බැඳීම් නැති කරන මඟ කුමක්‌ ද?

ආචාර්ය
සුජිත් නිශාන්ත හේවගේ
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

කොපමණ අය පිරිවරාගෙන ජීවත් වුවද ඕනෑම අයෙකු උපදිනුයේ හා මියයනුයේ හුදෙකලාවමය. මෙය සෑම අයෙකුගේම ජීවිතයට පොදු දහමකි. අපට තවත් අයෙකුගේ බැඳීම අවශ්‍ය වනුයේ ඒ බැඳීම නිසා අප ලබන යම් යම් ලාභ ප්‍රයෝජන නිසාය. ඒ ලාභ ප්‍රයෝජන නිසාම අපි තවත් අය සමඟ බැඳීම් ගොඩනඟා ගෙන ඇත්තෙමු. ඒ බැඳීම් නිසා වර්තමානයේ දී සතුටක්‌ ලබන බව සත්‍යයකි. නමුත් වර්තමානයේදී ලබන ඒ සුළු හෝ සතුට වෙනුවෙන් ඊට වඩා සිය දහස්‌ ලක්‌ෂ ගුණයක වන්දියක්‌ අපට අනාගතයේදී ගෙවන්නට සිදුඟෙ. මන්ද බැඳීම් ඒ අයුරින්ම රැක ගැනීමට නොහැකි බැවිනි. එක්‌කෝ ඒ අය අයව අත්හැර දමා යති. නැතහොත් මරණය හෝ වෙන යම් තාවකාලික වියෝවීම් සිදු වීම නිසා බැඳීම් බිඳී යයි. බැඳීම් නම් බන්ධනයක්‌මය.

සිදුහත් බෝසතුන්ට ද රාහුල පුත් කුමරු ඉපදුණු දිනයෙහිදී 'රාහුලං ජාතං බන්ධනං ජාතං'' යෑයි ඉබේම කියවුණේද මේ නිසාමය. නමුදු සිදුහත් බෝසතුන් ඒ වන විට සම්මා සම්බෝධියට පත්ව නොතිබුණි. එසේ නම් ඒ තරම් විශාල ආධ්‍යාත්මික පදනමක්‌ සිද්ධාර්ථ බෝසතුන් තුළ තිබීම විශ්වාස කළ හැකිද? ලොව්තුරු සම්මා සම්බෝධියට පත්වීමට නියත විවරණ ලැබ අවාසාන ආත්මභාවයෙහි වැඩසිටි සිද්ධාර්ථ බෝසතුන්වහන්සේ සාමාන්‍ය පුද්ගලයෙකු ලෙසට ලඝූ කර කල්පනා කළ නොහැකිය. උන්වහන්සේ සංසාරය පුරා බුද්ධත්වය නමැති අති උත්තරීතර පදවි ලාභය සඳහා අවශ්‍ය සුදුසුකම් සියල්ල කිසිත් අඩුවක්‌ නොමැතිව ඒ වන විට සර්වසම්පූර්ණ කර සිටි උත්තමයෙකි. ඒ නිසා උන්වහන්සේගේ ප්‍රඥා මහිමය එතරම් තීක්‌ෂණතර විය. නමුදු එබඳු ප්‍රඥා සම්පන්න බවක්‌ නොමැති පොදු ජනතාවට බැඳීම් විශාල අගයක්‌ ඇති දෙයක්‌ ලෙස දැකීම සාමාන්‍ය තත්ත්වයකි. ඔවුන්ට බැඳීම දුකක්‌ වේදනාවක්‌ ලෙස අවබෝධ වනුයේ ඒ බැඳීම බිඳ දැමීමට කරුණක්‌ පැමිණි කල පමණකි. එවිට මතුපිටින් ඒ අවස්‌ථාවට අනුව දුක්‌ වන ඔවුහු පසු යළි යළිත් නව බැඳීම් ගොඩනඟා ගනිති. එබඳු බැඳීම්වලින් සතුටු වීමට කල්පනා කරති.

