භවය ඇතිවීමට ආහාර හා භවය නැතිවීමේ ආහාර

ශාස්‌ත්‍රපති ඇලිකේවෙල සීලානන්ද හිමි

භවය යනුවෙන් අදහස්‌ කරන්නේ වීම, ඉපදීම, උපදින තැන කාම රූපාදීය, සංසාරය, කාම ධාතු ආදීනව පැමිණීම ආදී අරුතිනි. පුනර්භවය ඇතිකරන, නන්දිරාග සහගත, ඒ ඒ භවයන්හි ඇල්ම ඇතිකරන යම් තෘෂ්ණාවක්‌ වේද, එනම් කාම තණ්‌හා (කාම වස්‌තූන් කෙරෙහි පවත්නා තෘෂ්ණාව), භවතණ්‌හා (ශාස්‌වත දෘෂ්ටි සහගත තෘෂ්ණාව), විභව තෘෂ්ණා (උච්ඡේද දෘෂ්ටි සහගත තෘෂ්ණාව) යන ත්‍රිවිධ තෘෂ්ණාවයි. මෙය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් කාම තණ්‌හා යනු පසිඳුරන්ගෙන් ගනු ලබන රූපාදී අරමුණු ඉෂ්ට, කාන්ත, මනාප වශයෙන් පැතීමයි. ඒවාට ලොල්වීමයි. ඒවාට ඇලීමයි. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් වස්‌තු කාම, ක්‌ලේෂ කාම වශයෙන් ඉවසීමයි. භවය ප්‍රාර්ථනා කිරීම, භවය පිsළිබඳව ඇති ආශාව, ශාස්‌වත දෘෂ්ටිය සහිත තෘෂ්ණාව භව තණ්‌හාවයි. උච්ඡේද සංඛ්‍යාත ලෝභය විභව තණ්‌හාවයි. බුදුදහම හේතුඵල දහමකි. කිසිවක්‌ අහේතුකව හෝ අප්‍රත්‍යව සිදුවන්නේ හෝ ඊෂ්වරයකුගේ මැවීමක්‌ හෝ ඉබේ හටගන්නා දෙයක්‌ හෝ නොවේ. ඒවා හේතු ප්‍රත්‍යයන්ගේ සමවාය කරණකොට ගෙන සිදුවන්නකි.

ඒ අනුව භවයට ආහාර හෙවත් හේතුද, භවය නැතිකිරීම පිළිබඳව ආහාර හෙවත් හේතුද බුදුන්වහන්සේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ යමක වග්ගයේ තණ්‌හා සූත්‍රයෙන් මැනවින් දේශනකොට ඇත. ඒ දේශනාවට අනුව භික්‌ෂුන් අමතන තථාගතයන් වහන්සේ 'පූරිමා භික්‌ඛවෙ කොටින, පඤ්ඤායති,භවතණ්‌හාය, ඉතො පුබ්බෙ, භවතණ්‌හා නා හෙවිසි, අථ ඵච්චා සමභවිති,එවකුමෙතංභික්‌ඛවෙ මුච්චති, අථ ච පන පඤ්ඤායති'' ඉදපපච්චයතා, භව තණ්‌හාති...'' - ''මහණෙනි, මෙයින් පෙර භව තෘෂ්ණාව නොවීය, යළි පසුව ඇතිවී යෑයි භව තෘෂ්නාවයේ ආරම්භය හෝ අවසානය නොපැනෙයි. මහණෙනි, තෙල මෙසේ කියනු ලැබේ. එසේ වුවත් භව තෘෂ්ණාව මේ මේ ප්‍රත්‍යයන් නිසා හටගන්නේ යෑයි පැවැසිය හැකි යනු මෙහි අරුතයි. මෙයින් පැහැදිලි වන්නේ අගක්‌ මුලක්‌ නොපෙනෙන භවය හෙවත් සසරේÊආරම්භය කවදා සිදුවීදැයිපැවැසිය නොහැකි බවයි. එය එසේ වුවත් එය සහේතුකව, සප්‍රත්‍යයට ඇති වූවක්‌ බව දේශනා කරන ලදී. ඒ අනුව ඒ භවයට හේතු මොනවාදැයි පැහැදිලි කරන තථාගතයන් වහන්සේ භව තණ්‌හාවට ආහාරය මුල්කොට ගන්නා බවත්, ආහාර නැතිව භව තණ්‌හාව නොපවතින බවත් ඒ භව තණ්‌හාවයේ ආහාරය අවිද්‍යාව ලෙසත් දේශනාකොට ඇත. මෙහි අවිද්‍යාව යනු මෝහයය හෙවත් මුලාවයි. සත්වයා සංසාරයෙහි බැඳ තබන මෝහය නමැති බැඳීමයි. ඒ මෝහය ඇතිතාක්‌ දුක

