ඔබ කල්‍යාණ පෘථග්ජනයෙක්‌ ද?
දම්සක්‌ සුතුර ගැන සරළ විග්‍රහයක්‌...



ඇසළ පොහොය ගැන කතා කරනකොට බෞද්ධයින්ට සැනෙකින් සිහියට නැඟෙන්නේ ධම්මචක්‌ක පවත්තන සුත්‍ර දේශනාවයි. ඔබ නියත වශයෙන්ම මේ සුත්‍රය ඇසුරෙන් විවිධ විවරණ සහ බණ අසා ඇති. එහෙත් අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන කරුණු බොහෝ විට ඊට වෙනස්‌ වෙන්න පුලුවන්.

බුදුන් වහන්සේගේ සෑම දේශනාවකින්ම අදහස්‌ කළේ ලෝක සත්ත්වයා දුකින් නිදහස්‌ කරවීමයි. දුකින් නිදහස්‌ වීම කල් දැමීම බුද්ධ දේශනාවට අනුව සුදුසු දෙයක්‌ නොවේ. අප්‍රමාදීව කටයුතු කර දුකින් නිදහස්‌ වීමට ඇවැසි මඟ සලසා ගන්නා ලෙසට උන්වහන්සේ නිතර අපට දේශනා කළහ. එයට වයස්‌ භේදයක්‌ නැහැ. ඔබට ඥානය තිබෙනවා නම්, ඔබ අවංකව උත්සාහ කරනවා නම්, දුකින් නිදහස්‌ වීමේ මඟට පිවිසෙන්න පුලුවන්. දුකින් නිදහස්‌ වීම ඇති එකම මඟ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. ධම්මචක්‌ක පවත්තන සුත්‍රයේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය හඳුන්වන්නේ මඡ්Cධිමා පටිපදා යනුවෙන්. සෑම සුත්‍ර ධර්මයකම වාගේ මඟ සලසා තිබෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට යොමු වීමටයි. මධ්‍යම ප්‍රතිපදාවේ සඳහන් වන කරුණු කට පාඩම් කිරීමෙන් හෝ එහි සරළ අදහස මතකයේ තබා ගැනීමෙන් හෝ මේ උතුම් මඟට පිවිසෙන්නට බැහැ. මධ්‍යම ප්‍රතිපදාවට පිවිසීමට මං පෙත් රැසක්‌ ඇතත්, ඒ සියල්ල අවසානයේදී යොමු වෙන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමටයි.

ඔබ හොඳ කල්පනාවෙන් මේ ගැන සිතන්න. මඡ්Cධිමා පටිපදා කියන දෙය ඔබට තේරුම් ගන්න හැකි වේවි. ඔබ මහමඟ ගමන් කරන විට, රැකියාවට යන එන විට, ඔබට දහමේ සඳහන් වෙන පෙර නිමිති මුණගැසී ඇති. වයස්‌ගත වු අය, රෝගීන්, මෘත සිරුර කරේ තබාගෙන සොහොන් බිම කරා යන අය, ශ්‍රමණයන් වහන්සේලා ඔබ අප්‍රමාණව දැක ඇති. එහෙත්, මේ දැකීම නිසා ඔබ, ජීවිතයේ යම් වෙනසක්‌ ඇති කරගත්තාද? නෑ නේද? එයට හේතුවක්‌ තියෙනවා. ඔබට මේ පෙරනිමිති බාහිර වශයෙන් මුණ ගැසුනත්, එහි යථාර්ථය ආධ්‍යාත්මික ජීවිතය තුළින් තේරුම් ගත හැකි තරමට ඉවසීම හෝ ඥානය ඔබ තුළ තවම දියුණු වී නැහැ. බුදු දහම අවබෝධ කර ගැනීමට, ඔබ අසන දහම ජීවිත ප්‍රතිපත්තියක්‌ බවට පත් කර එය, ආධ්‍යාත්මික වශයෙන් භාවිතා කරන්න. එවිට දහමේ නියම අරුත, ජීවිතය ඇසුරෙන්ම අවබෝධ කිරීමට හැකිවෙනවා.අපි බාහිරව පියවර තියමින් යන ගමන සංසාරයට දැඩි සබැඳියාවක්‌ නැහැ. සංසාරයට දැඩි සම්බන්ධතාවයක්‌ පවතින්නේ අපේ ඇස,කන, නාසය, දිව, ශරීරය සහ සිත කියන මේ ආයතන වල ගමනයි. ඒ ගමන, තම තමා වෙන් වශයෙන් විමසා බැලුවොත් ඔබ සසර, දිගට පවත්වන කෙනෙක්‌ද, නැතිනම් ඔබ සසර කෙටි කර ගැනීම පිළිsපන් කෙනෙක්‌ද, එසේත් නැතිනම් ඔබ සසරින් බැහැර වු කෙනෙක්‌ද යන්න පැහැදිලිව දැනගැනීමට හැකිවෙනවා. මෙය ඥාන සම්ප්‍රයුක්‌ත මනුෂ්‍යයෙකුට කළ හැකි දෙයක්‌. ආධ්‍යාත්මික ජීවිතයක්‌ තුළින් මේ පෙරනිමිතිවල සැබෑ අරුත තේරුම් ගන්න පුලූවන්. අපි දන්නවා ශාරීරික වාරුව ගිලිහී ගිය මහලූ අය තනියෙන් නැඟී සිටින්නට බැරි නිසා යෂ්ටියක්‌, ඒ කියන්නෙ හැරමිටියක්‌ භාවිතා කරනවා. එහෙත් ආධ්‍යාත්මික ලෙස ජීවිතය දෙස බලන විට වයස්‌ සීමාවකින් තොරව අපි ආයතන තුළ ගමන් කරන්නේ යෂ්ටියක ආධාරයෙන්. මේ යෂ්ටිය කියන්නේ අප තුළ පහළ වන දෘෂ්ටියයි. දෘෂ්ටිය කියන වචනය ඇසෙන විටම අපිට දෘෂ්ටිය හා බැඳි වචන රාශියක්‌ සිහියට නැඟෙනවා. මිථ්‍යා දෘෂ්ටිය ශාස්‌වත දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටිය ආදී වශයෙන්. ඒ අතර අපි නිතර කතා කරන දෙයක්‌ නම් සක්‌කාය දෘෂ්ටියයි. මමය මාගේය කියන පදනම ස්‌ථාපිත කරගෙන අරමුණු ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මන කියන ආයතන වෙත ගමන් කිරීම සක්‌කාය දෘෂ්ටියයි. අපි යමක්‌ දෙස බලන විටම අපි තුළ දෘෂ්ටියක්‌ ඇතිවෙනවා - මමය මාගේය යනුවෙන්. අපිට නිදහසේ ඇසෙන් බලන්න බැහැ. දෘෂ්ටිය පෙරට එනවා.

