සුදු වස්‌ත්‍රයක්‌ පිරිමැදීමෙන් රහත්වීම

ගලගෙදර රතනවංස හිමි

බුදුන් කල විසූ චුල්ලපන්ථක මහ රහතන් වහන්සේගේ චරිත කතාව තුළින් ත්‍රිලක්‌ෂණ සිද්ධාන්තය අවබෝධ කර ගැනීමට ඉතා පහසුය. අද පවතින මේ කාම ලෝකයේ උමතු ක්‍රියාත් සමග චුල්පන්ථක හිමිගේ කතා පුවත අපට ඇලීම් ගැටීම්, බැඳීම්වලින් තරමක්‌දුරට හෝ (මමායනය අස්‌මිමානය) ඉවහල්වනවාට කිසිදු සැකයක්‌ නැත. ඒ අනුව චුල්ලපන්ථක හිමිගේ කතා පුවත ආදර්ශයට ගැනීම ඉතා වැදගත්වනු ඇතැයි මට සිතේ.

චුල්ලපන්ථක හිමිගේ ගිහි ජීවිතය පිළිබඳ අවධානය යොමුකිරීමේදී ඔහු රජගහනුවර සිටු පවුලකට අයත් අයෙකි. පවුලේ වැඩිමලා වූයේ මහා පන්ථකයි. එම දෙපල ජීවත්වූයේ මුත්තණුවන් හා මිත්තණියන් දෙපළ ළඟයි. වැඩිමලා වූ මහා පන්ථක නිතර මිත්තණිය සමග බණ ඇසීමට යැමෙන් ශ්‍රද්ධාව වැඩිදියුණුවී ප්‍රඥවෙන් ධර්මය දැන පැවිදිභාවය ලබා උත්සාහයෙන් බණ භාවනාකොට රහත් භාවයද ලැබීය. පසුව මහාපන්ථක හිමි තම මලණුවන්ටද තමා ලද අමා සුව ලබාදෙනු වස්‌ චුල්ලපන්ථක කුමරුද පැවිදි කරන ලදී. නමුදු චුල්ලපන්ථක හිමිට මතක ශක්‌තිය අඩු බැවින් එක්‌ ගාථාවක්‌ පාඩම් කර ගැනීමට සිව්මසක්‌ ගත වීමෙන්ද අපහසුවිය.

එයට හේතුව වූයේ කාශ්‍යප බුදුන් කල සාසනයේ පැවිදිවී ධර්මධරයකුව සිටියදී අදක්‌ෂ භික්‌ෂුවකට අපහාස කිරීමේ විපාකයයි. එම හේතුවෙන් චුල්ලපන්ථක හිමි වශයෙන් සිsටියදී මතක ශක්‌තිය අඩුවිය. එනිසා මහාපන්ථක හිමි තම මලණුවන් වූ චුල්ලපන්ථක හිමිට මේ සාසනයේ ඔබවැනි අයට පිළිසරණයක්‌ නැත, ඒ නිසා සිවුරු හැර මේ සාසනයෙන් පිටව යන්න යෑයි නියම කළේය. එම වදන්වලින් කම්පිත වූ චුල්ල පන්ථක හිමි සසුනෙන් පිටව යන බව දැක බුදුරදුන් එන ගමන් මාර්ගයේ සක්‌මන් කරමින් සිටියේය.