බැඳීම් දුකට මුලය යන ප්‍රකාශය ඇසෙත්ම බැඳීම් නිසා සතුටුවෙමින් සිටින අය ඔබ හා උරණවනු නොඅනුමානය.ඒ ඔබ බැඳීම් තාවකාලික යන්න ඇසීමටඑ පවා අකැමැති නිසාය. බැඳීම් යනුවෙන් හැඳින්වෙනුයේ භෞතික ලෙස ඇති කරගත් බැඳීම් පමණක්‌ම නොවේ. අත්හැර දැමීමට හා බිඳ දැමීමට වඩාත් අපහසු මානසික බැඳීම්ය. ඒ ඉදිරියේ කායික බැඳීම්වල වටිනාකම ඉතා ලඝූය. කායික බැඳීම්වල නිස්‌සාරත්වය දකින, අගුණ ප්‍රකාශ කරන බොහෝ අය පවා මානසික බැඳීම් ඇතිකර ගැනීමට රුචිකත්වයක්‌ දක්‌වන බව පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමානය. මානසික බැඳීම් එතරම්ම අතිසියුම්ය. ඒවා බැඳීම් ලෙසට නිවැරදිව හඳුනාගැනීමට පවා දුෂ්කරය. ඒ නිසා මේ සූක්‌ෂ්ම මානසික බැඳීම්වලට බොහෝ අය පහසුවෙන් වසඟ වෙති. ඔබ දෝෂාරෝපණ ඇසීමට අකැමැති බව මම දනිමි. එසේම ඔබ කීර්ති ප්‍රශංසා ඇසීමට කැමැත්තක්‌ දැක්‌වීමට පුලුවන. ඔබට යමෙකු ප්‍රශංසා කිරීමේදී ඔබ ඇති කරගනුයේ ඔබගේ අනන්‍යතාව පිළිබඳ වූ මානසික බැඳීමක්‌ බව ඔබ දන්නවාද? එපමණක්‌ නොව එලෙස ඔබට ප්‍රශංසා කරන පුද්ගලයා සමඟද ඔබ බැඳීමක්‌ ඇති කරගනියි. ඔබද මමද සතර මහාභූත රූපවලින් නිර්මිත අපවිත්‍ර තවත් කුණු ශරීර දෙකක්‌ වෙමු.

නමුදු ඔබ ඔබගේ කුණු සිරුර පිළිබඳව සිදුකළ ප්‍රශංසාවක්‌ අසා බැඳීමක්‌ ගොඩනඟා ගත්තෙහි. විදර්ශනා භාවනා අභ්‍යාස බහුල වශයෙන් වැඩූ පළපුරුදුකම නිසා යමෙකු මට ප්‍රශංසාවක්‌ කළද එය හුදු වචන කීපයකට මිස එහි බරක්‌ හෝ අගයක්‌ මම නොගන්නෙමි. දෝෂාරෝපණ ලද්දත් එසේමය. බැඳීම්වලින් සිදුවන අනර්ථකාරී දෙය නම් මනස කම්පිත වීමයි. මානසික කම්පනයට ප්‍රධාන හේතුවද බැඳීම්ය.ඒ බැඳීම් නුවණින් දැක විදර්ශනා දර්ශනයෙන් විචාර පූර්වකව සැලකිය හැකිනම් බැඳීම් නිසා ඇතිවන මානසික පීඩනය, මානසික කම්පනය යම් තරමකට හෝ නැතිකරගත හැකිය. බොහෝ දෙනෙකු ශෝක වන්නේද දුකට පත්වන්නේද බැඳීම් නිසා ඇතිවන මේ මානසික පීඩා නැතිකර ගැනීමේ නිසි ක්‍රමවේදය නොදන්නාකම නිසාය.