සෑම ඉන්ද්‍රියක්‌ම අරමුණ කරා යොමු වෙන්නේ දෘෂ්ටිය පෙරදැරිවයි. මේ දෘෂ්ටිය දමන්නෙ, යොමුවෙන්නේ කුමකටද? යථා භූතං ඤාණදස්‌සනං යනුවෙන් දැක්‌වෙන පරිදි මේ දෘෂ්ටිය දමන්නෙ භූත වලටයි. කුමක්‌ද භූත කියන්නේ. හේතු ප්‍රත්‍යයෙන් හටගත් ඕනෑම අරමුණක්‌ හෝ දෙයක්‌ භූත කියන නමින් හඳුන්වන්න පුලුවන්. මේ දෘෂ්ටි දැමීම නිසා අපේ ජීවිතය භූත ගුහාවක්‌ වාගේ. හේතු ප්‍රත්‍යයෙන් හටගත් භූත අප විසින් ඇස, කන, නාසය, දිව සහ සිරුර කියන ආයතන මගින්, සිතිවිලි ලෙස, තදින් රඳවාගෙන සිටිනවා. කුමක්‌ නිසාද? දෘෂ්ටිය නිසා. සාමාන්‍යයෙන් අපි සිතන්නේ භූතයෝ අපට දෘෂ්ටිය දමන බවයි. නමුත් ඇත්තටම සිදුවෙන්නෙ භූතයන් වෙත අප විසින් දෘෂ්ටි හෙළීමයි. සිරුර කියන්නේ සතර මහා භූතයන්ගෙන් හටගත් දෙයක්‌. ඒ සතර මහා භූතයන්ගෙන් සැදුන මේ සිරුරට අපි දෘෂ්ටිය දාගෙන ඉන්නවා. මොකක්‌ද ඒ දෘෂ්ටිය? මේ මමය, මාගේය කියන සංකල්පනාවයි. ඊට අනුව අපි ප්‍රපංචයන් පහළ කරගෙන සිටිනවා. එසේ නැතිනම්, තදින් අල්ලාගෙන සිටිනවා. කොහොමද අල්ලාගෙන සිටින්නෙ? රූප සංඥා හැටියට. මහා භූතයෝ සිත හෝ සිතිවිලිවලට ඇතුල් කරන්න ක්‍රමයක්‌ නැහැ. ඒ මහා භුතයන් පදනම් කරගෙන අපි රූප සංඥා පහළ කරනවා. ඒ රූප සංඥාවන් අපි සිත සහ සිතිවිලිවල රඳවාගෙන සිටිනවා. යම් කිසි කෙනකුට මේ රූපවලින් නිදහස්‌ වීම සඳහා රූපය අනු කොටස්‌වලට බෙදීම සාර්ථක ක්‍රමවේදයක්‌ නොවේ. ඉන් රූපයෙන් නිදහස්‌ වෙන්න බැහැ. අපි කුණු ගොඩවල් තිස්‌ දෙකකට මේ රූපය බෙදලා තියෙනවා. එසේ බෙදුවත් අපිට මේ රූපයෙන් නිදහස්‌ වෙන්න බැහැ. නැවත නැවතත් බෙදීම්වලට යනවා. බුද්ධ දේශනාවට අනුව, ඉන් නිදහස්‌ වීමට නම් රූප සංඥාවෙන් නිදහස්‌ වීමයි. අපි වැරැදි දෘෂ්ටි නිසා නිපරාදේ රූප සංඥවන් ඇති කර ගන්නවා. අපි අරමුණු හා බැඳෙන විට සිතෙහි පහල වන පළමුවැනි පූර්ව නිමිත්ත දිට්‌ඨියයි. එය මහල්ලාට වාරුව දෙන හැරමිටිය වගේ. තනිව, හුදකලාව නැගිටින්න බැහැ. දෘෂ්ටිය පෙර ගමන්කරුයි. සියල්ල තේරුම් ගන්නේ ඊට අනුකූලවයි.

