පින හා කුසලය අතර වෙනස අවබෝධයෙන්ම දකිමු

සනත් ලියනගේ

පින හා කුසලය යනු දෙකක්‌ මිස එකක්‌ නොවේ. පින හා කුසල් අතර ඇති වෙනස කෙබඳු වේදැයි මෙම ලිපියෙන් විමසා බලමු. පින හා කුසලය එකිනෙකට සම්පූර්ණ වෙනස්‌ ආකාරයේ දෙවිධියක දේ බව අවබෝධ කරගත යුතුය. පින ධනාත්මක සාධකයක්‌ නම් කුසලය සෘණාත්මක සාධකයකි. එනම් පින රැස්‌ කිරීමකි. කුසලය යනු අස්‌කිරීමකි.

පිං නොහොත් පුණ්‍ය ක්‍රියා (සිත පිනා යන දේ) බෞද්ධ අබෞද්ධ කාටත් කළ හැකි දේය. බුද්ධෝත්පාද කාලයකදී මෙන්ම වෙනත් කාලවලදී ද පින්කම් කළ හැකිය.

පිංකම් ලෞකික හා ලෝකෝත්තර වශයෙන් දෙකොටසකට බෙදා පෙන්විය හැකිය. සුගතියක ඉපදීමට මෙන්ම ලෞකික සැප සම්පත් විඳීමට උපකාර වන්නේ ලෞකික පිංකම්ය. අබෞද්ධ බටහිර රටවල මිනිසුන් මෙතරම් සැප සම්පත් විඳින්නේ ඔවුන් කරන ලද ලෞකික පිංකම් හේතුවෙනි. නගරයේ මහා මන්දිරවල දැසි දස්‌සන් ලැබ සැපවිඳින ඇල්ශේෂන් ආදී බල්ලන්ද පෙර කළ ලෞකික පිංකම් නිසාම අද සියලු සැපසම්පත් විඳියි.

ලෝකෝත්තර පිංකම් මෙයට වඩා තරමක්‌ වෙනස්‌ය. ලෞකික සැප සම්පත් ලැබීම ලෞකික පිංකම් හේතුකොට ලැබෙන අතර සිහිය, නුවණ මෙහෙයවා සත්‍ය අවබෝධ කර ගත හැකි ප්‍රඥාව උදෙසා පහදවා ගත හැකි වන්නේ ලෝකෝත්තර පිං කම්වල ඵල විපාක ලෙසිනි. මහණ උතුමන්ට දන්දීම, සිල් රැකීම, බණ ඇසීම ධර්ම දානය ආදී පිංකම් ලෝකෝත්තර පිංකම්වලට අයත් වේ. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා නමැති පස්‌ ආකාර වූ සම්පත් ලැබීමත්, නිවන් මඟ දැකීමට සමත් නැණ නුවණ පහළ වීමත් මෙවැනි පිංකම්වල ඵල විපාකය.

මොන ආකාරයේ වුවත් පිංකමක්‌ කිරීමේදී සද්ධා සම්පන්නව සොම්නස්‌ වූ සිතින්, ඥාන සම්ප්‍රයුක්‌තව (සිහි නුවණින්) පිංකම් සිදු කිරීම එහි පූර්ණ ඵල විපාකය ලබාගැනීමට උපකාර වේ.

කුසලස්‌ස උපසම්පදා ලෙස පෙන්වා දෙන කුසල් පූර්ණය කර ගැනීමත් දෙයාකාරය. ලෞකික කුසල් හා ලෝකෝත්තර කුසල් යනුවෙනි.

"කුසල්" යන පදයේ නිරුක්‌තිය අනුවම එහි තේරුම කුණු, පහත් දේ කෙළෙස්‌ සලා හැරීම, ඉවත් කිරීම යන්නයි. කුසල් යනු සෘණාත්මක සාධකයක්‌ යෑයි කීවේද මේ නිසාය. කුසලය යනු වැරදි චර්යාවෙන් දුශ්චරිතයෙන් වැළකීමයි. අවංකව, පිරිසිදුව වැරදි අතහැර අනාචාරය, වංචාව අතහැර ඇද නැතිව කුණු සලා හැරීමයි. කුසලය ද ලෞකික හා ලෝකෝත්තර වශයෙන් දෙයාකාරය.

