අනිත්‍යතා දැක්‌ම කුමකටද?

ගෝනවිල මාකඳුරේ ශ්‍රී සරණංකරාමවාසී හීනටිපනේ සීලරතන හිමි

බුදුරජාණන් වහන්සේ ලොව පහළවූයේ අකුරු අටක්‌ ඇති වචන තුනක්‌ ලෝකයට ඉගැන්වීමට යෑයි කියමනක්‌ ඇත. එම වදන් තුන හා අකුරුඅට නම් අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම යන ත්‍රිලක්‌ෂණයයි. ත්‍රිලක්‌ෂණය අනුව ලෝකය වටහාගැනීම යථාවබෝධයයි. බුද්ධෝත්පාදය වනවිටත් උපරිමය දක්‌වා දියුණුව පැවැති සමථ භාවනාව මගින් සිත පිරිසිදු බවින් හා කාර්යක්‍ෂමතාවෙන් උපරිම අවස්‌ථාවට සංවර්ධනය කළ හැකි බව යෝගාවචරයෝ අවබෝධ කරගෙන සිටියහ. රූපාරූප ධ්‍යාන ලබාගැනීමටත් අධි මානසික හැකියාවන් උපදවා ගැනීමටත් චිත්ත ශක්‌තිය ප්‍රගුණකොට විස්‌තාරණය කළ හැකි විය.

එහෙත් ලෝකය පිළිබඳ යථාභූත ඥනය සඳහාත් ඉන් ලැබෙන ප්‍රඥව පාදක කොටගෙන සප් විශුද්ධීන් හා නව මහා විදර්ශනා ඥනය තුළින් ක්‌ලේෂ විමුක්‌තිය සාක්‌ෂාත් කර ගැනීම සමථ භාවනා ඉක්‌මවා ගිය තත්ත්වයක්‌ විය. විදර්ශනා භාවනාව හෙවත් ත්‍රිලක්‌ෂණ භාවනාව බුදුරදුන්ගේ ආර්ය පර්යේෂණයෙහි ප්‍රතිඵලයක්‌ සේ දැක්‌වෙන්නේ එබැවිනි.

සියලු සංස්‌කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් ප්‍රඥවෙන් දැකීමෙන් දුක පිළිබඳ නිර්වෙදය හෙවත් කළකිරීම ඇතිවන නිසා එයම නිවන පිණිස හේතුවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත.

'සබ්බේ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය පස්‌සති
අථ නිබ්බින්දතී දුක්‌ඛෙ
එස මග්ගො විශුද්ධියා''

අනිත්‍ය යන්නෙහි විරුද්ධ වචනය නිත්‍ය යන්නයි නිත්‍ය යනු වෙනස්‌ නොවන එක ලෙසම පවතින යන අදහසයි. ඒ අනුව අනිත්‍ය යනු වෙනස්‌වන එක ලෙස නොපවතින යන අදහස පැවසෙන වචනයකි. විශ්වය තුළ පවත්නා සියලු ප්‍රපඤ්චයන් අනවරතයෙන් වෙනස්‌වෙමින් පවත්නා බව බුදුරදුන්ගේ ඉගැන්වීම වූ බව මින් වටහාගත හැකිය.

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනිත්‍යතාවය බැවින් සත්වයාගේ සාමාන්‍ය චින්තනය නිත්‍යභාවයෙන් අපේක්‌ෂා කිරීමයි යන්න වැරැදි අවබෝධයකි. සාමාන්‍ය ලෝකයා වඩාත් රුචි වන්නේ වෙනස්‌වීම් අත්දකින්නටය. තෘෂ්ණාව විසින් පොළඹනු ලබන සියලුම සත්වයෝ අතෘප්තියෙන් පෙළෙති. එබැවින් නොවෙනස්‌ව එක තැනක නතරවීමේ වුවමනාවක්‌ කිසිවකුට ඇතැයි සිතිය නොහැකිය. නරකයේ සිටින නිරිසතුන් ඇතුලු දුගතියට වැටුණු සියලු සත්වයෝම ඉන් මිදී වඩා සුතභාවයක්‌ කරා වෙනස්‌වීමට කැමැති වන බව වටහා ගැනීම පහසු වුවත් සුතයකු වූවකු යම් වෙනසක්‌ අපේක්‌ෂා කරත්ද යන්න වටහා ගැනීම තරමක්‌ අසීරු විය හැකිය. එහෙත් සත්‍ය නම් අතෘප්තිකරභාවයෙහි සිටින සත්වයා හැමවිටම සුබවාදී වෙනසක්‌ පිssළිබඳ සිහින දකින බවයි. කෙසේ වුවත් අනිත්‍යතා අපේක්‌ෂාව අනිත්‍යභාවය පිළිබඳ යථාවබෝධය සමග පටලවා නොගත යුත්තකි.