මේ දෘෂ්ටිය අත්හැරීමත් සමග අපිට මනසේ සාමය සහ නිදහස මුලික වශයෙන් ඇතිකර ගන්න පුලුවන්. කිසි අවස්‌ථාවක ශරීරය හෝ වේදනාව හෝ සංඥාව හෝ සංඛාරය හෝ විඤ්ඤාණය මම, මගේ හෝ මගේ ආත්මය කියා ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ දෘෂ්ටියයෙන් නිදහස්‌ වීම සඳහා අවශ්‍ය වන්නේ යථාභූත ඤාණ දස්‌සනයයි. හේතුඵලවලින් හටගත් අරමුණුවල යථා ස්‌වභාවය සත්‍යය තේරුම් ගත යුතුයි. එය ඇස, කන, නාසය, දිව, ශරීරය සහ සිත යන ආයතන මගින් තේරුම් ගන්න පුලුවන් කමක්‌ නැහැ. ඒ සඳහා ප්‍රඥාව දියුණු කරන්න ඕන. අපගේ ආධ්‍යාත්මික ගමන තුළ පළමුවෙනි පෙර නිමිත්ත දිට්‌ඨියයි.

දෙවැනි පුර්ව නිමිත්ත ලෙස බුදු සමයේ දැක්‌වෙන්නේ රෝගියෙක්‌. බාහිර වශයෙන් කොපමණ රෝගීන් දැක්‌කත් අපිත් ලෙඩවෙන බව හැඟෙන්නේ නැහැ. අපිට සෑදෙන ලෙඩවලින් සෑහෙන කොටසක්‌ බාහිර ප්‍රතිකර්ම මගින් සුවපත් කරන්න පුලුවන්. නමුත්, බුදුන්වහන්සේ ආධ්‍යාත්මික වශයෙන් ලෙඩා හැටියට දුටුවේ කුමක්‌ද? කියා විමසා බලමු. රූප, ශබ්ද, ගන්ධ, රස සහ ස්‌පර්ශ කියන වස්‌තු කාමයන් කෙරෙහි අපි ඇලීම් ඇතිකර ගන්නවා. ගැටීම් ඇතිකර ගන්නවා. නැවත නැවත මුළාවට පත්වෙනවා. ඒ මත අප චිත්ත සන්තානයේ ක්‌ලේශ මාර පහළ වෙනවා. අපි ජීවත්වන්නේ නිරතුරුවම ගැටෙමින් ඇලෙමින් සහ නොනැවතී මුළාවට පත්වෙමින්. බුදුන් වහන්සේ දේශනා කළ ආකාරයට මෙය ආධ්‍යාත්මික ලෙඩවීමයි. මේ කෙළෙස්‌වලින් ආතුර වූ ලෝකය තුළ අනාතුරව ජීවත්වීමට ඔබ දක්‌ෂයෙක්‌ විය යුතුයි. ඒ අතින් බලන කල අපි දක්‌ෂයන් නොවන බව තහවුරු වෙනවා. අපි නැවත නැවත ආතුර වෙනවා. ලෝකයේ ජීවත්වන පෘථග්ජන සත්ත්වයා තුළ කෙලෙස්‌ ඉපැදීම සහ ඒ තුළ ජීවත්වීම නිරතුරුව යාන්ත්‍රිකව සිදුවෙනවා. එසේනම් බුදුන්වහන්සේ දේශනා කළ ආධ්‍යාත්මික ලෙඩා කවු ද? ඒ වෙන කවුරුවත් නොව, අරමුණු විෂයෙහි ඇලීම් සහ ගැටීම් ඇතිකර ගන්නා අපිමයි. වස්‌තුකාම කෙරෙහි නොඇලෙන දක්‌ෂයා ලෙඩවෙන ලෝකයේ ලෙ නොවී ජීවත්වෙනවා. බුදුන්වහන්සේ මේ ලෝකය උයනකට සමාන කළා. මේ උයනේ මාරයා විසින් රූප, ශබ්ද, ගන්ධ සහ රස යන පංචකාමයන් අතුරා තිබෙනවා. පෘථග්ජනයා සැදී පැහැදී සිටින්නේ උයන් කෙළියටයි. අපි මේ උයන තුළ උදේ සිට රාත්‍රී දක්‌වා ජීවිතය පුරාම පස්‌කම් රස නමැති උයන් කෙළියේ යෙදෙනවා. දහමට අනුව පෘථග්ජනයාගේ ස්‌වභාවය එයයි. ඒ ඔහුගේ ජීවිතයයි.