අද මෙරට හැම අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම භාවනා පංති තිබේ. හරයක්‌ හෝ අර්ථයක්‌ ඇතිව හා නැතිව බොහෝ දෙනෙකු මෙකල විවිධ ස්‌වරූපයේ භාවනා වැඩසටහන් හා සම්බන්ධව කටයුතු කිරීමට කැමැත්තක්‌ දක්‌වන බව පෙනී යයි. භාවනාකර විවිධ මාර්ගඵල උපදවා ගත් බවට සහතික පවා මෙබඳු භාවනා පංතිවලදී ප්‍රදානය කරන බව දැන් පැවසේ. සත්‍ය වශයෙන්ම මේවා සියල්ලම හඳුනා ගැනීමට අපහසු ලෞකික ආශාවල තවත් එක්‌ සූක්‌ෂ්ම වූ මුහුණුවරක්‌ පමණක්‌ බව කනගාටුවෙන් වුවද දැනුම් දිය යුතුව තිබේ. මන්ද විවිධ ලෞකික සෘද්ධිවිධ ප්‍රාතිහාර්ය ඉන්ද්‍රජාල, මායාකාරී දේවල් උපදවා ගැනීම භාවනාවෙන් අපේක්‌ෂිත නිෂ්ඨාව මෙබඳු පිරිස්‌ බොහෝවිට හඳුනා ගන්නා බවද පෙනී යයි. නමුදු සමස්‌ත සමාජය දිනෙන් දින පරිහානියට පත්වේ. ස්‌ත්‍රී දූෂණ, ළමා අපචාර, අතවර, සමූහ දුෂණ, අපචාර, මිනීමැරුම්, සාහසික අපරාධ රැල්ලක්‌ ලෙස අති සීග්‍රව මේ දිවයින වසාගෙන ඇත. බුදුරදුන් උපන් ඉන්දියාවේ සිදුවන සමූහ දූෂණය කිරීම් නිසා ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල තරුණියකට මහමඟ බැස යාමට නොහැකි තත්ත්වයක්‌ උදාවී තිබේ. මේ මොනවාද? මේ සියල්ලම මානව චින්තනයේ වියරු වැටුණු බවකට කදිම උදාහරණ වේ.

මිනිස්‌ සිතේ කාමරාග, ද්වේෂය ආදී දුර්ගුණ ඉහ වහා ගිය තත්ත්වයක්‌ මුළු ලොව පුරාම මෙසේ දුර්දාන්ත සිදුවීම් මඟින් ප්‍රකාශයට පත්වේ. බෞද්ධ භාවනා ක්‍රම සකස්‌ව පවතිනුයේද මේ කාමරාග, පටිඝ ආදී මිනිස්‌ සිත තුළ උපදින ජාගර උත්ප්‍රේරණ අඩුකරමින් ක්‍රමානුකූලව ප්‍රහාණය කිරීමේ මඟ සලස්‌වා දීම සඳහාය. නමුදු අද වන විට භාවනා කිරීමේ පරමාර්ථය ඉන් පිට පැන විවිධ ලෞකික ආශාවල් තෘප්තකර ගැනීම දක්‌වාම විතැන්වී තිබේ. මේ හේතුව නිසා භාවනාවෙන් විය යුතු මෙහෙවර නිසි අයුරින් ඉටු නොවේ. සිත නොනිඟෙ නම් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී හෝ රහත් බවට සහතික කොපමණ ලැබුවත් ඵලක්‌ නැත. හොඳම සහතික නම් සිත නිවීමයි. කාමරාග, පටිඝ සංසිඳවීමයි. ඊට වඩා වෙනත් සහතිකයක්‌ මා දන්නා තරමින් විදර්ශනා භාවනාවේ නැත. විදර්ශනා භාවනාවට යොමු වූ මුල්කාලයේදී මෙන්ම අද ද මා මගේ විදර්ශනා භාවනා පුහුණුවේ සාර්ථක අසාර්ථක බව මැන ගැනීම සඳහා නිර්ණායක ලෙස යොදාගනුයේ මේ කාමරාග, පටිඝ යන සංයෝජනවල ක්‍රියාකාරිත්වය කොපමණ දුරකට මගේ සිත තුළ සජීවීව ඒ මොහොත තුළ පවතීද යන්නයි. ශුක්‌ෂ විදර්ශනාව පාදක කරගෙන සමාධිය දියුණුවීමෙන්ද මේ කාමරාග, පටිඝ සිතේ යටපත්ව යනබව නිරීක්‌ෂණය කළ හැකිය. නමුත් ඒ තත්ත්වය පසුකලක ප්‍රඥාව වඩා දියුණු තියුණු කරගැනීමෙන් පසුව යළි ඇති නොවන පරිදි අවම වී යන බව ඉතා ප්‍රායෝගිකව නිරීක්‌ෂණය කළ හැකි විය. මෙසේ තමා වෙතින් සමාජය සුරක්‌ෂිත බවට සහතිකයක්‌ ලබාදිය හැක.

