ද්වේෂය දුරු කරන්නේ කෙසේද?

ශාස්‌ත්‍රපති ගයිරෑනගම විනීත හිමි

සාමාන්‍ය පුද්ගලයාට ද්වේෂය, තරහව ඇතිවීම බොහෝවිට සිදුවන්නකි. නමුත් ද්වේෂය යනු අකුසල මූලයකි. (දොසෝ අකුසල මූලං) ද්වේෂය යනු සත්වයින් කෙරෙහි යම් ආඝාතයක්‌ නොඉවසීමක්‌, නොසතුටක්‌, ව්‍යාපාදයක්‌, තරහවක්‌, අනර්ථ කැමති බවක්‌, සිතෙහි ගැටීමක්‌ වේද එයයි. සිතින් කයින් හෝ වචනයෙන් කරන ක්‍රියාවකට ද්වේෂය මුල් වේනම් අකුසල මූලයක්‌ වේ (පේතකෝපදේසය) ද්වේෂය ලෝක ධර්මයකි. ද්වේෂය ඉපදීම අහිත පිණිස දුක්‌ පිණිස, අපහසුව පිණිස පවතී. (දොසෝ ඛෝ මහාරාජ ලෝකස්‌ස ධම්මෝ උප්පඡ්ජමානෝ උප්පඡ්ජතිඅහිනාය දුක්‌ඛාය අපහසුවිහරණාය. ස.නි. ලෝක සූත්‍රය). මේ අනුව ද්වේෂය සිතේ ඇතිවේ නම් අකුසලයක්‌ ඇතිවූ බවම නුවණින් දැකිය යුතුය. අකුසලයක්‌ ඇතිවී නම් එය අහිත පිණිස දුක්‌ පිණිස වන්නක්‌ බවම දැකිය යුතුය. අකුසලය යනු දුක්‌ විපාක සහිත සිතිවිල්ලකි. අකුසල මූලයක්‌ සහිතව සිදුකරන ක්‍රියාව අකුසල ක්‍රියාවකි. ඕනෑම අවස්‌ථාවක ඇතිවිය හැකි ද්වේෂය අපායාදී දුක්‌වලට හේතුවන බවත්, නිතර ද්වේෂය තරහව ඇතිකරගෙන සිටීමෙන් හා එම අකුසලය නිතර නිතර පුරුදු කිරීමෙන් වඩා අමිහිරි විපාක මෙලොවත් පරලොවත් ඇතිව විය හැකි බවද නුවණින් දැකිය යුතුය.

එමෙන්ම පේතකෝපදේසයට අනුව අද්වේෂය කුසල මූලයකි. එනම් සත්වයන් කෙරෙහි හෝ සංස්‌කාරයන් කෙරෙහි හෝ යම් නොගැටීමක්‌ අප්‍රතිඝාතයක්‌, ව්‍යාපාද නැති බවක්‌, අද්වේෂයක්‌, මෛත්‍රියක්‌, මෛත්‍රී කරන බවක්‌, හිතෛෂී බවක්‌ යහපත කැමැති බවක්‌, සිතෙහි ප්‍රසාදයක්‌ වේද එම ස්‌වභාවයයි. එය සිතින් කයින් හෝ වචනයෙන් කරන ක්‍රියාවක මුල වේද එය අකුසලයක්‌ වේ. එය සම්මා වාචා සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග තුනට මුල වේ. එහෙයින් කුසල මූල නම් වෙයි.

මේ අනුව සිතෙහි හටගන්නා සිතිවිලි අනුව අප කුසල හෝ අකුසල සිදුකරයි. කුසල හා අකුසල යනු කුමක්‌දැයි මනාව හඳුනා ගැනීමම සම්මා දිට්‌ඨියයි. (ස.නි. සම්මා දිට්‌ටි සූත්‍රය). නිවැරැදි දැක්‌මක්‌ ඇතිකර ගැනීම, ආර්ය මාර්ගයට පැමිණීම වන බැවින් ද්වේෂය අකුසලක්‌ බව හඳුනාගෙන එය දුරුකිරීමටද යොමුවිය යුතුය. ද්වේෂය ඇතිවීම තමාට හානියකි. ද්වේෂයඇතිවන්නේ වෙනත් පුද්ගලයකුගේ ක්‍රියාකාරකමක්‌ හේතුකොට ගෙනය. එය වෙනත් අයකුට හානියක්‌ විය හැක්‌කේ එබැවිනි. තමාටත් අනුන්ටත් හානි වන ද්වේෂය දුරුකිරීම දෙපිරිසටම යහපතක්‌ වන බැවින් එය දුරුකිරීම සඳහා ක්‍රමයක්‌ පිsළිබඳ අ.නි. ආඝාත පටිවිනය සූත්‍රයේ දැක්‌වේ. මෙම කරුණු අපට ඉතා වැදගත් වේ.