නිත්‍යවූ සදාතනික වෙනස්‌ නොවන ආත්මභාවයක්‌ පිsළිබඳව ඒත්තු ගැන්වීමක්‌ කොට ජනතාව නිත්‍ය සදාකාලිකත්වයක්‌ කරා පොළඹවන එක්‌ පිරිසක්‌ නම් නිර්මාණවාදීන්ය. ඔවුහු සදාකාලික වූ ස්‌වර්ගයක්‌ හෝ එවැනි ලෝකයක්‌ ඇති බවත්, දේව විශ්වාසය ප්‍රමුඛ කරගත් සදාචාරාත්මක යහපත් ජීවිතයක්‌ ගතකිරීමෙන් එම සදාකාලිකත්වය කරා යා හැකි බවත් ඒත්තු ගැන්වූහ. මෙම ඉගැන්වීමේ පරමාර්ථය වන්නට ඇත්තේ එලොව පෙන්වා මෙලොව ජීවිතය නිසි මඟට ගැන්වීම විය හැක. කෙසේ වුවත් අනිත්‍ය වූ ලෝකයෙහි නිත්‍යභාවයක්‌ පිළිබඳ විශ්වාසයක්‌ මිනිසුන් තුළ ජනිත වීම ඉන් සිදුවූ බව දැකිය හැකිය. බුද්ධකාලීනව විසූ ඇතැම් පදාර්ථවාදී ශාස්‌තෘවරුන් තම ඉගැන්වීමේ මූලධර්මයක්‌ ලෙස වෙනස්‌ නොවන නොබිඳිය හැකි ස්‌ථිරවූ පදාර්ථයන් ලොවෙහි පවත්නා බව ඉගැන්වූ බව පෙනේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතූන් හා සුඛ දුක්‌ඛ ජීව යන පදාර්ථයන් එසේ අනිත්‍ය ස්‌වභාවයෙන් මුක්‌ත වූ ධර්මතාවන් බව පකුධ කාත්‍යානයගේ මතය විය.

මෙසේ කවරාකාරයකින් හෝ නිත්‍යභාවයක්‌ පිළිබඳ සංකල්ප වූ කලී සංසාර විමුක්‌ති මාර්ගයට බාධාවක්‌ වෙයි. ඉදින් කිසියම් ආත්මභාවයක හෝ පදාර්ථ අවස්‌ථාවක නිත්‍ය ස්‌වභාවයක්‌ පවතී නම් සංසාර විමුක්‌තිය සඳහා ගන්නා වෑයම නිරර්ථකය යන හැඟීමක්‌ ඇති කරයි. ඒ සඳහා දරණ බ්‍රහ්මචාරී පරිශ්‍රමය නිෂ්පල වූවක්‌ සේ හැඟෙනු ඇත. බ්‍රහ්මචාරී ජීවිතයක අපේක්‌ෂා පූර්ණ විමුක්‌තියක්‌ නම් නිත්‍ය වූ පදාර්ථයක්‌ තිබීම නිසා එම බ්‍රහ්මචාරී ව්‍යායාමය ව්‍යර්ථකරන්නක්‌ බවට පත්වෙයි. තම ව්‍යායාමය අනිභිබවනීය බාධකයක්‌ ළඟ නතර වන බව හැඟෙනු ඇත.

එසේ නම් වෙනස්‌වීම නොමැති සනාතනික සංකල්පය අනිවාර්ය වූ නිර්බාධක වූ සත්තාවයක්‌ය යන අවබෝධය ඉතා අවශ්‍යය. විමුක්‌තිකාමියකුගේ ව්‍යායාමයේ ඵලදායකත්වය අනිත්‍යතාවයේ ගතිකභාවය හෙවත් නම්‍යශීලීත්වය මත පදනම් වන බව ඔහු විශ්වාස කිරීම සිදුවිය යුතුය. වෙනත් විදියකින් කියතොත් වෙනස්‌වීම අනිවාර්ය හා අනවරත වන බැවින් නෛර්යානික ප්‍රතිපදාවට ප්‍රායෝගික වටිනාකමක්‌ ඇත. විශ්වයම අනිත්‍ය ස්‌වභාවයට යටත්නම් බඹසර වසන්නා සිය නිෂ්ඨාවට ළං විය හැකි බව නිශ්චිතව විශ්වාස කරයි. මෙය හරියට ගලා යන ස්‌වභාවයෙන් යුත් ගඟකට පහළට පාවී යාම සඳහා ද්‍රව්‍යයන් දැමීමට සමානය. එම ජලය ගලා නොයන්නේ නම් හෝ අතරමග ඇති බාධකයකදී නවතින බව ඔහුට ස්‌ථිර නම් මුහුද දක්‌වා ගමන් කිරීම සඳහා ජලයට යමක්‌ දැමීම පලක්‌ නොවන බව ඔහු නිශ්චය කරයි. අනිත්‍යතාවය ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමත් සමග වෙනස්‌වීමේ හැකියාව පිsළිබඳ විශ්වාසයක්‌ ඇතිකර ගනී.

