රජගහනුවර සුප්ප බුද්ධ කුෂ්ඨ රෝගියා

දිනක්‌ මොහු බණ අසා සෝවාන් විය. බණ අසා යන විට අතර මඟදී අලුත වැදූ දෙනක්‌ ඇන මියගිය අතර මෙය අසන්නට ලැබුණු භික්‌ෂුන් වහන්සේ මේ බව බුදුරජාණන් වහන්සේට මතක්‌ කළහ. ඔහු උපන් තැන ද කුෂ්ඨ රෝගය සෑදීමට පූර්ව කර්මය ද විචාළේ ය. ඔහු තව්තිසා දෙව්ලොව උපන් බව තථාගතයන් වහන්සේ වදාළ සේක. එසේම මොහු පෙර ආත්ම භවයකදී තගරසි‚ නම් පසේ බුදුන් දැක කාරා කෙළ ගැසූ පවින් නරකයේ ඉපිද දුක්‌ විඳ මෙලොව දී රෝගයකින් (කුෂ්ඨ) පෙළුනු බව වදාළ සේක. එබැවින් මෙය බලන සත් පුරුෂයෝ පවට බිය වෙත්වා`
(ධම්මපද අට්‌ඨ කථා - 292 පිට)

රහත් වුවද කුස පිරෙන්න අහරක්‌ නොලද හිමිනමක්‌

සිඟමනින් ජීවත් වූ කුඩා දරුවෙක්‌ සැරියුත් ස්‌වාමීන් වහන්සේ කරුණාවෙන් පැවිදි කළ අතර මොහු නමින් ලෝසක හිමි විය. ඒ හිමිට කිසි දිනක කුස පිරෙන්නට ආහාරයක්‌ ලැබුණේ නැත. ඒ හිමියන් සමඟ වැඩියොත් සැරියුත් හිමියන්ටවත් දානය ලැබෙන්නේ නැත. එතරම් අවාසනාවන්ත වුවත් පෙර පිරූ පාරමී තිබූ පින් බලයෙන් රහත් විය. නමුත් දානය බෙදන්න මිනිසුන් ගෙනෙන විට පාත්‍රය පිරී දානය තිබෙන සේ පෙනුන ද දානය බෙදුවේ ද ඒවා වියළී යයි. ජීවත්වීමට පමණක්‌ ස්‌වල්පයක්‌ ඉතිරි වේ. පිරිනිවන්පාන තුරු කුස පිරෙන්න ආහාරයක්‌ නො ලැබුණේය. මෙය දැනගත් සැරියුත් හිමියෝ පිරිනිවෙන දිනයේ ප්‍ර්‍රනීත දානයක්‌ භික්‌ෂුවක්‌ අතේ එවන්නට යෙදුණා. දානය ගෙනා භික්‌ෂුව එය මඟදී වළඳා එය ද නො ලැබුණි. මෙය දැනගත් විට සැරියුත් හිමියෝ සංවේග වී චතුමධුර පාත්‍රයක්‌ ගෙන තම අතේ තිබිය දී ම ලෝසක හිමිට එය වළඳන්නට දුන්නේ ය. මෙදින මුළු ජීවිත කාලයේ ම කුස පිරෙන්න ආහාරයක්‌ ලත් දිනය විය. මේ හිමිගේ පූර්ව කර්මය බුදු නුවණින් දැක මෙසේ වදාළේ ය.

මේ ලෝසක හිමි කාශ්‍යප බුදු සසුනේ පැවිදිව හොඳින් සිල් ගුණ පුරමින් භාවනා කළේ ද ලාභාශාවෙන් රහත් හිමි නමක ගේ සිව්පසය වැළකුවේ ය. තම දායකයෝ එම රහත් හිමිට සිව්පසයෙන් සලකන විට කැමති නො වුණි. රහත් හිමිට දෙන්න යෑයි දුන් කිරිබත් පාත්‍ර¨්‍රය ද තරහ සිතින් ගිනි අඟුරෙහි ලා පුළුස්‌සා දැම්මේ ය. මේ දූෂිත කර්මයෙන් අපායෙහි ඉපිද අවුරුදු ලක්‌ෂ ගණනක්‌ දුක්‌ වින්දේ ය. ආත්ම පන්සීයක්‌ම පිළිවෙලින් යක්‌ෂයෙක්‌ වී ඉපදුනි. ඒ ජාති පන්සීයෙහි ම බඩපුරා කෑවේ එක ම දවසක ය, කෑවේ ද ගැබ්මළ ගොඩකි. එයින් පසු තවත් ආත්ම පන්සීයක්‌ ම සුනඛව ඉපදුණි. ඒ ජාති පන්සීයෙහි ම බඩ පුරා කෑවේ එකම දවසක්‌ ය. එදා ද කෑවේ වමනය කළ බත් අසූචියකි. මනුලොව ද ඉපිද බොහෝ දුක්‌ විඳි අතර මේ අවසන් ආත්මයේ ද පිළිසිඳගත් දින පටන් මුළු ප්‍ර්‍රදේශයේ ම කටයුතු පිරිහී ගියේ ය. මිනිසුන් කාලකණ්‌ණියා කවුදැ යි සොයා මේ මව ගමින් ද පන්නා දැමීය. ඕ තොමෝ ඉන්නට තැනක්‌, කන්නට බතක්‌, බොන්නට දියක්‌, අඳින්නට වතක්‌, යන්නට මඟක්‌ නො වූයෙන් දුකින් දුකට ම පත් වූවා ය. පසුව මොහු ලොවට බිහිකොට පයින් ඇවිදින්න හැකි වෙන තෙක්‌ හදා කබලක්‌ දී පාරේ අතහැර දැමූ අතර එදා සිට ඉඳුල් කා හැදුණේ ය.

බලන්න සත්පුරුෂයෙනි, එක්‌ දිනක රහත් හිමි නමක ගේ ලාභයක්‌ වැළැක්‌ වූ පවින් බුද්ධාන්තරයක්‌ ම දුක්‌ දුන්නේ ය. එබැවින් කර්මයට බිය වෙත්වා!
(ජාතකට්‌ඨ කථා - ලෝසක ජාතකය 209 පිට)

මල්ලිකා දේවිය දින හතක්‌ අපාගත වුණේ ඇයි?

මෙතුමිය සැවැත්නුවර කොසොල් රජු ගේ අග්‍ර මහේෂිකාව වේ. ඇය බොහෝ සැදැහැ ඇති අතර නිතර නිතර බණ ඇසීම්, දන්දීම්, සිල් රැකීම්, ධර්මය කට පාඩම් කිරීම් ආදී පින්කම් කළා ය. බුදු සසුනේ එක්‌වරක්‌ පමණක්‌ දීමට හැකි අසදෘෂ මහා දානය ද දාහතර කෝටියක්‌ වියදම් කොට දෙන ලදි. නමුදු මිය යන විට ඇය පෙර තිරිසනෙකු හා කල කාම ක්‍රියාවක යෙදීමෙන් කළ පව සිහි වී අපාගත විය. අපායේ ඉපදුන ද කළ කුසල් බොහෝ හෙයින් දින හතක්‌ දුක්‌ විඳ ඉන් චුත වී තුසිත දෙව්ලොව ඉපදී සිටින බව වදාළ සේක.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.