නොදනියි. දුකට හේතුව නොදනියි. දුකින් එතෙරවීම නොදනියි. දුකින් එතෙර වීමේ මග නොදකියි. ඒ තාක්‌ සසරේ බැඳ තබයි.

මේ අවිද්‍යාව හටගන්නේද ආහාරයෙනි. අවිද්‍යාවට ආහාර හෙවත් හේතු නැතිව ඇති නොවෙයි. ඒ අවිද්‍යාවේ ආහාරයනම් පංච නීවරණයෝයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධච්චකුක්‌කුච්ච, විචිකිච්ඡා යනු ඒ පංච නීවරණයෝයි. නිවන වසාලන අවුරාලන අරුතින් නීවරණ නම් වේ. ඉන්ද්‍රිය සයෙහි අරමුණුවලට ඇලෙමින් වාසය කිරීමේ කැමැත්ත කාමච්ඡන්දයයි. ඒ අරමුණු සමග ගැටීම ව්‍යාපාදයයි. සිතෙහි ඇතිවන අලසකම ථින මිද්ධයයි. සිතෙහි ඇතිවන නොසන්සුන්කම උද්ධච්ච කුක්‌කුච්චයයි. බුද්ධාදී අටතැන්හි ඇතිවන සැකය විචිකිච්ඡාවයි.

ඒ නීවරණයෙන්ද ආහාර නොමැතිව හටගන්නක්‌ නොවේ.එයට ආහාර වන්නේ ත්‍රිවිධ දුෂ්චරිතයයි. එනම් කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිත යනු ඒ ත්‍රිවිධ දුශ්චරිතයෝයි. ඒ ත්‍රිවිධ දුෂ්චරිතයෝද ඉබේ ඇතිවන්නක්‌ නොවේ.එයටද ආහාර මුල්වෙති. එහි ආහාරය නම් ඉන්ද්‍රිය අසවරයයි. ඒ ඉන්ද්‍රිය අසංවරයට ආහාර වන්නේ සතිය හා මහා ප්‍රඥාව නොමැතිවීමයි. සතිය හා මහා ප්‍රඥව නොමැතිවීමට ආහාරය වන්නේ අයෝනිසෝ මනසිකාරය හෙවත් නුවණින් තොරව කටයුතු කිරීමයි. අයෝනිසෝමනසිකාරයට ආහාර වන්නේ ශ්‍රද්ධාවෙන් තොරවීමයි. එනම් තුණුරුවන් කෙරෙහි නොපැහැදීමයි. ශ්‍රද්ධාවෙන් තොරවීමට ආහාරය වන්නේ ශ්‍රද්ධාව ඇතිකිරීමට හේතුවන සද්ධර්ම ශ්‍රවණයට අකමැති වීමයි. සද්ධර්ම ශ්‍රවණයට අකමැතිවීමට ආහාර වන්නේ අසත්පුරුෂ සේවනයයි.

