උතුම් ම මොහොත

ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

නමෝතස්‌ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්‌සෘෘෘ
''ලාභා වො භික්‌ඛවෙ, සුලද්ධං වො භික්‌ඛවෙ, ඛණො වො පටිලද්ධො බ්‍රහ්මචරියවාසාය''
''මහණෙනි, නුඹලාට ලාභයෙකි. මහණෙනි නුඹලාට යහපත් ලැබීමකි. බඹසර විසුමට සුදුසු අවස්‌ථාව නුඹලා විසින් ලබන ලද්දේය''.

ඉහත සඳහන් කරනු ලැබුවේ අංගුත්තර නිකායේ සලායතන වර්ගයේ වේදනා සංයුත්තයට අයත් ඛණ සූත්‍රයෙහි අඩංගු ආරම්භක ධර්ම කොට්‌ඨාසයයි. මහාකාරුණික භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත මේ උතුම් සූත්‍ර දේශනාවෙන් අපි උතුම්වූ ම මොහොත දැන ආර්ය මාර්ගය අරමුණු කරගත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පත්වෙමු. භාග්‍යවතුන් වහන්සේ මෙසේ පැහැදිලි කොට දේශනා කරති. මහණෙනි, මා විසින් ස්‌පර්හ ආයතන සය නම් නිරයෝ දක්‌නා ලදහ. ඒ නිරයේ ඇසින් යම්කිසි රූපයක්‌ දකී නම් අයහපත් රූපයක්‌ම දකී. යහපත් රූපයක්‌ නොදකී. අකමැති රූපයක්‌ම දකී. කැමැති රූපයක්‌ නොදකී. අමනාප රූපයක්‌ම දකී. මනාප රූපයක්‌ නොදකී.

කනින් යම්කිසි ශබ්දයක්‌ අසා නම් අයහපත් ශබ්දයක්‌ම අසයි. යහපත් ශබ්දයක්‌ නොඅසයි. අකැමැති ශබ්දයක්‌ම අසයි. කැමැති ශබ්දයක්‌ නොඅසයි. අමනාප ශබ්දයක්‌ම අසයි. මනාප ශබ්දයක්‌ නොඅසයි.

නාසයෙන් යම් ආඝ්‍රාණයක්‌ ලබනවා නම් අයහපත් ආඝ්‍රාණයක්‌ ලබයි. යහපත් ආඝ්‍රාණයක්‌ නොලබයි. අකමැති ආඝ්‍රාණයක්‌ ලබයි. කැමති ආඝ්‍රාණයක්‌ නොලබයි. අමනාප ආඝ්‍රහණයක්‌ ලබයි. මනාප ආඝ්‍රාණයක්‌ නොලබයි.

දිවෙන් යම්කිසි රසයක්‌ විඳිනවා නම් අයහපත් රසයක්‌ම විඳියි. කැමැති රසයක්‌ නොවිඳියි. අකැමැති රසයක්‌ම විඳියි. කැමැති රසයක්‌ නොවිඳියි. අමනාප

රසයක්‌ම විඳියි. මනාප රසයක්‌ නොවිඳියි.

කයින් යම්කිසි පහසක්‌ ලබනවා නම් අයහපත් පහසක්‌ම ලබයි. යහපත් පහසක්‌ නොලබයි. අකැමැති පහසක්‌ම ලබයි. කැමැති පහසක්‌ නොලබයි. අමනාප පහසක්‌ම ලබයි. මනාප පහසක්‌ නොලබයි.

සිතින් යම් සිතුවිල්ලක්‌ දනී නම් අයහපත් සිතුවිල්ලක්‌ දනී. යහපත්

සිත-විල්ලක්‌ නොදනී. අකැමැති සිතුවිල්ලක්‌ම දනී. කැමැති සිතුවිල්ලක්‌ නොදනී. අමනාප සිතුවිල්ලක්‌ම දනී. මනාප සිතුවිල්ලක්‌ නොදනී.

මෙහි ඇති ධර්ම විවරණය අප පරීක්‌ෂාකොට බලමු. මෙහි දක්‌වා ඇති නිරයන් නම් ස්‌පර්ශ ආයතන හයයි. ඇලීම්, ගැටීම්, රැස්‌කිරීම් නම්වූ කෙළෙස්‌ මාර්ගය සකස්‌ වන්නේ මෙසේය. ඇස නිදසුනක්‌ ගත්විට, 'චක්‌ඛුංච පටිච්ච රූපේච උප්පඡ්ජති චක්‌ඛු විඤ්ඤාණං, තිණීණං සංගති ඵස්‌සෝ, ඵස්‌ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්‌හා''.