පළමු සූත්‍රය තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන අතර දෙවැනි සූත්‍රය තථාගත දේශනාව විස්‌තර කරමින් සැරියුත් මහ රහතන් වහන්සේ විසින් භික්‌ෂුන් වහන්සේට සැවැත්නුවරදී දේශනා කරන ලද්දකි.

එහි සඳහන් ආකාරයට සමාජයේ විවිධ පුද්ගලයන් අපට හමුවේ. විශේෂයෙන් තරහක්‌ ඇතිවන්නේ යම් පුද්ගලයකුගේ වැරැදි සහගත ක්‍රියාවක්‌ නිසාය. නිවැරැදි පුද්ගලයන් කෙරෙහිද තරහක්‌ ඇතිවිය හැකිය. එසේ කුමනාකාරයෙන් පුද්ගලයකු කෙරෙහි හෝ ඇතිවන තරහව දුරුකරන අයුරු ඉගැන්වේ. ඒ අනුව කයින් වැරැදි කරන කෙනෙක්‌ නමුත් වචනයෙන් වැරැදි නොකරන කෙනෙක්‌ නම් ඒ තැනැත්තා කෙරෙහිත් ද්වේෂය, තරහව දුරු කළ යුතුයි. එය කෙසේද යත් මේ පාංශකූලික මහණ කෙනෙක්‌ මග වැඩම වනවිට දිරාගිය රෙදිකෑල්ලක්‌ දක්‌නට ලැබෙයි. එයින් යම් කොටසක්‌ ප්‍රයෝජනයට ගත හැකිනම් ඒ කොටස ඉරාගෙන යයි. එය ප්‍රයෝජනවත් බැවිනි. එසේම කයින් වැරැදි කරන නමුත් වචනයෙන් වැරැදි නොකරයි නම් එම පුද්ගලයාගේ කායික වැරැදි ගැන නොසිතිය යුතුය. වචනයෙන් කරන හොඳ ගැන පමණක්‌ සිතා ඔහු කෙරෙහි තරහව දුරු කළ යුතුයි.

තවද යමෙක්‌ වචනයෙන් වැරැදි කරයි, බොරු කේලම් පරුෂ වචන, හිස්‌වචන කියයි. නමුත් කයින් වැරැදි නොකරයි. කයින් පිරිසිදුයි. ඒ පුද්ගලයා කෙරෙහිද ද්වේෂය දුරු කළ යුතුයි. එනම් දිය සෙවෙල් හා හෝ පැළෑටි සෙවේවලින් යුතු පොකුණක්‌ තිබෙයි. දැඩි පිපාසාවෙන් යුතු කෙනෙක්‌ එම පොකුණට බැස දැතින් එම දිය සෙවෙල් ඉවත්කොට දොaතින්ම පැන්ගෙන බී පිපාසය නිවාගෙන පිටත්ව යයි. එලෙස වචනයෙන් වැරැදි කළත් ඒ ගැන නොසිතිය යුතුයි. කයින් කරන හොඳ ගැන පමණක්‌ සිතා තරහව දුරු කළ යුතුයි. එම තැනැත්තාට තරහ නොතිසිය යුතුයි. වෛර පිරිමසා ගැනීමට නොයා යුතුයි.

