සිරිලක බැබළ වූ අමරණීය තෙරණිවරු

අලුතෑපොල ගණේකන්ද, පුරාණ රජමහා විහාරාධිපති
කැලණිය විශ්වවිද්‍යාලයේ, නූතන භාෂා අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය
ආචාර්ය, රාජකීය පණ්‌ඩිත
නැදලගමුවේ ධම්මදින්න හිමි

මිහිඳු මහ රහතන් වහන්සේ සදහම් පණිවුඩය ද රැගෙන අප ලංකාද්වීපයට වැඩම කළේ ක්‍රි( පූ( 247 වැනි වර්ෂයේ පොසොන් පොහෝදා ය. උන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ශ්‍රවණය කළ අප්‍රමාණ ලංකාවාසී ස්‌වදේශික ජනතාව අමෘත මහා නිර්වාණය අවබෝධ කර ගැනීමට සමර්ථ වූහ. එසේ නිර්වාණ මාර්ගයට අවතීර්ණ වූ අය අතර කාන්තාවෝ ද බොහෝය. ලංකාවාසී කාන්තාවෝ ධර්මය අවබෝධ කරගැනීමේ දී පුරුෂ පක්‌ෂයට කිසිසේත්ම දෙවැනි නොවූවත් පුරුෂ පක්‌ෂය සේ මිහිඳු මහ රහතන් වහන්සේ වෙතින් පැවිද්ද ලබා ශාසනයට ඇතුළුවීමට විනයානුකූල ව ඉඩකඩ නොලැබූහ. ඒ නිසා මෙහෙණින් වහන්සේලා වෙතින්ම පැවිද්ද ලබන තෙක්‌ බලාසිටීමට ඔවුන්ට සිදුවිය. මෙලෙස ලක්‌දිව බුදු සසුන බබළවන්නට පතාගෙන ආ තෙරණිවරුන්ගේ පහළ වීමට මූලික අඩිතාලම සැකසෙන්නට විය. ඒ අනුව ලක්‌දිව මෙහෙණි සසුන පිහිටුවීමට අවශ්‍ය කටයුතු ද සම්පාදනය විය.

සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ

ලංකාවාසී කාන්තාවන් පිළිබඳ අප්‍රමාණ අනුකම්පාවෙන් යුක්‌තව ඔවුන් පැවිදි කිරීමේ අරමුණින් මෙරටට වැඩම කළ සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ ලංකා ශාසනය ඒකාලෝක කළ මුල් ම මහරහත් භික්‌ෂුණින් වහන්සේ ය.

සද්ධර්මාලංකාරයට අනුව අශෝක රජුගේ මුල් නම පියදාසය. එතුමා අවන්ති රටේ උදේනි නුවර රාජ්‍ය කරීම පිණිස යන අතරමඟ වේදිස නම් නුවරට පැමිණ එහි සිටුතුමාගේ දියණිය වූ වේදිස දේවිය සමග විවාහ වී උදේනි නුවරට ගොස්‌ වේදිස දේවියගෙන් ලැබූ මිහිඳු හා සංඝමිත්තා පුතු හා දියණිය සමග වසන කාලයේ පළමු වරට නිග්‍රෝධ සාමණේරයන් දෙසූ Ñමනෝ පුබ්බංගමා ධම්මා... ආදී ගාථාව අසා බුද්ධ ධර්මයෙහි පැහැදුණේaය. ඉන්පසු කාලයක සංඝමිත්තාව අග්නිබ්‍රහ්ම නම් වූ රාජකුමාරයකු සමඟ විවාහ වූ අතර අශෝක රජු ඔටුනු පැළඳි හතර වන අවුරුද්දේ දී මේ අග්නිබ්‍රහ්ම කුමාරයා රජුගේ තිස්‌ස නම් යුවරජු සමග පැවිදි විය. මේ නිසා සංඝමිත්තාවන් සිය පුතු වූ සුමන සමග තනි වු අතර අග්නිබ්‍රහ්ම කුමාරයා පැවිදි වූ දා පටන් එතුමිය ද පැවිදි වීමට ආශාවෙන් පසුවූවාය. ඒ අතර දිනක්‌ අශෝක රජතුමා මොග්ගලීපුත්ත තිස්‌ස තෙරුන්ගෙන් විචාළේ ශාසනයට හිමිකරුවකු වන්නේ කෙසේද කියාය.