පසුව බුදුහිමි සියලු කරුණු විමසා 'චුල්ලපන්ථක මේ ශාසනය මගේය. මහාපන්ථකගේ නොවේ. ඔබ පැවිදිවුණේ ඒ නිසාය. ඔබ සසුනෙන් බැහැර කළ යුතතේ මහාපන්ථක නොවේ. මා විසින්ය. එබැවින් වීර්යය අත්නොහැර කමටහන් වඩා කෙලෙස්‌ නැසීමට උත්සාහ කරන්නැයි ප්‍රකාශකොට බුදුහිමි චුල්ලපන්ථක හිමිගේ අතින් අල්ලාගෙන විහාරයට ගොස්‌ සුදු රෙදි කඩක්‌ දී 'රජෝහරණං', 'රජෝaහරණං' කියමින් රෙදි කෑල්ල පිරි මදින ලෙස උගන්වා වදාළේය. රාජෝහරණං යනු පිරිසිදුයි යන අර්ථයයි. ඒ අනුව චුල්ලපන්ථක හිමිද එම සුදු රෙදි කෑල්ල පිරි මදිමින්ම ඒ පිළිබඳ සිතන්නට විය. ටිකෙන් ටික රෙදි කෑල්ල කිලිටිවේගෙන යන අයුරු දැක මෙම රෙදි කෑල්ල මෙහොතකට පෙර කොච්චර පිරිසිදුව ලස්‌සනට තිබුණද? මගේ පිරි මැදීමත් සමග එම පිරිසිදු රෙදි කෑල්ල කිලිටි විය. සියලු දේම මේ අයුරින් වෙනස්‌ වේ. දුකට පත්වේ. මගේ අපේ කියා ගැනීමට අපහසු වේ ආදී වශයෙන් විදර්ශනානුකූලව ඒ ගැන සිතන්නට විය. ගාථාවක්‌ පාඩම් කර ගැනීමට සාරමසක්‌ ගතවීමෙන් අපොහෝසත් වූ චුල්ලපන්ථක හිමි රෙදි කෑල්ල තුළින් විදර්ශනා භාවනාව ප්‍රගුණ කොට අර්ථ, ධර්ම, නිරුත්ති, පටිභාණ යන සිව්පිළිසිඹියාවෙන්ම රහත්භාවයට පත්වූහ.

උට්‌ඨානෙනපපමාදෙන
සඤ්ඤමෙන දමෙනච
දීපං කයිරාථ මෙධාවි
යං ඔඝො නාභිකීරති
ධම්ම පදය - අ.ව.

නුවණැත්තා නොපසුබට වීර්යෙන්ද, අප්‍රමාදයෙන්ද, සංයමයෙන්ද, ඉන්ද්‍රිය දමනයෙන්ද කෙලෙස්‌ සැඩ පහරින් කිසි දිනක මැඩ පැවැත්විය නොහැකි නිවන් පුර නමැති දිවයිනක්‌ සාදන්නේය.'

වර්තමාන යුගය තුළ සමාජයට මෙම ගාථා ධර්මය මුසුකොටගත් චුල්ලපන්ථක හිමිගේකතා පුවත තුළින් කදිම පණිවිඩයක්‌ දී ඇත. අද සමාජය තුළ පුද්ගලයා පංෙච්න්ද්‍රියන් තුළින් උම්මත්තකයන් බවට පත්වී හමාරය. බාහිර ප්‍රතිරූපය, නිරුවත නිරන්තරයෙන් ලෝකයට ප්‍රදර්ශනය කිරීමට උත්සුක වන්නේය. අද පාරක තොටක නගරයක යන්නට බැරි තරමට සමාජය දූෂණය වී ඇත්තේ ඉන්ද්‍රිය දමනයක්‌ නොමැති වීමත් අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම යන ත්‍රිලක්‌ෂණය පිළිබඳ පොඩි අවබෝධයක්‌වත් නොමැතිකමත් හේතුවෙනි. අද විහාරස්‌ථානයකට, පුදබිමකට ගියද, නානාප්‍රකාර ඇඳුම් පැළඳුම් ඇඳ තුණුරුවන්ට පවා අගෞරවයක්‌ වන අයුරින් හැසිරෙන්නන් බහුලවී ඇත.

දෙතිස්‌ කුණුප කොටසින් සැදුම්ලත්, නව දොරකින් අපද්‍රව්‍ය නිරන්තරයෙන් පිටවන මෙම ශරීර කූඩුව දරාගෙන කරන බහු නාටක නිමක්‌ නැත. සදාකාලික, සුන්දරයි, සැපයි ආදී සංකල්ප තුළ සිරවී අනුවණයෝ නිතරම අකුසල්ම සිදුකරති.

සයට වෙද රස මුසු බත් කන්නේ
ගඳට වේද ඇඟ සුවඳ කවන්නේ
ලෙඩට බේත් මේ මෙලොව සතුන්නේ
කුමට මීට සැපයෙකැයි සිතන්නේ

රස මිශ්‍ර වූ බත් කන්නේ බඩගින්නට නොවේද? ඇඟ සුගන්ඳවත් කරන්නේ දුඟදට නොවේද? මේවා මේ ලෝකයෙහි සත්වයන්ගේ බඩගිනි දුගඳ ආදී ලෙඩට කරන්නාවූ බේත්ය. මීට සැපයක්‌ යෑයි සිතන්නේ කුමක්‌ හෙයින්ද?