අනිච්චානුපස්‌සනාව, දුක්‌ඛානු

පස්‌සනාවේ පදනම සේ දැකීම බොහෝ ධර්ම දේශකයන් පවා වරදවා ගන්නා තැනෙකැයි සිතේ. අනිත්‍යතාවය දුක හට ගැනීමේ හේතුවක්‌වීම සාර්වත්‍රික නොවේ. බුදුසමයේ ත්‍රිලක්‌ෂණය විස්‌තර කෙරෙන සූත්‍රය මෙසේය.

'සබ්බේ සංකාරා අනිච්චා යදනිච්චං තං දුක්‌ඛං යං දුක්‌ඛං තදනත්තා'

මෙහි සරල අදහස නම් සියලු සංස්‌කාරයෝ අනිත්‍ය වෙති. යමක්‌ අනිත්‍ය ද එය දුක්‌ද වෙයි. යමක්‌ දුක්‌ද එය අනාත්මද වෙයි' යනුවෙනි. ඉන් අදහස්‌ කරන්නේ සියලු සංස්‌කාර ධර්මයන් අනිත්‍යය ද දුක්‌ ද අනාත්මද වන බවයි. අනිත්‍ය වන බැවින් දුක ද දුක්‌ වන බැවින් අනාත්මද වේ. යෑයි අරුත් ගැන්වීමට මෙහි කිසිදු හේතුවක්‌ නැත. එබඳු අර්ථ දැක්‌වීමකට පාලිය සකස්‌ විය යුතුව තිබුණේ 'සබ්බේ සංඛාරා අනිච්චා අනිච්චතො දුක්‌ඛං දුක්‌ඛතො අනත්තා' යනුවෙනි. එහෙත් එබඳු පාලියක්‌ ත්‍රිපිටකයේ ඇති බවක්‌ නොපෙනේ. ඇතැමුන් 'යදනිච්ඡං තං දුක්‌ඛං' යනුවෙන් පාලිය වෙනස්‌ කරන්නට යෝජනා කරන්නේත් අනිත්‍ය වන බැවින් දුක්‌ වේ යන වරදවා ගත් අරුත් දැක්‌වීම නිසා බව පෙනේ.

අනිත් අතට දුක හට ගැනීමේ හේතුව විස්‌තර කරනු ලබන සමුදය සත්‍යය කියෑවෙන පාලියෙහිද අනිත්‍යතාවය දුක හටගැන්මේ හේතුවක්‌ ලෙස දක්‌වා නැත. විශ්වයේ පවත්නා අනිත්‍යභාවය සේම දුක්‌ඛභාවයන් අෙන්‍යාන්‍ය වියුක්‌තව විග්‍රහ කළ යුතුය. දුක හටගන්නේ තණ්‌හාව නිසායá තණ්‌හාව අතෘප්තිකරයá රට්‌ඨපාල සූත්‍රයේ දැක්‌වෙන්නේ 'දුක්‌ඛෙ ලොකො පතිට්‌ඨිතො අතිත්තො ලොකො තණ්‌හා දාසො' යනුවෙනි.

මේ නිසා බුදුරජාණන් වහන්සේ 'විශ්වයම අනිත්‍ය' යන ධර්මතාවය වටහාගැනීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ. සතර සතිපට්‌ඨානයේ පළමුවෙන්ම එන කායානුපස්‌සනාව මගින් අනිත්‍යතා සංකල්පයට වැඩි ප්‍රමුඛතාවක්‌ දෙන බව බුද්ධිමත්ව විමසා බැලීමේදී පෙනී යයි. උදාහරණයක්‌ වශයෙන් අසුභ භාවනාව මගින් ශරීරය කොටස්‌වලට විච්ඡේදනය කොට බැලීමෙන් අනිත්‍යය ඉස්‌මතු වෙයි. දස අසුභවලදී ද මෘත ශරීරයක්‌ දවසින් දවස වෙනස්‌ ස්‌වරූප ගන්නා බව හඳුනාගත හැකිය.

මේ අනුව නිගමනය කළ හැකි වන්නේ අනිත්‍ය සංඥව ඇතිකර ගැනීම උපස්‌ථම්භක වන්නේ බ්‍රහ්මචාරීත්වයේ සාඵල්‍යය සඳහා පදනමක්‌ වශයෙන් බවයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.