''එවෙලෙහි මහතෙරුන් වහන්සේ, මහරජ යම්කිසි කෙනෙක්‌ තමන් ට දා දියණි කෙනකුන් හෝ පුතනු කෙණෙකුන් හෝ ශාසනයෙහි මහණ කරවාලූ නම් ඔහු ම ශාසනයට හිමියෝය යි වදාළ සේක.''

(සද්ධර්මාලංකාරය - තේභාතික වර්ගය)

ඒ බව ඇසූ සංඝමිත්තා තමන් ද පැවිදි වීමට කැමැති බව ප්‍රකාශ කළෙන් අශෝක රජතුමා ඇයව කැඳවාගෙන මෙහෙණවරට ගොස්‌ ඇය පැවිදි කරවීමට කටයුතු කළේය. සංඝමිත්තා තෙරණින්ගේ උපාධ්‍යායී වූයේ ආයුපාලී නම් මහ රහත් තෙරණියක්‌ වන අතර ආචාරිනී වූයේ ධම්මපාලී නම් මෙහෙණින් වහන්සේ නමකි. එතුමිය උපසම්පදාවෙන් අනතුරුව රහත් ව වැඩ වසන සමයේ අරිට්‌ඨ ඇමතිගේ ඉල්ලීම පිට අශෝක රජුගේ අනුග්‍රහයෙන් ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ දක්‌ෂිණ ශාඛාව ද සමග ලංකාවට වැඩම කළ සේක.

''(තවද) සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ, විචක්‌ෂණ බුද්ධිමතී වූ උත්තරා ය, හේමා ය, මසාරගල්ලා ය, අග්ගිමත්තා ය, දාසිකා ය, ථෙග්ගූ ය, පරීබතා ය, මත්තා ය, මල්ලා ය, ධම්මදාසී ය යන මේ තරුණ භික්‌ෂණීහු ද දඹදිවින් ලක්‌දිවට පැමිණියෝ ය.''

(දීප වංසය - 18 පරිච්ඡේදය - 12, 13 ගාථා )

සංඝමිත්තා මහ රහත් මෙහෙණින්a වහන්සේ අනුලා දේවිය ඇතුළු දහසක්‌ ස්‌ත්‍රීන් පැවිදි කරවා දහම් දෙසා ඒ සියලු දෙනා නිවණට පැමිණ වූහ. මෙලෙස ලංකාවේ භික්‌ෂුණී ශාසනය පිහිටුවා එහි දියුණුවට අනුපමේය සේවයක්‌ කළ සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ උත්තිය රජුගේ නව වැනි රාජ්‍ය වර්ෂයේ හෙවත් බුද්ධ වර්ෂ 286දී හත්ථාලAහක නම් මෙහෙණවර වැඩ වසන සේක්‌ පිරිනිsවන් පා වදාළ සේක. ඒ උත්තමාවියගේ ශ්‍රී දේහය ආදාහනය කරන ලද්දේ ථූපාරාමය අසල චිත්‍රශාලා නම් ස්‌ථානයෙහි ය. එතුමියගේ ධාතූන් වහන්සේලා නිදන් කොට නිර්මාණය කරන ලද සෑ රදුන් 'ස`ගමිත් සෑය' නමින් ප්‍රසිද්ධියට පත්විය.

අනුලා මහ රහත් තෙරණින් වහන්සේ

සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේවෙත පැවිදි ව අර්හත්භාවයට පත් වූ මුල්ම ලාංකික භික්‌ෂුණින් වහන්සේ අනුලා තෙරණිය යි.

