රාජ්‍ය පාලනය කෙරෙහි බුදුදහමේ දායකත්වය

පූජ්‍ය අමුහේන්කන්දේ නන්ද හිමි
ශ්‍රි මෙත්තාරාමය, පොහොරබාව, පරකඩුව

බුදුදහම යනු ලෝකයේ පැවැත්ම කෙරෙහි බලපානු ලබන කරුණුවල එකතුවක්‌ සේ සැලකීම වරදක්‌ නොවේ. බුදුදහම තුළ පරම අපේක්‌ෂාව වශයෙන් සැලකනු ලබන්නෙ නිර්වාණය සාක්‌ෂාත් කර ගැනිම වුවත් ඒ තාක්‌ කාලයක්‌ සත්ත්වයෙකු වශයෙන් භවගාමී සංසාරයෙහි සැරිසරමින් කටයුතු කරනු ලැබේ. ඒ කාලය තුළ මිනිසාට භෞතිකමය වශයෙන් අවශ්‍ය කරන කාරණා වගෙම සමාජීයමය වශයෙන් අවශ්‍ය කරනු ලබන ආරක්‌ෂණ හා රැකවරණය ආදී කාරණා පිළබඳව වැඩපිලිවලවල් සෑම ආගමකම පාහේ දක්‌නට ලැබෙන මුත් බුදුදහම තුළ විශේෂ වශයෙන් එ එ සමජ අවශ්‍යතා පිළිබිඹු වන ආකරයට දක්‌වා තිබීම මෙහිදී විමසිය යුතුය.

සමාජයක මූලික අවශ්‍යතාවයක්‌ ලෙස පාලන ක්‍රමවේද වැදගත් කම ඕනෑම සමජයක මූලිකම අවශ්‍යතාවයයි. සමාජයක්‌ ක්‍රමවත් හා විධිමත් වීමට නායකත්වයක අවශ්‍යතාය ඉස්‌මතු වේ. එම ඉස්‌මතු වීමෙ ඉතිහාසය දීඝ ලෙස චක්‌කවත්ති සීහනාද සූත්‍රයේ හා අග්ගඤ්ඤ සූත්‍රයේ ද විග්‍රහ කොට ඇති ආකරය මෙහිදී සඳහන් කළ යුතුය.

බුදුදහම ආරම්භ වීමටත් ප්‍රථම ජම්බු ද්වීපය තුළ විවිධ ගෝත්‍රික පදනමක්‌ මත හිඳ ගනිමින් අංග, මගධ, කාසි කෝසල, වඡ්ජි, මල්ල, ෙච්ති, වත්ස, කුරු, පඤ්චාල, මත්ස්‍ය, සූරසේන, අස්‌සක, අවන්ති, ගන්ධාර, කාම්බොජ යන ජනපද මුල කරගනිමින් සමූහාණ්‌ඩු පාලන රටාවක්‌ ක්‍රියාත්මක විය.

බුදුසමය පහළ වන විට ඉහත කී රාජ්‍ය පාලන ප්‍රදේශ බිහිව තිබුණි. එහෙත් ධාර්මික රජ්‍ය පාලනය උදෙසා පැවැත්ම බුදුදහම තුලින් තහවුරු කිරීමට බුදුන් වහන්සේ උත්සහ ගෙන ඇත. ඊට අදාළ වන කරුණු පෙළ සාහිත්‍යය තුළින් මතුකර ගත හැක. 'සක්‌කා නු ඛො රඡ්ජං කාරෙතුං අහනං අඝාතයං අජිනං අජාපයං අසොචයං

අසෝචාපයං ධම්මෙනාති' (සං(නි(1 රඡ්ජ සූත්‍රය ) මෙහි අදහස වන්නේ රජකු විසින් රජ්‍ය පාලනයේ දී ප්‍රජාව කෙරෙහි පැවතිය යුතු ආකල්ප පිළිබඳවයි. තවද උන්වහන්සේ තර්කයක්‌ ද ගොඩනඟන්න උත්සහ ගෙන තිබේ. එනම් අන් අය විනාශ නොකරමින්, පරජයට පත් නොකරමින්, කෙනෙකුට දුකක්‌ නොදෙමින්, ධාර්මිකව රාජ්‍ය පාලනය කළ නොහැකි ද? යන්නයි. බුදුදහම විශේෂයෙන්ම දේශපාලන ක්‍රියාවලිය විධිමත් වීමට අවශ්‍ය උපදෙස්‌ ඉදිරිපත් කිරීම නතර කර දමා නැත. බුදුසමය රාජ්‍ය තාන්ත්‍රික උපදෙස්‌ ඉදිරිපත් කරන්නෙ හේතුඵලවාදය පදනමක්‌ මත පිහිටා ගෙනය.