විඳීම ගැන පමණක්‌ කල්පනා කරමින් ජීවත්වෙන පුද්ගලයා දහමට අනුව හැඳින්වෙන්නේ අන්ධ පෘථග්ජනයා කියලා. නමුත් කම්සැප විඳින අතරතුර එහි ආදීනවයන් සුළු වශයෙන් හෝ තේරුම් ගන්නා අය කල්‍යාන පෘථග්ජනයා වශයෙන් හඳුන්වනවා. ඔහුට මේ ලෝකයේ අනියත බව පිළිබඳ යම් දැනීමක්‌ තිබෙනවා. ඒ නිසා දාන, සීල, භාවනා ආදී ගුණ දහම් පුරා, සසරින් නිදහස්‌ විය යුතුයි යන අදහස ඔහු තුළ ජීවත්වෙනවා. මේ නිසා ඔහුට නිස්‌සරණ අවස්‌ථාව මඟ හැරෙන්නේ නැහැ.

ඒ වගේම තුන් වැනි පෙර නිමිත්ත නම් මරණයයි. ඔබ දන්නා පරිදි, මරණය, ඒ කියන්නේ ඇතිවීම නැතිවීමයි. මෙය ලෝකයේ පවතින යථාර්ථයක්‌. ලෝකය කියන්නේ මේ බඹයක්‌ පමණ වු ලෝකයයි. රූපය තුළ මරණය තිබෙනවා. වේදනාව තුළ මරණය තිබෙනවා. සංස්‌කාර, විංඥාන තුළ මරණය තිබෙනවා. කෙටියෙන් කියනවා නම් නාම, රූප කියන දෙක තුළම මරණය තිබෙනවා. යං කිංචි සමුදය ධම්මං සරීබං තං නිරෝධ ධම්මන්ති... හේතු ඵලවලින් හටගත් සමස්‌තය තුළම බිඳීම පවතිනවා. එය අපි කරන දෙයක්‌ නොවේ. එය යථාර්ථයයි. එහෙත් අපි නිරතුරුව කරන්නේ මේ මරණ ධර්ම උපාදාන කිරීමයි. අපි ටික ටික ළං වී ඊළඟට තදින් අල්ලා ගන්නවා. ඒ නිසා අපි තුළ පහළ වෙනවා 'උපාදානය'. අපි මේ අල්ලා ගන්නා සියලුම දේවල් මැරෙනවා. මේ මැරෙන දේවල් අල්ලා ගැනීම හඳුන්වන්නේ උපාදානය කියල. මැරෙන දේවල් අල්ලාගත් විට, උපාදානය කළ විට අපි හැම මොහොතකම ජීවත්වෙන්නෙ මරණය සමගයි. කිසි සැපක්‌ නැහැ. අප විසින්ම අප, මරණයට ගැටගසාගෙන සිටිනවා. මෙසේ ගැට ගැසුවේ දෙවියන් වහන්සේ හෝ ලෝකයේ වෙන කෙනෙක්‌ නොවේ. මෝහයෙන් මුළා වී අවිද්‍යාවෙන් අන්ධ වු පෘථග්ජන සත්ත්වයා, යථාර්ථය තේරුම් නොගෙන මරණය බැඳ ගන්නවා.

මරණයට ගැට ගසා තිබුණේ සෝපාක පමණක්‌ නොවේ. මේ අපිත් මරණය ගැට ගසා ගෙනයි සිටින්නෙ. මෙය තේරුම් ගෙන අපි මරණය මුදා හරින්න ඕන. මුදා හරිනවා කියන්නේ මරණ ධර්ම අත්හැරීමයි. එසේ නම්, රූපය පමණක්‌ නොව වේදනා, සංඥා, සංඛාර සහ විඤ්ඤාණ කියන සමස්‌ථයම අත්හළ යුතුයි. බුදුන් වහන්සේ මේ කිසිවක්‌ දුකයි කියා දේශනා කළේ නැහැ. රූපය දුකයි කියා දේශනා කළේ නැහැ. දුක පවතින්නේ රූප උපාදානය තුළයි. වේදනාවේ නොව වේදනා උපාදානය තුළ දුක පවතිනවා. සංඥා, සංඛාර වශයෙන් සලකා බැලුවත් දුක පවතින්නේ උපාදාන වශයෙන් අල්ලා ගැනීම තුළයි. එවිට පේනවා මේ ලෝකයේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියලුම දේවල් තුළ හටගැනීම සමගම බිඳීම තිබෙනවා. අන්ධ පෘථග්ජනයාට මෙය වැටහෙන්නේ නැහැ. ඒ නිසා සියල්ල මමය, මාගේය, මගේ ආත්මය යෑයි අයිතිවාසිකම් නිර්මාණය කර ගන්නවා. ඒවා ගැන නැවත නැවත හිතලා ඒවා අල්ලා ගන්න උත්සාහ කරනවා. නමුත් අපි කළ යුත්තේ එහි යථාර්ථය දැක කළකිරීමක්‌ ඇතිකර ගැනීමයි. බුදු දහමට අනුව කළකිරීම කියන්aනේ යථාර්ථය වෙනුවෙන් නැඟී සිටිමයි. විරාගය කියන්නේ ඒවා කෙරෙහි ඇතිවන ඡන්දරාගය පහ කිරීමයි. බුදු දහමේ දැක්‌වෙන විරාග දර්ශනය එයයි. නිරෝධාය... හිත නිරෝධ කළ යුතුයි. එවිට, මේ පස්‌ මල්වලින් සංගෘහිත උයනේ සිදුවෙන උයන් කෙළිය තුළ දෘෂ්ටිය, ලෙඩවීම මෙන්ම මරණයත් තිබෙනවා. අපි ඒ කරුණු තුනම අවබෝධ කර ගත යුතුයි. ඒ තුළින් දිට්‌ඨිය අයින් කර ගත්තා නම්, ඇලීම් ගැටීම් නතර කර ගත්තා නම්, මරණ ධර්ම අයින් කර ගත්තා නම්, ඒ සිත අපි හඳුන්වනවා නිරෝධ සිතක්‌ ලෙස. එය කිසිවක්‌ අල්ලාගන්නේ නැහැ.