මුල් වරට රාජ මන්දිරයට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේට දන් පිළිගැන්වූ දෙවනපෑතිස්‌ රජතුමා තම මලණුqවන් වූ මහානාග රාජ කුමාරයාගේ අගබිසව වූ අනුලා දේවිය ඇතුළු පන්සියයක්‌ බිසෝවරුන් සමඟ එකත් පසෙක හිඳ ගත්තේය. එවේලෙහි මිහිඳු හාමුදුරුවෝ පේතවත්ථු හා විමානවත්ථු මෙන් ම සච්චසංයුක්‌තයෙන් ද ධර්මය දේශනා කළ සේක. ඒ ඇසූ අනුලා දේවිය ඇතුළු පන්සියයක්‌ දේවිවරු සෝවාන් මාර්ගඵල අවබෝධ කළහ. ඉන් අනතුරුව දෙවැනි දින රජතුමාට දෙසන ලද 'වේළුවනාරාම වස්‌තුව' ශ්‍රවණය කිරීමෙන් අනුලා දේවිය ඇතුළු පන්සියයක්‌ බිසෝවරු සකෘදාගාමි ඵලයට පත්වූහ.

ඉන් අනතුරුව අනුලා දේවිය ඇතුළු පන්සියයක්‌ බිසෝවරුන් සහ පන්සියයක්‌ නගරවනිතාවන් ද කෙස්‌වැටි කපා කසා වස්‌ත්‍ර හැඳ පොරවා, දසසිල් සමාදන් ව සිටි හෙයින් රජතුමා ඔවුන් උදෙසා උපාසිකා වෙහෙර නම් ආරාමය කරවීය. සංඝමිත්තා මහ රහත් තෙරණිය ලක්‌දිවට වැඩම කොට උඳුවප් පොහෝදාක අනුලා දේවිය ඇතුළු දහසක්‌ ස්‌ත්‍රීන් පැවිදි කරවූ අතර ඒ උතුම් තෙරණිවරු සියලු දෙනා මහ රහත් භාවයට පත්වූහ.

අනුලා මහ රහත් තෙරණිය ලාංකික කාන්තාවගේ ආධ්‍යාත්මික විමුක්‌තියේ පරමාදර්ශය ලෙස සැලකීමට පුලුවන. එතුමිය අනුගමනය කරමින් උතුම් සදහම් මග පිළිපැද නිවනට සපැමිණි ලක්‌වැසි කාන්තාවෝ අප්‍රමාණ ය.

නාග තෙරණිය

තවද වලගම්බා රජ දවස තීය නම් වූ බ්‍රාහ්මණයෙකු රජතුමා පලවා හැර රට පාලනය කරන්නට විය. මේ කාලයේ මහා නියඟයක්‌ ද ඇති විය. මෙකල භාතරගාම නම් වූ ගොදුරුගම මුල් කරගෙන ඉතා සිල්වත් නාග නම් වූ තෙරණි කෙනෙක්‌ වැඩ විසූහ. නාග තෙරණියන් නවක භික්‌ෂුණීන්ට ධර්මය ද උගන්වමින් ඉතා ගුණ යහපත් ජීවිතයක්‌ ගත කළ අතර එතුමියගේ සීල තේජසින් දෙවිවරු පවා කම්පා වූහ.

''චණ්‌ඩාලතීය භය ඇති කාලයේ භාතර ගම්වැසියෝ නාග කෙරණියට ද නොදන්වා පලා ගියහ. තෙරණිය අලුයම් කාලයේ 'ගම ඉතා නිහඩ ය. සොයා බලන්නැ' යි නවක භික්‌ෂුණීන්ට කීවා ය. ඔවුහු ගොස්‌ සියලු දෙනා පලා ගොස්‌ ඇති බව දැක ආපසු අවුත් තෙරණියන්ට ඒ බව සැළ කළහ. ඇය ඒ බව අසා 'ඔවුන් පිටව ගොස්‌ ඇති බව ඔබලා හිතන්න එපා. තමන්ගේ ඉගෙනීම්, ප්‍රශ්න සාකච්ජා කිරීම් හා නුවණින් මෙණෙහි කිරීම් යන කටයුතුවල උත්සාහවන්ත වන්නැ' යි කියා පිඬසිඟා යන වෙලාවේ සිවුර පොරවා තවත් භික්‌ෂුණීන් එකොළොස්‌ දෙනෙකු සමඟ ගම්දොර නුගරුක මුල වැඩ සිටියා ය. ගසට අධිගෘහිත දේවතාවා භික්‌ෂුණීන් දොළොස්‌නමටම පිණ්‌ඩපාතය දී 'ආර්යාවෙනි, වෙන තැනකට වඩින්න එපා, නිරන්තරයෙන් ම මෙහි වඩින්නැ'යි කී ය.