'ඇසෙහි රූපය පහළවීමෙන් චක්‌ඛු විඤ්ඤාණය උපදියි. රූපය චක්‌ඛු විඤ්ඤාණය නම්වූ තුනෙහි එකතුවීමෙන් ස්‌පර්ශය සකස්‌වෙයි. ස්‌පර්ශයෙන් සැප,දුක්‌ මධ්‍යස්‌ථ නම් වූ වේදනා පහළ වෙයි. වේදනාවෙන් තෘෂ්ණාව හටගනියි. මෙහිදී ඵස්‌ස නම්වූ ස්‌පර්ශය සැප හෝ දුක්‌ වූ හෝ මධ්‍යස්‌ථ නම් විඳීම තීරණය කරයි. එකම ආරම්මණයකට නමුත් පුද්ගලයන් කීප දෙනෙක්‌ විසින් ස්‌පර්ශයෙන් ලබාදෙන්නාවූ විඳීම විවිධ විය හැකිය. එම ආරම්මණයට එක්‌ පුද්ගලයෙක්‌ විසින් ස්‌පර්ශයක්‌ ලබන්නා වූ විඳීම සැපක්‌ විය හැකිය. අනෙක්‌ පුද්ගලයාට එම අරමුණම ස්‌පර්ශයෙන් ලබාදෙන්නේ දුකක්‌ විය හැකිය. අනෙක්‌ පුද්ගලයාට එම ආරම්මණය දුකක්‌ හෝ සැපක්‌ නොවන මධ්‍යස්‌ථ හෙවත් අදුක්‌ඛම සුඛ විඳීමක්‌ විය හැකිය.

ඇස පමණක්‌ පැවැති පමණින් රාගාදී කෙලෙස්‌ හටගන්නේ නැත. රූපයක්‌ පැවැති පමණින්ම කෙළෙස්‌ හටගන්නේ නැත. එමෙන්ම විඤ්ඤාණයට ද කෙළෙස්‌ හටගන්නට නම් ඇස ආදී ඉන්ද්‍රියයන් ඔස්‌සේ රූප, ශබ්ද ආදී ආරම්මණයන් අවශ්‍ය වන්නේය. මෙම තුනම එකතුවීමෙන් ස්‌පර්ශය සකස්‌ වෙයි. මෙහිදී වස්‌තු තුනක පටිච්ච සමුප්පන්න බව හෙවත් ඔවුනොවුන්ට උපකාරවීමෙන් සකස්‌වූ ස්‌වභාවයම ස්‌පර්ශ වෙයි. ස්‌පර්ශය විසින් සැප, දුක හෝ මධ්‍යස්‌ථ විඳීමක්‌ බවට එම ආරම්මණය පත්කරයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්‌ඨබ්බ නම් පඤ්ච ආරම්මණයන්හි රාග, දොaස තිබුණේ නැත. අභාවිත සිත විසින් එම ආරම්මණය රාගනිස්‌සිතකර ගත්තේය. දොaස සිත විසින් එම ආරම්මණය දොaස නිස්‌සිත කරගත්තේය. මෝහ සිත විසින් එම ආරම්මණය මෝහ නිස්‌සිත කරගත්තේය. එය එසේ වූයේ කවර හේතුවක්‌ නිසාද? පරමාර්ථ ධර්මය නුවනින් මෙනෙහි නොකළ බැවිනි. විදර්ශනාව සිතට පුරුදු පුහුණු නොකළ බැවිනි. එනම් සියලු සංඛත සංඛාර වස්‌තු- අනිච්ච, දුක්‌ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්‌ෂණ ධර්මයට යටත් කොට සම්මසනය නොකිරීමයි මෙහිදී ධර්ම කරුණාව අනුව, ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි. චක්‌ඛු විඤ්ඤාණය අනිත්‍යයි. ඇස, රූපය, චකඛු විඤ්ඤාණය නම්වූ තුනෙහි එකතුවීමෙන් හටගන්නා වූ ස්‌පර්ශය ද අනිත්‍යයි. ස්‌පර්ශයෙන් හටගන්නා වූ සැප, දුක්‌ මධ්‍යස්‌ථ නම් වූ ත්‍රිවිධ වේදනාවෝ අනිත්‍යයි. දුක්‌ඛයි. අනාත්මයි.