සිත සැම විටම අරමුණක්‌ අල්ලාගෙනයි නැඟී සිටින්නෙ. සිත අරමුණක්‌ අල්ලාගෙන නැතිනම් එතැන පවතින්නේ නිරෝධ වු සිතක්‌. නිරෝධය හෙවත් සියල්ල අත්හැරීම ශ්‍රමණ දර්ශනයයි. පෘථග්ජන සිත සෑම දෙයකම එල්ලෙනවා. දහමට අනුව යමක්‌ කරුණක්‌ මංගල වීමට සියල්ල අතහැරිය යුතුයි. හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්‌ හා බැඳුනොත් එය මංගල කරුණක්‌ වෙන්නේ නොවේ. ඇතිවෙන්නේ දුකක්‌මයි. අත්හැරීමට ඇති කෞශල්‍යය හෙවත් කුසලතාවය, කුසලයයි. ශ්‍රමන දර්ශනය කියන්නේ සියල්ල අතහැරීම නිසා ඇතිවන නිරෝධ ස්‌වභාවයයි. නිරෝධය නිසා සංස්‌කාර අත්හැරෙනවා. සංස්‌කාර කියන්නේ සිතට අරමුණු බැඳ ඇති උපාදාන ගූණයයි. සංස්‌කාර අල්ලා බැඳ ගැනීම දුකක්‌. එයයි දහමේ දුක, තණ්‌හාව ලෙස දක්‌වන්නෙ. මේ ලෝකයේ ජීවත්වෙන ඥාන සම්ප්‍රයුක්‌ත මනුෂ්‍යයා හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේවල් අරමුණු ලෙස නොගෙන සිත නිරෝධ තත්ත්වයට පත්කර ගන්නවා. සිත නිරෝධ වු වහා අපිට ඇතිවෙන්නෙ සම්මා දිට්‌ඨියයි. සම්මා දිට්‌ඨිය පහළ වු වහා පෙර සිතුවිලි නැගීමට වාරුදුන් දෘෂ්ටි සියල්ල බැහැර වෙනවා. මේ උයන් කෙළියේ ඇති ක්‍රීඩා අතහැර, කිසිදු ආරම්මනයක්‌ ගන්නේ නැතිනම් පෙරනිමිති සියල්ල අතහැරෙනවා.

පෙර නිමිති අතහැරීමයි මඡ්Cධිමා පටිපදා කියන්නෙ. එතෙතෙ උභො අන්ත අනුපගම්ම මඡ්Cධිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා අපි අවදි විය යුත්තේ මෙතැනින්. එසේ නොමැතිව සම්මා දිට්‌ඨිය පහළ වෙන්නේ නැහැ. කටින් කීවාට ඵලක්‌ නැහැ. සම්මා දිට්‌ඨිය කියන්නේ දර්ශනයක්‌. නැතිනම් දර්ශන සම්පත්තියක්‌. සිතේ ක්‍රියාකාරීත්වය මනාව වටහාගත් විට, සම්මා දිට්‌ඨිය ඇතිවෙන්නේ පෙර නිමිති නැති මඟක බව තේරුම් යනවා. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ එය ප්‍රථමයෙන් සොයා ගත්තා. බුදුන් වහන්සේ ධම්මචක්‌ක පවත්තන සුත්‍ර දේශනාව ආරම්භ කළේ ද්වේ මේ භික්‌ඛ අන්තා පරීබතෙන නසේවිතරීබා යොචායං කාමසුඛල්ලිකානුයෝගෝ... ආදී වශයෙන් කාම සුඛල්ලකානු යෝගයේ දොස්‌ වචන 5 කින් සහ අත්තකිලමථානුයෝගයේ නිසරු බව වචන 3 කින් සඳහන් කළා. වචන 8 කින් අන්ත දෙකෙහිම දොස්‌ දැක්‌වුවා. අපි එතරම් දුරක්‌ සාකච්ඡා කරන්නේ නැතිව ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිවිසෙන්නේ කොහොමද කියලා ඡායා මාත්‍රයක්‌ ලෙස තේරුම් ගත්තා.