අසත්පුරුෂ සේවනය කරණකොටගෙන අසද්ධර්ම ශ්‍රවනය කරයි. අසද්ධර්මය ශ්‍රවනය කරණකොට ගෙන අශ්‍රද්ධාව වර්ධනය වෙයි. අශ්‍රද්ධාව පූරණයවීමෙන් අයෝනිසෝ මනසිකාරය පූරණය වෙයි. අයෝනිසෝ මනසිකාර කරණකොට ගෙන අඝාත සම්පඤ්ඤය පූරණය වෙයි. අඝාත සම්පජඤ්ඤය කරණකොට ගෙන ඉන්ද්‍රිය අසංවරය ඇතිවෙයි. ඉන්ද්‍රිය අසංවරය කරණකොට ත්‍රිවිධ දුෂ්චරිතය සිදුවෙයි. ත්‍රිවිධ දුෂ්චරිතය කරණකොට ගෙන පඤ්ච නීවරණයන් පූරණය වෙයි. අවිද්‍යාව කරණකොට භව තණ්‌හාව පූරණය වෙයි. පඤ්ච නීවරණ කරණකොට ගෙන අවිද්‍යාව පූරණය වෙයි. මේ අයුරින් භවයේ පැවැත්මට ආහාර හෙවත් හේතූන් පූරණය කරනු ලබයි. මේ භවය හෙවත් සසර පැවැත්මට හේතුයි. හෙවත් ආහාරයයි.

බුදුපියාණන් වහන්සේ උපමාවක්‌ ගෙනහැර දක්‌වමින් මෙය සනාථකොට ඇත්තේ මේ අයුරිනි. ''මහණෙනි, යම් විටක කඳු මතට මහ වැසි හටගත්විට එම දියෙන් කුඩා දිය ඇලි ඇතිවෙයි. කුඩා දිය ඇලිවලින් ලොකු දිය ඇලි ඇතිවෙයි. ලොකු දිය ඇලි පිරී කුඩා ඔයවල් පිරෙයි. කුඩා ඔයවල් පිරි මහා ඔයවල් පිරෙයි. මග ඔයවල් පිරීමෙන් කුඩා ගංගා පිරෙයි. කුඩා ගංගා පිරී මහා ගංගා පිරෙයි. මහා ගංගා පිරී මහ සමුදුරට ගලායයි'' යනුවෙන් එයට හේතු ප්‍රත්‍ය හෙවත් ආහාර කරණකොට කරුණු දක්‌වා ඇත.

මීළඟට භික්‌ෂුන් අමතන තථාගතයන් වහන්සේ මේ භව තෘෂ්ණාව නැතිකරන ආකාරයද සකාරණාව සනිධානව කරුණු දක්‌වා ඇත්තේ මෙසේය. විද්‍යා විමුක්‌තිය ආහාරයෙන් හටගනියි. විද්‍යා විමුක්‌තිය යනු අර්හත් මාර්ගඥන විද්‍යාව හා අර්හත් ඵල විමුක්‌තියයි. ඒ විද්‍යා විමුක්‌තියට ආහාර වන්නේ බෝධි අංග හතයි. බෝධිනම්වූ ආර්යමාර්ග ඥනයන් ලැබීමට උපකාරීවූ ධර්මයන් අවබෝධ කර ගැනීමට නම් බෝධි අංගයෝ මුල් වෙති. ඒවා නම් සති, ධම්ම විචය, වීර්ය, ප්‍රීති, පස්‌සද්ධි, සමාධි හා උපේක්‌ඛා වෙති. ඒ සප්ත බෝඡ්Cධංගයන්ගේ පහළවීමට උපකාරී වන ආහාරය වන්නේ සතර සතිපට්‌ඨානයයි. කායානුපස්‌සනාව, වේදනානුපස්‌සනාව, චිත්තානුපස්‌සනාව, ධම්මානුපස්‌සනාව ඒ සතර සතිපට්‌ඨානයෝයි. ඒ සතර සතිපට්‌ඨානය වැඩීමට ආහාරය වන්නේ ත්‍රිවිධ සුචරිතයයි. එනම් කය මුල්කරගෙන සිදුවන ත්‍රිවිධ සුචරිත ක්‍රියා, වචනය මුල්කරගෙන සිදුවන චතුර්විධ සුචරිත ක්‍රියා, මනස මුල්කරගෙන සිදුවන ත්‍රිවිධ සුචරිත ක්‍රියා මෙයින් අපේක්‌ෂිතය. එනම් දස කුසලයන්ගෙන් පිරිපුන් අයෙක්‌ වීමයි.