ලෞකික කුසල් ලෙස දැක්‌විය හැක්‌කේ දස අකුසලයෙන් වෙන්වීම නිසා නිවනට මග පාදා ගැනීමය. මෙය පව්කම්වලින් මිදීමය. පහත් කිළිටි දේ සලා හැර නිදහස්‌ වීමය.

නමුත් නිවන් ලැබීමට සසරෙන් නිදහස්‌ වීමට ලෝකෝත්තර කුසලයම උපකාර වේ. ලෝභ, ද්වේෂ, මෝහ යනු "සං" උපදවන අකුසලයෝය. (පෙර ලිපි වලද පෙන්වා ඇති පරිදිම ජිවිතයක්‌ පැවැත්වීම සඳහා විඤ්ඤාණය විසින් එකතු කරන ආහාර, එනම් ලෝභ - අලෝභ, ද්වේෂ - අද්වේෂ, මෝහ - අමෝහ යන සියල්ල "සං" තනි පදයෙන් හැඳින්වේ. අලෝභ, අද්වේෂ, අමෝහ යනු පිංකම් නැතහොත් ලෞකික කුසලයෝය. ලෝභක්‍ෂය, රාගක්‍ෂය ද්වේෂක්‍ෂය, මෝහක්‍ෂය කිරීම නිවන් දකින ලෝකෝත්තර කුසල්ය.

පිංකම් කර උපදවා ගත් පිං තව කෙනෙකුට අනුමෝදන් කළ හැකිය.පැවරිය හැකිය. නමුත් ලෝකෝත්තර කුසලය තව කෙනෙකුට ලබා දිය නොහැකි, අනුමෝදන් කළ නොහැකි දෙයකි. තම සිතෙහි බිහිවූ, එකතුවූ (සං) කුණු, පහත් දේ. කෙළෙස්‌ පහ කිරීම සලා හැරීම තම සිතින්ම කළ යුතු දෙයකි. චිත්ත ආවේගයන්ගෙන් මතු උපතක්‌ සඳහා ශක්‌තීන් බිහිවීම නවතා ගත හැකිවන්නේ කුසල් මගින්aමය. කුණු සලාහැරීමෙන්ය.

ලෞකික කුසල හා, සියලුම පිං යන දෙවර්ගයම උපයාගෙන එකතු කරගෙන තවත් කෙනෙකුට පැවරිය හැකිය. අනුමෝදන් කළ හැකිය. පිං පැමිණවීම කළ හැකිය. "නිවන් දකිත්වා" යන පැතුම ලෞකික කුසලයකි. මෙය ලෞකික කුසලයක්‌ වන්නේ කල්‍යාණ මිත්‍රයකුගේ ආර්ය උත්තමයකුගේ පැතුමක්‌ වනවිටය. එවැනි උතුමකු නිවන් දකිත්වා යන පැතුම පතන විටම අදහස්‌ කළේ අප දුක්‌ විඳින සංඛ්‍යාව සියලු කුණු, පහත් දේ සලාහැර ඉන් නිදහස්‌ වීමට, දුකින් මිදීම ලැබේවා යන පැතුමයි. ඒ තත්ත්වය අවබෝධ කර නොගත් කෙනෙකුගේ පැතුම "නිවන්" යන අකුරු තුනක වචනයක්‌ පමණි. එහි තේරුම නොදැක කරන පැතුමෙහි ලෞකික කුසලයක්‌ හෝ නැත.

දස අකුසල් කරන කෙනෙකුට ඒ තමන් කරන දේ අකුසල් බව පැහැදිලි කර ඔහු එයින් මුදවා ගන්නේ නම් එය නිවන් මගට උපනිශ්‍රය ලබාදීමකි. කුසලයෙන් කෙනෙකු මුදවා ගැනීම උපදෙස්‌ දීම, ධර්මය කියා පැහැදිලි කරදීම ලෞකික කුසලයකි.