අභ්‍යන්තර චිත්ත මට්‌ටම කොපමණ දියුණුව පැවතියද බාහිරව නිරීක්‌ෂණය කරන පුද්ගලයෙකුට ඒ තැනැත්තා ලැබූ අභ්‍යන්තර චිත්ත දියුණුවක්‌ නොදත හැකිය.බාහිරින් කිසිදු වෙනසක්‌ විද්‍යමාන නොවේ. ක්‍රියාකාරීත්වය අතින් වෙනදාට වඩා කාමරාග, පටිඝ සංයෝජනවල ක්‍රියාකාරිත්වය අඩුකම නිසා චර්යාවේ වෙනසක්‌ ඇතිවිය හැකිය. නමුදු ඒ වෙනස පවා අති සියුම් බැවින් ඊට සමාන හෝ ඊට ඉහළ චිත්ත දියුණුවක්‌ ලැබූවෙකුට මිසක ඊට වඩා මානසික දියුණුව අඩු අයෙකුට උසස්‌ මානසික දියුණුවක්‌ ලැබූවෙකු බාහිරින් කිසිදු අයුරකින් දැනගත නොහැකිය.

ජනමාධ්‍යවලින් පුළුල් ප්‍රචාරයක්‌ ලබාදෙමින් බාහිර ආටෝපයට මුල්තැනක්‌ ලබාදෙමින් ඝෝෂාව පදනම්කරගෙන ගෙනයන සමාජ ප්‍රොaඩාවන් පිටුපස කිසිදු ආධ්‍යාත්මික දියුණුවක්‌ නැත. එය කිසිදු ආධ්‍යාත්මික දියුණුවක්‌ ලැබී නොමැති බවට හොඳ සහතිකයකි. ආධ්‍යාත්මික දියුණුවක්‌ලැබූ පුද්ගලයා එය පවසනුයේ වෙනත් අය භාවනා පුහුණුවේ යොදාගැනීමට උපස්‌ථම්භන ලබාදීම සඳහා පමණකි. එසේ නොමැතිව බැනර්, පොස්‌ටර් හා කටවුට්‌ ගසාගෙන ලාභසත්කාර, කීර්ති ප්‍රශංසා ලැබීම සඳහා ආධ්‍යාත්මික විමුක්‌තිය මඟක්‌ කරගැනීමට සැබෑ විමුක්‌තිකාමීහු නොසිතති. නමුදු නූතන සමාජයේදී ව්‍යාජ කෛරාටිකයෝ එයින්ද නොනැවතී තමාගේ ප්‍රතිමාද තනා සෙස්‌සන් ලවා පුෂ්ප උපහාර දැක්‌වීමට කටයුතු කරති. සූක්‌ෂ්මව තර්ක කර, නැත්ත ඇත්ත කර මවා පෙන්වා බුදුදහම පිළිබඳව අල්ප අවබෝධයක්‌ ලද්දවුන් හට තර්ක බුද්ධියෙන් විඡ්ජාවල් පෙන්වීම ආධ්‍යාත්මික විමුක්‌තිය ලැබූ බවට කිසිසේත්ම සහතිකයක්‌ නොවේ. තර්ක ශාස්‌ත්‍රය ගැඹුරින් අධ්‍යයනය කළ අයෙකුට ත්‍රිපිටක සූත්‍ර ගැන අනුන් හා කෙස්‌ පැලෙන තර්ක ඉස්‌මතු කර තමන්ගේ කරුණ සනාථ කිරීමට දහමේ ගැඹුරු හරය විකෘති කර නැත්ත ඇත්ත කර පෙන්වීම මගඵල අවබෝධකර තමාගේ සිතනිවා ගත් බවට කිසිසේත්ම සහතිකයක්‌ නොවේ. මගේ සිතේ කාමරාග, පටිඝ දැන් අඩුයි දැන් නැහැ යනුවෙන් සහතික නිකුත් කරනුයේ කෙසේද? යමෙකුගේ සිත පිළිබඳව තවත් අයෙකු මෙසේ සහතික නිකුත් කිරීම මහ විහිළුවකි. එසේ නම් චිත්ත දියුණුව නැති බව මෙලෙස ඔබ පවසන්නේ කෙසේදැයි යමෙකු මගෙන් විමසිය හැකිය.ඊට පිළිතුර නම් යමෙකු හේතුවක්‌ නොමැතිව තම චිත්ත දියුණුව පිළිබඳව දැන්වීම් පළ කර අසීමිතව වෙළෙඳ ප්‍රචාරණයෙහි යෙදෙන්නේ නම් ඒවා පෞද්ගලික සුඛය විහරණය පිණිස භාවිත කරන්නේ නම් ඒ බව පැහැදිලිව අවබෝධ කරගත හැකි නම් අදාළ පුද්ගලයා ගිහි පැවිදි වේවා