යමෙක්‌ කයින් වැරැදි කරයි, වචනයෙන් වැරැදි කරයි. නමුත් විටින් විට හෝ කලාතුරකින් සමථ, විදර්ශනාදී භාවනාවෙහි යෙදෙයි. තෙරුන් කෙරෙහි හෝ සිත් පහදවා ගැනීම් හෝ කරයි. ඒ පුද්ගලයා කෙරෙහිද තරහා නොසිතිය යුතුය. ඒ කෙසේද යත්, ගවයකුගේ අඩියක්‌ සිටි බිමෙක කුඩා වළක ජලය පිරී පවතී. දැඩි පිපාසාවෙන් යුතු පුද්ගලයෙක්‌ එම කුඩා දියත්ත දකියි. එය දැන භාජනයෙකින් හෝ දැතින් ගෙන බීමෙන් ජලය කැළඹී යන නිසා දැත බිම තබා දෙදන බිම තබා ගවයකු මෙන් කටින් දිය බී යමියි සිතා දෙදන බිම තබා ගවයකු මෙන් කුඩා දියත්ත බී පවස නිවාගෙන යයි. එසේම යමෙක්‌ කරන කායික වැරැදි ගැන නොසිතිය යුතුයි. යමෙක්‌ වචනයෙන් කියන වැරැදි ගැන නොසිතිය යුතුයි. ඔහු විටින් විට කරන සමථ විදර්ශනා හෝ සිත් පහදවා ගැනීම් ආදිය ගැන පමණක්‌ සිතා එම පුද්ගලයාට ද්වේෂ නොකළ යුතුයි. තරහව දුරු කළ යුතුයි.

තවද යමෙක්‌ කයින් අපිරිසිදු වැරැදි වැඩ කරයි. වචනයෙන් වැරැදි වචන කියයි. කලින් කල හෝ සමථ විදර්ශනාදිය නොකරයි. සිත් පහදවා ගැනීමක්‌වත් නොකරයි. වැරැදි වැඩ පමණක්‌ කරන ඒ පුද්ගලයා කෙරෙහි ද්වේෂය දුරුකරන්නේ කෙසේද? යත්, යමෙක්‌ දැඩි සේ රෝගීව, ආබාධ සහිතව දුකට පත් කෙනෙක්‌ දීර්ඝ මාර්ගයට පැමිණෙයි. ඔහු ඉදිරියට ගියත්, පසුපසට ගියත් ගමට යැමට බොහෝ දුර යා යුතුයි. ඔහුට ගැළපෙන ආහාරද නැත. අවශ්‍ය බෙහෙත්ද නැත. උපස්‌ථායකුද නැත. උදව් කිරීමට කෙනෙක්‌ නැත. මේ අතර එක්‌ පුරුෂයෙක්‌ එම රෝගියා දකියි. ඔහු එම තැනැත්තා කරුණාව, දයාව, අනුකම්පාව දක්‌වා මෙසේ සිතයි. මේ තැනැත්තා රෝගියෙකි. දුබලයෙකි. ආබාධ සහිතයි. උපස්‌ථායකු නැත. මොහු විපතට කරදරයට පත් නොවේවායි සිතා ඔහුට අනුකම්පාවෙන් උදව් කරමියි සිතා එම රෝගියා ගමට පමණුවයි. උපකාර කරයි. එසේම වචනයෙන් වැරැදි කරන, කයින් වැරැදි කරන කිසිදු හොඳ වැඩක්‌ නොකරන පුද්ගලයා ද සසරම අසරණයෙකි. එම තැනැත්තාට අනුකම්පාවෙන් දයාවෙන්, කරුණාවෙන්ම කටයුතු කළ යුතුය. මොහු තිදොරින්ම වැරැදිකොට මරණින් මතු පසු අපාය ආදී දුගතීන්ට පත්වේ. එනිසා කයින්, වචනයෙන්, සිතින් වැරැදි නොකරනවා නම්, හොඳයි යනුවෙන් කරුණාවෙන්, අනුකම්පාවෙන් කටයුතු කළ යුතුයි. ද්වේෂය, තරහව දුරුකළ යුතුයි.

