එකයි ගැටෙන්නෙ.

දැන් එළියෙන් දැකපු නිමිත්ත ඔබට දකින්න පුළුවන්කම තියෙනව ද? එළියෙන් ඇති නිමිත්ත දකින්න පුළුවන්කමක්‌ ඇත්තෙ නැහැ.

එළියෙන් දැකපු වර්ණ සටහනක්‌ අරභයා චිත්තජ රූපයක්‌ ඇති කරගන්න පුළුවන් මට්‌ටමක්‌ තිබුණ නම් අන්න ඒ සටහනත් දැන් ඇතුළෙ දකින දේත් කියන මේ ඔක්‌කොම ගැටගහල විඳින්න පුළුවන් ශාලාවක්‌ හම්බ වෙලා තියෙනව.

(මතු සම්බන්ධයි)

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.