සියලුම පිංකම් හා ලෞකික කුසල් ඵල විපාක ලබා දීමට සමත් වුවත් ලෝකෝත්තර කුසලය කිසිවිටකත් විපාක දීමට හෝ ඵලදීමට සමත් එකක්‌ නොවේ. එහිදී කෙරෙන්නේ හේතු නිරෝධ කිරීමය. හේතුවක්‌ නැති තැන ඵලයක්‌ද නූපදින නිසා ලෝකෝත්තර කුසලයක්‌ කිසිවිටෙකත් ඵල නොදේ. නිවන ඵලයක්‌ නොවේ. නිදහස්‌ වීමක්‌ පමණි.

දන්දීම, සිල් රැකීම, මල් පහන් පිදීම ආදී පිංකම් කිරීම උපන් සියලුම සත්aත්වයාට උපකාරකය. එහි ඵලප්‍රයෝජන සමහරක්‌ පහත සඳහන් වේ. තමාගේ සිත ප්‍රසාදයට පත්වීම, සිතෙහි පහන් ගතියක්‌ ඇතිවීම හැම පිංකමකින්ම තමන්ට උරුම වන ප්‍රතිඵලයන්ය.

01. යම් පිංකමක්‌ කර උපයා ගන්නා පින තව කෙනෙකුට පැවරිය හැකිය.

02. පිනක්‌ සිදු කිරීම නිසා එහි ඵලවිපාක තමන් කරාම ආපසු යහපත් ලෙසින් උරුම වෙයි.

03. මතු මතුත් උපදින ආත්මවල සුගතියක ඉපදීමට පින නියම වශයෙන්ම හේතුවේ.

04. උපන් භවයේ මෙන්ම මතු ලබන උපතකදීත් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ආදී සම්පත් ලැබීමට පින උපකාරකය. මිනිසත් බවක්‌ ලැබීමේ උපරිම ඵල ලැබිය හැක්‌කේ මේ සම්පත්ද නොඅඩුව ලැබීමෙනි.

05. පිං කිරීමෙන් නැණ නුවණ පෑදෙන නිසා, දහම් ඇස පෑදෙන නිසා නිවන් මගට උපනිශ්‍රය ලබා ගත හැකිය.

06. සංසාර ගමනේදී තමන්ට උදව් උපකාර කළ අයට ප්‍රතිඋපකාර කර වන්දි ගෙවා ණය ගෙවා නිදහස්‌ වීමට පින උපකාර වේ.

07. තමන් අතින් සිදුවූ සිදු කළ අවැඩ අසාධාරණකම්වලට වැරදිවලට වන්දි ගෙවා නිදහස්‌ වීමට පින උපකාර වේ.

08. සම්‍යක්‌ ප්‍රයෝග, උපක්‍රම, ප්‍රතිකර්ම වැනි දේ කළ හැක්‌කේ පිං කළ කෙනෙකුට පමණි.

09. ගන්ධබ්බ, පෙරේත, පිසාච ආදී අමනුස්‌ස කොටස්‌ද, තිරශ්චීන සත්ත්වයන්ද, දෙවි දේවතා ආදී කොටස්‌ද, පිංකර ගැනීමට නොහැකි තැන්වල ඉපදී සිටී නම් ඔවුන් අද මිනිසුන් ලෙස ඉපිද සිටින සංසාරයේ තම ඥති මිත්‍රයන්ගෙන් නිරතුරුවම පිං බලාපොරොත්තුව සිටියි.

10. නිවන් දැකීමට අධිෂ්ඨානයක්‌ ඇතිකරගත් කෙනෙකුට ඒ නිවන් මග යැමට මග වියදම් අවශ්‍ය වේ. එලෙසම නිවන් දැකීමටද පිං බෙහෙවින් උපකාර වේ.

බුදුගුණ, දහම් ගුණ, ආර්ය මහා සංඝරත්නයේ ගුණ සිහිපත් කිරීමෙන් බොහෝ පිං උපදවා ගත හැකිය.ඒ සිත සතුටු වන නිසාය. මල් පහන් පිදීමෙන්ද, සිදු වන්නේ එවැනි සිත සතුටුවීමක්‌ නිසා ලැබෙන පිනකි. අංගුලිමාල පිරිත සිහිපත් කර මවකට සෙත් පැතීමෙන් දරුවන් බිහිවීම පහසු වන්නේද එලෙසිනි. මෙවැනි පිං තවකෙනෙකුට පැවරිය හැකිය. යහපත, සෙත පිණිස දිය හැකිය.

