අටපිරිකර ගැන දැනගමු

සටහන - අමිල දොළපිහිල්ල

"අෂ්ඨ පරිශ්කාරය" හෙවත් "අටපිරිකර" සඳහා බෞද්ධ සමාජය තුළ හිමිව ඇත්තේ අද්විතීය ස්‌ථානයකි. අටපිරිකර පිළිගැන්වීම වනාහී අට මහා කුසල් වලින් එකකැයි යනුවෙන්ද බෞද්ධ ඉගැන්වීම්වල සඳහන්ව ඇත. එමකුද නොව අට පිරිකර පිළිගැන්වීම සඳහා බෞද්ධ සමාජය තුළ ඇත්තේද විසල් උනන්දුවකි. තවද නියමිත ප්‍රමිතියෙන් යුත් අටපිරිකර වෙළෙඳ පොළ තුළ නොමැතිවීම හේතු කොට ගෙන පසුගිය කාලසීමාව තුළ යම් යම් ගැටලුද පැනනැගුණු බැව් අපට මතකය. සියල් කරුණු කාරණා එලෙස පෙළ ගැසෙද්දී "අටපිරිකර" හා සම්බන්ධ තවත් වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය කරගනු රිසින් අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ අංශාධිපති, සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක කෘත්‍යාධිකාරී මණ්‌ඩල උප සභාපති, මහාචාර්ය පූජ්‍ය හඟුරන්කෙත ධීරානන්ද නාහිමිපාණන් වහන්සේ මුණ ගැසුණෙමු. මෙම ලිපිය උන් වහන්සේ විසින් දක්‌වන ලද අදහස්‌ වලට අනුව සැකැසුණි.

විනය පිඨකය තුළ ඉතා පැහැදිලිවම චීවරයක උස, පළල, දිග, වර්ණය සේම රෙදි වර්ගය පිළිබඳවද තොරතුරු ඇතුළත්ව ඇත. එය "චීවරක්‌ඛන්දකය" නමින්ද හැඳින්වේ. එමතුද නොව පාත්‍රය සකස්‌ කිරීම එය කළු මැදීම, එය තබා ගැනීම සේම එහි ප්‍රමාණයන් ගැනද විනය තුළ කථා කරනු ලබයි. තවද පෙරහන් කඩෙහි ස්‌වභාවය, දැළි පිහිය සේම පටියේ ස්‌වභාවය හා එහි දිග, පළල ගැනද මෙහිදී සාකච්ඡා කරනු ලබයි. ඒ අනුව අටපිරිකරක්‌ සඳහා විනයෙන් නියම කළ ප්‍රමිතියක්‌ ඇති බව පෙනී යයි. පරිභෝජනයට ගනු ලබන අටපිරිකර විනයට අනුකූලව පිළිගැනීම හා දැරීම විනයානුකූල යන්නට එකතු වෙයි. විනයට අනුකූල නැතිනම් යම් දෙයක්‌, ඒ දෙය පිළිගැනීමටද නොහැකිය.

බුදුසමය තුළ මහා පිංකම් අටක්‌ ගැන උගන්වනු ලබයි. ඉන් පළමුවැන්න කඨිනයයි. දෙවන කුසලය වන්නේ අටපිරිකර පිළිගැන්වීමයි. නිවන දක්‌වාම ඵල විපාකදෙන නිවනින් කෙළවර වන පිංකම් "අට මහා කුසල්" ලෙස හැඳින්වේ. අටපිරිකරයක්‌ තුළ ඇතුළත්ව ඇත්තේ අන්යමක්‌ නොව භික්‍ෂූන් වහන්සේගේ කය පරිහරණයට හා කුස පරිහරණයට අවශ්‍ය අංග අටකි. සසුනේ පැවැත්ම රදාපවතින්නේ භික්‍ෂුවගේ ක්‍රියා කලාපයන් මතය. භික්‍ෂුත්වය රදා පවතින්නේ අටපිරිකරය මතය. එක්‌ පසෙකින් බෞද්ධයෝ නිතරම පාහේ කල්පනා කරන්නේ මේ ශාසනය තව බොහෝ කලක්‌ පැවැතිය යුතුය යනුවෙනි. එසේනම් භික්‍ෂුන් වහන්සේලා ආරක්‍ෂාවීම අනිවාර්යෙන්ම සිදුවිය යුත්තකි. අනෙක්‌ පසින් නිවන දක්‌වාම ඵල විපාක දෙන පිංකමක්‌ කරගැනීමටද ඔවුහු නිතරම පාහේ උත්සුක වෙති. එබැවින් සෑම බෞද්ධයෙක්‌ම පාහේ මේ මහා පිංකම සිදුකර ගැනීමට නිරතුරුවම උත්සාහ දරන බව සඳහන් කළ යුතුව ඇත.