ඔබට දැන් වැටහෙනවා ඇති කාමසුඛල්ලිකානු යෝගය කියන්නේ පෙර නිමිති සහිත මඟක්‌. සැප විඳලා, ඉන්ද්‍රිය පිනවන තැන දිට්‌ඨිය සාරව පවතිනවා. උතුරා යන කෙළෙස්‌, ඉපැදෙනවා, මැරෙණවා. ශ්‍රමණ දර්ශනයක්‌ නැහැ. එතැන රජයන්නේ උපාදානයයි. සංස්‌කාරවලට බැඳ තබන ගතියයි. නිරෝධ සිතක්‌ පහළ වෙන්නේ නැහැ. එලෙසින්ම, අත්තකිලමථානුයෝගයත් පෙර නිමිති ඇති මඟක්‌. කෙස්‌, නිය වවාගෙන දත, කට, මුහුණ පිහිදාන්නේ නැතිව අපිරිසිදුව වෘත සමාදන්ව විවිධ දෘෂ්ටීන්වල එල්ඹගෙන ජීවිතය අවබෝධ කර ගන්න අසාර්ථක උත්සාහයක යෙදෙනවා. එතැන ආත්ම දෘෂ්ටිය, කෙළෙස්‌වල ඉපදීම, වැරදි වැටහීම, උපාදානය, මරණය, අරමුණු, ආත්ම සංකල්ප ආදී සියල්ල තියෙනවා. එතැන නිරෝධයක්‌ නැහැ. ඒ නිසා බුදුරදුන් මේ අන්ත දෙකම බැහර කළා. මැදුම් පිළිවෙතට පිවිසෙන්න ඥනවන්තයින්ට ආරාධනා කළා. අන්ත දෙකෙන් ඉවත් වීම සහ පෙරනිමිති අයින් කරනවා කියන්නේ එකම දෙයයි. අන්තවලට නොවැටී ප්‍රායෝගිකව ඥානය දියුණු කළ හැකි අයට අරමුණු හා හැසිරෙන්නේනැතිව ජීවත්විය හැකියි. ඔවුන්ට විදර්ශනා ඥානය වඩන්න, දියුණු කරන්න, අවශ්‍ය කුසලතාව මතුවෙනවා. මෙසේ හොඳින් ඥානය දියුණු කළ අයට බුදුන් වහන්සේ දෙසු දහම ඇසු සැනින් දේශනාවේ හරය වටහා ගන්නවා. එතැනින් නවතින්නේ නැහැ. දහම ආධ්‍යාත්මික වශයෙන් භාවිත කරන්න පටන් ගන්නවා. සුතවා අරිය සාවකෝ ආදී වශයෙන් දේශනා කළේ එයයි. ඥානවන්ත මිනිසාට වැටහෙනවා තමා කියන ලෝකය තුළ මේ සියල්ල ආධ්‍යාත්මිකව ක්‍රියාත්මක වෙන බව. එය මල් ටිකක්‌ පුජාකරලා හෝ ආහාර ටිකක්‌ පුජා කරල නිහඬ වෙනවා වගේ වැඩක්‌ නොවේ. බුදුන් වහන්සේ පෙන්වන ධර්මය තේරුම් ගැනීමට නම් අපට ඥානය අවශ්‍ය වෙනවා.

අපි විදර්ශනා මඟට අවතීර්ණ වු විට අරමුණු අත්හැරීමේ හැකියාව දියුණු වෙනවා. ආනාපාන සති භාවනාව වඩන විට, අපි ගාතානුගතිකව අප විසින් පනවා ඇති ප්‍රඥප්ති සමූහයක්‌ හමුවේ රාමුවකට සීමා වෙනවා. විටෙක අපි ආනාපානය නාසාග්‍රයේ හෝ නාභියේ හෝ දිග-කොට ආදී වශයෙන් ප්‍රඥප්ති සමුහයකට සීමා කරනවා. ඒ සියල්ල අප විසින්ම මනසේ පෝෂණය කළ ප්‍රඥප්ති. ඒවායේ රැඳුනොත් ආනාපාන ලෝකය තුළ පවතින යථාර්ථය අපිට දකින්න බැහැ. අප විසින් පනවා ගත් ප්‍රඥප්ති අරමුණු හැටියට ඉදිරියට එනවා. අපි ඒවායේ එල්ලෙනවා. එය දිට්‌ඨියක්‌. අරමුණක එල්ලීම කියන්නේ කෙළෙස්‌වල ඉපැදීමක්‌. අරමුණක්‌ හා බැඳීම මරණය හා බැඳීමක්‌ වාගේ. සිත අරම්මනයක පවතින නිසා නිරෝධය ගැන සිතන්න අපහසුයි. ඉන් පසු සිත නිරෝධ කරන්න අපහසුයි. අප විසින් පනවා ගත් ප්‍රඥප්ති අරමුණු හැටියට ඉදිරියට එනවා. අපි ඒ සමග අනුගත වෙනවා. එය දිට්‌ඨියකි. අරමුණක එල්ලීම කියන්නේ කෙළෙස්‌වල ඉපැදීමකි. අරමුණක්‌ හා බැඳීම මරණය හා බැඳීමක්‌ වගේ. සිත ආරම්මනයක පවතින නිසා නිරෝධය ගැන සිතන්න අපහසුයි. බුදුන් වහන්සේ දේශනා කරන්නේ ආනාපාන ලෝකය දෙස කිසිම ප්‍රඥප්තියක එල්ලෙන්නේ නැතිව නිදහස්‌ව බලන ලෙසයි. එහි යථා ස්‌වභාවය තේරුම් ගන්න. නිදහස්‌ව ආනාපාන ක්‍රියාව දෙස බලන විට දකින්න ලැබෙන්නේ ඇතිවීම සහ නැතිවීම පමණයි. ඒ ඇතිවීම හෝ නැතිවීම කුමන අවස්‌ථාවක ආරම්භ වුවාද, එය නතර වෙන්නේ කුමන අවස්‌ථාවකද යන්න කියන්න බැහැ. ඒ ක්‍රියාව තුළ ආරම්භයක්‌ දකින්න අපහසුයි.