පිං යනු සිතෙහි උපදවා ගත් යහපත් චිත්ත කිරණ ශක්‌ති විශේෂයකි. උපදවාගත් චිත්ත ශක්‌තිය පවතිනා තුරුම විපාක ලැබෙයි. විපාකය ශක්‌තිමත් වන්නේ කරන ලද පිං බලවත් තරමටය. අරහතුන් වහන්සේ නමකට බත් හැන්දක්‌ දන් දුන් කෙනකු ආත්ම 500 ක්‌ යනතුරු සියලු සැප සම්පත් ලැබූ බව ධර්මයෙහි පෙන්වා දී ඇත.

අනුන් කරන යහපත් දෙයක්‌, පිංකමක්‌ ලෙස සතුටු සිතින් බලා සිත පහන් කර ගත්තේ නම්, මහණ දම් පුරණ යෝගියෙකු දැක සිත පහන් වූයේ නම් එතැනත් චිත්ත ප්‍රීතියක්‌ ඇතිවේ. එය චිත්ත ශක්‌තියයි. එහි විපාකය යහපත් ලෙසින් ඒ පුද්ගලයාට මතුඵල දෙයි. මේවා ලෞකික පිංකම්ය. ඒ නිසා සිල්වත් මගඵලලාභී උත්තමයන්ගේ දර්ශනයෙන් පවා සිතෙහි ප්‍රසාදය ඇතිකරගත හැකි නම් එයද පිං කමකි.

පිං අනුමෝදන් කිරීම හා පිං ලබා දීම යනු එකම නොවේ. පිං අනුමෝදන් විය හැක්‌කේ පිං දෙන අවස්‌ථාවේ එය අසාගෙන සිටි අයෙකුට පමණි. අසා සිටි, අසා නොසිටි සියල්ලන්ටම පිං ලබාදීම, පැවරීම කළ හැකිය. කළ පිංකමක්‌ අසා එය සිහිපත් කර සිතෙහි ශක්‌තියක්‌ නිපදවීම පිං අනුමෝදනා කිරීමයි. බොහෝ පිංකම් කර පිං අනුමෝදන් කරන අවස්‌ථාවල අපට පෙනෙන මිනිසුන් කිහිප දෙනාට අමතරව නොපෙනෙන දහසක්‌ අමනුස්‌සයන්, දෙවි දේවතාවන්ද ඒ පිං බලාපොරොත්තුව සිට පුණ්‍යානුමෝදනාව අසා සිත් සතුටු කර ගත්තේ නම් ඒ සියල්ලන්ද පිං අනුමෝදන් වෙති. කුසල් ලෞකික වුවත්, ලෝකෝත්තර වුවත් අනුමෝදනා කිරීම හෝ පැවරීම කළ නොහැකිය. ලෞකික කුසලය නිවනට මඟ පෙන්වීමක්‌ උපනිශ්‍රය ලබාදීමක්‌ කිරීමකි. කල්‍යාණ මිත්‍රයෙකුගේ උපකාරය ලෞකික කුසලයකි. විශාල වළකට වැටී අතරමං වී සිටින කෙනෙකුට එම ළිඳෙන් ගොඩ ඒමට උපකාරයක්‌ ලෙස කඹයක්‌. ලණුවක්‌ දැමීම වැනි දෙයකි. දැන් ලණුව උපකාරකොට ගෙන ගොඩ ඒම ළිඳෙහි සිරවි සිටින පුද්ගලයාට ලණුව ළිඳෙන් ගොඩ ඒමට උපනිශ්‍රය වේ.

ලෝකෝත්තර කුසලය මෙයට වඩා වෙනස්‌ දෙයකි. කුණු සලාහැරීම, කෙළෙස්‌ ප්‍රහාණය කිරීම ලෙස ලෝකෝත්තර කුසලය පැහැදිලි කර දිය හැකිය. තම චිත්ත සන්තානයේම උපදින රාග, ද්වේෂ, මෝහ (සං)වලින් මිදීම තමන්ටම සිදුකරගත හැකි දෙයක්‌ බැවින් තමන්ම කරගත යුතු මෙම කොටස කිසිවෙකුටත් පැවරිය නොහැකිය. කිසිවෙකුගෙන්වත් බලාපොරොත්තු විය නොහැකිය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.