අටපිරිකර පිළිගැන්වීම පිළිබඳව බෞද්ධ සාහිත්‍යය තුළද සුවිශේෂී තොරතුරු සමුදායක්‌ සඳහන්ව ඇති බව වෙසෙසින්ම කිව යුතුය. සිද්ධාර්ථ කුමාරයා පැවිදි බව ලබද්දී ඝඨීකාර මහා බ්‍රහ්මයා විසින් අටපිරිකර ලබාදුන් බව බෞද්ධ ඉගැන්වීම් තුළ සඳහන්ව ඇත. රහතන් වහන්සේලාට "ඒහි භිCඛු උපසම්පදාව" හිමිවීමේදී අටපිරිකර මැවෙන බවද ප්‍රකටව පවතින කරුණකි. එමෙන්ම "ගිරිභණ්‌ඩ" පූජාවේදීද ඊට සහභාගී වූ සෑම භික්‍ෂුවකටම අටපිරිකරය බැගින් පූජා කළ බව කියෑවේ. ලක්‌දිව රජකම් කළ දේවානම්පියතිස්‌ස, දුටුගැමුණු, භාතිකාභය, මහා පරාක්‍රමබාහු සේම කීර්ති ශ්‍රී රාජසිංහ ආදී රජවරුද අටපිරිකර පූජාකරමින් මහා පිංකම් සිදුකොට ඇති අතර, දළ වහන්සේට සේම විජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටද අටපිරිකර සිය ගණනින් පූජා කරමින් පිංකම් සඳහා එක්‌වීමේ ප්‍රවණතාවක්‌ නූතනයේ නිර්මාණය වී ඇත.

නූතනයේ දැකිය හැකි තවත් එක්‌ ප්‍රවණතාවක්‌ නම් මහා ථූප දක්‌වාම අටපිරිකර පූජාකිරීම ව්‍යාප්ත වී තිබීමයි. අපරට තුළ සේම තායිලන්තය, බුරුමය, කාම්බෝජය, ලාඕසය සේම වියට්‌නාමය ආදී බෞද්ධ රටවලද භික්‍ෂුන්ට පුදන පිරිකර අතර මුල්තැන හිමිව ඇත්තේ අටපිරිකරටයි.

පෙරදීද සඳහන් කළ පරිදි අටපිරිකරක්‌ පිළිගැන්වනු ලබන්නේ භික්‍ෂුන් වහන්සේගේ පරිහරණය උදෙසාය. එසේනම් ඉන් භික්‍ෂුන් වහන්සේට යම් ප්‍රතිලාභයක්‌ අත්විය යුතුමය. පිංකමකින් යම් භික්‍ෂුන් වහන්සේ නමකට ප්‍රතිලාභයක්‌ අත්නොවන්නේ නම් ඒ පිංකමෙන් ඇති ඵලයක්‌ද නැත. අෂ්ඨ පරිශ්කාර සම්බන්ධයෙන්ද එම තර්කය එලෙසින්ම වලංගුය. දායක පක්‍ෂයට අටපිරිකර පිළිබඳව අත්දැකීමක්‌ හෝ ඥනයක්‌ හෝ නැතිවන්නට පුළුවන. ඔවුනට ඒ පිළිබඳව ඇත්තේ හැඟීමක්‌ හා ආකෘතිමය ඥනයක්‌ පමණක්‌ විය හැක. එබැවින් ඔවුන් ඒවා මුදලක්‌ දී මිලට ගනු ලබයි. එමතුද නොව මිලදී ගෙන ඇත්තේ විනයානුකූල අටපිරිකරකැයි යනුවෙන් සිතනවාද වන්නට පුළුවන. එහෙත් එය පරිභෝජනයේදී නුසුදුසු එකකැයි යනුවෙන් හැඟී ගියහොත් අදාළ පිංකමෙන් ඵලක්‌වන්නේ නැත. එය පිළිගැන්වූ දායකයා යම් අයුරකින් හෝ අදාළ අටපිරිකරය ප්‍රමිතිගත එකක්‌ නොවන බව දැනගතහොත් සිදුවන්නේ අනෙකක්‌ නොව මුලින් ඔහු තුළ වූ ශ්‍රද්ධා සහගත සිතුවිල්ල නැතිව යැමයි. එය නිෂ්ප්‍රයෝජන අෂ්ඨ පරිශ්කාරයකැයි හැඟී ගිය කල ඔහු තුළ විශාල කලකිරීමක්‌, වේදනාවක්‌ සේම ද්වේෂයක්‌ද හටගනී. එබැවින් කූට වෙළෙඳුන් විසින් කරනු ලබන ඇතැම් ක්‍රියාකාරකම් තුළින් විශාල අවාසි සහගත තත්ත්වයක්‌ නිර්මාණය වන බව පැවසිය යුතුය. ඉන් එක්‌ පසෙකින් අදාළ පිංකමෙන් භික්‍ෂුවට හිමිවිය යුතු ප්‍රතිලාභ අහිමිවී යයි. අනෙක්‌ පසින් දායකයා අගතියට පත්වීමක්‌ද සිදුවේ.