යථාර්ථයක්‌ හැටියට ආරම්භයේ සිටම පවතින්නේ ඇතිවීම සහ නැතිවීමයි. සමුදය ධම්මං, නිරෝධ ධම්මං කොතැනක හෝ මැද කියා අපට පනවා ගන්න හෝ ස්‌ථිර කර ගන්න තැනක්‌ නැහැ. සැමතැනම, සැමවිටම පවතින්නේ ඇතිවීම සහ නැතිවීමයි. අවසානයක්‌ තහවුරු කරන්නත් බැහැ. සෑම ක්‍රියාවක පවතින්නේ එකම ලක්‌ෂණයයි. ඇති වූ වහා නැතිවීමයි. ඒ නිසා ආනාපාන ක්‍රියාව තුළ මුල, මැද සහ අග කියන ලක්‌ෂණ පෙන්වන්න බැහැ. එසේ දකිනවානම්, එය මනසේ මවාගත් දෙයක්‌ මිස ආනාපානය තුළ පවතින දෙයක්‌ නොවේ. යම් හෙයකින් මුල මැද සහ අග පෙනෙනවා නම් ඒ මහාභූතයන්ගේ හොල්මන් කිරීමක්‌. අපි නැවතත්, මහා භූතයින්ට ආත්ම දෘෂ්ටිය නමැති බැල්ම දමා තිබෙනවා. බුද්ධ දේශනාවේ මෙය අනුමත කරන්නේ නැහැ. මේ අනවරාග්‍ර වු ලෝකයේ උභෝ අන්තයක්‌ දක්‌නට නැහැ. යම් කිසි කෙනෙක්‌ එය සොයනවා නම් ඔහු අතරමං වෙනවා. පවතින්නේ උදයව්වය කියන තත්ත්වයයි. ඒ කියන්නේ හටගැනීම සහ බිඳීම පමණයි. හටගැනීම දැකීම, යථාභූත දර්ශනයයි. යථාභූත දර්ශනය තුළින් ඔහු දුක්‌ඛ ආර්ය සත්‍යය තේරුම් ගන්නවා, සම්මා දිට්‌ඨිය පහළ වීම නිසා. දුක කුමක්‌ දැයි කියා තේරුම් ගන්නවා. දුක අතහැරිය යුතු දෙයක්‌ බව සහ එය අතහැරිය බවට තේරුම් ගන්නවා. (දුක්‌ඛං පරිංෙඤ්‍යයන්ති මේ භික්‌ඛවේ, පරිංඤාතන්ති මේ භික්‌ඛවේ) මේ අයුරින්, සත්‍යය හතරම ආකාර තුනකින්, වට දොළසකින් චතුරාර්ය සත්‍යය අවබෝධ කරනවා. (ඒවං තිපරිවට්‌ඨං ද්වාදසාකාරං යථාභූතං ඤාණ දස්‌සනං සුවිසුද්ධං අහෝසි) එලෙසින්ම දුක්‌ඛ සමුදය ආර්ය සත්‍යය, කෘත්‍ය වශයෙන් ද දැන අවබෝධ කරනවා.

මේ අවබෝධය ලබන විට අපි මේ යථා ලෝකයට බැහැරින් තමන්ගේ ලෝකයක්‌ ගොඩනගන්නට වෙර දරමින් සිටින බව තේරුම් ගන්නවා. දැන් ඊට උත්සාහ කරන්නේ නැහැ. සියල්ල අතහරිනවා. ඒ අතහැරීම තුළින් මනසේ විශාල සංසිඳීමක්‌ ඇති වෙනවා. එවැනි මානසික සංසිඳියාවක්‌ ඇති පුද්ගලයා දුකින් නිදහස්‌ වු පුද්ගලයෙක්‌ හැටියට පෙන්වනවා. ඔහු දුක්‌ඛ සත්‍යය හරියාකාරව සම්පුර්ණයෙන් අවබෝධ කළ නිසා සාමාන්‍ය පෘථග්ජන සත්ත්වයෙක්‌ වගේ දුක්‌ විඳින්නේ නැහැ. දුක තේරුම් අරගෙන, දුක අතහැරලා තියෙනවා. පෘථග්ජන සත්ත්වයා දුක අතහරිනවා වෙනුවට දුක, සැප යෑයි සිතා විඳිනවා. මෙය සසර පුරා දක්‌නට ඇති සාමාන්‍ය කරුණක්‌. එවැනි පුද්ගලයින්ට දුක සැබැවින්ම තේරුම් ගත හැකි සම්මා දිට්‌ඨිය විවෘත කරගැනීමට අවස්‌ථාවක්‌ ලැබෙන්නේ නැහැ.