මේ අතර යම් පුද්ගලයෙක්‌ කයින් පිරිසිදු ක්‍රියා කරයි. වචනයෙන් පිරිසිදු ක්‍රියා කරයි. කලින් කල සිත පිරිසිදු කරන භාවනාදිය කරයි. සිතේ පැහැදීම් ඇතිකර ගනියි. එබඳු පුද්ගලයා කෙරෙහි ද්වේෂය දුරුකළයුතුයි. ඔහු කෙරේÊද්වේෂය දුරුකරන්නේ කෙසේද? එනම් යම් තැනක සිසිල් ජලය තිබෙන සුදුපාට වැලිතලාවක්‌ ඇත. අලංකාර ගස්‌වලින් වටවුණු පොකුණක්‌ තිබේ. එතැනට පිපාසයෙන් යුතු වෙහෙසවූ පුරුෂයෙක්‌ පැමිණෙයි. එම දිය දැක සතුටින් පොකුණට බැස ජලය බී, දිය නාගෙන ගොඩට විත් සිසිල් සෙවණේ නැවතී වෙහෙස නිවා ගනී. එසේම තිදොරින්ම යහපත කරන සිත්පහදවාගෙන සිටින පුද්ගලයා දැක ඔහුගේ යහපත් කායික ක්‍රියා ගැන සිතිය යුතුයි. වචනයෙන් කරන හොඳ ගැන සිතින් කරන හොඳ ගැන මෙන්ම පැහැදුනු සිත ගැන සිතිය යුතුය. එසේ සිතා එම පුද්ගලයා වෙත පැමිණ සිත් පහදවා ගත යුතුයි. ඔහු කෙරේ ද්වේෂය දුරු කළ යුතුයි.

විවිධ පුද්ගලයන් සහිත සමාජයේ විවිධ චරිත අපට හමුවේ. ඔවුන්ගේ අඩුපාඩු හා වැරැදි යෑයි සම්මත ක්‍රියාවන් දෙස කෝපයෙන් බැලීමට පුරුදුවීම සාමාන්‍ය මිනිසා තුළත් දැකිය හැකි අවස්‌ථාවකි. එය ධර්මානුකූලව නිවැරැදි නොවන බව ඉහත බුද්ධ දේශනාවෙන් පැහැදිලි වේ. කෙනකුගේ නරක හෝ අසම්මත ක්‍රියාවන් දැක අප කෝප වේ නම්, තරහ උපදවා ගනී නම්, වෛර කරයි නම් හානිය වන්නේ අපටමය. අන් අයගේ ක්‍රියාවක්‌ නිසා අපට අප විසින්ම හානිකර ගැනීම සුදුසු නොවන බව ඉතා පැහැදිලි කරුණකි. ධර්මානුකූලව යමක්‌ දෙස බැලීමෙන් නිවැරැදි දේ කුමක්‌දැයි අවබෝධ කරගත හැකි නිසා මෙම කරුණු ඔබට ඉතා වටිනා උපදෙසක්‌ විය හැකිය. අකුසල් දුරුකර ගැනීමටත් නොකළ අකුසල් නොකිරීමටත් යන වීර්යය උපදවා ගැනීමටද මෙම කරුණු

මහෝපකාරී වේ.

මෙසේ ඕනෑම පුද්ගලයකු හට තම සිතේ ඇතිවන ද්වේෂය, ආඝාතය දුරු කර ගැනීමට තම සිත දියුණු කර ගැනීමට තථාගතයාණෝ අවවාද දෙති. ඕනෑම අකුසලයක්‌ දුරුකර ගැනීමට සුදුසු ක්‍රියා මාර්ගයක්‌, ක්‍රමවේදයක්‌, විනය මාර්ගයක්‌ පැහැදිලිවම බුදුදහමේ ඉගැන්වේ. මෙය අනුගමනය කිරීම ප්‍රඥවන්තයාගේ ලක්‌ෂණයකි. අනුරුද්ධ සූත්‍රයට අනුව බුදුදහම ප්‍රඥවන්තයන් සඳහාමය. අනුවණයන් සඳහා නොවේ. තමන් ධර්මය ඇසීමත්, ඇසූ ධර්මය මතකයේ රඳවා නැවත නැවත සිතමින් මනසින් පිරික්‌සා බලා නිවැරැදි දැක්‌මක්‌ ඇති කොටගෙන ධර්මයේ හැසිරීම බුද්ධාවවාදයයි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.