නාග තෙරුන් නම් වූ බාල සහෝදරයෙක්‌ තෙරණියන්ට ඇත. උන්වහන්සේ, 'මහා භයකි, යෑපීමට මාර්ගයක්‌ නැත, විදේශයකට යමි' යි තමා ද සමග භික්‌ෂුන් වහන්සේලා දොළොස්‌ නමක පිරිසක්‌ ලෙස හුන්තැනින් නික්‌ම, 'තෙරණිය දැක යමි' යි භාතරග්‍රාමයට වැඩියේ ය. තෙරණිය ද තෙරුන් වැඩියේ යෑයි අසා උන්වහන්සේලා සමීපයට වැඩම කොට, 'ඇයි ආර්යයන් වහන්සැ?' යි ඇසුවා ය. උන්වහන්සේ ද සියලූ තොරතුරු පැවසූහ. එතුමිය ද, 'අද දවසට පමණක්‌ වෙහෙර ම නතර වී හෙට වඩින්නැ' යි කීවා ය. භික්‌ෂුන් වහන්සේලා විහාරයට ම වැඩම කළහ. තෙරණිය දෙවන දිනයෙහි රුක මුල පිඬු පිණිස හැසිර තෙරුන් වෙත වැඩම කොට, 'මේ පිණ්‌ඩපාතය වළඳන්නැ' යි කීවා ය. තෙරුන් ද, 'තෙරණියනි, එසේ කිරීම වටී ද?'' යනුවෙන් නිහඬවම සිටි කල, 'පින්වතුන් වහන්ස, මෙය දැහැමි පිණ්‌ඩපාතයකි, සැක නොකර වළඳන්නැ' යි කීවා ය. තෙරණිය පාත්‍රය ගෙන අහසට විසි කළාය. පාත්‍රය අහසෙහි පිහිටියේ ය. තෙරණුවෝ, 'තෙරණියනි, සත් රියනක්‌ උඩ පිහිටියත් භික්‌ෂුණී බතක්‌ ම යි' යනුවෙන් පවසා, 'භය නම් හැමදාම නැත. භය සංසිදුනු විට අරියවංශය කියමින් එම්බල පිණ්‌ඩපාතිකය, භික්‌ෂුණී බතක්‌ වළඳා කල් ගත කළා නොවේදැ යි සිතින් දොස්‌ ලබමින් සිටින්නට නොකැමැත්තෙමි. තෙරණිවරුනි, පමා නොවව්.'' යනුවෙන් කියා මගට බැස්‌සෝය.

වෘක්‌ෂ දේවතාවෝ ද 'මේ තෙරුන් තෙරණියගේ පිණ්‌ඩපාතය වළඳන්නේ නම් රඳවා නොගනිමි.' යි සිතා තෙරුන් පිටත් වූ බව දැක, ගසින් බැස, ''ස්‌වාමීනි, පාත්‍රය දෙනු මැනවි' යි කියා පාත්‍රය ගෙන තෙරුන් ගස මුලට ම වඩමවා, අසුනක්‌ පනවා, දන් දී, භික්‌ෂුණීන් දොළොස්‌නමක්‌ හා භික්‌ෂුන් දොළොස්‌නමක්‌ ද සත් අවුරුද්දක්‌ රඳවාගෙන උපස්‌ථාන කළේ ය.''

(අංගුත්තර නිකාය අට්‌ඨකථා - ඡක්‌ක නිපාත)

තියෙ සාලෝ (දිසාලා) නම් ලාංකික භික්‌ෂුණිය

ලංකාවේ භික්‌ෂුණීන් වහන්සේලා මෙම ලංකාද්වීපයේ පමණක්‌ නොව වෙනත් රටවල ද ධර්මය ප්‍රචලිත කිරීම පිණිස ජීවිත පරදුවට තබා කටයුතු කළහ. ඒ අතර චීනයේ භික්‌ෂුණි ශාසනය පිහිටුවා අනුපමේය සේවයක්‌ කළ ලාංකික භික්‌ෂුණීන් වහන්සේලා විශේෂයෙන් සිහිපත් කළ යුතුය.