ධාර්මික රාජ්‍යක්‌ තුළ පිහිටිය යුතු කරුණු බුදුදහමේ පිළිගැනීමට අනුව ක්‍රමවේද තුනක්‌ යටතට ගැනෙන බව සඳහන් වේ

1. රාජ්‍ය බලයේ උල්පත මහජනතාවයි
2. සමාජ විෂමතා නැති කිරීම රාජ්‍යත්වයේ අරමුයි
3. ධාර්මික පාලනය රජුගේ කාර්යයි.

එමෙන්ම බුදුසමයට සමකාලීන ලිච්ඡවී රජදරුවන් අනුගමනය කරන ලද්දේ ඔවුන් විසින් සම්මුතියෙන් මෙන්ම බුද්ධෝපදේශ ද උපයෝගී කොටගෙන පනවා ගන්නා ලද ප්‍රායෝගික රාජ්‍ය පාලන ප්‍රතිපත්තිය. එසේම එම ප්‍රතිපත්ති බුදුන්වහන්සේගේ පැනවීමක්‌ නොවූ නමුත් එම ධර්ම කාරණා අනුගමනය කිරීමෙහි වටිනාකම ඉස්‌මතු කොට දක්‌වා තිබේ.

බුදුන්වහන්සේ විසින් සප්තාපරිහාණීය ධර්ම පිළිබඳව ලිච්ඡවීන්ට දේශනා කිරිම තුළින් ප්‍රකට වන්නෙ බුදුදහම දේශපාලනිකව කොතරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදී අදහස අගය කරනවා ද යන්නයි. විශේෂ යෙන්ම පුද්ගල ඒකාධිකාරිය සපුරා බැහැර කරයි. සෑම විටම යම් ප්‍රස්‌තුතයක්‌ විෂයෙහි ඔවුන් තීරණය ගනු ලැබුවේ සාකච්ඡා මාර්ගයෙනි. සෑම දෙනා තුළ ම එක්‌ සම්මුතියක්‌ පැවතිම හා සමඟිය, සම්මත කරගත් තීරණ ක්‍රියාත්මක කිරීම ආදිය ඔවුන්ගේ ධාර්මිකත්වයට හා සාර්ථකත්වට මූලික සාධක විය.

බුදුන්වහන්සේ පෙන්වා දුන් අපරිහානීය ධර්ම පහත පරිදි දැක්‌විය හැක.

- පාලනය පිළිබඳ ගැටලු හා ක්‍රියාමාර්ග ගැන නිතර රැස්‌ වී සාකච්ඡා කිරීම

- සමඟියෙන් රැස්‌ වී සමඟියෙන් විසිර යැම හා එළැඹි නිගමන සමඟියෙන් යුතුව ක්‍රියාත්මක කිරීම

- නො එළැඹි නිගමන ක්‍රියාත්මක නො කිරීම හා එළැඹි නිගමන ක්‍රියාත්මක කිරීම

- වැඩිහිටි මතයට, සමාජයේ පැවත ආ සම්ප්‍රදායට ගරු කිරීම

- කුල ස්‌ත්‍රීන් කුල කුමරියන් බලෙන් ඇද පුරුෂ වසඟයෙහි නොපැවතීම

- සමාජයේ පූජනීයත්වයට පාත්‍ර වූ ස්‌ථාන කෙරෙහි ගෞරව සහිත වීම්

ආධ්‍යාත්මික වශයෙන් දියුණු උතුමන්ට රැකවරණය සැලසීම

(දී(නි(2 මහාපරිනබ්බාණ සූත්‍රය)

මේ කරුණු පරික්‌ෂා කිරීම මගින් පැහැදිලි වන්නෙ රජ්‍යක ආර්ථික සුරක්‌ෂිත තාව පමණක්‌ නොව මානව සදාචාරය ද ප්‍රබල ලෙස අවදානය යොමු කොට තිබෙන බවයි. නොඑසේනම් භෞතික සංවර්ධනය සේම ආධ්‍යාත්මික සංවර්ධනය ද බුදුදහම තදින් අපේක්‌ෂා කරන බවයි.