මෙය පඨවි, ආපෝ, තේජෝ, වායෝ නම් ධාතු වශයෙන් බැලිය හැකිය. රූප, වේදනා,සඤ්ඤා,සංඛාර, විඤ්ඤාණ වශයෙන් ස්‌කන්ධ පඤ්චකය ගෙන බැලිය හැකිය. ඇස, කන, නාසය දිව, ශරීරය, මන ආදී ආයතන වශයෙන් ගෙන බැලිය හැකිය. චක්‌ඛු සම්ඵස්‌සජා, සෝත සම්ඵස්‌සජා, ඝාණ සම්ඵස්‌සජා, ජිව්හා සම්ඵස්‌සජා, කාය සම්ඵස්‌සජා, මනෝ සම්ඵස්‌සජා වශයෙන් බැලිය හැකිය. සැප, දුක්‌ මධ්‍යස්‌ථ විඳීම් වශයෙන් ගෙන බැලිය හැකිය. රූප තණ්‌හා, ශබ්ද තණ්‌හා, ගන්ධ තණ්‌හා, රස තණ්‌හා, ඵොට්‌ඨබ්භ තණ්‌හා, ධම්ම (සිතුවිලි) තණ්‌හා වශයෙන් ගෙන බැලිය හැකිය. අවසානයේ සමස්‌තයක්‌ වශයෙන් නාම රූප ධර්ම සහ සංඛත සංඛාර ලෙස අනිච්ච, දුක්‌ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්‌ෂණ ධර්මයට යටත්කොට බැලිය හැකිය. මෙසේ මෙනෙහි කිරීම නිසා අනිච්චානුපස්‌සනාව, විරාගානුපස්‌සනාව, නිරෝධානුපස්‌සනාව, පටිනිස්‌සග්ගානුපස්‌සනාව සකස්‌වීම අවශ්‍යයි. එසේ නොවූ විට රාග, දොaස, මෝහ සමගින් ආරම්මණ උපාදාන කර ගැනීමට යොමුවීමෙන් රූපය අයහපත්ම වෙයි. යහපත් නොවෙයි. රූපය අකැමැති වෙයි. කැමැති නොවෙයි. රූපය අමනාපම වෙයි. මනාප නොවෙයි. කයින් අසන ශබ්දයක්‌ නාසයෙන් ලබන ආඝ්‍රණයත්, දිවෙන් ලබන රසයත්, කයින් ලබන ස්‌පර්ශයත්, මනසින් ලබන සිතුවිලිත් අයහපත්ම වෙයි. යහපත් නොවෙයි. අකමැති වෙයි. කැමැති නොවෙයි. අමනාප වෙයි. මනාප නොවෙයි. මේ සය ආකාරයක ස්‌පර්ශ ආයතන නම්වූ නිරයේ කතාවයි.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. නුඹලාට ලාභයකි. බඹසර විසුමට නුඹලා විසින් සුදුසු අවස්‌ථාව ලබන ලද්දේය. මා විසින් සය ආකාරයක ස්‌පර්ශ ආයතන නම් සුගති දක්‌නා ලදහ. ඒ සුගතියේ ඇසින් යම් රූපයක්‌ දකිනවා නම් යහපත්ම රූපයක්‌ම දකී. අයහපත් රූපයක්‌ නොදකී. කැමැති රූපයක්‌ම දකී. අකමැති රූපයක්‌ නොදකී. මනාප රූපයක්‌ම දකී. අමනාප රූපයක්‌ නොදකී.

කණින් යම් ශබ්දයක්‌ අසා නම් යහපත් ශබ්දයක්‌ම අසයි. අයහපත් ශබ්දයක්‌ නොඅසයි. කැමැති ශබ්දයක්‌ අසයි. අකැමැති ශබ්දයක්‌ නොඅසයි. මනාප ශබ්දයක්‌ අසයි. අමනාප ශබ්දයක්‌ නොඅසයි. නාසයෙන් යම් ආඝ්‍රාණයක්‌ ලබයි නම් යහපත් ආඝ්‍රාණයක්‌ම ලබයි. අයහපත් ආඝ්‍රහණයක්‌ නොලබයි. කැමැති ආඝ්‍රාණයක්‌ ලබයි. අකමැති ආඝ්‍රාණයක්‌ නොලබයි. මනාන ආඝ්‍රාණයක්‌ම ලබයි. අමනාප ආඝ්‍රාණයක්‌ නොලබයි. දිවෙන් යම් රසයක්‌ ලබයි නම් යහපත්වූ රසයක්‌ම ලබයි. අයහපත්වූ රසයක්‌ නොලබයි. කැමැති රසයක්‌ම ලබයි. අකමැති රසයක්‌ නොලබයි. මනාප රූපයක්‌ම ලබයි. අමනාප රූපයක්‌ නොලබයි. යම් ස්‌පර්ශයක්‌ ලබන්නේ නම් යහපත් වූ ස්‌පර්ශයක්‌ම ලබයි. අයහපත් ස්‌පර්ශයක්‌ නොලබයි. කැමැති පහසක්‌ ලබයි. අමනාප පහසක්‌ නොලබයි. යම් අරමුණක්‌ ලබන්නේ නම් යහපත් සිතුවිල්ලක්‌ම දනියි. අයහපත් සිතුවිල්ලක්‌ නොදනියි. මනාප සිතුවිල්ලක්‌ම දනියි. අමනාප සිතුවිල්ලක්‌ නොදනියි. ඉහත පළමු ධර්ම විවරණයේදී සඳහන් කළ අයුරින් විදසුන් නුවණින් ධාතු ස්‌කන්ධ, ආයතන සම්මනය කරන්නේ සය ආකාරයක ඵස්‌සායතනයන්ද සුගතියක්‌ සේ සකස්‌ වෙයි. විදසුන් නුවණින් නොවී ලෞකික නුවණින්ම උපදානයට හසුවීමෙන් සය ආකාරයක ඵස්‌සායතන දුගතියක්‌ සේ සකස්‌ විය හැකිය. ලැබුණු උතුම් මොහොතින් ලාභයක්‌ සේ සිතා බඹසර හැසිරීමෙන් නිර්වාණාවබෝධය පිණිස ප්‍රධන් වීර්ය වඩමු.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.