බුදුරදුන් හඳුනා ගනිමු

කීර්ති විජයතුංග

තුන් ලොවට අග්‍රවූ සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වනාහි බුද්ධත්වය ලැබූ දින සිට උන්වහන්සේ ජීවත්වූ ඉතිරි අවුරුදු 45 තුළත් ඉන් පසුව අද දක්‌වාත් හඳුනාගැනීමට අපහසු අයෙක්‌ වෙති.

බුද්ධත්වය ලැබූ පසු පස්‌වග මහණුන් හට ධර්මය දේශනා කිරීමට ඉසිපතනයට වඩින විට මගදී හමුවූ උපක ආජීවකයාට උන්වහන්සේ විසින්ම තමා කවුදැයි හඳුන්වා දුන්නද ඔහුට බුදුන් හඳුනාගැනීමට නොහැකි විය.

අරිය පරියේසන සූත්‍රය - ම. නි. (01)

ඉන්පසුව පස්‌වග මහණුන්ට ද උන්වහන්සේව හනාගැනීමට නොහැකිවූ විට, තමා චතුරාර්ය සත්‍ය එකක්‌ වට 03 බැගින් 12 ආකාරයකින් අවබෝධ කරන තෙක්‌ (ඒවං තිපරි වට්‌ටං ද්වාදසාකාරං) සම්මා සම්බුද්ධත්වය ලොවට ප්‍රකාශ නොකළ බව පවසා 'ධර්ම චක්‍රය' දෙසූ විට උන්වහන්සේ බුදුරදුන් හඳුනාගත්හ.

ධම්ම චක්‌ක පවත්වන සූත්‍රය - සං.නි. 5-2

මුණ ගැසීමට බුදුරජාණන් වහන්සේ සොයා ගිය උන්වහන්සේ වෙනුවෙන්ම පැවිදිවූ පුක්‌කුසාති හට උන්වහන්සේ මුණ ගැසුණද හඳුනා ගැනීමට නොහැකි විය.

ධාතු විභංග සූත්‍රය ම. නි. (03)

එනිසා බුදුරජාණන් වහන්සේ යනු ශරීරයෙන් හෙවත් රූපයෙන් දැකීමට නොහැකි පුද්ගලයෙක්‌ වේ. මෙයට හොඳම උදාහරණය හමුවන්නේ තමන් වහන්සේගේ කුණු කය දැකීමෙන් ඵලක්‌ නැති බවත්, තමන් වහන්සේ දැකීමට නම් ධර්මය දැකිය යුතු බවත්, ධර්මය දකින්නා තමන්වහන්සේ දකින බවත් එක එල්ලේම වක්‌කලී තෙරුන්ට පැවැසීම තුළිනි. 'යෝ ධම්මං පස්‌සති සෝ මං පස්‌සති, යෝ මං පසස්‌ති සෝ ධම්මං පස්‌සති'.

වක්‌කලී සූත්‍රය - සං.නි. (03)

නිවන් දැකීමට බුදුන් දැකීම අනිවාර්ය, අත්‍යවශ්‍ය අංගයකි. එම නිසා බුද්ධෝත්පාද කාලයකදී රහත් බව දක්‌වා වූ සියලු මාර්ගඵල ලැබීමේදීද, අබුද්ධෝත්පාද කාලයකදී නිවන් දකින පසේ බුදුරජාණන් වහන්සේලා ද බුදුන් දැකිය යුතුය. එසේ නම් මේ ආකාරයෙන් කුමන කාලයකදී වුවද දැකිය හැකි 'සදාකාලික' බුදුරජාණන් වහන්සේ කවරෙක්‌ද?

ශ්‍රී මුඛ දේශනාවට අනුව ධර්මය දැකීම බුදුන් දැකීම වේ නම් බුදුන් දැකීමට දැකිය යුතු ධර්මය කුමක්‌ද? බුද්ධත්වය ලැබූ පසු උන්වහන්සේ විසින් තමා අවබෝධ කළ ධර්මය තම ගුරු තනතුරේ තබාගත් බව අපි දනිමු. (උරුවෙල සූත්‍රය - අං.නි. (02)) එසේනම් බුදුන් දැකීමට දැකිය යුතු ධර්මය යනු එසේ මෙසේ එකක්‌ නොව එය 'බුදුන්ගෙන් ගුරු' වේ. මෙම බුදුන්ගෙන් ගුරු යනු 'සර්වකාලීන' හෙවත් 'සදාකාලික' බුදු කෙනකු බව ඉහතින් පැවැසුවෙමි.