එබැවින් අටපිරිකරය යන්න හුදෙක්‌ ලාභය පදනම් කරගත් වෙළෙඳ භාණ්‌ඩයක්‌ නොව එය පූජා භාණ්‌ඩයක්‌ම විය යුතුය. පූජා භාණ්‌ඩයක්‌ යනු දෙන්නාට සේම ගන්නාටද හොඳ දෙයක්‌ සිදුවන යමකි. පාරිභෝගිකයා වෙත අටපිරිකරය ළඟා කරන්නාගේ ආකල්පීය වෙනසක්‌ තුළින් විනයානුqකූල අටපිරිකරක්‌ ළඟාකරගත හැක.

විනයානුකූල අටපිරිකර වෙළෙඳපොළ තුළට පත්වීම සඳහා සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක කෘත්‍යාධිකාරී මණ්‌ඩලයද මේ වන විට පියවර රැසක්‌ම ගෙන තිබේ. මූලිකවම අප විසින් එම කරුණු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාව කරනු ලැබ ඊට අදාළව යෝජනාවක්‌ද සම්මත කරගෙන ඇත. තවද එය බුද්ධ ශාසන අමාත්‍යවරයා දක්‌වාම රැගෙන යමින් විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්‌සේ ඒ පිළිබඳව ප්‍රකාශයක්‌ නිකුත් කිරීමටද ක්‍රියාකොට තිබේ. තවද පිරිකර වෙළෙඳසල් ඇරඹීමේදී ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බලමණ්‌ඩලයේ ලේඛකාධිකාරී හිමිනමගේ හා දිස්‌ත්‍රික්‌ ලේකම්වරයාගේ අනුමැතිය ලබාගැනීමට නියෝග කොට තිබීමද වෙසෙසින්ම සැලකිල්ලට ගත යුත්තකි. එමෙන්ම මහ නාහිමිවරුන් දැනුවත් වීම හරහා ජනාධිපතිවරයා දැනුවත් කිරීම දක්‌වාද අපේ ප්‍රයත්නය රැගෙන යැමට අපි කටයුතු කළෙමු. මේවන විට අටපිරිකරක තිබිය යුතු ප්‍රමිතිය පිළිබඳව ජනාධිපතිවරයා විසින්ද යම් ප්‍රකාශයක්‌ කරනු ලැබ ඇති අතර එය ඉදිරිගාමී පියවරක්‌ ලෙසද පෙන්වාදිය හැක.

දැනට පවතින තත්ත්වයට අනුව නම් විනයානුකූල නොවන අටපිරිකර වෙළෙඳපොළ තුළ ඇති බව පාරිභෝගිකයා තේරුම්ගෙන ඇති බවක්‌ පෙනී යයි. එමෙන්ම අටපිරිකර විකුණන වෙළෙඳුන්ද නිෂ්පාදකයන් විසින් රැගෙන එනු ලබන සෑම දෙයක්‌ම හොඳද, නරකද යනුවෙන් විමසා බැලීමට පෙළැඹී සිටින බවද දැන් දැන් පෙනීයමින් තිබෙන කරුණකි. මේ වන විට ගිහි, පැවිදි, පාලක, නිෂ්පාදක හා වෙළෙඳ යන අංශ සියල්ලක්‌ අතරම විනයානුකූල අටපිරිකරයක්‌ යනු කුමක්‌ද හා එය නිපදවීම සේම පිදීමද කෙසේ සිදුවිය යුතුද යනාදී වශයෙන් පුළුල් සමාජ කථිකාවක්‌ නිර්මාණය වී ඇත. තවද භික්‍ෂුන් වහන්සේලාද හැකි පමණින් මේ පිළිබඳව ජනතාව දැනුවත් කොට ඇති බවද සඳහන් කළ යුතුය. එබැවින්ම අදාළ සමාජ කථිකාව වත්මන වනවිට වඩාත් හොඳින් ඉස්‌මතුවී ඇති අතර, එය සාධනීය ප්‍රතිඵලයක්‌ ලෙසද සැලකිය හැක.