බුද්ධකාලීන භාරතයේ පැවති එක්‌ සංකල්පයක්‌ වූයේ කෙසේ හෝ සක්‌විති රජෙකු විමට ය. ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග රජදරුවන් විසින් ගන්නා ලදී. ඇතැමෙක්‌ කුඩා රජ්‍ය යටත් කොට තම රාජ්‍යයෙ විශාලත්වය මඟින් සක්‌විති රජෙකු වීමට උත්සහ ගෙන ඇති අතර තවෙකෙක්‌ මිය පරලව ගොස්‌ දිව්‍යලෝකයේ සක්‌විති රජවීමටත් සිහින දැක්‌කෝය. තදබල ලෙසම සක්‌විති රජ උණ එකල රජදරුවනට වැළඳී තිබෙන්නට ඇත. ඒ හේතුවෙන්ම තවෙකෙක්‌ පරයා යන්නට යත්න දැරීම තුළින් ප්‍රජා පීඩාව ඇති වන බව ඔවුන්ට නො වැටහෙන්නෙ සක්‌විති රජ සිහිනය නිසා වෙනි. කෙසේ නමුත් බිම්බිසාර රජුගේ ඇවෑමෙන් අජාසත් රජු මගධයේ රාජාණ්‌ඩු බලය ඉස්‌මතු වීම හේතුවෙන් බුදුන්වහන්සේ රාජ්‍යත්වයට ඉහළින් ධර්මාධිපතිත්වය අවධාරණය කරමින් චක්‍රවර්තී රාජ්‍ය සංකල්පය ඉදිරිපත් කළහ. එසේ ඉදිරිපත් කිරීම තුළින් උන්වහන්සේ බලාපොරොත්තු වූයේ ප්‍රජා පීඩක ආකල්පය නැති කරලනු පිජිස ය.

දස සක්‌විති වත්

- රජුගේ පුත්‍රදාරාදීන්ගේ රැකවරණය සංවිධානය කිරීම

- බලසෙන් පිළිබඳ රැකවරණය සලසා දීම

- රාජ්‍යයෙහි අනුයුක්‌ත ක්‌ෂත්‍රීයයන් පිළිබඳ රැකවරණය සලසා දීම

- බ්‍රාහ්මණ ගෘහපතියන් පිළිබඳ රැකවරණය සලසා දීම

- නියම්ගම් ජනපද වැසියන් පිළිබඳ රැකවරණය සැලසීම

- රටේ සදාචාර නියාමකයන් වනමහණ බමුණන් පිළිබඳ රැකවරණය සලසාදීම

- සිව්පාවුන, පක්‌ෂීන් පිළිබඳ රැකවරණය සලසා දීම.

- රාජ්‍යයේ අධර්ම ක්‍රියා පවත්නට ඉඩ නොතැබීම

- නිර්ධනයින්ට තමා අභිමත කර්මාන්ත කටයුතු සඳහා ධනය පරිත්‍යාග කිරීම

- ආත්ම දමනයෙහි නියුතු මහණ බමුණන් වෙත වරින්වර ගොස්‌ කළ යුත්ත නො කළ යුත්ත විචාරා දැනගැනීම

සදාචාරය, සමෘද්ධිය හා ආරක්‌ෂාව යන මූලික අංග බෞද්ධ දේශපාලන දර්ශනයෙනි අවධාරණය වන බව මෙකී කරුණු තුළින් පැහැදිලි ලෙසම පෙනේ. සම්පත් පරිභෝජනය යම් සේ වී ද ඒ අයුරින් ම පරිභෝග කිරීමට නිදහස මිනිසාට සැලසීම තුළින් ඔවුනොවුන් අතර ඝට්‌ටනය තුරන් කිරීමට හේතුවක්‌ වේ. මෙයම රාජ්‍යයන් අතර යුදමය ආක්‍රමණ, ආර්ථික ආක්‍රමණ, සදාචාර ආක්‍රමණ වැලකී යාමකි. යුද බියෙන් ඇළලී සාමය ඉල්ලා හඬ නගන ලෝකයට අවශ්‍ය පරමාදර්ශී රාජ්‍ය සංකල්පයක්‌ බුදුසමයෙන් ප්‍රකාශිත ය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.