මේ ආදී වශයෙන් ලෝවැඩ සඟරාව තුළද මෙම ශරීර කූඩුව පිsළිබඳ ධර්මානුකූල කරුණු ඉදිරිපත් කොට ඇත. අද බණදහම් වුවද සෝභනයට, පෙනුමට, තරගයට අනුගමනය කරන්නට යනවා විනා යථාර්ථවාදීව ඒ දෙස බලා අනුගමනය කිරීමක්‌ දක්‌නට නැත. සත්‍ය අසත්‍ය වී අසත්‍ය සත්‍ය වී උමතු විලාසයෙන් කඳකැපුන පණුවන් සේ නටන, ගයන, වයන විකාර ලෝකයක්‌ ඇස්‌ ඉදිරිපිට නිර්මාණය වී ඇත. ජාතක පොත් වහන්සේ තුළ අන්තර්ගත 77 වැනි ජාතක කතාව වූ 'මහා සුපින' ජාතකයෙහි සිහින 16 අද සැබෑ වෙමින් පවතී.

සාරනූ කුණු කයක්‌ ඇරගෙන කරන බහු නාටක තදේ

නෑර තම හිමි සමග දවසැර උන්නමුත් සැප විඳ විඳේ

ගෝර මරුවා පැමිණි කල් දැන යන්ට කැඳවා එම සඳේ

බාර වම සිටුවන්ට බැරිවෙද පිනක්‌ කරගත්තොත් සොඳේ

අසාර වූ කුණු කයක්‌ අරගෙන

බොහෝ නැටුම් නටන්නාහ. තමාගේ ස්‌වාමියා අත් නොහැර එක්‌ව සැප විඳ විඳ දවස්‌ යවමින් උන් නමුත් පරලොව කැඳවාගෙන යැම පිණිස කාලය දැන ඝෝරමරුවා එන කල ඇපවීමෙහි නවතාලන්ට බැරි නොවේද? එහෙයින් පින් කර ගත්තොත් සොඳමයි.

ලෝවැඩ සඟරාවෙහිම සඳහන් ඉහත කවිය තුළින් අර්ථවත් වන්නේද කුමන විදිහට සැප වින්ඳත් මාරයා පැමිණි කල ඒ සියල්ලම අත්හැර යායුතු බවට දෙමව්පියො දූදරුවො, ස්‌වාමියා, බිරිඳ, ඥාති මිත්‍රාදීන් කොතෙක්‌ සිරියද ඒ කිසිවකුට උදව්වක්‌ උපකාරයක්‌ කළ නොහැකිය. එබැවින් විදර්ශනානුකූලව ලෝකය හා සත්වයා පිළිබඳ අවබෝධයෙන් යථාර්ථය පසක්‌ කර ගැනීමට උත්සාහවත් විය යුතුය. ඒ අනුව පින්දම් සිදුකරගෙන ජීවිතය යහපත් කර ගැනීමම උතුම් වේ.

දුර්ලභව මිනිසත් බව ලැබූ සත්වයින් වශයෙන් උසස්‌ මිනිසෙක්‌ වශයෙන් ජීවත්වීමේදී මීට වඩා ජීවන චක්‍රය පිළිබඳ සිතිය යුතුව ඇත. සිත, කය, වචනය අන්‍යාට අයහපත පිණිස නොව යහපත පිණිස යෙදවීමට නිරන්තරයෙන් උත්සාහවත් විය යුතුය. සුළි සුළඟකට, දිය රැල්ලකට හසුවූවා සේ සංසාර චක්‍රයට හසුවූ අප මිනිසත් බව නම් වූ ඒ අවශ්‍යම ආත්මභාවයට පිවිස ඇත. එසේ නම් දැන් කළ යුත්තේ ප්‍රඥවෙන් ලෝකය හා සත්වයා ලෙස බලා අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම යන ත්‍රිලක්‌ෂණය මෙනෙහි කිරීම නොවෙයිද? ඒ තුළින් තරමක හෝ සැනසිල්ලක්‌ ලැබෙනවාට කිසිදු සැකයක්‌ නැත. එය සංසාර චක්‍රය කෙටි කර ගැනීමට ඇති එකම මාර්ගයයි. එම හේතුවෙන් මිනිසත් බව ලැබූ අප සැවොම ඒ සඳහා උත්සාහවත් වෙමු.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.