බුද්ධත්වයෙන් පසු උන්වහන්සේගේ උදානයෙහි තමන් වහන්සේ ලොවට ශ්‍රේෂ්ඨ බව 'සෙට්‌ඨෝ හමස්‌මිං ලෝකස්‌ස්‌ යනුවෙන් දේශනා කර ඇත. මෙලෙසම තව තැනක අංග 08 කින් යුත් මාර්ගය ශ්‍රේෂ්ඨ බව 'මග්ගානට්‌ඨංගිකෝ සෙට්‌ඨෝ' යනුවෙන්ද විරාගය හෙවත් නිවන ධර්මයක්‌ වන අතර ශ්‍රේෂ්ඨ බව 'විරාගෝ සෙට්‌ඨෝ ධම්මානං' යනුවෙන්ද දේශනාකොට ඇත.

ධම්ම පදය - මාර්ග වර්ගය

සත්‍යයම ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේලා 'දෙපිට කාට්‌ටු වචන' හෙවත් එකම දෙයක්‌ පිළිබඳ වෙනස්‌ විරුද්ධ කතා දේශනා නොකරති. එසේ නම් ලොවට ශ්‍රේෂ්ඨ බුදුන් ලෙස හඳුනාගත යුත්තේ උන්වහන්සේගේම ශේ්‍රෂ්ඨ සොයා ගැනීම වන 'ධර්මය' හෙවත් 'ආර්ය අෂ්ඨාංගික මාර්ගය' හෙවත් 'විරාගය' වන නොඇලීමය.

බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ මහා පුරුෂ ලක්‌ෂණ 32 ක්‌ තිබූ බව අපි අසා ඇත්තෙමු. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් අංග අටෙහි උප අංග එකතු කළ විට ද 32 ක්‌ ලැබේ. මෙයද ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු බුදුරජාණන් වහන්සේ බවට නිදසුනකි.

බෞද්ධයා සරණ යන තෙරුන් හෙවත් 'ත්‍රිවිධ රත්නය' ඒක වචන වන නිසා බුද්ධ, ධම්ම, සංඝ යනු එක ඒකකයක්‌ බව පැහැදිලිය. තර්කානුකූලව බැලූ විට 'මා හට බුදුන් සරණ හැර අන් සරණක්‌ නැත'කියා නැවත 'මට ධර්මයේ සරණ හැර අන් සරණක්‌ නැත', 'මට සංඝයාගේ සරණ හැර අන් සරණක්‌ නැත' කියා කියූ විට සිදුවිය හැකි එකම දෙය නම් බුද්ධ, ධම්ම, සංඝ යනු එකක්‌ම වීම පමණි. (නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේසරණං වරං, නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේසරණං වරං, නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං)

බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් වැඳීමට ඇති ගාථාවල අංග එකතු කළ විට ද 32 ක්‌ ලැබේ. (බුද්ධ - 09, ධම්ම-06, සංඝ 17) එයින් පෙනෙන්නේද බුද්ධ, ධම්ම, සංඝ යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයම හෙවත් බෞද්ධයාගේ එකම සරණ බවයි. (චරණ) ගමන බවයි.

සත්‍යවශයෙන් පෘතග්ජන බෝධිසත්ව සිදුහත් තවුසා විසින් පෙර පාරමී බලයෙන් සොයාගත්තක්‌ වුවද උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ශ්‍රේෂ්ඨතම දෙය බව අවබෝධ කරගන්නා ලද්දේ එය වැඩීමෙන් බුද්ධත්වයට පත්වූ ලොව්තුරා සම්මාසම්බුදුරජාණන් වහන්සේය. මෙම සත්‍යය අවබෝධ වන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය භාවනාවෙන් වඩා 'අරියෝ අට්‌ඨංගිකෝ මග්ගෝ භාවනා පාරිපූරිං' (මහා සලායතනික සූත්‍රය ම.නි. 03) නිවන දුටුවිට පමණක්‌ තමුන් හට නිවන ලබාදුන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය විසින් බව අවබෝධ වීමෙනි. එම නිසා එය අවබෝධ වන පිළිවෙළට චතුරාර්යය සත්‍යයන් අතර (හේතු-ඵල ධර්මයක්‌ ලෙස නොව ඵල - හේතු ධර්මයක්‌ ලෙස) අවසාන සත්‍යය වශයෙන් දක්‌වා ඇත.

ඉහත සාධක තුළින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය 'පරමාර්ථ බුදුන්' වහන්සේ හෙවත් 'සදාකාලික බුදුරජාණන් වහන්සේ' බව අප විසින් ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුය. එයම සියලු බුදුවරුනට බුද්ධත්වය සාක්‌ෂාත් කරදෙන බැවින් සියලු බුදුවරුන් විසින් ගුරු තනතුරේ තබාගනු ලැබේ.

ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ඒ තුළින් අවබෝධ වන චතුරාර්ය සත්‍යයත් සමස්‌ත බුද්ධ ධර්මය හෙවත් ශාසනය වේ. නොඇලීමට/විරාගයට පත්වීමෙන් සිත නිවන බවට සම්ප්‍රාප්ත වේ. 'නිබ්බානය සංවත්ති' (ධම්ම චක්‌ක පවත්තන සූත්‍රය) එබැවින් නොඇලුණු සිතම නිවන හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය වේ. අනෙක්‌ අතට නිවන ලැබීමේදී සිත ආර්ය අෂ්ඨාංගික මාර්ගය බවට හෙවත් පරමාර්ථ බුදුන් බවට පත්වේ. මෙයින්ම 'බුදුන් දැක නිවන් දැකීම' හෙවත් ධර්මය දැකීමෙන් බුදුන් දැකීමත් බුදුන් දැකීමෙන් ධර්මය දැකීමත් සිදු වේ.

එසේ නම් එම 'හපන්කම' කිරීමට ආර්ය අෂ්ඨාංගික මාර්ගය භාවනාවෙන් සම්පූර්ණ කළ යුතුය. අවාසනාවකට අද ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු 'ජීවන ක්‍රමයක්‌' මිස භාවනාවක්‌ නොවේ. සිදුහත් බෝසතුන් බුද්ධත්වය ලැබීමට පුරුදු පුහුණු කළ සුවිශේෂී භාවනාව අද අතුරුදන්වී ඇත. උන්වහන්සේ භාවනා ආසනයේ සිටින ආකාරය පමණක්‌ පිළිමයේ ඉතිරිව ඇත.

මඡ්Cධිම නිකායේ මහා සයායතනික සූත්‍රයට අනුව සමථ/විදර්ශනා යුගන්ධව වැඩීමත් සතර සතිපට්‌ඨාන/සතර සම්මප්‍රධාන/සතරඉර්ධිපාද/පංච ඉන්ද්‍රිය,/පංචබල/සප්ත බොඡ්Cධංග ආදී සියල්ල ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවනා කිරීමෙන් පූර්ණත්වයට පත් වේ.

දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ තම අවසාන ශ්‍රාවකයා වූ සුභද්‍ර හට යම් ශාසනයක ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඇත්නම් එහි රහතන් වහන්සේ ඇතුළු මාර්ගඵලලාභීන් සිටින බවත් යම් ශාසනයක මාර්ගඵලලාභීහු සිටිත් නම් එහි ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇති බවත් දේශනා කර ඇත.

බුදුරජාණන්වහන්සේ විසින්ම 'අනුත්තර' හෙවත් 'ලෝකෝත්තර ලෙස හැඳින්වූ 'ධර්ම චක්‍රය' හෙවත් 'මධ්‍යම ප්‍රතිපදාව' නමැති ආර්ය අෂ්ඨාංගික මාර්ගයද අද දක්‌නට ඇත්තේ ලිත ආර්ය අෂ්ඨාංගික මාර්ගයක්‌ ලෙස පමණක්‌ වන අතර එයද ලෞකික දෙයක්‌ බව පැහැදිලිව පෙනේ. ප්‍රායෝගික ආර්ය අෂ්ඨාංගික මාර්ගය හෙවත් නිවන් දැකීමට කළ යුතු 'අභ්‍යාසය' ලෝකෝත්තර හෙවත් අනුත්තර භාවනාවක්‌ විය යුතුය.

අබුද්ධෝපත්ත කාලයකදී මෙම ප්‍රායෝගික ආර්ය අෂ්ඨාංගික මාර්ග භාවනාව හෙවත් ලෝකෝත්තර භාවනා අභ්‍යාසය හෙවත් පරමාර්ථ බුදුන් හඳුනා ගැනීම මගින් පසේ බුදුවරු බිහිවෙති.

බුද්ධෝත්පාද කාලයකදී නම් පරමාර්ථ බුදුන් හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය හඳුනා ගැනීමෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිට සියලු මාර්ගඵල ලාභීහු බිහිවෙති. ධර්මය නාම මාත්‍රිකව හෝ ඉතිරිව ප්‍රායෝගික අභ්‍යාසය අන්තර්ධානව ඇති මෙවැනි කාලයකදී ආර්ය අෂ්ඨාංගික මාර්ගය පරමාර්ථ බුදුන් ලෙස දැන හඳුනාගන්නා යම් ශ්‍රේෂ්ඨ, බුද්ධිමත් පුරුෂයෝ සිවුපිළිසිඹියාපත් මහ රහත් බව සාක්‌ෂාත් කරති. එසේ නැවත ප්‍රායෝගික මාර්ග අභ්‍යාසය සොයාගෙන දේශනා කරන විට නැවතත් ශ්‍රී සද්ධර්මය දීප්තිමත්ව බබලන අතර, නැවතත් මාර්ගඵලලාභීහු බිහිවෙති. මේ එවන් කාලයකි.