ත්‍රිවිධ සුචරිතයට ආහාරය වන්නේ ඉන්ද්‍රිය සංවරයයි. ඉන්ද්‍රිය සංවරය නම් මසුරාදී ඉන්ද්‍රියන් සංවර කර ගැනීම, ඉඳුරන් සංවර ලෙස පවත්වාගෙන යැම, රූපාදී ආරම්මණයන්හි නිමිති වශයෙන් නොගැනීම මෙයින් අදහස්‌ කරයි. ඉන්ද්‍රිය සංවරයට ආහාර වන්නේ සති සම්පජඤ්ඤයට ආහාර වන්නේ යෝනිසෝ මනසිකාරයයි. එනම් නුවණින් හා නිසි පරිද්දෙන් සලකා බැලීමයි. යෝනිසෝ මනසිකාරයට ආහාර වන්නේ ශ්‍රද්ධාවයි. එනම් කරුණු හරිහැටි දැක දැන අවබෝධයෙන් තෙරුවන් කෙරෙහි පැහැදීමයි. ශ්‍රද්ධාවට ආහාරය වන්නේ සද්ධර්ම ශ්‍රවණයයි. සද්ධර්ම ශ්‍රවණයට ආහාර වන්නේ සත්පුරුෂ සේවනයයි.

ඒ සත්පුරුෂ සේවනය කරණකොට සද්ධර්ම ශ්‍රවණය පූරණය වෙයි. සද්ධර්ම ශ්‍රවණය පූරණය වීමෙන ශ්‍රද්ධාව පූරණය වෙයි. ශ්‍රද්ධාව පූරණය වීමෙන් යෝනිසෝ මනිසිකාරය පූරණය වෙයි. යෝනිසෝ මනසිකාරය පූරණය වීමෙන් සතිසම්පඤ්ඤය පූරණය වෙයි. සති සම්පජඤ්ඤය පූරණය වීමෙන් ඉන්ද්‍රිය සංවරය පූරණය වෙයි. ඉන්ද්‍රිය සංවරය පූරණය වීමෙන් ත්‍රිවිධ සුචරිතය පූරණය වෙයි. ත්‍රිවිධ සුචරිතය පූරණයවීමෙන් සතර සති පට්‌ඨානය පූරණය වෙයි. සතර සතිපට්‌ඨානය පූරණයවීමෙන් බෝධි අංග පූරණය වෙයි. බෝධි අංගපූරණය වීමෙන් විද්‍යා විමුක්‌තිය පූරණය වෙයි. විද්‍යා විමුක්‌තිය යනු තෘෂ්ණාවෙන් මිදුණු සිතයි. හෙවත් සසරින් මිදුණු පසු මිදුනේ යෑයි අවබෝධ කරන නුවණයි.

මෙහි ආහාර ලෙස දක්‌වා ඇත්තේ හේතු ප්‍රත්‍යයි. ඒ භව තණ්‌හාවට හේතු ඇතිතාක්‌ භවය හෙවත් සසර උපත ලබයි. ඒ සසර පැවැත්ම හෙවත් භව තෘෂ්ණාව නැතිකිරීම සඳහාද ආහාර හෙවත් හේතු උපනිශ්‍රය වෙයි. භව තණ්‌හාවට හේතුපාදක වන හේතු නැති කළ යුතු අතර භව තණ්‌හාව නැතිකිරීමට හේතුපාදක වන හේතු වැඩීම කළ යුතු බව දැක්‌වීම සුවිශේෂී කරුණකි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.