හුදෙක්‌ කපටි මායාකාරයෙකු බව දැන හැඳින ගැනීමට එය හොඳටම ප්‍රමාණවත් බවයි. සත්‍ය අසත්‍ය කරමින් අසත්‍ය සත්‍ය කරමින් මා දේශනාකළ සූත්‍ර දේශනාවන්ගේ අර්ථය කණපිට හරවමින් අල්පශ්‍රැත ජනයා මුලාවට පත්කරමින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබීම සඳහා මගේ සසුන විනාශ කරන පවිටු පුද්ගලයා උපාසක හෝ උපාසිකාවන් අතරින් නොව හුදෙක්‌ මා විසින් පිහිටුවූ පැවිදි සමාජය තුළින්ම අනාගතයේදී බිහි වන බව එදා බුදුරදුන් විසින්ම දේශනා කර තිබේ. පැවිදි සමාජයට හිමි සමාජ පිලිගැනීම එයට ප්‍රධාන හේතුවකි.

මෙහි මුලදී බැඳීම් පිළිබඳව සාකච්ඡා කළ බව ඔබට මතක ඇත. අප සාමාන්‍යයෙන් බැඳීම් ලෙස අර්ථකථනය කරගනුයේ සමාජයේ එකිනෙකා අතර පවතින ඕලාරික භෞතික බැඳීම් පිළිබඳව පමණකි. නමුදු ඊට වඩා ඉතා සියුම් මානසික බැඳීම් (}ආශා) සමාජයේ අප නොදැක පවතින බව වටහා ගැනීමට ඉහත මා දැක්‌වූ නිදසුන් කීපය ප්‍රමාණවත් යෑයි මම සිතමි. තමාගේ ආධ්‍යාත්මික මට්‌ටම පිළිබඳව පවා වැරදි වැටහීමකින් ප්‍රකාශ කිරීම අහිංසක කමකි. නමුදු එහිද අධ්‍යාත්මික ආශාව,බැඳීම සියුම්ව ඇත. නමුදු තමන් පවසන්නේ මුසාවක්‌ බව පැහැදිලිව දැන දැන සමාජය රැවටීම පිණිස මඟඵල ලැබූ බවට අසත්‍ය ප්‍රකාශ කිරීම කිසිසේත්ම සමාව දිය නොහැකි ග්‍රාම්‍ය, පහත් මානසික බැඳීමකි. ශුෂ්ක විදසුන් වඩා එහි සමාධියෙන් ක්‌ලේශ තාවකාලිකව යටපත් වූ බව නොදැන මගඵලලාභී වූයේ මැයි නොදැන ප්‍රකාශ කළ මහ තෙරවරු පුරාණ සමාජයේ පවා වැඩසිටියහ. නමුදු පවසනයේ මුසාවක්‌ බව ඇස්‌පනාපිටම තමාම පැහැදිලිව දැන දැන සමාජය රැවටීම පිණිස ජනසන්නිවේදන මාධ්‍ය භාවිතකර අසත්‍ය ප්‍රකාශ කරන ඇතැම් නූතන තෙරවරු සිදු කරනුයේ විශාල පාපකර්මයකි.