මහානාග රජතුමා ලංකාවේ රාජ්‍ය කරන සමයේ තියෙ සාලෝ නම් ලාංකික භික්‌ෂුණියක්‌ චීනයට වැඩමකොට එහි මෙහෙණි සසුන පිහිටුවන ලද බව පාඔ චං විසින් රචනා කරන ලද භික්‌ෂුණී චරිත (පිචිඋනි චුවන්) නම් කෘතියේ සඳහන් වී ඇත. ක්‍රිථ ව 431 දී ලංකාවාසී භික්‌ෂුණීන් වහන්සේලා රැගත් නන්දී නම් නැව්පතියා මුහුදු මාර්ගයෙන් චීනයට ළඟා වූ බවත් ඔහුත් සමග භික්‌ෂුණීන් වහන්සේලා අට නමක්‌ චීනයට වැඩම කළ බවත් එහි සඳහන් වී ඇත. නමුත් වැඩම කළ භික්‌ෂුන් වහන්සේලා අට නම භික්‌ෂුණි උපසම්පදාව පිහිටුවීමට ප්‍රමාණවත් නොවූ නිසා නන්දි විසින් ක්‍රි( ව( 433දී තියෙ සාලෝ භික්‌ෂුණිය ප්‍රමුඛ තවත් ලාංකික භික්‌ෂුණින් වහන්සේලා තුන් නමක්‌ චීනයේ නන්ජිං නුවරට වැඩමවන ලදී. ක්‍රි(ව( 434 දී තියෙ සාලෝ භික්‌ෂුණිය ප්‍රමුඛ ශ්‍රී ලාංකික භික්‌ෂුණීන් වහන්සේලා ප්‍රථම වරට චීනයේ භික්‌ෂුණීන් වහන්සේලා උපසම්පදා කළහ. මෙම ඵෙතිහාසික කටයුත්ත සිදු කරන ලද්දේ නන්ලින් නම් විහාරස්‌ථානයේදීය. සොං වන් අධිරාජයාගේ ආරාධනාව පිට සංඝවර්මන් නම් භික්‌ෂුන් වහන්සේ මෙම කටයුතුවල දී මූලිකත්වය ගෙන කරන ලද සේවය ද අනුපමේය ය.

තියෙ සාලෝ යනු දේවසාරා යෑයි ද, නැතහොත් තිසාලා යනුවෙන් ද පරිවර්තනය කළ හැකිය. කෙසේ වුව ද එම නම දිසාලා යනුවෙන් ද පරිවර්තනය කළ හැකිය. මෙලෙස එම වතාවේ චීන භික්‌ෂුණීන් වහන්සේලා තුන්සියයක්‌ පමණ උපසම්පදා කළ බව මෙම වාර්තාවේ සඳහන් වී තිබේ. තියෙ සාලෝ භික්‌ෂුණින් වහන්සේ සිහිපත් වීම පිණිස එම තෙරණිවරුන් සඳහා ඉදිකරන ලද ආරාමය තියෙ සාලෝ ආරාමය යනුවෙන් නම් කරන ලදී.

ලාංකික භික්‌ෂුණීන් වහන්සේ ලංකාව හා ලෝකය තුළ සිදුකරන ලද ශාසනික සේවය අති විශාලය. එම තෙරණිවරුන් ජීවිත පරිත්‍යාගයෙන් යුක්‌තව සසුන වෙනුවෙන් කළ කැප කිරීම් අද ද අගය කළ යුතු ය. චීනය, කොරියාව හා ජපානය වැනි රටවල අද ද මෙහෙණි සස්‌න පවතිනුයේ එවන් අසහාය සේවාවක ප්‍රතිඵලයක්‌ ලෙස ය. ලංකාවේ පැවති අවුල් වියවුල් මැද දොළොස්‌වැනි සියවස පමණ වන විට මෙරට මෙහෙණි සස්‌න ක්‍රම ක්‍රමයෙන් අතුරුදන් වී තිබෙන නමුත් මෙහෙණි සසුන කවදත් එකසේ අවශ්‍යබව පිළිගත යුතුය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.