දුක්‌ඛ සත්‍යය අවබෝධ වීමට දුක තමා තුළිsන්ම දැකිය යුතුයි. ඔහු ප්‍රිය විප්පයෝගය, අප්‍රිය සම්ප්‍රයෝගය ආදී සියල්ල තේරුම් අරගෙන සිටින්නේ. එසේ නම්, නිරෝධ වු සිතක්‌ ඇති, සම්මා දිට්‌ඨිය විවෘතව ඇති පුද්ගලයාගේ ජීවිතය හා බැඳි විඤ්ඤාණය කුමක්‌ද? අවශ්‍ය නිසා විඤ්ඤාණය කියන වචනය භාවිත කළත්, දහමේ 'විඤ්ඤාණං අනිදස්‌සනං' කියලයි දක්‌වන්නේ. ඒ සිතෙහි, පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මහා භූතයන් සහ දිග, කොට, ලොකු, කුඩා, රස-නීරස, නාම-රූප ආදී සියල්ලයි. මේ සියල්ල හේතු ප්‍රත්‍යයෙන් හටගත් භූතයන් හැටියටයි බුදුරදුන් පෙන්වූයේ. පෘථග්ජන මනසේ ඒවා මනෝ රූප සංඥා හැටියට විදහා දක්‌වනවා.

බුදුහාමුදුරුවෝ දේශනා කළා රහතන් වහන්සේට උරුම අනිදස්‌සන විංඥානයක්‌ බව. කිසි භූතයෙක්‌ විදහා දක්‌වන්නේ නැති අනිදස්‌සන විංඥානයක්‌ ඇති උන්වහන්සේ සසරට හිමිකම් කියන්නේ නැහැ. නත්ථි ජාති පුනරීභවෝති, ජාතියට, සංසාරයට හිමිකම් කියන්නේ නැහැ. පහනක්‌ නිවී අවසන් වු අයුරින් සසර අවසන් කරන බව බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ ඉතා ගැඹුරු දේශනාවක්‌ ඉතා සරළව විග්‍රහ කළේ. අපි මොනවද සඳහන් කළේ? මාරයා විසින් අතුරන ලද පංචකාම සම්පත්තියෙන් යුක්‌ත උයනකට මේ කාම ලෝකය සම කරන්න පුලුවන්. උයන් කෙළියේ යෙදෙන සමහර පෘථග්ජන සත්ත්වයින් ආස්‌වාදය පමණක්‌ සලකාගෙන අන්ධ පෘථග්ජනයින් හැටියට ජීවත් වෙනවා. තවත් පිරිසක්‌ ආස්‌වාදය විඳින අතරම එහි ආදීනව දැක ඉන් නිස්‌සරණය වීම සලකාගෙන කල්‍යාන පෘථග්ජන තත්ත්වයෙන් ජීවත් වෙනවා. මේ කාම ලෝකයේ ආධ්‍යාත්මික ජීවිතයක්‌ ගතකරන කල්‍යාණ පෘථග්ජනයා, දිට්‌ඨිය, මරණය, ලෙඩවීම සහ ශ්‍රමණ දර්ශනය යන පෙරනිමිති ආධ්‍යාත්මික ජීවිතය තුළින් අවබෝධ කරගෙන ඉන් බැහැර වෙනවා. අනතුරුව මේ සියල්ල අවබෝධ කරගෙන, මඡ්Cධිමා පටිපදා කියන සම්මා දිට්‌ඨි, සම්මා සංකප්ප සහිත ආර්ය මාර්ගයට අවතීර්ණව, ආර්ය ශ්‍රාවක තත්ත්වයට පත්වෙනව. එමෙන්ම දුකට හේතුව, දුක නැතිකිරීම, දුක නැතිකිරීමේ මාර්ගය, කියන චතුරාර්ය සත්‍යය අවබෝධ කොට, සිත නිරෝධ කොට, අනිදස්‌සන විංඥානයක්‌ හිමිs ශේ්‍රෂ්ඨ උත්තමයෙක්‌ බවට පත්වෙනවා. ඒ ශ්‍රෝෂ්ඨ පුද්ගලයා, දුක, ජාතිය, අවසන් කර, සංසාර දුකින් නිදහස්‌ වු උතුමෙක්‌ ලෙස වාසය කරනවා. සියලු ලෝක සත්ත්වයාට මේ ලෝක වශයෙන් අභිවෘද්ධියක්‌ වේවාෘ දෙවියන් ඇතුළු සියලු සත්ත්වයින්ට නිවන් සැප සාක්‌ෂාත් වේවා!

පූජ්‍ය පාතේගම සුමන හිමියන්ගේ ධර්ම දේශනාවක්‌ ඇසුරිණි.