යමෙකු ගිහි දිවියේ බැඳීම් හැර පැවිදි වනුයේ බැඳීම්වලින් මනස විමුක්‌ත කළ තරමට ආධ්‍යාත්මික විමුක්‌තිය ඉක්‌මන් වන නිසා සසර කෙටි වන නිසා වන නමුදු වර්තමාන සමාජයේ ඇතැම් අය පැවිද්දට පත්වනුයේ බැඳීම් වැඩිකරගෙන සසර දිගුකර ගැනීමටමය. එබඳු අය තුළ ඇත්තේ තමන් නොමැරෙන අයෙකුය යන ආකල්ප විය යුතුය. දිනකට ස්‌වල්ප වේලාවක්‌ ගතකර හෝ මරණානුස්‌මෘතිය වඩන්නේ නම් එබන්ඳෙකුට එය විපුල ප්‍රයෝජන ගෙනදිය හැකි භාවනාවක්‌ වනු ඇත. ඔබට භාවනාව පිළිබඳව ගුරුහරුකම් ලබාදීමට මට අවැසි නැත. මන්ද අවශ්‍ය තරමටත් වඩා විවිධ ගිහි පැවිදි භාවනා ගුරුවරු මේ සමාජයේ වැහිවැස ඇතිබැවිනි. කොපමණ භාවනා ගුරුවරු සිටියද, කොපමණ භාවනාවල නිරත වුවද සමාජය දිනෙන් දින පරිහානිය කරාම ගමන්කරන බව පැහැදිලිව පෙනීයයි. පුරාණ ප්‍රජාවට වඩා මේ යුගයේ ප්‍රජාව අත්මාර්ථකාමීත්වයෙන් වැඩිය. හොඳින් හෝ නරකින් තමාට හැකි පමණ ධනය, බලය හා කාමය වැනි සාධක අත්පත් කරගැනීමට මිනිස්‌සු මාන බලති. ඒ පිණිස යටි උගුල් අටවති. සුක්‌ෂ්ම කපටිකම් කෛරාටික කම් සිදු කරති. අනුන් බිඳුවති. පංච දුශ්චරිතයෙහිම යෙදෙති. තමන් මැරෙන බවක හැඟීමක්‌වත් නැත. කිසි දිනෙක නොමැරෙන අය විලස කල් හරිති. නමුදු කිසිදිනෙක නොඇසූ විරූ උග්‍ර ලෙඩරෝග සමාජය පුරා ව්‍යාප්තවී ඇත. විෂම කාම හා ලෝභ හැඟීම් සමාජයේ උත්සන්නවී ඇත. ලෞකික බැඳීම් අධිකවීමට ප්‍රධාන මෙය හේතුවකි. එය අඩුකර ගැනීමට මරණානුස්‌මෘතිය වැඩීම උචිත පිළියමකි. මටද නිරතුරු මරණානුස්‌මෘතිය වැඩීමට මවගේ හදිසි මරණය කර්මස්‌ථානයක්‌ව නිමිත්තක්‌ව ඇත. සියලු දෙනාට තෙරුවන් සරණින් ධර්මාවබෝධය ඇතිවේවා!

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.